දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ සතු බලවත් සිහියත්, වීර්යයත්, විස්මිත ප්‍රඥාවත් නිසා භාග්‍යවතුන් වහන්සේට නිමේෂයකින් ගැඹුරු සමාධිවලට සමවැදිය හැකි ය. සුළඟ නැති තැනක නො සෙල්වී දිලෙන පහන් සිළක් සේ සිත බලවත් ව කුසල් අරමුණු තුළ එකඟ කොට තබාගත හැකි ය. එසේ හැකි වූයේ සසරේ පිරූ මහා පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් ගුරු උපදේශ රහිත ව නීවරණ ධර්මයන් ප්‍රහාණය කොට, සතර සතිපට්ඨානයත්, සප්තබොජ්ඣංගත් වඩා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කළ නිසා ම ය.

ආශ්චර්යවත් සමාපත්තියක්….

සිත දමනය කොට, සමාධිමත් කොට ඕනෑතරම් වේලාවක් භාග්‍යවතුන් වහන්සේට වැඩ සිටිය හැකි ය. උන්වහන්සේ පිළිවෙළින් පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානවලට සමවදින සේක. අරූප සමාපත්තීන්ට ද සමවදින සේක. එමෙන් ම නිකෙලෙස් බවේ විරාගී සුවය අත්විඳිමින් අරහත්ඵල සමාපත්තියට ද සමවදින සේක. එමෙන් ම ආශ්වාස ප්‍රශ්වාස සම්පූර්ණයෙන් ම නවතා දමා, මානසික විතර්කයන් විචාරයන් නිරුද්ධ කොට, සියලු හැඳිනීම්, සියලු විඳීම් නිරුද්ධ කොට, නිරෝධ සමාපත්තිය නම් අසිරිමත් සමවතට සමවැදී එක දිගට සතියක් වැඩසිටීම භාග්‍යවතුන් වහන්සේට සුළු දෙයකි. එමෙන් ම ඒ සියලු සමවත්වලට ඒ ආකාරයෙන් ම සමවදින අයුරු තම ශ්‍රාවකයන්ට ද කරුණාවෙන් යුතුව කියා දුන් සේක. භාග්‍යවතුන් වහන්සේ බුද්ධගයා බෝමැඩ දී උතුම් සම්බුද්ධත්වයට පත්ව සතියක් මුළුල්ලේ ඒ ආශ්චර්යවත් නිරෝධ සමාපත්තියට මුල් ම වතාවට සමවැදුනු සේක. ඉන්පසු ඒ උත්තම සම්බුදු දිවිය පුරාවට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි දී මේ ආශ්චර්යවත් උත්තම සමවතට සමවැදුණු සේක. අපගේ ලංකාධරණී තලයට වැඩම කළ අවස්ථාවේදීත් උත්තම මහරහතන් වහන්සේලා සමඟින් ස්වර්ණමාලී මහ සෑ රදුන් පිහිටන බිම ආදි උතුම් පුණ්‍යභූමීන්හි දී මේ විස්මිත නිරෝධ සමවතට සමවැදී මොහොතක් කල් වැඩසිටි සේක.

ඒ ආශ්චර්යවත් නිරෝධ සමාපත්තිය පිළිබඳ ව රමණීය දහම් පිළිසඳරක් බහුශ්‍රැත භික්ෂුණීන් අතර අග්‍ර වූ ධම්මදින්නා රහත් තෙරණියත්, විසාඛ නම් වූ අනාගාමී උපාසකයාත් අතර සිදුවූ අයුරු චූළ වේදල්ල සූත්‍රයේ මෙසේ සඳහන් වේ. විසාඛ උපාසකතුමා ධම්මදින්නා තෙරණියගෙන් මෙසේ විමසා සිටියේ ය.

“ආර්යාවෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේ කෙසේ ද?”

ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක.

“ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව හට මෙබඳු සිතක් නො වෙයි. ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නෙමි’ යි කියා හෝ ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදිමි’ යි කියා හෝ ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුනෙමි’ යි කියා ය. නමුදු නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි අයුරින් ඒ භික්ෂුවගේ සිත කලින් ම වඩන ලද්දේ වෙයි.”

