බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධර්ම මාර්ගයේ යන්න වුවමනා කෙනාට ‘සුප්පටිනිස්සග්ගි’ කියන චරිතයක් තියෙන්න ඕන කියලා. ‘දුප්පටිනිස්සග්ගි, සුප්පටිනිස්සග්ගි’ කියලා පුද්ගල චරිත දෙකක් තියෙනවා. ‘සුප්පටිනිස්සග්ගි’ කියලා කියන්නේ අත්හැරීමට දක්ෂ චරිතයයි. සමහරු ඉන්නවා එ් අයට අත්හරින්න බෑ අමාරුයි. එ් අයට දෘෂ්ටියක් ගත්තත්, මතයක් ගත්තත් අත්හැර ගන්න බෑ. අත්හැර ගන්න බැරිකම නිසා ම විඳවනවා. සමහර කෙනෙක් ඉන්නවා, එයා පහසුවෙන් එ් මතය අත්හරිනවා. එ් විදිහට පහසුවෙන් අත්හරින කෙනාට තමයි මේ ධර්මය තියෙන්නේ. මොකද, එයා තමයි දැනුවත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ‘මේක හරි..’ කියලා සම්මත කර ගන්නවානේ. එ් සම්මත කරගන්න එක තමන්ට හිතෙන පිළිවෙළට සම්මත කර ගත්තොත් තමයි අපි අමාරුවේ වැටෙන්නේ. නමුත් යම් කෙනෙක් බුද්ධ වචනය කෙරෙහි සිත පහදවා ගත්තොත් ‘තමන්ගේ මත’ කියලා එකක් හිටින්නේ නෑ. එතකොට එයාට හිතෙන්නේ ‘මේ අදහස භාග්‍යවතුන් වහන්සේගේ’ කියලයි. එයා තමයි ශ‍්‍රාවකයා.

දිගට හරහට බැටදෙන සක්කාය දිට්ඨිය

අපි තේරුම් ගන්න ඕන හැමෝ ම මේ බැටකන්නේ සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨිය තියෙන නිසයි මේ ප‍්‍රශ්න සියල්ල හටගන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමත්වය කේන්ද්‍ර කරගත් එකක්නේ. සක්කාය දිට්ඨිය තුළ එයාගේ න්‍යෂ්ඨිය ‘මම.’ එතකොට හැම තිස්සේ ම ‘මම මෙහෙම දකිනවා.. මට මෙහෙම පේනවා.. මම මෙහෙම කරනවා.. මම මෙහෙම විග‍්‍රහ කරනවා..’ කියලා එහෙම එකක්නේ ගන්න හදන්නේ. එතකොට සමහර විට එයා කැමතියි ධර්මයේ නැති දෙයක් අවබෝධ වුණා වගේ කියලා පෙන්වා දෙන්න. එ් වගේ ප‍්‍රශ්නවලට යන්නේ සක්කාය දිට්ඨියෙන්. තව කෙනෙක් ඇත්ත පෙනිලත් එ්ක ගන්නේ නෑ. එ්ත් සක්කාය දිට්ඨිය. ඇත්ත පෙනි පෙනී පේන්නේ නෑ වගේ ඉන්නවා. ඇත්ත ඇහෙනවා, නමුත් ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. එ්ත් සක්කාය දිට්ඨිය.

සක්කාය දිට්ඨිය පවත්වන්න, සක්කාය දිට්ඨියට අනුබල දෙන්න ප‍්‍රධාන ම දේ තමයි ලාභ සත්කාර. බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාර අනතුර විස්තර කරන්න උපමාවක් දේශනා කළා. මේ උපමාව කරුණු දෙකක් විස්තර කරන්න අවස්ථා දෙකක දී යෙදිලා තියෙනවා. එ් තමයි රාහුල කුමාරයා පැවිදි කරපු වෙලාවේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස මව්පියන්ගේ සම්, මස්, නහර, ඇට විදගෙන ඇට මිදුළුවල කිඳාබැහැලා තියෙනවා” කියලා. එ් වගේ ම බුදුරජාණන් වහන්සේ එ් උපමාව ම භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා ‘‘මහණෙනි, කෙනෙකුට ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා අත්විඳීමට ඇති ආශාව සම්, මස්, නහර, ඇට විදගෙන ඇටමිදුළුවල කිඳාබැහැලා තියෙනවා” කියලා. ඔතැනින් තමයි ඔය ප‍්‍රශ්නය හටගන්නේ. එහෙම නැතුව ‘බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි හරි..’ කියලා හිතන්න නම් එයා නිහතමානී ශ‍්‍රාවකයෙක් විය යුතුයි. නිහතමානී ශ‍්‍රාවකත්වයක් නැතුව හිටියොත් එහෙම ‘ ඕක ඔහොම නෙවෙයි, ඕක මෙහෙමයි’ කියලා වාදයක් හදාගන්නවා. වාදයක් හදාගත්තට පස්සේ ඇතිවෙන්නේ අර්බුදයක් ම යි. ඔක්කොම එකතු වෙලා කතා කළත් ඊට පස්සේ තියෙන්නේ වාදයක්. වාදයක් තුළින් හටගන්නේ චිත්ත පීඩාවක්නේ. ඊට පස්සේ පුද්ගලික මත කියමින් එකිනෙකාට චෝදනා කරගන්නවා. එකිනෙකාට නින්දා අපහාස කරගන්නවා. අන්තිමට අකුසල් හැර තමන් කර ගත්තු වෙන දෙයක් නෑ.

මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට බොහෝ සෙයින් උපකාරී වෙන ප‍්‍රධාන ම දෙයක් තමයි ඉවසීම. එ් කියන්නේ යම් කෙනෙක් යම්කිසි ගුණයක් දියුණු කරගන්න කැමති නම් එයා ඉවසන්න ඕන. එයාට විශේෂයෙන් ම දස වස්තුක සම්මා දිට්ඨිය (ලෞකික සම්මා දිට්ඨිය) තියෙන්න ඕන. එ් කියන්නේ එයා මෙලොව පිළිගන්න ඕන.. පරලොව පිළිගන්න ඕන. මව්පියන් පිළිගන්න ඕන. කර්ම විපාක පිළිගන්න ඕන. ඊළඟට ඕපපාතික සත්වයන් ඉන්නවා කියලා පිළිගන්න ඕන. දානයේ විපාක තියෙනවා, උපස්ථානයේ විපාක තියෙනවා, වතාවත් කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕන. එ් පිළිගැනීම ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න විශාල උදව්වක්. නමුත් ලෞකික සම්මා දිට්ඨිය නැති කෙනා හැම තිස්සේ ම තමන්ගේ මතය ඉස්සරහට ගන්න හදනවා. එයා තමන්ගේ මතයට වුවමනා කරුණු ටික හොයාගන්නවා. හොයාගෙන තමන්ගේ මතය කියනවා. එ් විදිහට තමන්ගේ මතයට වුවමනා කරුණු ටික හොයාගෙන තමන්ගේ මතය කියන්න හදන කෙනා ලැබූ මනුස්ස ජීවිතය අයුතු විදිහට පාවිච්චි කරන කෙනෙක්.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ හැටියට අපට පැහැදීම තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැනයි. එ් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙළ කෙරෙහි අපේ හිත පහදින්න ඕන. අපි ගත්තොත් කෙනෙක් සෝවාන් වෙනවා කියමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් සෝවාන් වුණොත් එයා තුළ තමයි ස්ථිර ශ‍්‍රද්ධාව පිහිටන්නේ කියලයි. එ් ශ‍්‍රද්ධාව තමයි එයා බුදුරජාණන් වහන්සේව සැක කරන්නේ නෑ. ධර්මය සැක කරන්නේ නෑ. සංඝයා සැක කරන්නේ නෑ. ප‍්‍රතිපදාව සැක කරන්නේ නෑ. පටිච්චසමුප්පාදය සැක කරන්නේ නෑ. එයා සැකයෙන් එතෙර වෙනවා. එ් විදිහට සැකයෙන් එතෙර වූ ගමන් හිතේ පැහැදීම පිහිටනවා. එ්කනේ සෝවාන් වෙනවා කියන්නේ. එතකොට අපට පේනවා, එහෙම නම් මේ ධර්ම මාර්ගය තුළ වැඩෙන කෙනාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින එක. එ්ක තියෙන්නේ සත්පුරුෂ ගුණයත් එක්ක.

