පැමිණිලි… නිදහසට කරුණු…

මේ දේවලින් තමයි අපේ කන් වගේ ම මනසත් පිරිලා තියෙන්නේ. අපිට හැම දෙය ම ගැන පැමිණිල්ලක්, නිදහසට කරුණක් අනිවාර්යයෙන් ම තිබෙනවා. ඒ නිසා, මොහොතක් වැය කරලා මේ කතාව කියවන්න.

දවසක් එක ගැහැනු ළමයෙකුට ඕන වුණා ලෝකයේ කඩවසම් ම තාත්තා ව ලබන්න. මොකද, එයාගේ තාත්තා අව්වට කර වෙලා ගියපු, කිසි පිළිවෙළක් නැති, දාඩිය ගඳ පිරුනු කෙනෙක්. මේ දරුවා පාසලේ යහළුවන්ට තාත්තා ව හඳුන්වලා දීලා තිබුණේ තමන්ගේ ගෙදර වැඩ කරන මෙහෙකාරයා විදිහටයි…

මේ ගැහැනු ළමයා නිතර දෙවේලේ කන්නලවු කළා තමන්ගේ මේ තාත්තා පිළිබඳ ව තිබෙන වර්තමාන තත්ත්වය වෙනස් කරලා දෙන්න කියලා. දවසක්, අහසින් ගමන් කළ ඍෂිවරයෙකුට මේ යාතිකාව ඇහුණා. ඔහු ඒ ගැහැනු දරුවා ඉදිරියට ආවා.

“ඇයි ඔය දරුවා ඔය වගේ යාතිකාවක් කරන්නේ?”

“මට ඕන කඩවසම් තාත්තා කෙනෙක්, දැන් ඉන්න කෙනා අව්වට කර කුට්ටම් වුණු, කිසිම පිළිවෙළක් නැති, ගඳ ගහන කෙනෙක්… ඔබතුමා මගේ මේ ඉල්ලීම ඉෂ්ට කළොත් මම රූපෙට රූපයක් තියලා භාරයක් ඔප්පු කරනවා…”

ඍෂිවරයා මඳක් කල්පනාවට වැටුනා…

“හරි ළමයෝ, ඔයාට වුවමනා විදිහට සමාජයට පෙන්වන්න පුළුවන් තාත්තා කෙනෙක් මට මවලා දෙන්න පුළුවනි… එයා ඔයාට ඕන හැම වෙලාවක ම පෙනී සිටීවි. හැබැයි, ඒ දෙය ඉෂ්ට කරන්න කලින් මම ඔයාට දෙයක් පෙන්වන්නම්…”

මෙහෙම කිව්ව ඍෂිවරයා චිත්‍රපටයක් වගේ ඒ ගැහැනු දරුවාගේ ඉදිරියේ රූප රාමු මවන්න පටන් ගත්තා.

පිටකොටුව වගේ ඉතා ම කාර්යබහුල නගරයක්. දුවිලි, ගිනි කාෂ්ටක අව්ව මේ නගරය ගිනියම් කරනවා. මිනිස්සු අතර දන්න මුහුණක්…

‘ආ පරණ තාත්තා… පරණ තාත්තා කරත්තයක් තල්ලු කරන ගමන් එළවළු විකුණනවා…’

“ලාබයි… අලුත් එළවළු, ගන්න මහත්තයා… නෝනා ගන්න මේවා…”

ඍෂිවරයා මේ අතරේ ප්‍රශ්නයක් ඇහුවා.

“දරුවෝ, මට කියන්න ඔයා ඔය ලස්සන ඇඳුම්, මෙච්චර කල් කාපු කෑම… ඒවා කොහෙන් ද? එතකොට මේ ගෙදර, ඉස්කෝලේ යන්න ඕන හැම දෙයක් ම ලැබුණේ කොහොම ද?”

“තාත්තා තමයි අරන් දුන්නේ…”

ඇය බිම බලාගෙන දුකෙන් වගේ කිව්වා.

“දරුවෝ, දන්නව ද දෙයක්…? ඔයාගේ තාත්තා අව්වට කළු වුණේ ඔයා නිසා ම යි, එයා අපිළිවෙළට ඇන්දේ ඔයාට ලස්සනට අඳින්න ඇඳුම් අරන් දෙන්න ඕන නිසයි… එයා ගාවින් ආපු ගඳ ඔයාලගේ බඩ කට පුරවන්න සල්ලි හොයාගන්න එයා කුණු ඇදපු රස්සාවේ ප්‍රතිඵලයක්…”

එක පාරටම හැම දෙයක් ම වෙනස් වුණා… බොහොම කඩවසම් තරුණ මනුස්සයෙක් ගැහැනු ළමයා ඉස්සරහා හිනා වෙනවා…

“දන්නව ද? මේ තමයි ඔබේ තාත්තා ඔය දුක් කම්කටොළු විඳින්නට කලින් උන්නු විදිහ…”

ඊ ළඟ සිදුවීම ඔබ ම තීරණය කරන්න. ඒ දේ ඔබට ම භාර කරලා මම මේ දේ ඔබට මතක් කරන්නම්. ඒ තමයි, අපිට අයිති වර්තමානය ගැන හැම වෙලාවෙ ම අපි පැමිණිලි කරනවා. හොඳ ඇඳුමක්, ලස්සන ගෙදරක්, ආදරණීය ජීවන සහකරුවෙක් හෝ සහකාරියක්, හොඳ රස්සාවක් ඇතුළු ගොඩක් දේවල් ගැන අපිට පැමිණිලි තියෙනවා.

මොහොතක් හිතන්න, මේ හැම දෙය ම අපිට තියෙන නිසා නේ ද මේ තරම් පැමිණිලි ගොඩක්? නමුත් මේ දේවල් නැති අය කී දෙනෙක් ඇත්ද?

රස උතුරුන – දිව පිනවන කෑම ටිකක් කන්න බලන් ඉන්න අපි අප්‍රිකාවේ ළමයි කී දෙනෙක් බඩගින්නේ මැරෙනව ද කියල හිතුව ද? තමන්ගේ පෙම්වතියට තෑගි අරන් දෙන්න නොහැකිවීම නිසා අම්මා ව මරන පුතාලා තමන් ලොකු මහත් කරන්න අම්මලා නොමැරී මැරුන අවස්ථා ගැන කී පාරක් හිතුව ද?

ඔබට ලැබුණ වර්තමානය ගැන ඉත සිතින් ම සතුටු වෙන්න. හැම මොහොතක ම ඒ දේවල් මෙහෙම හරි ලබා දුන්න අයට හදවතින් ම ස්තුතිවන්ත වෙන්න. ඔබට එය වඩාත් යහපත් ආකාරයෙන් වෙනස් කළ හැකි නම් ඒ වෙනුවෙන් ද අඛණ්ඩ ව උත්සාහ කරන්න. එවිට ඔබ ලද දෙයින් සතුටු වන, පසුතැවිලි නොවන කෙනෙක් බවට පත් වේවි…

අවසානයේ අප අසා තිබෙන ගීතයක කොටසකින් මේ ලිපිය අවසන් කරන්නම්…

“මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි – පා යුග නැති ඔබ දකිනා තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි – නෙත් යුග නැති ඔබ දකින තුරා…”

සටහන – කෞශල්‍ය අයි. රණසිංහ