highlights of the week
Home » පුණ්‍ය චාරිකා » සිරි දළදා සමිඳු පුද දුන් පින් බිම ය සිත පහදා වඳිමු තැන්නේ මාලිගය

සිරි දළදා සමිඳු පුද දුන් පින් බිම ය සිත පහදා වඳිමු තැන්නේ මාලිගය

“අන්න…. මහා කළු සිංහලයා…. පලා යනවෝ…. අන්න…. මහා කළු සිංහලයා…. පලා යනවෝ…. අල්ලපියෝ….”

ගිරි නිඝණ්ඨයා යටිගිරියෙන් මුරගාන්නට විය. පසෙක උන් සොලී හේවායෝ ඒ හඬින් අවදි වී වේගයෙන් ඇදී යන අශ්ව රථය පිටුපස ලුහුබඳින්නට වූහ. අනුරපුර අහසට දූලි වලා එක්කරමින් අශ්ව රථය පවනට බඳු වේගයෙන් ගියත් සිව් දෙනෙකුගේ බර දරාගනිමින් අසුට මේ විදියට වැඩි දුරක් යන්නට නො හැකි බව පින්වත් සෝමා දේවියට වහා අවබෝධ විය. අවි රැගෙන ලුහුබඳින අසරුවන් වඩ වඩාත් ළං වන්නට විය.

“ස්වාමීනි… මේ රටත් සම්බුද්ධ ශාසනයත් රැකෙන්නේ ඔබ වහන්සේ රැකුනොත් පමණයි… මේ දරු දෙදෙනාටත් ඒ අනාගත උරුමය පවරන්න ස්වාමීනි….”

මේ රට දැය, සම්බුදු සසුන වෙනුවෙන් තම ජීවිතය අත් හල වීර සෝමා දේවිය වහා අස්රියෙන් බිමට පැන්නා ය.

එසේ… පලා ආ වට්ඨගාමණි අභය රජතුමාහට ලංකාවේ විවිධ ප්‍රදේශවල වසර 12කට අධික කාලයක් සැඟවී සිටිමින් සේනා සංවිධානය කිරීමට සිදු විය. මෙහි දී රජතුමාට අවැසි රැකවරණයත්, මාර්ගෝපදේශනයත් ලබා දුන්නේ මහ සඟරුවන විසිනි.

එදා සිට අද දක්වාත් සංඝයා වහන්සේලා වැඩ හිඳිමින් මේ රට දැයත්, සම්බුදු සසුනත් කෙරෙහි මහ මෙහෙවරකට දායක වුණ බස්නාහිර පළාතේ ඇති සොඳුරු පින් බිමක් කරා ඔබ කැඳවාගෙන යන්නට මට අවසර…

මා අද ඔබව කැඳවාගෙන යන්නේ තවත් අතිශය සුන්දර වු ගිරි ශිඛර හා ගිරි ගුහාවලින් සුසැදුන සුන්දර කඳු මුදුනක් මතට ය.

තවත් ලෙසකින් කීවොත් ස්වභාව සුන්දරත්වයෙන් අනූන වෙමින්, ඒ සුන්දරත්වය ඓතිහාසික වටිනාකමකින් ඔප කරමින්, ඒ ඓතිහාසික වටිනාකමට පූජනීයත්වයේ කිරුල පලඳවා, ඒ පූජනීයත්වය නිසා ම බොදු සැදැහැතියන්ට සිත පහදවාගෙන වන්දනාමාන කිරීමට සුදුසු වූ පිවිතුරු පුදබිමක් බවට පත් වූ පින් බිමක් වෙත ය.

යක්කල රදාවාන පාරේ අඹගස්පිටියේ සැතපුම් තුනේ කණුව අසලින් වැටී ඇති මඟ දිගේ තවත් කි. මී. 2.4ක් පමණ පැමිණ මේ පුද බිම වෙතට ළඟා විය හැකි ය. මේ, ඓතිහාසික මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය යි.