අපි ගනිමු සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේනේ ප‍්‍රඥාවෙන් අග‍්‍ර. එ් වගේ ම බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වන් වහන්සේ. දවසක් කරුණු කාරණා දන්නේ නැති සඟ පිරිසක් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ‘‘භාග්‍යවතුන් වහන්ස, මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපට සැකයක් තියෙනවා” කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ‘‘මොකක්ද?” කියලා ඇහුවා. ‘‘ස්වාමීනී, අපට සැකයක් තියෙනවා උන්වහන්සේ ආයෙමත් පරණ ආගම අදහනවා වගේ කියලා.” එතකොට අපට පේනවා, එ් කාලයෙත් චූටි දේටත් කතන්දර හැදිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ‘‘එ් මොකක්ද?” කියලා ඇහුවා. ‘‘සාරිපුත්තයන් වහන්සේ සැතපෙන්න ඉස්සර වෙලා දිශා බලලා වඳිනවා” කිව්වා. එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේට එ් භික්ෂූන් ගැන හරි අනුකම්පාවක් හිතෙන්න ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා ‘‘එහෙම නම් එන්න කියන්න සාරිපුත්තට.“ ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කළා. ”සාරිපුත්ත, ඔබ දිශාව බලලා වඳිනවා කියන්නේ හැබෑ ද?” ‘‘එසේ ය භාග්‍යවතුන් වහන්ස, මං සැතපෙන්න ඉස්සර වෙලා මට පළමුවෙනි දහම් පදය ඉගැන්වූ මාගේ ආචාර්යයන් වහන්සේ වන අස්සජී මහරහතන් වහන්සේ කොයි දිශාවේ ද ඉන්නේ කියලා බලනවා. බලලා උන්වහන්සේ ඉන්න දිශාවට වන්දනා කරලයි මං සැතපෙන්නේ.”

එතකොට අපට පේනවා, යම් කෙනෙක් පළමුවෙනි බණ පදය ඇසුවාට පස්සේ එ් බණ පදයෙන් එයාට යම්කිසි අවබෝධයක් ආවා නම්, යම් ශ‍්‍රද්ධාවක පිහිටියා නම් එයා සත්පුරුෂ භූමියට පැමිණෙනවා. සත්පුරුෂ භූමිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. යමෙක් එ් සත්පුරුෂ භූමියට පැමිණුනා නම්, එ් සත්පුරුෂ භූමියට පැමිණෙන්න උදව් කළ කෙනා කෙරෙහි ගෞරවයක් හටගන්නවා ම යි. භක්තියක් හටගන්නවා ම යි. එ්ක ධර්මතාවයක්. එ් කියන්නේ එ්ක කවුරුවත් කරන එකක් නෙවෙයි. බලන්න එ්ක සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා.

ධර්ම මාර්ගය වැඩුණු කෙනෙකුගේ ලක්ෂණ හරිම අසිරිමත්. රාහුල මහරහතන් වහන්සේ ගැන ගත්තත් එහෙමයි. එක්තරා දවසක සඟ පිරිස චාරිකාවේ වඩිනවා. ඉතින් එදා චාරිකාවේ වඩිද්දී රාහුල ස්වාමීන් වහන්සේ පස්සෙන් ම වැඩියා. එ් නිසා රාහුල ස්වාමීන් වහන්සේ ආවාසයට වඩිනකොට ස්වාමීන් වහන්සේලා ඔක්කොම සේනාසනවල, කුටිවල වැඩඉන්නවා. රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැම තැනම ගිිහිල්ලා බැලූවා, ඉන්න තැනක් නෑ. මං හිතන්නේ එදා පින්න තියෙන දවසක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඉතින් ගහක් යට හරි වැඩඉන්නවානේ. ඔක්කොම ඇඳවල්වල, ආසනවල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බැලූවා ම නො තෙමී ඉන්න තියෙන්නේ වැසිකිළියේ විතරයි. උන්වහන්සේ වැසිකිළියට ගිහිල්ලා වැඩහිටියානේ. අපට එ්කෙන් පේන්නේ නිකෙලෙස් බවක ලක්ෂණ නේ ද? වෙන කෙනෙක් නම් ‘‘මගේ පියා තමයි බුදුරජාණන් වහන්සේ..” කිය කියා ඔය වගේ අයිතිවාසිකම් කියනවනේ. එහෙම නැත්නම් සුළු සුළු දේකටත් ‘‘මම තමයි මේක කළේ.. මම තමයි අරක කළේ.. කෝ මට එ්කට සැලකුවා ද.. කෝ එ්ක කිව්වා ද?” කිය කියා හැම තිස්සේ ම බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනුවක්නේ. නමුත් ධර්මයට ආපු ගමන් එ් ගනුදෙනු ස්වභාවය ඉක්මවා යනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!