highlights of the week
Home » බෞද්ධ සාහිත්‍ය වර්ණනා » වීතරාගි උතුමන් සේවනය කළ රමණීය වන අරණ
රමණීය වන අරණ

වීතරාගි උතුමන් සේවනය කළ රමණීය වන අරණ

“රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ”

මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල් කොට ගත හැකි බව, ලෝකයට පෙන්වා දුන් අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය. සොඳුරු සාල වනෝද්‍යානයක උපත ලබා ප්‍රසාද සුව එළවන රමණීය භූමි භාගයක දී සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වය සාක්ෂාත් කොටගෙන ඉසිපතන වන අරණෙහි දී චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම් මඟ ලොවට විවර කොට සල් උයනක දී ම පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ජීවන චර්යාව ම පරිසරය සමඟ නිබඳ කළ අධ්‍යාත්ම සංධ්වනියක් වැන්න. පන්සාලිස් වසරක් පුරා දඹදිව මධ්‍ය මණ්ඩලය හා අවට දේශයන්හි ද සැරිසරා, තමන් වහන්සේ ඇලුම් කළ ස්ථාන පිළිබඳ ප්‍රසාද සංවේගය ආනන්ද ස්වාමීන් වහන්සේට පළ කළ අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙයි.
“රමණීයං ආනන්ද වේසාලිං, රමණීයං උදේන චේතියං, රමණීයං ගෝතමක චේතියං, රමණීයං සත්තම්බ චේතියං, රමණීයං බහුපුත්තක චේතියං, රමණීයං චාපාල චේතියං…..”

මානව වර්ගයාගේ විමුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා පරිසරය උපයෝගී කර ගත හැකි ආකාරය දේශනා කොට වදාළ ලොව පහළ වූ එක ම ශාස්තෘවරයාණෝ භාග්‍යවතුන් වහන්සේ ය. සෞන්දර්යය ආස්වාදනය කොට ජීවිතය ගැඹුරින් අත්විඳිමින් සංවේගය, ප්‍රසාදය, උපේක්ෂාව වැනි භාවමය හැඟීම් මගින් ආධ්‍යාත්මය විකසිත කර ගත යුතු ආකාරය බුද්ධ දේශනාවෙන් පැහැදිලි කර දෙන ලදී.

“තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං”

ලොව විසිතුරු වස්තු නිර්මල ලෙස ඒ ආකාරයෙන් පවතින්නේ ය. ධීරයන් වහන්සේලා ඒ කෙරෙහි උපන් ඡන්දරාගය විනයනය කොට සෞන්දර්යය ජනනය කර ගත්හ.

බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් රමණීය වන උයන්, තමන් වහන්සේගේ උත්තර ජීවන මඟට සම්බන්ධ කර ගනිමින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ විමුක්ති රස විඳිමින් සුළඟ මුමුනන ලඳු ලැහැබ් තුළ, ළපළු පත් සැලෙන විසල් වනස්පතීන් යට, දිය දහර ගලා හැළෙන නදී ඇළ දොළ අසබඩ වැඩ විසූ මහරහතන් වහන්සේලා, ස්වකීය පිවිතුරු ජීවිතය ම වීතරාගී සංගීතයක් බවට පත් කොට ගත් මහා රසික පිරිසක් වූහ. මේ බව සනාථ කරන, ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම උදාන ගීතාවලිය වනුයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධර්ම ග්‍රන්ථ පසළොසෙන් දෙකක් වන ථේර ගාථා හා ථේරී ගාථා ය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ දී උතුම් අර්හත් ඵලය සාක්ෂාත් කොට ගත් රහතන් වහන්සේලා දෙසිය හැට හතරනමකගේ එකී ගීතාවලිය උතුම් රහත් ඵලයේ මෙන් ම පරිසරයේ ද සුවඳ ආස්වාදනය කෙරෙන භාව ගීතයන් ය. මේ ථේර ගාථා කාව්‍යාවලිය බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත ලෝක සාහිත්‍යයේ ම අග්‍රගණ්‍ය නිර්මාණ ලෙස චිරසම්භාවනයට පාත්‍ර වී තිබේ.