උදෑසන ම තෙරුවන් වන්දනා කර ගමන් ආරම්භ කළ අපට හෝරාවක පමණ ගමනකින් මේ සොඳුරු පින් බිම වෙත ළඟා වන්නට හැකි විය.

හෙළ ගල් වඩුවාගේ හැකියාවන් ගැන විස්මයට පත්වෙමින් අපි ගල් තලාව මත අපූරුවට හා පිළිවෙළට කැපූ පියගැට පෙළ මත පළමු පියවර තබා මේ පින් බිමට පා තැබීමු. කඩින් කඩ ගල මත කැපූ පියගැටපෙළත්, විටින් විට ගල් තලාවත් මත ඇවිද යමින් කරන ලද කඳු තරණයකින් අනතුරුව වාහල්කඩ යටින් විහාර භූමියට ඇතුළු විය හැකි වේ.

විහාර භූමියට ඇතුළු වන තැන ම ගල මත එක් පසෙක ඉර හඳත්, අනෙක් පස සුනඛයෙකුගේ හා කපුටෙකුගේ රූපත් කොටා ඇත.

විහාර භූමියට ඇතුළු වූ සැණින් වම් පසින් දිස්වන්නේ පැරණි බෝධින් වහන්සේ වැඩ වෙසෙන බෝ මළුව යි… බෝ මළුව පසු කර ඉදිරියට යන විට තවත් පියගැට 75ක් පමණ තරණය කර උඩමළුවේ සෑරජාණන් වහන්සේ වෙත පිවිසිය හැකි ය.

අපි සෑ රජාණන් වහන්සේ වෙත පැමිණ බුදු ගුණ සිහිකරමින් පැදකුණු කොට මල් පහන් පුදා වන්දනා කළෙමු.

පහත සිට අඩි 300ක් පමණ ඉහළින් පිහිටි මේ සෑ මළුවට අවට පරිසරය සුන්දර ලෙස දිස්වේ. සෑ මළුවේ පියගැට පෙළ බැස එන විට කෙළින් ම ඉදිරියට හමුවන්නේ ශෛලමය පියස්සකින් සෙවණ දෙන ලොව සුවිශාලමය ධර්ම ශාලාවයි… මේ ධර්ම ශාලාවට ඇතුළු වූ විට ඔබ විස්මයෙන් ඇලලී යනවා නියත ය. අඩි සිය ගණනක් කිසිදු ආධාරයක් නොමැතිව මේ ශෛලමය පියස්ස කෙසේ අහසේ රැඳී පවතිනවා ද යන්න ගැන ඔබට සිතන්නට බොහෝ දේ තිබෙනු ඇත.

ධර්ම ශාලාවට ඔබ්බෙන් තිබෙන බෝ මළුව වෙත පැමිණි අපි මල් පුදා වන්දනා කළෙමු… බෝ මළුවේ පසෙකින් ඇති ගල් කුල ස්වාභාවිකව ම ඛාදනය වී සැකසී ඇත්තේ දැවැන්ත මලක පෙති සමූහයක් ලෙසිනි. සොබා දහම පවා මේ පුදබිම වෙත විස්මිත නිමැවුම් මවමින් තම පුදසත්කාරය පල කරනවාක් වැනි ය.

පහත මළුවේ කටාරම් කෙටූ ගල් ලෙන් කීපයක් ම දක්නට ඇත. එසේ ම නිධන් ගල යැයි සම්මත චතුරාශ්‍රාකාර කොටු හැඩැති කුටීර විසිපහකින් සමන්විත පියනක් සහිත යන්ත්‍ර ගලක් ද දක්නට ඇත. තවත් පැරැණි නටබුන් රාශියක් මෙන්ම අතීතයේ දී යතිවරුන් භාවිත කළ උපකරණ රාශියක් ද උමං මාර්ගයක් ද කිසිවකුගේ පහසට නතු නො වූ ගණ අඳුර රජයන ගුහා කීපයක් ද තවදුරටත් අනාවරණය නො වුණ ඓතිහාසික රහස් සඟවාගෙන, වසර 30 000ක් පමණ පැරණි බවට අද සාධක හමු වී තිබෙන මෙම ගිරි ශිඛරයේ සුරැකිව ඇත. මෙම ස්ථානය කෝට්ටේ යුගයේ දී රහස් බලකොටුවක් වශයෙන් පැවැති බව ද කියැවෙයි.

