කකුසඳ බුදුරජුන් හට ඕජදීපය ලෙසින්
කෝණාගමන බුදුරජුන් හට වරදීපය ලෙසින්
කාශ්‍යප බුදුරජුන් හට මණ්ඩදීපය ලෙසින්
ගෞතම බුදුරජුන් හට සිහලදීපය ලෙසින්
බුදුවරුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සුරැකි
ලක්මවගේ ගුණ නැණ බෙලෙන් පිරිපුන් යොවුන් දූ පුතුන්
දහම තුළ පෝෂණය කරනා
සොඳුරු සදහම් යාත්‍රාව….

තාවතිංස යාත්‍රා…

තාවතිංස යාත්‍රා සංවිධානය යනු කුමක් ද?

අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී උතුම් වූ ව්‍රත පද සතක් අනුගමනය කරමින් දෙව්ලොව සක් දෙව් පදවිය ලැබුවා සේ ම සක් දෙව්රජාණෝ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී මේ උතුම් ව්‍රත පද සමාදන් ව එම ව්‍රත පද අනුගමනය කරමින් සක් දෙව් පදවිය ලැබී ය.

මේ පිළිබඳ ව අපට පෙන්වා වදාළේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ම ය. සංයුත්ත නිකායෙහි දේවාසත්තවතපද සූත්‍රයෙහි මේ පිළිබඳ ව මෙසේ සඳහන් වේ.

“පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මිනිස් ජීවිතේ ගෙවන කාලෙ උතුම් ව්‍රත හතක් සමාදන් වෙලා හිටියා. ඒ ව්‍රත සමාදන් වීම නිසයි, ශක්‍රයාට ඔය ශක්‍ර පදවිය ලැබුණේ. ඒ උතුම් ව්‍රත හත මොනවා ද?

1. මං දිවි තිබෙන තුරා මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා.

2. මං දිවි තිබෙන තුරා කුලදෙටුවන් පුදන කෙනෙක් වෙනවා.

3. මං දිවි තිබෙන තුරා මධුර වූ වචන කියන කෙනෙක් වෙනවා.

4. මං දිවි තිබෙන තුරා කේළාම් නොකියන කෙනෙක් වෙනවා.

5. මං දිවි තිබෙන තුරා ගිහි ගෙදර වාසය කරන්නෙ මසුරුමල දුරුකරපු සිතින්. දන් දෙන්න හිතාගෙනම අත්හරින කෙනෙක් වෙනවා. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දන් දීමටම කැමති වුන කෙනෙක් වෙනවා. අනුන් විසින් යමක් ඉල්ලාගෙන තමන් ලඟට එනවාට කැමති කෙනෙක් වෙනවා. දන් බෙදන්න කැමති කෙනෙක් වෙනවා.

6. මං දිවි තිබෙන තුරා සත්‍ය වචන කියන කෙනෙක් වෙනවා.

7. මං දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. යම් හෙයකින් මං තුළ ක්‍රෝධයක් ඇතිවුනොත්, ඒක ඉක්මනින්ම දුරුකරලා දානවා.”

මේ අයුරින් සමාදන් වූ ව්‍රතපද සපුරා මරණින් මතු දෙව්ලොව උපන් සක් දෙව්රජාණෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සක්කපඤ්හ සූත්‍ර දේශනාව අසා සෝතාපන්න ඵලයට පත් විය.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ සිරි ලංකාද්වීපයත්, සම්බුදු සසුනත් ආරක්ෂා කිරීම පිණිස සක් දෙවිඳුන් හට බාර කළ බව මහාවංශයෙහි සඳහන් වේ. මෙසේ ඔහු සම්බුදු සසුනක් සුරැකීමට තරම් මහා පිනක් රැස්කරනු ලැබුවේ ව්‍රත පද සමාදන් ව රැස්කළ පුණ්‍ය මහිමයෙනි.

තාවතිංස යාත්‍රා සංවිධානය යනු ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සුපිහිටි සිරි ලක්දෙරණේ යොවුන් දරුවන් දහමින් පෝෂණය කරමින් සුගති රැකවරණ සලසා දීම පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් දියත් කෙරෙන සොඳුරු පුණ්‍ය ව්‍යාපෘතිය යි.