පරිසරයේ අසිරිය හා සංකලනය වූ හැම ථේර ගාථාවක් තුළ ම දැකිය හැක්කේ, තම තමන් පසක් කළ මග ඵල අනුසරින් වීතරාගීන් වහන්සේලා හද තුළ උපන් නිරාමිස ප්‍රීතිය ම ය. විමුක්තිය අරමුණු කොට ගත් උන්වහන්සේලාගේ සිත්, වන ගැබ තුළ නින්නාද වූ හැම රාව භාවයකට ම විවෘත වී පැවතුනි. විරාගික සෞන්දර්යය ආස්වාදනයෙන් චිත්ත සන්තානය පිවිතුරු විය.

සිහිල් සුළං රැල් හා එතුණු මල් සුවඳ වගුරුවන සීත වනය සරාගී පුද්ගලයකු තුළ ඇති කරවන්නේ කාම සංකල්පනාවන් ය. එසේ වුව ද ආර්ය ධර්මයෙහි දක්ෂ වූ, ආර්ය ධර්මයට අනුව හික්මෙන්නා වූ, නිවන් මඟට පිළිපන් ශ්‍රාවකයාගේ මනස, එම පරිසරය විසින් ම ප්‍රභාෂ්වර ආරම්මණයකට පිවිසවනු ලබයි. ගත සිත පුබුදුවන සීත වනයක බවුන් වඩන ඒකවිහාරී තෙරුන් වහන්සේගේ උදාන ගීතය, ඊට කදිම නිදසුනක් වෙයි.

“සුපුප්ඵීතේ සීතවනේ – සීතලේ ගිරිකන්දරේ
ගත්තානි පරිසිඤ්චිත්වා – චංකමිස්සාමි ඒකතෝ”

මල් පිපී ගිය සීත වනයෙහි අත් පා සෝදා පිරිසුදු ව එකලා ව සැරිසරන්නෙමි.

මාලුතේ උපවායන්තේ – සීතේ සුරභිගන්ධිකේ
අවිජ්ජං දාළයිස්සාමි – නිසින්නෝ නගමුද්ධනි
සුවඳ ඇදගෙන හමන සීත මඳනල පහස විඳ ගිරි මුදුනත රැඳී හිඳ අවිදු ගනඳුර නසන්නෙමි.”

මේ කාව්‍යමය බස, එය සරසන උපමා රූපක හා යෙදුම්, නැවුම් පරිසරයේ ප්‍රකෘති සෞන්දර්යය විසින් නිකෙලෙස් වීතරාගී මනසට පිවිසවන ලද සුවඳ කරඬු වැන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මඟට පිවිස තමන් පසක් කොටගත් උතුම් මාර්ග ඵලාවබෝධය නිසා ලද උද්දාමය සෑම ථේර ගාථාවක ම අන්තර්ගත වී තිබේ.

වනගත අසපුවක හුදෙකලා ව ම චිත්ත විවේකයෙන් යුතුව වැඩ සිටි චූලක තෙරුන් වහන්සේ අවට නිසල වන පියසෙහි සොඳුරු බව විඳින සඳ නෙත ගැටුනේ පිල් විදහා ගත් මොනර සමූහයකි. සුධා ධවල වලා පෙළ නිල් අහස් කුස පැතිර යාත්‍රා කරයි. මේ මන පිනන දසුන විසින් ජනිත කරන ලද චමත්කාරය, චූලක තෙරුන් වහන්සේගේ මුවින් පිට වූයේ භාව ගීතයක් පරිද්දෙනි.

“නදන්ති මෝරා සුසිඛා සුපේඛුණා
සුනීලගීවා සුමුඛා සුගජ්ජිනෝ
සුසද්දලා චාපි මහාමහී අයං
සුබ්‍යාපිතම්බු සුවලාහකං නභං”

එම ගීයේ කාව්‍ය ස්වරූප රැගත් සිංහල භාවය මෙසේ ය.