තවදුරටත් මේ පින් බිමේ ඓතිහාසික තොරතුරු දැනගැනීම පිණිස අප මෙම ඓතිහාසික මාලිගාතැන්න විවේක සේනාසනයේ කෘත්‍යාධිකාරී පූජ්‍ය කොටපල පියරතන හිමියන් සොයා ගියෙමු.

අප යන විටක් උන්වහන්සේ ගල් තලාවක් මතට වී යුහුසුලු ව වත්මනෙහි මෙම විහාරයේ කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් උපදෙස් ලබාදෙමින් සිටියහ.

ලද විරාමයේ දී අපි උන්වහන්සේගේ දෙපා නැමද අප ආ කාරණය පැහැදිලි කර සිටියෙමු.

“එන්නකො මහත්තයල මාත් එක්ක…. අපි වාඩි වෙලා කතා කරමු.”

උන්වහන්සේ පසුපස වැටුණ අපි ආවාස ගෙය තුළ වාඩි වුණෙමු. උන්වහන්සේ ඉතා පැහැදිලි ස්වරයෙන් කටහඬ අවදි කළහ.

“මහත්තයා… ඔබතුමන්ලා මේ ඇවිත් ඉන්නේ ඓතිහාසික මාලිගාතැන්න විවේක සේනාසනයට යි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ තියෙන උස ම තැන මෙතැනයි… අඩි 850ක් පමණ උසකින් යුක්තයි.

වළගම්බා රජතුමා වසර ගණනක් සැඟවී සිටි ස්ථානයක් විදියටත් මෙම ලෙන් විහාරය ප්‍රසිද්ධයි…. ඒ වාගේ ම මුගලන් රජතුමාත් මෙහි සිටි බව සඳහන්.

මිත්තාසභ රහතන් වහන්සේ ප්‍රධාන රහතුන්ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු වූ පින් බිමක්.

ඒ විතරක් නෙවෙයි… අති පූජනීය වූ දළදා වහන්සේ දෙවරක් ම මේ පින් බිමේ වඩා හිඳුවාගෙන පුද සත්කාර කොට තිබෙනවා.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ පින් බිමට මාලිගාතැන්න යන නම යෙදීමට හේතුවක් තියෙනවා ද?”

“මහත්තයා… මේ ගල මත කලින් තිබිලා තියෙනවා විශාල වළක්… පසුව අවට ගමකින් පස් ගෙනත් මේ වළ පුරවලා තැනිතලාවක් හදලා ඒ තැන්නේ තමයි දළදා මාලිගය සාදා තිබෙන්නේ. තැන්නේ හැදූ මාලිගය යන අරුතිනුයි මාලිගා තැන්න බවට පත් වෙලා තියෙන්නේ.

එතකොට මේ පස් ගත් ගම අදත් තියෙනවා. අද ඒ ගමට කියන්නේ පස්ගම්මන….

එතකොට මහත්තයා මේ දළදා වහන්සේට වතාවත් කරන්නට අවට ගම්වලට බාර වුණා… පාලියෙන් බත්වලට කියන්නේ ‘බුත්’ කියලා. බත් පූජා කළ බත්ගම තමයි අද බුත්පිටිය කියන්නේ.

ඒ වාගේ ම ව්‍යංජන පූජා කළ ගම තමයි කෙහෙල්ගල් දොරුව.

අඹ ආදි සියලු පලතුරු පූජා කළ ගම තමයි අඹගස්පිටිය.

වතු පිටින් මල් වවලා පූජා කළ ගම තමයි මල්වතු හිරිපිටිය.”