මේ මගින් ලංකාද්වීපය පුරාවටත්, විදේශීය වශයෙනුත් සිටින ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවක දරුවන් එක් සංවිධානයක් යටතට ඒකරාශී වී ශක්තිමත් පවුරක් ලෙසින් ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ද සුරකිමින්, දහම් මඟ පුරුදු කරමින්, ගුණ දහම් පුරන්නට පුහුණු කිරීමක් සිදුකරනු ලබයි.

මෙහි ප්‍රතිපත්තිය වනුයේ, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදි ගුණ දහම් පුරමින් උතුම් ව්‍රත පද සමාදන්ව ආරක්ෂා කිරීම යි. එනම්,

1. මම දිවි තිබෙන තුරාවට මව්පියන් හට උපස්ථාන කරන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

3. මම දිවි තිබෙන තුරාවට කේළමින් වළකින්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

4. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කළ සිතින් වසන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

7. මම දිවි තිබෙන තුරාවට මෙත් සිතින් වසන්නෙමි යන උතුම් ව්‍රත පදය සමාදන් වෙමි.

තාවතිංස යාත්‍රා සංවිධානය හා එක්වන සියලු සාමාජික සාමාජිකාවන් මේ අයුරින් ව්‍රත පද සමාදන්ව දිවි තිබෙන තුරාවට ආරක්ෂා කළ යුතුයි. මෙහි ප්‍රධාන පරමාර්ථය එයයි.

සංවිධානාත්මක ලෙසින් ඒකරාශි වූ යොවුන් දරුවන් විසින් නොයෙක් පුණ්‍ය ව්‍යාපෘති සිදු කරමින් පින්දහම් රැස්කරන වැඩපිළිවෙළකට යොමු කිරීමත් මේ මගින් සිදු කරනු ලැබේ.
මේ යටතේ,

වැඩිහිටි නිවාස, රෝහල් සහ ආබාධිතයන් සිටින ස්ථානවල පිරිසිදු කිරීම් කටයුතු, රෝගීන් හට උපස්ථාන කටයුතු සිදු කිරීම, ආහාරපාන ආදිය ලබා දීම සහ අනෙකුත් උපස්ථාන කටයුතු සිදු කිරීම.

ආධ්‍යාත්මික ගුණදහම් දියුණු කර ගැනීම තුළින් දෙමාපියන්ට සැලකීම සහ අනෙකුත් පුද්ගලයන් හට ගරු සරු දැක්වීමට සහ උපස්ථාන කටයුතු සිදුකිරීමට මනා පුහුණුවක් ලබා දීම.

අසරණ දුගී දුප්පත් පවුල් සොයා බලා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.

දුෂ්කර ගම්මානවල ජීවත් වන ජනතාවගේ පහසුව පිණිස අබලන් වූ මංමාවත් පිළිසකර කිරීම, පාලම් ඉදිකිරීම් ආදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම.

නොයෙක් ආකාරයෙන් සමාජයට සේවයක් වන පරිද්දෙන් මෙලොව පරලොව යහපත සලසාලීම පිණිස සමාජ සුභසාධන, ගිලානෝපස්ථාන, ආර්ථික උපදේශනය, මානසික උපදේශනය, ධර්ම අධ්‍යයන වැඩසටහන්, පුනරුත්ථාපන වැඩසටහන් ආදි අංශවලින් පිළිසරණක් වීමට කටයුතු කිරීම.

මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම සහ සතුන් හට ආහාර ලබාදීම් ආදි සත්කාර්යයන් සිදුකිරීම.

දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන පාසල් දරුවන් උදෙසා පාසල් උපකරණ ලබා දීම.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඕනෑම ආගමික හෝ සමාජයීය කටයුත්තක් සඳහා උපකාර කිරීමට අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් කැඳවනු ලැබුවහොත් ඒ සඳහා හැකි උපරිමයෙන් දායක වීම.

මෙයට අමතරව රට තුළ සිදුවන හදිසි ආපදා තත්ත්වයන් යටතේ අවස්ථානුකූල ව ඒ ඒ අයුරින් කටයුතු කිරීම මඟින් අසරණ වන ජනතාව වෙනුවෙන් පිළිසරණක් වීම.

සාමාජිකත්වය :

★ තරුණ තරුණියන්ට සහ වැඩිහිටි උපාසක උපාසිකාවන්ට මෙහි සාමාජිකත්වය ලබාගත හැකි අතර ඉන් පසු තිසරණ පන්සිල් සුරකින අයෙකු ලෙස ද සප්ත ව්‍රත පද සමාදන් ව ව්‍රත පද සුරකින අයෙකු ලෙස දිගට ම කටයුතු කළ යුතු ය.

★ තාවතිංස යාත්‍රා සංවිධානය මගින් ලබාදෙන නියමිත මුද්‍රිත ආකෘතිය තමා විසින් අවංකව ම සම්පූර්ණ කර භාරදිය යුතු ය.

මේ අයුරින් සාමාජිකත්වය ලබාගන්නා වූ සාමාජික සාමාජිකාවන් හට සාමාජිකත්වය ලබාගත හැකි ආකාර තුනක් තිබේ.

1. මූල්‍යමය සාමාජිකත්වය – මේ යටතේ වර්ෂයකට රු. 1000ක් වැනි මුදලක් සාමාජික මුදල් වශයෙන් අයකරනු ලබයි.

2. ශ්‍රම සාමාජිකත්වය – මේ යටතේ අප විසින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රමය ලබා දී සාමාජිකත්වය ලබා ගත හැකි ය.

3. මූල්‍යමය සහ ශ්‍රම සාමාජිකත්වය – මේ යටතේ වාර්ෂිකව ගෙවනු ලබන සාමාජික මුදල් ලබා දීමෙන් සහ පුණ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දී සාමාජිකත්වය ලබා ගත හැකි ය.

පසුගිය වර්ෂය පුරාවට අප විසින් සිදු කරන්නට යෙදුණ පුණ්‍ය ව්‍යාපෘති අතර,

1. “තාවතිංස යාත්‍රා – සෙනෙහසේ නවාතැන” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ කොරතොට වැඩිහිටි නිවාසයේ සහ පිළියන්දල සැලීනා වැඩිහිටි නිවාසයේත්, බලංගොඩ කල්තොට වැඩිහිටි නිවාසයේත් ආදි වැඩිහිටි නිවාසයන්හි පිළිසකර කිරීම් සහ උපස්ථාන කටයුතු සිදුකිරීම සහ පානදුර හොරේතුඩුව ළමා නිවාසයේත්, බෙල්ලන්තර මිත්සෙවණ ළමා නිවාසයේත් පිළිසකර කිරීම් කටයුතු සහ උපස්ථාන කටයුතු සිදු කිරීම.

2. “තාවතිංස යාත්‍රා – අභය දාන” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ මරණයට කැප වූ හරකුන්, එළුවන්, කුරුල්ලන් ආදි සතුන් නිදහස් කිරීමේ පින්කම් සිදු කිරීම,

3. “තාවතිංස යාත්‍රා – ප්‍රතිසංස්කරණ පූජා” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ කැලණිය ස්ථූපරාජයාණන් වහන්සේ සහ ථූපාරම ස්ථූපරාජයාණන් වහන්සේගේත්, විල්ගම් වෙහෙර ස්ථූපරාජයාණන් වහන්සේගේත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සහ වන්දනා පැවැත්වීම.

– මෙම පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ම හබරණ රෝහල සහ මීගොඩ ආයුර්වේද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම.

4. සිරිපා වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් පවත්වාගෙන යාම.

5. “තාවතිංස යාත්‍රා – රුධිරදාන” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ රුධිරදාන පින්කම් පවත්වාගෙන යාම.

6. ගැබිණි මව්වරුන් වෙනුවෙන් උපකරණ කට්ටල ලබා දීම සහ විශේෂ සීල භාවනා වැඩසටහන් පවත්වාගෙන යාම.

7. “තාවතිංස යාත්‍රා – රුක්රෝපණ ව්‍යාපෘතිය” යටතේ රුක් රෝපණ ව්‍යාපෘති පවත්වාගෙන යාම.

8. මංමාවත් පිළිසකර කිරීම.

9. “තාවතිංස යාත්‍රා – නිවාස ව්‍යපෘතිය” යටතේ අසරණ දුගී ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යපෘතියක් පවත්වාගෙන යාම.

10. “සිසු දිරිය – අධ්‍යාපන ශිෂ්‍යධාර” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ දිළිඳු අසරණ පවුල්වල දරුවන් උදෙසා පාසල් උපකරණ බෙදා දීම.

මෙයට අමතරව පසුගිය වර්ෂයේ ඇදහැළුන මහා වර්ෂාවෙන් කැලණි ගංමිටියාවත උතුරා යද්දී, ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රු. ලක්ෂ 262කට අධික සහනාධාර ලබා දීමත්, 1500කට අධික පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමත් සිදු කෙරිණ.

පොළොන්නරුව සහ මහියංගණය ප්‍රදේශයන්ට ඇති වූ නියඟයෙන් පීඩාවට පත් අසරණ ජනතාවට ජලය ලබාදීම සඳහා ඒ ඒ ස්ථානයන්හි ජල ටැංකි 120ක් පමණ ස්ථාපිත කරමින් ජල ලීටර් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ලබා දීමත් සිදු කෙරිණ.

වසර දෙදහස් ගණනක් පුරාවට ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබමින් සුගති රැකවරණය සලසා ගත්, සසර දුකින් නිදහස් වීම පිණිස පිළිවෙත් පිරූ, ලක් මවගේ යොවුන් දූ පුතුන් සිහි කරමින් මෙකල ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ සැබෑ පිළිසරණ යොවුන් දූ පුතුන් වෙත ළඟා කරවීමේ අරමුණින් මෙම සංවිධානය නිර්මාණය විය.

මෙමගින් සිදුකරන්නා වූ සීල භාවනා වැඩසටහන් සහ පුණ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් ඔබටත් අප සමඟ එක්විය හැකි ය.

ඕනෑම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවකට සම්බන්ධ වී ඒ ඒ අසපු ශාඛාවෙහි ක්‍රියාත්මක වන තාවතිංස යාත්‍රා යොවුන් සීල භාවනා වැඩසටහන් සහ තාවතිංස යාත්‍රා පුණ්‍ය ව්‍යාපෘති සඳහා ඔබටත් සහභාගී විය හැක. අදාළ අසපුවෙන් තාවතිංස යාත්‍රා සංවිධානයේ අයදුම්පතක් පුරවා ඔබගේ තොරතුරු ලබාදීම මගින් මෙයට සම්බන්ධ විය හැක. විදේශයන්හි වාසය කරන අය වෙනුවෙන් ඒ ඒ විදේශීය අසපු ශාඛාවන් හා සම්බන්ධ වීමෙන් ද ධබකසබැ අයදුම්පතක් පුරවා අපවෙත ලබා දීමෙන් ද ඔබට සාමාජිකත්වය ලබාගත හැක.

http:// thawathinsa-yathra.org  හෝ http://mahamevnawa.lk/thawathinsa-yathra/join-us/ මගින් online අයදුම්පතක් ලබාගත හැකි ය. www.facebook.com/thawathinsaYathra/ සමඟ එක් වීමෙන් අපගේ පුණ්‍ය ව්‍යපෘති පිළිබඳ ඔබට තොරතුරු ලබාගත හැකි ය.

මනු පියසේ ගුණ දෝර ගලා යන
කරුණාබර සිත් පුබුදාලන්නට
පහන් ටැඹක් සේ නොමගට ගිය සිත්
ගුණයෙන් පුරවා එකලු කරන්නට
මං මාවත් නැති සියල් දහම තුළ
රැකවරණය දී සුරලොව යන්නට
සක් දෙව් වත් පුරනා හැම මිනිසුන්
තාවතිංසයට කැඳවා යන්නට
පුණ්‍ය යාත්‍රාවෝ….. සොඳුරු වූ තාවතිංස යාත්‍රා…..

සලකන පුදදෙන මව්පිය කුලදෙටු
හැමසිත් කරුණාබර වේවා
වදනත් හැමවිට කිසිවෙක් නොරිදන
සැබෑ බසක් ලෙස බැබළේවා
දන් දෙන සිත් තුළ මසුරු සිතක් නැති
දිය දහරක් සේ වැගිරේවා
හමනා පවනට මුසු වී මෙත් සිත
දස දෙස පැතිරී සෙත් වේවා
මනුසත් කැල හැම ගුණයට නැඹුරුව
යාත්‍රාව වෙත පිවිසේවා……
පුණ්‍ය යාත්‍රාවෝ….. සොඳුරු වූ තාවතිංස යාත්‍රා…..

දුගියෙක් දුටු විට පිහිටක් වන්නට
හැම දන හද කම්පිත වේවා
ලැබුණත් අහරක් දන් දෙන සිත පෙර
හද ගැඹුරින් මතු වී ඒවා
දිවි පුදනා හැම මනුසත් ගුණයට
හැමදෙන නිවනින් සැනසේවා
තව්තිසාවෙ යන සොඳුරු ම යානය
හැමදෙන එක් වී සැනසේවා
පුණ්‍ය යාත්‍රාවෝ….. සොඳුරු වූ තාවතිංස යාත්‍රා