“මහා සිළු හිසින් දුල – විසිතුරු පිල් කළඹ යුත්
සොඳුරු නිල් ගෙල ඇති – මනහර මොනරු නද දෙති
මිහිතලය මත හෙවුණු – මහා නිල් තණ පියෙසි
නිල් අහස වසා නැගි – සුදු වලා පෙළ සුමට”

මහා වන ගැබ මැදින් ගලා බස්නා අජකරණී නදිය අසබඩ බවුන් වඩන සප්පක තෙරුන් වහන්සේගේ නිකෙලෙස් සිත තුළ, ගංතෙර අසිරිය නෙත ගැටීමෙන් ඇති කරන ලද චමත්කාරය ගීයකට නැගුණේ වදන් පෙරහැරක් පරිද්දෙනි.

“යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා
කාළස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලේහිති ආලයමාලයේසිනී
තදා නදී අජකරණී රමේති මං”

අහසේ නැගෙන මහ කළු වලාකුළක් දකින කෙකිනිය තැති ගත්තා ය. ඒ වූ කලී නුදුරේ ම මහා වැහි වලාවක් ඇදහැළෙන බව හැඟී ගිය හෙයිනි. සැඟවෙන තැනක් සොයමින් පලා යන කෙකිනිය දක්නා සප්පක තෙරුන් වහන්සේ හඟින්නේ සොබා දම් පෙරළියේ යථා ස්වරූපය මැ යි. සසර දුකට තැති ගන්නා සාංසාරික සත්වයෝ පරිසරයේ හා ජීවිතයේ යථාර්ථය නො දකිති, නො හඳුනති. පරිසරයේ වෙනස නොතකන අජකරණී නදිය නිසලව ගලා බසින්නාක් මෙන් සප්පක තෙරණුවෝ ද ජීවිතාවබෝධය පසක් කොට ගෙන පුමුදිත භාවයට පත්වෙති.

ස්වභාව ධර්මයේ විචිත්‍රත්වය නගන රුචිරාණනයට නො ඇලෙමින් නිවන් අරමුණු කොටගත් සිත සසල නොවන පරිදි ඉන් ආස්වාදයක් විඳීම බුද්ධකාලීන යුගයේ වනාශ්‍රිත පරිසරය ඇසුරු කළ රහතන් වහන්සේලාගේ දින චරියාව වූ බව ගෝසිංග සාලවන සූත්‍රය ආදි ධර්ම දේශනා හදාරන විට පෙනී යයි. මහ වැසි ඇද හැළුණ දිනයක සිය කුටිය තුළ එකලාව බවුන් වඩන උත්තිය තෙරුන් වහන්සේගේ මුවින් නැගුණ ගීය සිහිපත් කරවන්නේ ධනිය ගෝපාලගේ මේඝ ගීතය යි. වැසි වැටුම, පුහුදුන් සිතකට ගේහසිත ප්‍රීතිය වඩන්නක් වුව ද, ආර්ය ශ්‍රාවක සිතකට නිවන් අරමුණ සඳහා ම හේතු වූවක් වෙයි.

වස්සති දේවෝ යථා සුගීතං – ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි අදුතියෝ – අථ චේ පත්ථයසි පවස්ස දේවා

සොඳුරු ගැයුමක් සේ ය වැසි වැටුම – සුව පහස දෙන සුලු ය මා කුටිය
නො දැනේ ය බිය සැකක් එහි විසුම – ඉතින් මේඝය වසිනු මැන රිසි ලෙසින

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව පරිසරය නැවුම් බවින් යුතුව, පිවිතුරු ව, සොඳුරු ව පැවැති අයුරු මෙම ථේර ගාථාවලින් පමණක් නොව සම්බුද්ධ දේශනාවන්ගෙන් ද ප්‍රකට වෙයි. නිබඳ වැසි ඇද හැළෙන රමණීය වන ගුල්ම නැවුම් සිතිවිලි ප්‍රබෝධනයට උල්පත් වැන්න. එබඳු පරිසරයක් ඇසුරු කරමින් මග ඵල පසක් කළ රහතන් වහන්සේලාගේ මුවින් නැගුණු උදාන ගීත උන්වහන්සේලාගේ පිවිතුරු ආධ්‍යාත්මය අනාවරණය කරන කැඩපත් වැන්න.
සම්බුල කච්චාන තෙරුන් වහන්සේ වැඩ සිටියේ ද බිය, තැති ගැන්ම දනවනසුලු ගල්ගුහාවක ය. නිසල මහ වන මැද දිවා කාලයේ පවා පවත්නේ අඳුරු ස්වභාවයකි. ධාරානිපාත මහ වැසි ඇද හැළුණ දිනයක ගල් ලෙනෙහි වැඩ හුන් උන්වහන්සේගේ සිත කිසි ලෙසකිනුදු සසල නො වූ බව පහත දැක්වෙන ගීයෙන් හෙළිවෙයි.

