“පුතේ, හෙට උපෝසථ දවස නේ ද? මහ පෝය නොවැ. මේ ගෞතම බුදු සසුන බබුළුවාලූ මහා වීරියවන්ත රහතන් වහන්සේලාගේ සීලයට උපහාර දක්වන්ට අපිත් යන්ට ඕනෑ. අපිත් ගොහින් අෂ්ටාංගික උපෝසථේ සමාදන් වෙන්ට ඕනෑ. මයෙ පුතාලා උතුරු සළු එහෙම සූදානම් කොරගත්තා නේ ද?”

“ඔව්… ආච්චි…. ඒ වගේ ම මට ආච්චිගෙන් කරුණක් දැනගන්ට ආසයි.”

“අහන්ට පුතේ… හොඳ දේ අසාකියා දැන ගන්නවා හොඳ දරුවෝ.”

“ආච්චි… මං අහන්ට හිටියේ ඒ කාලේ වැඩහුන් රහතන් වහන්සේලාට මහා වීරියක් තිබුණා කියන්නේ මොකක්ද ආච්චි?”

“හප්පේ මයෙ පුතේ… අපේ සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර වූ ඒ මහෝත්තමයන්ගේ වීරිය මහා පුදුමයි නොවැ…. ඕං… මට අපූරු කතාවක් මතක් වුණා.”

“අනේ ආච්චියේ… ඒ කතාව කියන්ට…. අපිත් අහන්ට ආසයි!”

“ඒක අපේ රටේ වෙච්චි දෙයක් පුතේ… ඔන්න ඒ කාලේ මාගම්පුරේ වල්ලිය කියන වීදියේ පොඩි පැලක පවුලක් වාසය කළා. එයාලා ගොඩාක් දුප්පත්. ඒ තාත්තා දර විකුණලා පවුල නඩත්තු කොළේ. ඒ නිසා එයැයිට කිව්වේ දාරුභණ්ඩික තිස්ස කියාලා.

දවසක් ඒ ගෙදර හාමිනේ මෙහෙම කිව්වා. “අනේ අපේ දුප්පත් ජීවිතේ තේරුම මොකක්ද! ශාස්තෘන් වහන්සේ වදාළේ දුප්පත් වෙලා ඉඳගෙනත් සැදැහෙන් දෙන දානය මහා බලසම්පන්නයි කියලා. අපිත් අනේ සංඝයාට දානයක් පූජා කොරගනිමු.”

එතකොට පුතේ දාරුභණ්ඩික තිස්ස ඒ අදහසට කැමැති වුණා. ඉතින් දවසක් කොළ වෑංජනේකුයි බතුයි ඇන්න ගොහින් පොඩිනමලාට පිණ්ඩපාතේ බෙදුවා. එක පොඩිනමක් තමන්ට ලැබුණු ඒ දානෙ පැත්තකට හැලුවා. ඉතින් පුතේ මේක අර උපාසිකාව දැක්කා. දැකලා කඳුළු වගුරුවාගෙන ගිහින් උපාසකට කිව්වා. එතකොට උපාසක මෙහෙම කිව්වා. “හාමිනේ… අපි බොහොම දුප්පත් නොවැ. ආර්යයන් වහන්සේලාට සුවසේ වළඳින්ට මොකවත් පූජා කොරගන්ට අපට බැරි වේවි.”

“නෑ අනේ… දරුවන් ඉන්න පවුල් කොහොමෙයි දුප්පත් වෙන්නේ? අපේ මේ දුව ගෙදරක වැඩට නවත්තමු. කහවණු දොළහක් ගන්ට ඇහැකි. ඒකෙන් අපි කිරි එළදෙනක් ගම්මු. එතකොට ආර්යයන් වහන්සේලාට මිහිරි කිරිවලින් බත් හදලා දෙන්නට පුළුවනි.”

ඒ කාලේ මිනිසුන්ට තුනුරුවන් ගැන තිබූ පැහැදීම හරි පුදුමයි පුතේ. ඉතින් එයාලා තමන්නේ දරුවා ගෙදරක වැඩට තියාලා කහවණු දොළහක් අරගෙන එයින් කිරි වැස්සියක් ගත්තා. මේ වැස්සි උදේට කළ තුනකට කිරි දෙනවා. සවසටත් කළ තුනකට කිරි දෙනවා. සවසට ගත්තු කිරි මුදවනවා. කලින් දවසේ මිදුනු කිරිවලින් ගිතෙල් හදනවා. ගිතෙල් මුසු බත් පිසලා සංඝයාට දන් දෙන්ට පටන් ගත්තා. ඔවුන්ගේ පිනට ම යි පුතේ ඒ දන් වළඳන්ට මහා පින්වත් සඟරුවන ම යි වැඩියේ.