“සාධු….! සාධු…! හරි ම අසිරිමත් විදියට පූජා පවත්වලා තියෙනවානේ ස්වාමීන් වහන්ස…”

“අපි විතරක් නෙවෙයි මහත්තයා, මේ දළදා වහන්සේට දෙවිවරුත් පුද සත්කාර කළා. ආරක්ෂාව ගැන සොයා බැලුවා.”

“ඒ කිව්වෙ ස්වාමීන් වහන්ස…?”

“ඔන්න කෝට්ටේ යුගයේ දී මේ දළදා වහන්සේ භාරව හිටියේ හිරිපිටිය කියන දියවඩන නිලමේතුමා. හිරිපිටිය නිලමේතුමාට දවසක් හීනෙන් දෙවි කෙනෙක් පෙනී හිඳලා කවි දෙපදයක් කියලා තියෙනවා, ‘කෝට්ටේ කළාලේ – දත මැද ගන්න රාළේ’ කියලා…. අද කෙනෙකුට නම් මේ අරුත තේරුම් ගන්න බැරිවෙයි… ඒත් හිරිපිටියෙ නිලමේතුමා මේ අරුත මැනැවින් තේරුම් ගත්තා…

‘කෝට්ටේ පරසතුරු ආක්‍රමණ බලවත් වනවා, ඉක්මනින් දන්ත ධාතුන් වහන්සේ රට මැදට ගන්න’ කියන එකයි ඒකේ අරුත.

ඉතින් මේ වෙලාවේ හිරිපිටිය නිලමේතුමා කල්පනා කළා දළදා වහන්සේට සුව පහසු ව, ආරක්ෂාකාරී ව වැඩහිටින්නට සුදුසු තැන කුමක් ද කියලා… මෙන්න මේ වෙලාවෙදි තමයි තීරණය කළේ මීට පෙරත් දළදා වහන්සේ වැඩ හිටිය මේ මාලිගාතැන්න පින් බිම තමයි සුදුසු ම තැන කියලා… ඉතින් ඔන්න ඔහොමයි මහත්තයා මේ පින් බිම අවස්ථා දෙකක දී ම දළදා වහන්සේගේ පහසින් පූජනීයත්වයට පත් වුණේ…”

“පින්වත් ස්වාමීන් වහන්ස, අප දුටුවා අර විහාරයට ඇතුල් වන තැන ම තිබෙනවා ඉර හඳ පසෙකත්, අනෙක් පස බලු කපුටු රුවකුත්… මෙහි යම් අර්ථයක් තියෙනවා ද?”

“මහත්තයා… මේවා අතීත අනාගත සිව් දිගින් වඩින මහා සංඝයා වහන්සේලා වෙත සැදැහැවතුන් මහත් භක්ති ආදරයෙන් පූජා කළ පුද බිම්… මේවා අයිති සම්බුදු සසුනට යි… යම් කෙනෙක් මේ සඟ සතු දේපළ අයථා පරිහරණය කළොත් මේ ඉර හඳ පවතින තුරා අන්න ඒ අය බල්ලන් වෙලා, කපුටන් වෙලා තමයි උපදින්නෙ කියන එකයි එයින් අදහස් වෙන්නේ…

එහෙනම් මට සුනංගු වුණා… දානයකට භාරගත්ත ආරාධනාවක් තියෙනවා.”

උන්වහන්සේගේ දෙපා නැමද සමුගත් අපි විහාර මන්දිරය වෙත ආවෙමු… සුවිශාල ගල් පියසකින් සෙවණ වුණ ධර්මශාලාවේ වම් පස කෙළවරේ විහාර මන්දිරය පිහිටා ඇත. ඒ දහවල් දාන වේලාවයි… අපි සියලුදෙනා භාග්‍යවතුන් වහන්සේ වෙත දන් පැන් පූජා කිරීමට පැමිණි පිරිස හා එකතු වී දන් පැන් පූජා කර මිහිරට හඬ නගා බුද්ධ වන්දනා කළෙමු.