“දේවෝ ච වස්සති දේවෝ ච ගලගළායති
ඒකකෝ චාහං භේරවේ ඛිලේ විහරාමි
තස්ස මය්හං ඒකකස්ස භේරවේ ඛිලේ විහරතෝ
නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා’

“වසියි මහ වැසි අනෝරාවෙන්
ගලයි ගල ගල හඬින් වැසි දිය
වසමි බිහිසුණු මහ ගුහාවෙක
කාත් කවුරුත් නොමැති වන මැද
තනිව විසුව ද සිතට නො දැනේ
බියක් හෝ කිසි තැතිගැනීමක්”

හඬ නඟමින් වැසි දිය ගලා යන අයුරු ගීතය ආරම්භයේ දී ම කියැවෙයි. එහෙත් නිවුණ සිතින් යුතු ව බවුන් වඩන සම්බුල කච්චාන තෙරුන් වහන්සේට බියක්, තැති ගැනීමක් හෝ ලොමුඩැහැගැනීමක් නොමැත. සොබා දහමේ කවර විපර්යාසයක් වුව ද නොකැළඹෙන සිත් ඇති රහත් උතුමන්ට නො දැනෙයි.

උතුම් රහත් භාවය සාක්ෂාත් කළ තෙරුන් වහන්සේලාගේ සන්තානයේ පමණක් නොව සම්බුදු සසුනට ඇතුළු වී පිළිවෙත් දම් පුරන නවක සාමණේර තෙරුන් සිත තුළ පවා ඇල්ම රඳා පවතින්නේ වන වාසයට ය. එක් දහම් පදයක් ඇසූ පමණින් මග ඵල පසක් කොටගත් යුගයක සසුනට ඇතුළු වූ සාමණේර ස්වාමීන් වහන්සේලා පවා නිවන් අරමුණේ ම සිත පිහිටුවාගෙන බවුන් වැඩූ අයුරු අසිරිමත් ය.

වනවච්ඡ නම් වූ තම ආචාර්යයන් වහන්සේ සමග ගම්දොර වසන සීවක සාමණේරයන් වහන්සේ තුළ වනවාසයක රැඳී සිටීම අරබයා හටගත් ඇල්ම ප්‍රකාශ කොට සිටියේ මෙපරිද්දෙනි.

“උපජ්ඣායෝ මං අවච – ඉතෝ ගච්ඡාම සීවක
ගාමේ මේ වසති කායෝ – අරඤ්ඤං මේ ගතෝ මනෝ සේමානකෝ පි ගච්ඡාමි – නත්ථි සංගෝ විජානතං”

“පවසති ඇදුරුතුම – යමු ය මෙතැනින් වෙනතක
ගම් දොර වෙසෙත මා කය – සිත දිව යයි අරණ වෙත
කම් සැප බැහැරලූ මට – නැත වෙන ඇලුම් කිසි තැන”

නිෂ්කාමී සිතක පහළ වන නිරාමිස ප්‍රමෝදය අත්විඳිය හැකි තැනක්, ස්වාභාවික පරිසරයේ තරම් වෙන කොතැකවක් නොමැති බව සනාථ කිරීමට ථේරගාථා උදාන කාව්‍යාවලිය හැර වෙනත් ධර්ම කාව්‍යයක් ලොව නැත. ප්‍රඥාව දිදුළු දුන් ප්‍රභාෂ්වර සිතක මහිමය කෙබඳු ද යන්න අද යුගයේ ජීවත් වන්නන් හට සිතා ගැනීමටත් නො හැකි ය.

උතුම් අර්හත් භාවය පසක් කොටගත් වනවච්ඡ තෙරුන් වහන්සේ මහ වනය තුළ ගලා බස්නා දිය දහර දකින්නේ නිල් වලාවන් සේ ය. ගල් පර්වත මත ලැග සිටින රතිඳුගොව්වන් ද උන්වහන්සේට පෙනෙයි. එවනගැබ වූ කලී නිර්මල සුවිශුද්ධ භූමියකැයි එතුමෝ හඟිති. අහසත් පොළොවත් එක්ව නගන සෞන්දර්ය රිද්ම රටාවන් නිකෙලෙස් සිතක් එළිය කරන අයුරු අපූරු ය.

නීලබ්භවණ්ණා රුචිරා – සීතවාරි සුචින්දරා
ඉන්දගෝපකසඤ්ඡන්තා – තේ සේලා රමයන්ති මං

පද ලාවන්‍යයෙන් පවා ලොව්තුරා මිහිරක් ජනනය කරන මේ අපූරු ගීතය එහි රස භාව නො නසා වත්මන් බසට නැගිය හැක්කේ කෙසේ ද? පාලි පද සංකලනයෙන් නැගෙන ධ්වනිය කවර බසකින් වුව ද ප්‍රකෘති ස්වභාවයෙන් යුතුව සූචනය කිරීම අසීරු යයි සිතමි. එය වඩාත් ළං වන්නේ පාලි තත්සම රීතියට නෑකම් කියන හෙළ බසට පමණි.

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කිරීමට පෙරාතුව එහි පරිසරය අභිනන්දනීය ගී වැලකින් වර්ණනා කළ කාළුදායි රහතන් වහන්සේ පසු කලෙක හුදෙකලා ව වනයේ වැඩ වසමින් පරිසරයේ සුන්දරත්වය වින්දනය කළේ මෙසේ ය.

“මලින් පිරී ගිය ගිරි කඳුරු ඇති සීත වනයේ අත්පා සෝදා එකලාව වෙසෙන්නෙමි. සිහිල් පවන් රැල් විඳිමින් ගිරි මුදුන මත හිඳ අවිද්‍යාව සුණු විසුණු කරන්නෙමි. මල් සුවඳ ඇදගෙන හමන මඳනල පහස විඳිමින් ගිරි ශිඛර අතරෙහි විමුක්ති සුවයෙන් ප්‍රීති වන්නෙමි.”

ලොව පවත්නා අළාමක වූත්, පිවිතුරු වූත් ප්‍රකෘති සෞන්දර්යයේ ආස්වාදය විරාගී දර්ශනයෙන් පුබුදුවා ගත්තා වූ ලොව එක ම පිරිස වූයේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ය. පුහුදුන් ජනයා වන අරණට ඇලුම් කරන්නේ කාමය පුබුදුවා ගැනීම සඳහා ය. කාමය නොසෙවුනා වීතරාගීන් වහන්සේලාට මිනිස් වාසයෙන් තොර වන අරණ රමණීය වෙයි. උන්වහන්සේලා සොබා සෞන්දර්යයට නොඇලී එහි රසය ආස්වාදනය කළේ හුදෙකලා ව වාසය කරමිනි. සහෘද පිරිවර නොමැතිව සෞන්දර්යයේ චමත්කාරය අත්විඳින්නේ කෙසේ ද යන්න නූතන යුගයේ වෙසෙන කාමභෝගී ජනතාවට ගැටලුවක් වුව ද රහතන් වහන්සේලා හුදෙකලා ව වෙසෙමින් කාමයෙන් විනිර්මුක්ත සෞන්දර්යාස්වාදය නොමඳව සිය විමුක්ති සුවය උදෙසා යොදා ගත් අයුරු මේ ලිපියෙහිලා දැක්වූ නිදසුන් කිහිපයෙන් වුව ද වටහාගත හැකි ය.

සටහන –
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති මහතා

Leave a Reply

Your email address will not be published.

x

Check Also

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ

"බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය."