ඔබට මේ වතාවෙත් සීහළවත්ථු බණ කථාවල එන ලස්සන, වටිනා කථාවක් කියා දෙන්නම්. මේ කථාවෙන් සිල් රැකීමේ ආනිශංස වගේ ම ඍජු ගුණයේ වටිනාකමත් පැහැදිලි වෙනවා.

සුරට්ඨ නම් ජනපදයේ එක්තරා විහාරයක් තිබුණා. එහි මහානිධි කියන පර්වතය ළඟ ධුතාංගධාරි, භාවනානුයෝගී, පිණ්ඩපාතයෙන් දිවි පැවැත්ම ගෙන යන එක භික්ෂූන් වහන්සේනමක් වැඩහිටියා. දවසක් උන්වහන්සේ උදෑසනින් ම පිණ්ඩපාතය වැඩලා දානය අරගෙන ඇවිත් යම් ස්ථානයක තැන්පත් කළා.

මේ අතර එක්තරා හොරෙක් මුළු රෑ ම සොරකම් කිරීම සඳහා ඇවිදලා හොඳට ම බඩගින්නේ මේ විහාරය පැත්තට ආවා. මේ සොරා ස්වාමීන් වහන්සේ තැන්පත් කරලා තිබුණු පිණ්ඩපාත දානය දැකලා හිතුවා ‘මේ භික්ෂූන් වහන්සේ මට නො දී වැළඳුවොත් රෑට ඇවිත් උන්වහන්සේගේ පාත්‍රා සිවුරු සොරකම් කරගෙන යනවා’ කියලා.

ඉතින් මේ කිසිත් නො දන්නා භික්ෂූන් වහන්සේ අත් පා සෝදලා, චෛත්‍ය වන්දනා කරලා, දානය වැළඳීම පිණිස සූදානම් වුණා. භික්ෂූන් වහන්සේට මේ සොරාවත් දකින්න ලැබිලා දානයෙන් කොටසක් ඔහුට අනුභව කිරීම පිණිස දුන්නා. හොඳට ම බඩගින්නේ ඉඳපු සොරා මේ දානයෙන් හරිම සතුටට පත් වුණා. ඉතින් ඔහු මෙහෙම කිව්වා, “ස්වාමීනී, බලවත් සොරෙක් වූ මම ඔබ වහන්සේට අපරාධයක් කරන්න හිතුවා. එයට සමාව දෙනු මැනවි”.

භික්ෂූන් වහන්සේ මෙසේ පැවසුවා.

“පින්වත, මම සමාව දෙනවා. ඉතින් මා කියන දේ කරනවා නම් පන්සිල් ආරක්ෂා කරව.”

ඉන් පසු සොරා ඇහුවා පන්සිල් කියන්නේ මොනවා ද කියලා… ස්වාමීන් වහන්සේ පන්සිල් පද විස්තර කළා… නමුත් මේ සොරා කිව්වා ඒවා රකින්න බැහැ කියලා.

භික්ෂූන් වහන්සේ කිව්වා සිල්පද පහ ම බැරි නම් සතරක් රකින්න කියලා… සොරා ඒකත් ප්‍රතික්ෂේප කළා. නැවත ස්වාමීන් වහන්සේ කිව්වා එසේ නම් සිල් පද තුනක් රකින්න කියලා… ඒත් සොරාට නො හැකි බව කිව්වා. ඉන් පසු ස්වාමීන් වහන්සේ සිල්පද දෙකක් රකින්න කිව්වා… ලැබුණේ පෙර උත්තරය ම යි. අවසන එක සිල් පදයක් රකින්න කියලා කී විට එක සිල් පදයක් රකින්න සොරා කැමති වුණා. ඉතින් මොහු “කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ” ශික්ෂා පදය සමාදන් වෙලා තමයි විහාරයෙන් පිට වුණේ.

එදා මේ සොරා එක ගමක ඇවිදින කොට ධනවතෙකුගේ ගෙදරක ඉතා වටිනා ගොනුන් දෙන්නෙක් ව දැකලා ගොන්නු සොරකම් කිරීමට සිතක් පහළ වුණා. ඉතින් මේ හොරා මැදියම් රෑ මේ ගෙදරට ඇතුළු වුණා… ඒත් ගෘහණියට මේ සොරා දකින්න ලැබුණා විතරක් නෙවෙයි; සොරා පිළිබඳ සිතක් ද පහළ වුණා. ඉතින් මේ කාන්තාව සොරාගෙන් ඇහුවා මොකටද ආවේ කියලා… සොරා කිව්වා ගොනුන් ගෙනයාමට යි ආවේ කියලා.

ඉතින් මේ කාන්තාව මෙහෙම කිව්වා, “ඔබ මං කැමති දේ කරනවා නම් ඔබ කැමති හැම දෙයක් ම දෙන්නම්.”

“මොනවා ද කරන්න ඕනේ?” කියලා සොරා ඇහුවා.

කාන්තාව කිව්වා ඇයව කාම සැපයෙන් සතුටු කරවන්න කියලා. ඇය කියන විදියට නො කෙරුවොත් සොරාට අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැති බවත් පැවසුවා. බලන්න, මේ සොරා කාන්තාවගේ ඒ කථාව අහන්නවත් කැමති වුණේ නෑ. “මම සීලයක් රකින කෙනෙක් “ කියලා මේ සොරා කිව්වා.

මේ සියලු දෙබස් ගෙහිමියා අහගෙන හිටියේ. ඔහු ඇවිත් මේ ස්ත්‍රිය ව ගෙදරින් පන්නා දැම්මා. සොරාට කිව්වා “අද සිට ඔබ මගේ සහෝදරයෙක් වැනි යි. මේ ගෙදරට ඇවිත් ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ගන්න… කැමති විදියට පරිහරණය කරන්න.” කියලා.

ඉතින් මේ සොරා තමන්ගේ සීලයේ ආනිශංස ගැන කල්පනා කළා.

“මම ගොනුන් සොරකම් කරන්නයි ගෙට ඇතුළු වුණේ… නමුත් වැරදි කාම සේවනයට ඉඩ සැලසුන තැන දී කාමයේ වරදවා හැසිරීමට අකමැති වීමෙන් ම ධාර්මික සොහොයුරෙකුත්, ගොන්නුත් ලැබුණා… තවත් සැප සම්පත් ලැබුණා… සොරකම් කිරීම නිසා මිය යන්න ඉඩ තිබූ තැන දී ප්‍රිය වූ ජීවිතයක් ලැබුණා… එක සිල් පදයක් රැකීමෙන් මෙලොව දී ම මෙතරම් සම්පත් ලැබුණා. හැම සිල්පදයක් ම රකින කෙනෙක්ට කොතරම් නම් මහත්ඵල ආනිශංස ලැබෙනවා ඇද්ද… බඩගින්නෙන් පෙළුණු මා බුද්ධ ශ්‍රාවකයෙක් වෙත ගොස් එක සිල් පදයක් සමාදන් වී මේ සියලු සම්පත් ලැබුවා.”

බලන්න, ලේ තැවරුණු අත් ඇතත්, නපුරු පවිටු ක්‍රියා ඇතත් සොරෙකු විසින් රකින ලද එකම එක සිල් පදයෙන් පවා මෙසේ පිහිට ලැබුණා.

ඉතින් මේ ආනිශංස දුටු සොරාට සිල් රකින්න කැමැත්ත ඇති වුණා. මේ සීල ගුණය දන්නා නිසා මම සිත දැඩි කරගෙන සිල් පිරීමට උත්සාහ කරනවා කියලා අධිෂ්ඨාන කරගෙන සතුටු සිතින් විහාරයට පියමැන්නා…. භික්ෂූන් වහන්සේනම හමුවට ඇවිත් වන්දනා කරලා මෙසේ කිව්වා.

“ස්වාමීනී, මට පන්සිල් දෙනු මැනවි… මා විසින් එය ජීවිතාන්තය දක්වා රැක්ක යුතුයි. මම කාමයෙහි වරදවා නොහැසිරීම නමැති සීලය රැකලා මරණ භයෙන් මිදුණා. දැන් දුගතියේ ඇති මහත් බය ගැන අසන්න කැමතියි… මහා වීරයන් වහන්ස, කැපකරු වූ මා දුගතියෙන් මුදවනු මැනවි… බඩගින්නේ පෙළුණු මා හට පෙර දින ඔබ වහන්සේ ආහාර දෙන ලදී… සසර දුකින් පෙළුණු මට සිල් දෙනු මැනවි.”

ඉතින් ස්වාමීන් වහන්සේ මොහු ගැන අනුකම්පාවෙන් මෙහෙම වදාළා.

“සත්පුරුෂය, මම ඔබට සරණ ද සිල් ද දෙමි. ඒවා දැක දුගති බයෙන් මිදෙනු මැනවි. සිල්වත් මිනිසා මිනිසුන් ද නොමිනිසුන් ද තිරිසනුන් ද යන සියලු දෙන විසින් විශ්වාස කටයුත්තෙක් වෙයි. එය ඔබට දිව්‍ය සම්පත් ද මනුෂ්‍ය සම්පත් ද ආර්ය සම්පත් ද ලැබීමට හේතුවක් වන්නේ ය.”

ඒ සොරා එහි ම ඉඳගෙන සරණ ද සිල් ද ලැබුවා. සිල් රැකීමෙන් පිරිසිදු වූ ඔහු ධර්ම ප්‍රීතියෙන් උපාසකයෙක් බවට පත් වුණා.

මේ සොරාට සියලු සැප ලැබුණේ ඍජු ගුණයෙන් යුතුව සිල් ආරක්ෂා කළ නිසා නේ ද… අපේ භාග්‍යවතුන් වහන්සේ කරණීයමෙත්ත සුත්‍රයේ දී නිවන අපේක්ෂාවෙන් සිටින ශ්‍රාවකයෙකු හික්මිය යුතු ආකාරය වදාළා. එහි දී මේ ‘ඍජු’ ගුණයත් පෙන්වූවා. ඍජු කෙනා කොයි වගේ කෙනෙක් ද කියා ටිකක් විමසා බලමු. ඍජු චරිතය ඇති කෙනා කරන දේ කියන කෙනෙක්, කියන දේ කරන කෙනෙක්. එයා කළගුණ දන්නා, කළගුණ සිහිකරනා කෙනෙක්. කෙළින් කථා කරන, කෙළින් වැඩ කරන කෙනෙක්.

බලන්න, මේ සොරා තුළත් ඒ ලක්ෂණ තිබුණා නේ ද… පරදාර සේවනයට අවස්ථාව ලද වෙලේ වහ වහා එය ප්‍රතික්ෂේප කොට ඔහු සිල් රකින කෙනෙක් බව කීමෙන් ඒ ඍජු ගුණය ප්‍රකට වෙනවා.

ඒ වගේ ම, අපේ බුදුරජාණන් වහන්සේ පංච භයවේර සුත්‍රයේ දී භය වෛරය ඇති වෙන පංච දුෂ්චරිතය ගැනත්, භය වෛරය සන්සිඳීමට පන්සිල් සමාදන් වී රැකිය යුතු ආකාරයත් විස්තර කළා. ඉතින් ඒ උතුම් දහම් ඇස උපදවා ගන්න අපට ආර්යකාන්ත සීලය ඇතුළු අනෙක් සෝතාපත්ති අංග ඇති කර ගැනීම අනිවාර්යයි.

(සීහළවත්ථු ඇසුරිනි)

සටහන – ශාරදා වික්‍රමනායක