ටික දවසක් ගියා. දාරුභණ්ඩිකතිස්ස උපාසක උපාසිකාවට මෙහෙම කිව්වා. “හාමිනේ… අපේ මේ කල්‍යාණ දන්වැට ඔයා දිගට ම පවත්වන්ට. මං ගිහින් කුලීවැඩක් කොරලා කෙලීව බේරාගන්ට සල්ලි හොයාන එන්නම්” කියලා පිටත් වුණා. උක් අඹරන තැනක සය මාසයක් වැඩ කොරලා කහවණු දොළහක් උපයාගත්තා. ආපසු ගෙදර බලා පිටත් වුණා.

ඔය අතරේ පුතේ අම්බරිය විහාරයේ වැඩ සිටිය පිණ්ඩපාතිකතිස්ස යන තෙරුන්නාන්සේ තිස්සමහාවිහාර චෛත්‍ය වඳින්ට ඕනෑ කියලා මාගමට යන්ට පිටත් වුණා. උපාසකත් ගෙදර යන ගමන්. අර තෙරුන්නාන්සේව දැකලා ‘අපගේ ආර්යයන් වහන්සේගෙන් ධර්ම කතා අසමින් යන්ට ඕනෑ’ කියලා තෙරුන් ළඟට ගොහින් වන්දනා කරලා දැන් දෙන්නම ගමනේ පිටත් වුණා. දවල් වේගෙන එද්දී උපාසක මෙහෙම හිතුවා. ‘අනේ මගේ අතේ බත් මුලක්වත් නෑ නොවැ. දැන් දානෙ වෙලාවත් ළඟයි. ළඟපාත ගෙයක් දොරක් නෑ. මයෙ ළඟ සල්ලි තියෙනවා. ගම්දොරට ආවොත් මං දානෙ ටිකක් පූජා කරගන්නවා’ කියලා හිතනකොට ම බත්මුලක් අතට ගත් මගියෙක් එතැනට ආවා. අතේ තිබුණ බත්මුල දැකලා උපාසක ඒ මිනිහා ගාවට ගියා. “මේ යාළුවා… මට ඔය බත්මුල ගන්ට පුළුවන් ද? මං කහවණුවක් දෙන්නම්.”

එතකොට ඒ මිනිහා මෙහෙම හිතුවා. ‘ම්… මේ බත්මුල එක මස්සක්වත් වටින්නෑ. මෙයා මේකට කහවණුවක් ම දෙන්ට ලේසිතියි. මං එහෙනම් මේකේ ගාණ උස්සන්ට ඕනෑ’ කියලා ගාණ ඉස්සුවා. අන්තිමේ බත් මුලේ ගාණ කහවණු දොළහක් වුණා. එතකොට ඒ මිනිහා තවත් ගාණ වැඩි කොරන්ට හැදුවා. උපාසක කිව්වා “අනේ මිත්‍රයා… මගේ අතේ වෙන සල්ලි නෑ. කහවණු දොළහ ම යි තියෙන්නේ. ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.”

“හා…. ඒකට මක් වෙනවා ද. එහෙනම් කෝ මට කහවණු දොළහ දෙන්ට. මං බත්මුල දෙනවා.”

හරි පුදුමයි මයෙ පුතේ… එතකොට ඒ උපාසක තමන්ගේ දුව බේරාගන්ට තිබුණු සියලු ධනය අර මිනිහාට බත් මුලක හිලව්වට දුන්නා නොවැ.

ඉතින් පුතේ උපාසක බත් මුල අරගෙන හිනාවෙවී තෙරුන්නාන්සේ ළඟට ගියා. “ස්වාමීනී… පාත්තරේ එළියට ගන්ට. දානෙ තියෙනවා” කිව්වා. බත් මුලෙන් භාගයක් පාත්තරයට දමද්දී තෙරුන්නාන්සේ අත වැහැව්වා. “නෑ ස්වාමීනී… මේක දෙන්නෙකුට සෑහෙන්නේ නෑ. මට යහපත පිණිස මා කෙරෙහි අනුකම්පාවෙන් මං වෙහෙස මහන්සියෙන් ගත්තු මේ මුළු බත් මුල ම වළඳින්ට ස්වාමීනී” කිව්වා. එතකොට තෙරුන්නාන්සේ ‘මේ උපාසකගේ කතාවේ මොකාක් හරි තේරුමක් ඇති කියලා බත් මුල පිළිගත්තා. උපාසක ඉක්මනින් ගිහින් වළඳින්ට පැන් අරගෙන ඇවිත් දුන්නා.

ඉතින් පුතේ දානෙන් පස්සේ තෙරුන්නාන්සෙයි උපාසකයි දෙන්නම ගමනට පිටත් වුණා. තෙරුන්නාන්සේ ප්‍රශ්න කළා. “උපාසක… ඇත්ත කියන්ට… මට විතරක් දානෙ දීලා ඔබ අනුභව නොකළේ ඇයි?”

“අනේ ස්වාමීනී, අපි දන් දෙන්ට ආසා නිසා ම අපේ මායියා එක්ක කතාවෙලා අපේ කෙලීව ගෙදරකට වැඩට දුන්නා. ඒකෙන් කහවණු දොළහක් ලැබුණා. ඒ සල්ලිවලින් වැස්සියක් ගත්තා. අනේ අපේ වාසනාව ස්වාමීනී…. වැස්සි උදේ හවා කිරි කළ තුන ගානේ දෙනවා. ඉතින් අපි ගිතෙල් මුසු බත් පූජා කරනවා. ඊට පස්සෙ ස්වාමීනී, මං අපේ කෙලීව බේරාගන්ට උක් කර්මාන්ත ශාලාවක හය මාසයක් වැඩ කොළා. කහවණු දොළහක් එකතු කොරගත්තා. කෙලීව බේරාගන්ට යද්දි තමයි තමුන්නාන්සේව මුණගැහුනේ. මට හරි සතුටුයි ස්වාමීනී. කහවණු දොළහ ම දීලයි මං අද බත් මුල අරගෙන පූජා කොරගත්තේ. කෙලීව බේරාගන්ට මං ආයෙ පස්සෙ වැඩට එනවා.”

මේ සැදැහැවත් උපාසකගේ කතාව අසාගෙන තෙරුන්නාන්සේ නිශ්ශබ්ද වුණා. මෙහෙම හිතුවා. “හප්පේ… මේ උපාසක බුද්ධ ශාසනේ ගැන මොනතරම් පැහැදීමකින් ද ඉන්නේ. පුදුමාකාර දෙයක් නොවැ මේ කළේ! මහා දුස්කර දෙයක් නොවැ! මං මේ පිණ්ඩපාතයට කෙළෙහි ගුණ දක්වන්ට ඕනෑ. මට පාඩුවේ ඉන්ට තැනක් ලැබුණොත් සම් මස් ලේ වේළිලා ගියාට කමක් නෑ. නිකෙලෙස් වෙන්ට ම වීරිය කරනවා” කියලා හිතුවා.

ඉතින් පුතේ, තෙරුන්නාන්සේ තිස්සමහාවිහාරයට ගොහින් චෛත්‍ය රාජයා වන්දනා කොළා. ආගන්තුක වත් කළා. තමන්ට ලැබුණු කුටියට ගිහින් ඇතිරිය අතුරා භාවනාවට වාඩි වුණා. පසුදා එළිවෙන තුරු වීරිය කළා. චිත්ත සමාධියවත් ඇති වුණේ නෑ. වීරිය අත්හැරියේ නෑ. පිණ්ඩපාතේ අත්හැරියා. දවස් හතක් ම එකදිගට වීරිය කළා. සත්වෙනි දවසට එළිවෙන්නට තියෙද්දි උතුම් රහත් ඵලයට පත් වුණා. තමන්ට තව කොපමණ කලක් ජීවත් වෙන්ට තියෙනවා ද කියලා නුවණින් බැලුවා. ආයුෂ අවසන් වේගෙන යන බව අවබෝධ වුණා.

කුටිය පිරිසිදු කොට විහාර මළුවට ගිහින් ගෙඩිය ගහලා සංඝයා රැස් කළා. “ස්වාමීනී, වෙනත් දේකට නොවෙයි ගෙඩිය ගැහැව්වේ. මාර්ගය ගැන හරි ඵලය ගැන හරි සැකයක් ඇත්නම් අසන සේක්වා!”

“සත්පුරුෂ ආයුෂ්මතුනි… අපි ඔබ ගැන දන්නවා නොවැ. ඔබ වැනි අය නැති ගුණ කියන අය නොවේ. ඔබේ රහත්ඵලය ගැන අපට සැකයක් නෑ. අපි අහන්නේ මේකයි…. මේ තරම් වීරිය ගන්ට ඔබට ඇති වූ සංවේගය මොකක්ද?”

එතකොට පුතේ අපේ තෙරුන්නාන්සේ ඔක්කෝම විස්තරේ සංඝයාට කිව්වා…. “ඉතින් ස්වාමීනී… ඕන්න ඔය විදිහට වළඳපු දානය හරි විදිහට දිරවන්ටයි මං මේ වීරිය කළේ” කියලා කිව්වා. භික්ෂූන් වහන්සේලා සාධු නාද පැවැත්තුවා.

“ස්වාමීනී, මං අධිෂ්ඨානයක් ගත්තා. දාරුභණ්ඩිකතිස්ස උපාසක මගේ සිරුර තැන්පත් දෙනට අත තියන කල් සෙලවෙන්ට එපා කියලත් අදිටන් කළා” කියලා කිව්වා.

රහතන් වහන්සේනමක් පිරිනිවන් පෑවා කියලා හැමතැනම ආරංචි වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඇවිත් තෙරුන්ගේ සිරුර වැඳපුදා ගත්තා. ආදාහනය පිණිස දෙණ ගෙනියන්ට ඔසවන්ට සූදානම් වුණා. කිසිම කෙනෙකුට සොලවන්ටවත් බෑ. එතකොට රජ්ජුරුවෝ සංඝයාගෙන් කරුණු විමසුවා. භික්ෂූන් වහන්සේලා සිදුවුණු දේ රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවෝ උපාසකව කැඳෙව්වා.

“හැබෑද පින්වත… තොප මීට සත් දිනකට කලින් කිසියම් මාර්ගය ගමන් කරද්දී භික්ෂූන් වහන්සේනමකට බත් මුලක් පූජා කළා ද?”

“එහෙමයි දේවයන් වහන්ස,”

“ඔබ ඒ බත් මුල ලබාගත්තේ කොහොමද?” එතකොට උපාසක සියලු විස්තර කිව්වා. “එහෙනම් ගිහින් බලන්ට. ඔබ ඒ බත් මුල පූජා කළේ අර දෙණේ සැතපී සිටින තෙරුන්ට ද, වෙන කෙනෙකුට ද?”

එතකොට උපාසක එතැනට ගිහින් තෙරුන්ගේ දේහය දැක හඳුනාගත්තා. දෑතින් පපුවට ගසාගෙන හඬා වැළපෙමින් රජ්ජුරුවන් ළඟට දිව්වා. “අනේ දේවයන් වහන්ස, ඒ මගේ ආර්යයන් වහන්සේ තමයි. අනේ මං බොහෝම ආදරෙන් උපස්ථාන කොළේ” කියලා වැළපෙන්ට පටන් ගත්තා.

“හරි… පින්වත… දැන් ඉතින් කරන්ට දෙයක් නෑ. උන්නාන්සේ පිරිනිවන් පෑවා. දැන් මේ ඇඳුම් ඇඳගෙන එන්ට. ඇවිත් අපගේ ආර්යයන් වහන්සේට වන්දනා කොට දෙණ ඔසවන්ට” කියලා උපාසකට වටිනා වස්ත්‍ර යුගලක් දුන්නා. උපාසක තමන්ගේ කිලිටි වස්ත්‍ර ඉවත් කරලා ඒ වස්ත්‍ර ඇඳගෙන ඇවිත් තෙරුන්නාන්සේට වන්දනා කොරලා උන්වහන්සේගේ පාකමල් තමන්ගේ හිස මත තැබුවා. එතකොට ම ටිකෙන් ටික දෙණ අහසට එසැවුණා. අහසින් ම චිතකයට වැඩියා. සතර කොණින් ඉබේට ම ගිනි ඇවිළුනා. හැමෝම මහා හඬින් සාදුකාර දුන්නා.

ඉතින් පුතේ… මෙවැනි වීර්යවන්ත උත්තමයන් වහන්සේලා අපගේ මහාවීර වූ ශාස්තෘන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනේ හැර වෙන කොයින් සොයන්ට ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