“ආර්යාවෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුව තුළ කවර ධර්මයෝ පළමුවෙන් ම නිරුද්ධ වෙත් ද? කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) හෝ වේ ද? වචී සංස්කාර (විතර්ක විචාර) හෝ වේ ද? චිත්ත සංස්කාර (සඤ්ඤා වේදනා) හෝ වේ ද?”

“ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුව හට පළමුව වචී සංස්කාර නිරුද්ධ වේ. අනතුරුව කාය සංස්කාරත්, ඉන් අනතුරුව චිත්ත සංස්කාරත් නිරුද්ධ වේ.”

“ආර්යාවෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම සිදුවන්නේ කෙසේ ද?”

“ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින භික්ෂුව හට මෙබඳු සිතක් නො වෙයි. ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟිටින්නෙමි’ යි කියා හෝ ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟිටිමි’ යි කියා හෝ ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටෙමි’ යි කියා ය. නමුදු නිරෝධ සමාපත්තියෙන් නැගිටිය හැකි අයුරින් කලින් ම ඒ භික්ෂුවගේ සිත වඩන ලද්දේ වෙයි.”

“ආර්යාවෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුළ කවර ධර්මයෝ පළමුව උපදිත් ද? කාය සංස්කාර හෝ වේ ද? වචී සංස්කාර හෝ වේ ද? චිත්ත සංස්කාර හෝ වේ ද?”

“ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුළ පළමුව චිත්ත සංස්කාර උපදියි. අනතුරුව කාය සංස්කාරත්, ඉන් අනතුරුව වචී සංස්කාරත් උපදියි.”

“ආර්යාවෙනි, කොතෙක් වූ ස්පර්ශයෝ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුව ස්පර්ශ කරත් ද?”

“ආයුෂ්මත් විසාඛ, තුනක් වූ ස්පර්ශයෝ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගි සිටි භික්ෂුව ස්පර්ශ කරත්. එනම් සුඤ්ඤත (ආත්මයක් නැති බව) ස්පර්ශයත්, අනිමිත්ත (රාග, ද්වේෂ, මෝහාදී නිමිති නැති බව) ස්පර්ශයත්, අප්පණිහිත (රාග, ද්වේෂ, මෝහ ආදි දේවල්වලින් සිත මිදුණු බව) ස්පර්ශයත් ය.”

“ආර්යාවෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත කුමකට නැමුණේ වෙයි ද? කුමකට යොමු වූයේ වෙයි ද? කුමකට නැඹුරු වූයේ වෙයි ද?”

“ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත විවේකයට නැමුණේ වෙයි. විවේකයට යොමු වූයේ වෙයි. විවේකයට නැඹුරු වූයේ වෙයි.”

සාදු සාදු මම නමදිම් ඒ සම්බුදු ශ්‍රාවකයින්…

මෙම නිරෝධ සමාපත්තිය භාග්‍යවතුන් වහන්සේ ලොවට හඳුන්වා දුන් උත්තරීතර, අසිරිමත් සමවතකි. එයට සමවැදිය හැක්කේ රූප අරූප ධ්‍යාන උපදවාගත් අනාගාමී සහ අරහත් උතුමන් වහන්සේලාට ය. දිනක් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සංජීව මහරහතන් වහන්සේ එක්තරා රුක් සෙවණක නිරෝධ සමාපත්තියට සමවැද සත් දිනක් වැඩසිටි සේක. හරක් බලන ගොපල්ලන්ටත්, ගොවියන්ටත්, පාරේ ගමන් කරන උදවියටත් එම රුක් සෙවණේ නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටි සංජීව මහරහතන් වහන්සේ ව දකින්ට ලැබුණි. දින කිහිපයක් ම එක ම ඉරියව්වේ නො සෙල්වී වැඩහුන් උන්වහන්සේ ව දුටු මහාජනයා අතර මෙබඳු කතාවක් ඇති විය. “භවත්නි, ආශ්චර්යයි, අද්භූතයි. මේ ශ්‍රමණයන් වහන්සේ වාඩිවී සිටිද්දී ම අපවත් වෙලා. අපි මුන්වහන්සේ ව ඔය විදිහට ම ආදාහනය කරමු” කියා ඔවුහු තණ, දර, වියළි ගොම ආදිය සංජීවයන් වහන්සේගේ සිරුර වටා එකතු කොට ගිනි ලෑහ.