ඉන් අනතුරු ව… දළදා වහන්සේගේ පහසින් පූජනීය වූ ආකාස චෛත්‍ය දැක බලා වන්දනා කර ගැනීම සඳහා පිටත් වුණෙමු. අපට මග පෙන්වන්නට අපූරු ගමන් සගයෙකු එකතු විය… ඒ සුනඛයෙකි… ඌ ඇතැම් විට මේ සඟ සතු දේපළ අයථා පරිහරණයේ විපාක විඳිනා අයෙක් විය හැකි ය. අහෝ… සසර කෙතරම් බියකරු ද?

ගස් වැලින් පිරුනු, සොබා දහමින් සිසිලස රැඳුන පරිසරය ගතේ විඩාවට මඳ අස්වැසිල්ලකි… අඩි සියයක පමණ දුරක් ගිය විට මුණගැහෙන දෙගල්දොරුව ද සොබා දහමේ අසිරිමත් නිමැවුමකි. සුවිසල් ගල් පරුවත බිත්ති දෙකක් මැදින් ඉහළ කඳු ශිඛරය වෙත වැටී ඇති මාවත කුරුබිලි මාවත හෙවත් ආකාශ ගව්ව ලෙස ද නම් දරා ඇත. එය තරණය කළ විට ඔබට මේ ජීවිතයේ දී නෙතින් විඳි සොඳුරු ම අසිරිමත් ස්ථානයක් වෙත පිවිසිය හැකි ය.

ඒ, ආකාස චෛත්‍ය මළුව යි… අපට මගපෙන්වමින් අඩි 850ක් තරණය කර ආ අපගේ ගමන් සගයා කිසිදු හැල හොල්මනක් නැතිව මල් ආසනය යටට ගොස් නින්දට වැටුනි.

මේ උස් කඳු මුදුනේ හාත්පස සිසාරා නෙත් යැවූ කල නැගෙනහින් සොඳුරු සමනල කඳු වැටිය ද බස්නාහිරින් මීගමු වෙරළ තීරය ද දකුණු අතින් ගාලු මුවදොර ද ඒ අතර හිස් අවකාශය හරිත පැහැයෙන් වර්ණවත් කළ පොල්රුප්පාවල මෙන් ම කෙත් වතුවල මනස්කාන්ත දසුනින් ද ඔබ වසඟ වනු නොඅනුමාන ය.

හමා එන සිහිලැල් පවනින් ගතේ විඩා පමණක් නොව නොයෙකුත් කරදර කම්කටොළුවලින් පිරි සිතේ විඩාව ද පිසදා හැර භාවනාවට ම සුදුසු විවේකී සිතක් සැණෙකින් උපදවා දෙයි… මෙය මාලිගාතැන්න විවේක සේනාසනය ලෙස හඳුන්වන්නේ ඒ නිසා ම විය යුතු ය.

මඳක් ඒ අසිරිමත් දසුනින් සිත සනහා ගත් අපි ආකාස චෛත්‍යය වන්දනා කළෙමු. සැබැවින් ම භාග්‍යවතුන් වන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් පිටවූ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලැබු සිරි දන්ත ධාතූන් වහන්සේගේ සුනිමල පහස දෙවරක් ම ලැබූ පින් බිම මෙතැන ය. සියවස් ගණන් තිස්සේ මේ රට ජාතිය සම්බුදු සසුන රැකදුන් නරපතියන්ගේ ක්ෂේම භූමිය මෙතැන ය… උතුම් රහතන් වහන්සේලා සම්බුදු ගුණ සිහිකරමින් වැඩහුන්, දළදා වහන්සේට ගම්මාන පිටින් එක්වී පුද සත්කාර දෙමින් වන්දනා කළ බිම මෙතැන ය… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස… ඔබ වහන්සේගේ සම්බුදු සිසිලස අදත් මේ බිමෙන් තුරන් වී නැත… දිවි පුදා ඔබ වහන්සේ සරණ යමි…

සාදු! සාදු!! සාදු!!!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

වාරණ රජමහා විහාරය

ස්වභාවිකව ම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ...