වීදුරුවට කොටන අනාගත පරපුරේ අඳුරු ඉරණම

2004 පෙබරවාරි මස මාර්ක් සකර්බර්ග් යන තරුණයා සහ ඔහුගේ මිතුරන් විසින් සරසවියට පමණක් සීමා සහිතව ආරම්භ කරන ලද මේ සමාජ ජාලය සමස්ත ලෝකවාසීන්ගෙන් අඩකට වැඩි පිරිසක් තුළ කෙලෙස් වගාකරන, කාලය කා දමන උන්මාදයක් බවට පත්වනු ඇතැයි එදා සකර්බර්ග්වත් නොසිතන්නට ඇත.

එහෙත් අද ඒ විපත සිදුවී අවසාන ය. ආරම්භ කර සුළු කලෙකින් කැනඩාවේ අනෙකුත් පාසැල්, විශ්වවිද්‍යාලවලටත් ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බොහෝ රටවලටත් ව්‍යාප්ත වී වසර 6ක් වන විට මසකට මිලියන 400ක පමණ සාමාජිකයන් පැමිණෙන ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය බවට මේ කෙලෙස් උල්පත පත්වූ අතර වසර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19ක පරිශීලකයන් පිරිසක් මේ උවදුරට ගොදුරු විය.

මෙය මිනිසුන් තුළ ඇති රාග ද්වේෂ මෝහ වැඩිදියුණු කිරීමටත්, නැති රාග ද්වේෂ මෝහ ඉපදීමටත්, මම ය, මාගේ ය යන සක්කාය දිට්ඨිය හොඳට ම ඇණ ගසා තද කිරීමටත් නිමැවුණු නිර්මාණයකි.

මේ වන විට ඇතිවී තිබෙන ප්‍රවණතාවය නම් දරුවෙක් ඉපදුණු කල මිසදිටු ආසියාතිකයන් විසින් මීට පෙර හැදූ කේන්දරයටත් කලින් උපන් සැණින් දරුවාගේ සේයා රූ ඇතුළත් කොට මව හෝ පියා විසින් ම තම දරුවාට කෙලෙස් බුක් ගිණුමක් ආරම්භ කර දීමයි.

ඉන් පසු මේ ගිණුම තුළ දරුවාගේ පින්තූර සහ සියලු තොරතුරු යාවත්කාලීන කරමින් පවත්වාගෙන ගොස් පිය උරුමයෙන් ලද දායාදය ලෙස අද දරුවන්ට දෙන දායාදය මේ රාග ද්වේෂ මෝහ පැටව් ගසන කෙලෙස් බුක් ගිණුම යි.

අද සමාජය තුළ යම් මතවාදයක් වේගයෙන් සමාජගත කිරීමට සුදුසු ම මාධ්‍ය බවට කෙලෙස් බුක් පත් වී ඇත. නමුත් මෙහි දී වැඩි වශයෙන් අත්තටු ලැබෙන්නේ කෙලෙස් අවුස්සන හා හැඟීම් කුළුගන්වන මත සහ පණිවිඩවලට වීම මෙය කෙලෙස් බුක් ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි බව තහවුරු කරනු ඇත.

මිනිසා තුළ නැති වුවමනාවන් ඇති කරමින් අතේ ඇති සුළු මුදල පවා නිකරුනේ ඩැහැගන්නා වෙළඳ භාණ්ඩ හා සේවා ප්‍රචාරණ කටයුතුවලට තෝතැන්නක් බවට මේ කෙලෙස් බුක් පත් වී හමාර ය.

එකිනෙකාගේ අදහස් හා ප්‍රචාර live video ලෙස, සජීව ව සමාජයට මුදාහැරීමේ පහසුකම ද අද මෙයට එක් කොට ඇත.

On this day – මගින් ෆේස්බුක් ගිණුම ආරම්භ කළ දින සිට සෑම දිනක ම පළ කළ, බෙදාහැරිය සියලු ම දේ අවුරුද්දේ සෑම දිනක ම අදාළ දිනයට පෙන්වමින් කෙලෙස් අප්ඬේට් කිරීමේ පහසුකම ද එක් කොට ඇත.

අතීතයේ සිටි මිනිසුන් අතිශය පෞද්ගලිකව තම දිනපොතේ පමණක් සටහන් කළ දෑ අද කිසිදු හිරිකිතයක් නොමැතිව මුළු ලොවට ම පෙනෙන්නට status මගින් ප්‍රසිද්ධ කිරීමට මේ සකර්බර්ග් මාවතේ ගමන් කරන්නන් නො පැකිලෙති.

Pages තුළ අසැබි පින්තූර දර්ශන සහිත පිටු ඇතුළත් කරමින් විවිධ කාමාතුරයන් අද අපේ තරුණ පරපුරේ වටිනා කාලය මෙන් ම චරිතය ද කෙලෙසා අවසාන ය.

පනින රිළවාට දුන් ඉනිමඟක් මෙන් අද දරුවන් අතට දෙමව්පියන් ම ලබාදෙන දෙවන කෙලෙස් උල්පත ස්මාර්ට් දුරකථනය යි…

“අනේ… දැන් කාලේ ඉස්සර වාගේ හදන්න බෑ. ඒ අය සමාජය තුළට යන්න නම් මේවා ඕනෙ ම යි. නැත්නම් කොන් වෙනවානේ….” මෙසේ කියමින් දරුවාගේ කෙලෙස් බුක් පිටුවට ම මූණ ඔබාගෙන කෙලෙස් රස විඳින අවාසනාවන්ත දෙමව්පියන්ගෙන් අද අප රට ද පිරී යමින් ඇත.

මේ දරුවන් දැන් ඉන්නේ වෙන ම ලෝකවල ය….. ඒ අය හැමතිස්සේ ම ඉන්නේ කන් දෙකේ ඉයර් ෆෝන් ගසාගෙන ය…. ගෙදර සිටියත් දෙමව්පිය ඇසුරක් නැත. නැදෑ ගෙදරකට ගියත්, වැඩිහිටි උගත් පිරිසක් අතරකට ගියත්, පොදු රැස්වීමකට ගියත් ඒ අය ඉන්නේ සකබර්ග් ගේ ලෝකයේ ය.

ලෝකයේ කොහේ හෝ අසංවර මිනිසෙකු විසින් නිර්මාණය කළ පින්තුරයක් තමන් ද ශෙයාර් කර ඒකට වැටෙන Likes ගණිමින්, කමෙන්ට් කියවමින් මේ අය සතුටු වෙති.

තමාගේ විවිධ කෝණවල සෙල්ෆි හා සේයා රූ පළ කරමින්…. ඒවා මහජන ප්‍රදර්ශනයට දමා මම කියන, මගේ කියන, මගේ ආත්මය කියන හැඟීම හෙවත් සක්කාය දිට්ඨිය හොඳට හිර කර ගනිති.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වටිනා රාජකාරි කාලයෙන් බොහෝ වේලාවක් මේ සඳහා වැය වන බව අද නොරහසකි.

රාජ්‍ය නායකයා හා රජය කරවන්නන් අත පෙර රජ දවස පටන් ම අඩු වැඩි වශයෙන් අඩුපාඩු හා වැරදි තිබෙන්නට ඇත. එහෙත් ඒ අයගේ පාලන කාලය තුළ ඒ අයට යම් මට්ටමක හෝ ගරු සරුවකින් කටයුතු කිරීමේ ගුණය එදා සමාජය තුළ තිබුණි… එහෙත් අද මේ කෙලෙස් බුක් පිටු අතර තම රාජ්‍ය නායකයන්ගේ මුහුණු ම මළමිනීවලට සවිකර නොයෙකුත් විහිළු විකාරරූපී හා අවකැපෙන වචනවලින් පරිභව කොට වීරයන් වන්නට වෙර දරන දරුවන් බොහෝ ය. මේ දරුවන් තම දෙමව්පියන්ට වුව ද මෙසේ කිරීමට පසුබට නොවන අවිචාරශීලි පාපතර සමාජයක මුල් පුරුක් වෙමින් ඇත.

අවාසනාවන්ත ලෙස දැන් දැන් සසර දුකින් අත්මිදෙන්නට සිවුරු දරාගත් යතිවරයාණන් වහන්සේලා නමින් ද මේ කෙලෙස් පොතේ පිටු සැකසෙමින් ඇත.

මේ අතරේ දැළි පිහියෙන් කිරි කන්නට උත්සාහ කරන කීප දෙනෙක් ද නැතුවාම නො වේ… ඒ පිරිස මේ කෙලෙස් පොතේ පිටු යොදාගෙන ධර්ම ප්‍රචාරය කරන්නට උත්සාහයක යෙදෙන බව පෙනේ…. එහෙත් එය සාර්ථක වනවාට වඩා ඒ අය ද මේ උගුලේ ම සිරකරුවන් වීමට ඇති ප්‍රවණතාවය වඩා ඉහළ ය.

පින්වත් දරුවනේ…. මෙය කෙලෙස් උණන උල්පතකි… සක්කාය දිට්ඨියට ම හිරවන මර උගුලකි… මේ උගුලේ ඔබත් හිරවී ඇත්නම් ප්‍රමාදී පුද්ගලයාගේ ඥාතියා ඔබේ මෙහෙයුම්කරුවා බවට පත් වී හමාර ය.

ලෝකයේ මිනිසුන්ට යා යුතු මග ගැන නිසි මාර්ගෝපදේශනයක් දෙන්නට ශාස්තෘවරයෙකු හමු නො වී තිබූ පරිසරයක් තුළ ඔවුන් සකබර්ග් සරණ ගියාට, සකර්බර්ග්වාදීන් වුණාට කම් නැත.

එහෙත් අපට එදා මෙදා තුර ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේ මුණගැසී ඇත. ඒ ධර්මය පිරිසිදුව කතා කරන යුගයක උපදින්නට ඔබ පින් කර ඇත.

ඒ ධර්මය පිරිසිදුව ඇසෙන දේශයක ඉපදුණ වාසනා ගුණය ඔබ සතු ය. ඒ නිසා පින්වත් බොදු දරුවනේ, මේ කෙලෙස් පොතෙන් අත් මිදෙන්න. ඔබ මේ කෙලෙස් පොතට එක් කරන එක් රාග ද්වේෂ මෝහ වඩන පින්තූරයක් හෝ සටහනක් ඔබට මහත් සේ පව් පුරවමින් දකින දකින අයගේ කෙලෙස් වඩවමින් ලොව පුරා සැරිසරනු ඇත. ඔබේ මරණින් මතු ද ඒවා තවදුරටත් සැරිසරනු ඇත.

භාග්‍යවතුන් වහන්සේ වනරෝප සූත්‍රයේ දී දේශනා කොට වදාළ සැමදා පින් වැඩෙන පින්කම්වල විරුද්ධාර්ථය හෙවත් සැමදා පව් පිරෙන කෙලෙස් උල්පතක් සහිත වීමට කැමති නම් පමණක් මේ කෙලෙස් බුක් ගිණුම සක්‍රීය ව පවත්වන්න.

මේ තුළ ක්‍රියාකාරී ව සිටින සාමාජිකයන්ට උරුම වන ඉරණම භාග්‍යවතුන් වහන්සේ නටගාමණී නැමැත්තාට වදාළ ඉරණමට වඩා බොහෝ බරපතළ වනු ඇත. නටගාමණී නළුවෙකි. ඔහු අන් අයගේ සිත් තුළ සතුට ඉපදවීමට රංගනයේ යෙදුන අයෙකි. ඒ පිනෙන් පහාස නම් දෙව් ලොව යන්නට සිතා සිටි අයෙකි.

එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ගාමණි, යම් කෙනෙක් මිනිසුන් තුළ පවතින රාගය තව තවත් ඇවිස්සෙන ලෙස රංගනයේ යෙදෙනවා නම්, පවතින ද්වේෂය තව තවත් ඇවිස්සෙන ලෙස රංගනයේ යෙදෙනවා නම්, පවතින මෝහය තව තවත් ඇවිස්සෙන ලෙස රංගනයේ යෙදෙනවා නම්, ඔහු මරණින් මතු උපත ලබන්නේ පහාස නිරයේ ය.” කියා ය.

පින්වත් දරුවනේ, මේ භයානක ඉරණමට ඔබත් ගොදුරු වන්නට එපා. මේ ජීවිතයේ ඔබේ දියුණුව වෙනුවෙන් මෙන් ම තම රට දැය සම්බුදු සසුන වෙනුවෙන් යෙදවීමට තිබෙන වටිනා කාලය මේ සකර්බර්ග් ගේ කෙලෙස් උල්පතට බිලිදෙන්නට එපා. සකර්බර්ග් චින්තනය ඔබේ පිය උරුමය නො වේ.

ඔබේ දෙමව්පියන් සමඟ කතා කරන්න. නෑදෑයන්, වැඩිහිටියන් ඇසුරු කරන්න. ඔබේ දෙසවනට ගසා ඇති කෙලෙස් ඇබ ගලවන්න. වීදුරුවට කොටන ජීවිතයෙන් අතමිදෙන්න. තමන් උපන් රට දැය වෙනුවෙන් යමක් කරන්න. සැබෑ පිය උරුමය වෙත පැමිණ මෙලොවත් දිනන්න, පරලොවත් සතුටු වෙන්න. මේ මහා භයානක සසර කතරින් එතෙරට පිය නගන්න.

තෙරුවන් සරණයි!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