අසිරියෙකි! එයින් උන්වහන්සේගේ සිරුර හෝ පොරවා සිටි සිවුරවත් පිළිස්සී නො ගියේ ය. සත් දින ඇවෑමෙන් සංජීවයන් වහන්සේ නිරෝධ සමවතින් නැගිට සිවුරේ අළු ගසා දමා, නැවත සිවුරු පොරවාගෙන පාත්‍රය ද අතැතිව ගමට පිඬු පිණිස වැඩියහ. පෙරදා අපවත් වී යැයි සිතා ආදාහනය කළ ගම්වැසියන්ට උන්වහන්සේ නැවත පිඬුසිඟා වඩිනු දක්නට ලැබුණි. ඔවුන් අතර මෙබඳු කතාබහක් ඇති විය. “භවත්නි, මෙය නම් ඉතා අසිරිමත් ය, අද්භූත ය. මේ ශ්‍රමණයන් වහන්සේ වාඩිවී සිටියදී ම අපවත් වී තිබෙද්දී අප විසින් ආදාහන කෘත්‍යය පවා කරන ලදී. එනමුදු උන්වහන්සේට නැවත අලුතින් ජීවිතය ලැබී ඇත්තේ ය” කියා. එකරුණ නිසා ම සංජීවයන් වහන්සේට “සංජීව-සංජීව” යන නම ලැබුණි.

පහන් සිළ නිවෙන සේ පිරිනිවන වෙත ගියා…

අප භාග්‍යවතුන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑමට පෙරාතුව ද අවසන් වරට නිරෝධ සමවතට සමවැදුණු සේක. මහා පරිනිබ්බාන සූත්‍රයේ එම සිදුවීම සඳහන් වන්නේ මෙලෙසිනි. “එසේ නම් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙති. අප්‍රමාදීව නිවන් අවබෝධ කරනු පිණිස වෑයම් කරව්” මෙය තථාගතයන් වහන්සේගේ අවසාන වචනය යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුණු සේක.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගෙන් මෙය ඇසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද?”

“නැත, ආයුෂ්මත් ආනන්දයෙනි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නො පෑ සේක. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවැදුණු සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වන ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට පළමුවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට එසැණින් ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.”

ලොවට උතුම් පින්කෙත ම ය ඒ සම්බුදු ශ්‍රාවකයින්…

සතියක් පුරාවට නිරෝධ සමාපත්තියට සමවැදී ඉන් නැගී සිට පිඬු සිඟා වඩිනා මුනිවරුන් හට මුල් ම දානය පිරිනැමීම එකෙණෙහි ම සැප විපාක සලසාලන මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් පින්කමකි. අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට එසේ දන් පැන් පුදා පුණ්ණ දුගියාත්, බිරිඳත් රන් ආකරයක හිමිකරුවන් වී එදින ම කොසොල් රජතුමාගේ ප්‍රධාන සිටු තනතුරට පත්වී සෝතාපන්න ශ්‍රාවකයන් බවට ද පත්වූහ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දන් පුදා අසරණ දුගී මගී යාචකයින් බොහෝ දෙනෙකු දිව්‍ය සම්පත් උරුම කර ගත්හ. ශාසන ඉතිහාසය පුරාවට විශාල පිරිසක් එසේ පුණ්‍ය විපාක භුක්ති වින්දාහ. ඒ උතුම් නිරෝධ සමාපත්තියට මුලින් ම සමවැදී, එය ලොවට හඳුන්වා දුන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! ඒ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයට ද අපගේ නමස්කාරය වේවා! නිරෝධ සමාපත්තියට සමවැදී මේ අත්බැව්හි දී ම ඒ අමා නිවන් සුව විඳි ඒ උතුම් අර්හත් මුනිවරුන්ට ද අපගේ නමස්කාරය වේවා!

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)