highlights of the week
Home » NEW ARTICLES » තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

“මනුෂ්‍යයන්ට තියෙන මේ ඇස් කන් ආදි ඉඳුරන් තමන්ගේ යහපතට යොදා ගන්නටත් පුලුවන්. අයහපතට යොදා ගන්නටත් පුලුවන්. ඒ ඉඳුරන් රැක නො ගත්තොත් අයහපත පිණිසයි පවතින්නේ. රැක ගත්තොත් පහසුව පිණිසයි පවතින්නේ.

ඒ නිසා තම කටයුතු යහපත් ලෙස කරන, අනුන් නො වෙහෙසන තැනැත්තා ඇස් කන් ආදි ඉඳුරන් හොඳින් රැකගන්න ඕන. හොඳින් හසුරුවන්න ඕන.”

අමෘතයක් බඳු වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, ලොව පරම සැපය වූ නිර්වාණ සුවයට පත්, නිවී ගිය ජීවිතයක් උපදවා ගත් පාරාසරිය මහ රහතන් වහන්සේ විසිනුයි මේ උතුම් ගාථාවන් වදාළේ. තමන්ගේ ජීවිතයේ යහපත ගැන හිතන කෙනෙක් විසින් කළ යුතු දෙයක් ඒ උතුම් රහතන් වහන්සේ මෙයින් කියා දෙනවා. ඒ තමයි ‘තම ඉඳුරන් සංවර කරගැනීම’. ඉන්ද්‍රිය සංවර කිරීම බුදුරජාණන් වහන්සේ විසින් ‘ඉන්ද්‍රියයන්ගේ වසාගත් දොරටු ඇති බව’ කියලත් හැඳින්වූවා. එය ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් සුරකින සීලයක්. වරක් බුදුරදුන් හමුවට පැමිණ දහම් කතාවක් ඇසූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

‘භවත් ගෞතමයාණෙනි, මේ ධර්ම විනයේ අනුපිළිවෙළ වූ හික්මීමක්, අනුපිළිවෙළ වූ ප්‍රතිපදාවක්, අනුපිළිවෙළින් කරන ක්‍රියාවක් තිබෙනවා ද?’

‘භවත් මොග්ගල්ලානයෙනි, මේ ධර්ම විනයේ අනුපිළිවෙළ වූ හික්මීමක්, අනුපිළිවෙළ වූ ප්‍රතිපදාවක්, අනුපිළිවෙළින් කිරීමක් පෙන්වා දෙන්න පුලුවනි’ යි ඒ බ්‍රාහ්මණයාහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

එම අනුපිළිවෙළ ප්‍රතිපදාවේ ආරම්භය යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව, ඉතා කුඩා වරදෙත් බිය දකිමින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සිල්වත් වීමයි. එසේ සිල්වත් වන භික්‍ෂුව මීළඟට හික්මිය යුත්තේ ඉන්ද්‍රිය සංවරය තුළයි. එය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අයුරින් පෙන්වා දී වදාළා.

“පින්වත් භික්‍ෂුව එන්න, ඇස් කන් ආදි ඉඳුරන් හොඳින් සංවර කරගෙන ඉන්න. ඒ කියන්නේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේශ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නවා නම් ඇසින් රූප දැක එබඳු නිමිති නො ගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක්වත් නොගෙන ඉන්න. ඇස සංවර කරගැනීමට පිළිපදින්න. ඇස නම් වූ ඉන්ද්‍රිය රකින්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න…”

මේ අයුරින් ම කනට ඇසෙන ශබ්දවලින්, නාසයට දැනෙන ගඳ සුවඳවලින්, දිවට දැනෙන රසයෙන්, කයට දැනෙන පහසින් හා මනසට උපදින අරමුණු වලින් ඒ ඒ ඉන්ද්‍රියයන් රැක ගත යුතු බව එම දේශනාවේදී පෙන්වා දී වදාළා.

ඇයි මේ ඉඳුරන් සංවර කළ යුත්තේ?

ඉන්ද්‍රියයන් සංවර කිරීමේ වටිනාකම තේරුම් ගන්නේ බුදු රදුන්ගේ ආර්ය ශ්‍රාවකයෙකු පමණයි. සංවර නො කරන ලද ඉන්ද්‍රියයන් හේතුවෙන් ඇතිවන අනතුර බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී වදාළා.

“පින්වත් මහණෙනි, ගිනි ඇවිලගත්, මුලුමනින්ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ යකඩ ආයුධයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් ඇසින් දත යුතු රූප ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, රූප නිමිත්තෙහි ආශ්වාදයට ගිජු වූ හෝ රූප නිමිත්තෙහි කොටසක ආශ්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විටක කලුරිය කළොත් තිරිසන් යෝනිය හෝ නිරය කියන ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මම මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ…’

මේ අයුරින් ඉඳුරන් හය ම අසංවරව සිටීමේ අනතුර ආදිත්ත පරියාය සූත්‍රයේ දී අපගේ බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දෙනු ලැබුවා.

ඇත්තෙන්ම සම්බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තිබෙන, ප්‍රේමයක් තිබෙන, දුක් සහිත සංසාරගත ජීවිතයෙන් නිදහස් වෙන්නට කැමති කෙනෙකුටයි ඉන්ද්‍රිය සංවර කිරීමේ වීර්යය උපදින්නේ. එය ඔහුගේ ජීවිතය දුක් නිවන මාර්ගයේ යොදවන පධාන වීර්යයක් බවට පත් වෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ ඒ ඉන්ද්‍රිය සංවරය හඳුන්වන්නේ ‘සංවරප්පධානය’ කියලයි.

ඒ වගේම මේ අයුරින් ඉඳුරන් සංවර කරගන්නා ශ්‍රාවකයාහට අසංවර බව නිසා හටගන්නා පීඩාකාරී වූත්, දැවිලි සහිත වූත් ආශ්‍රව හටනොගන්නා බවත් බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී පෙන්වා දී වදාළා.

මේ ජීවිතය නුවණින් ගතකරන්නට කැමති කෙනෙක්, යහපතට කැමති කෙනෙක් අනිවාර්යයෙන් ම ඉන්ද්‍රිය සංවර කිරීම ගැන තම අවධානය යොමු කළයුතුයි. හැබැයි ඒ සඳහා ඔබට ආර්ය දර්ශනයක් නැති, අසත්පුරුෂයන් බහුල මේ සමාජයෙන් නම් උපකාර ලැබෙන්නේ නෑ. ආර්ය දර්ශනය නොමැති අන්ධබාල ලෝකයා විසින් නිපදවන තාක්‍ෂණික උපකරණ වේගයෙන් ඔබේ ඉඳුරන් අසංවර කර දමාවි. මේ ඉඳුරන් අසංවර වූ මොහොතේ ලබන සුලු ආශ්වාදය සැපයක් සේ හැඟුනත් අසංවර වූ ඉඳුරන් හේතුවෙන් අප රැස් කරන්නේ දුකයි.

සියල්ල අවබෝධ කළ, අනාවරණඤාණී වූ තුන් ලොවට මහා සත්පුරුෂයාණන්, කල්‍යාණ මිත්‍රයාණන් වූ සම්බුදුරජාණන් වහන්සේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී මෙය පෙන්වා දී වදාළා.

“සිහි මුළා වෙලා ඇහෙන් රූප දකිනකොට එයා එහි ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්න සිදුවෙන්නේ ඇලුණු සිතින්. ඒකෙම සිත බැසගන්නවා. එතකොට ඒ රූපය නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ හටගන්නවා. එයාගෙ හිත ආශාවෙන්, අසහනයෙන් පෙළෙනවා. මේ විදිහට දුක් රැස්කරනකොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නේ”

මේ අයුරින් සිහි මුළාවෙන් යුතුව ඉඳුරන් හසුරුවද්දී හැම ඉන්ද්‍රියයක් හේතුවෙන් ම රැස්වන්නේ දුක ම යි. සිදුවන්නේ නිවනින් ඈත් වීම ම යි. ඔහුට මේ ජීවිතයේදී ම මහා අසහනයක්, පීඩාකාරී බවක් තමයි උරුම වෙන්නේ. එපමණක් ද? ඒ කිළිටි සහගත ජීවිතයට මරණින් මතු කෙතරම් දුකක් උරුම වේවිද?

ඒ නිසා ඉන්ද්‍රිය අසංවර වීමේ ආදීනව නිරතුරු සිහිකළ යුතු බව රහතන් වහන්සේලා විසින් පෙන්වා දී තිබෙනවා. ඉන්ද්‍රියයන් හැසිරවීමේදී හොඳ සිහියකින් හා නුවණකින් යුතුව වාසය කරයි නම් ඔහුගේ ඉඳුරන් හේතුවෙන් දුක් වැඩෙන්නේ නෑ.

“සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා රූපයක් දැක්කම ඒ රූපයට ඇලෙන්නේ නෑ. එයා ඒක විඳින්නේ නොඇලුණු සිතින්. ඒ රූපය ගැන එයාගේ සිත බැසගන්නේ නෑ. එයා රූපය දකින ආකාරයෙන්, ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිලා යන්නේ. එතකොට රැස්වෙන්නේ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නේ. ඔය විදිහට දුක අයින් කරනකොට නිවනට ළං වුණා කියලා කියනවා.”

ඉන්ද්‍රියයන් හය ම මේ අයුරින් සංවර කරගත්තොත් ජීවිතයට සැලසෙන යහපත බුදුරජාණන් වහන්සේ විසින් මාලුක්‍යපුත්ත සූත්‍රයේදී පෙන්වා දී වදාළා. ඉන්ද්‍රියයන් අසංවර වන බලවත් අරමුණු තමා ඉදිරියට පැමිණ තිබෙද්දී පවා මනා සිහියෙන් හා මනා නුවණින් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා තම ඉන්ද්‍රියයන් සංවර කරගෙන පිරිසිදු සිල් ඇතිව වැඩ සිටියා. නමුත් හීන වීරිය ඇති, ශ්‍රද්ධා රහිත වූ ඇතැම් භික්ෂූන් තම ඉඳුරන්හි සංවරය බිඳගෙන සීල විපත්තියට පැමිණියා. ඇතැම් භික්ෂූන් උතුම් පැවිදි බව අත්හැර සතර අපායෙන් යුතු සසරට ම නැවත ඇද වැටුනා.

වරක් අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ විසින් උදේන රජ්ජුරුවන් හට වදාළේ කළු කෙස් තියෙන, භද්‍ර යොවුන් වියෙහි සිටින මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් එයට එක් හේතුවක් වන්නේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ව ඉන්ද්‍රිය සංවරය තුළ හික්මවා ඇති නිසා බවයි.

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා. ඒ නිසා යම් කෙනෙක් තමාගේ ඉඳුරන් මනාව ආරක්‍ෂා කරගත්තොත් ඔහු ඉෂ්ට අනිෂ්ට අරමුණු වලදී නොසැලෙන ජීවිතයක් උපදවා ගන්නට වාසනාවන්ත වෙනවා. ඔහු තුළ උපදින ඒ ඉන්ද්‍රිය සංවරය මුලු මහත් නිවන් මඟම සම්පූර්ණ කර ගන්නට හේතු වෙනවා. ඒ බව අපගේ ශාස්තෘන් වහන්සේ කුණ්ඩලිය සූත්‍රයේදී මේ අයුරින් දේශනාකොට වදාළා.

“කුණ්ඩලිය, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක මනාප අරමුණට ආශා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය වෙනස් නොවී සිටියේ වෙයි. සිත සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.

ඇසින් ම අමනාප රූපයක් දැක නොහැකිලෙයි. නොසංසුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි. සිත ත් සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.”

මේ අයුරින් ඉඳුරන් සියල්ල මනාව සංවර කරගත් කළ එසේ පුරුදු කරන ලද, බහුලව පුරුදු කරන ලද ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරවනවා. ත්‍රිවිධ සුචරිතය මැනවින් වඩද්දී සතර සතිපට්ඨානය සම්පූර්ණ වන බවත්, මැනවින් සතර සතිපට්ඨානය වඩද්දී සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වන බවත්, සප්ත බොජ්ඣංගයන් මැනවින් වඩනාවිට විද්‍යා විමුක්ති සම්පූර්ණ වන බවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සූත්‍රයේදී පෙන්වා දී වදාළා.

ඉන්ද්‍රිය සංවරය නම් වූ මේ උතුම් ගුණය පුරුදු කරන ලද්දේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසිනුයි. එය දුර්වල වූ, බලවත් අධිෂ්ඨානයක් නැති, හීන වීරියක් ඇති, සිහි මුළා වූවන්ගේ දෙයක් නොවේ. ඒ උතුමන් මහත් වීරියෙන් ඉඳුරන් රැකගෙන, සංවර කරගෙන දුක් දුරු කරගනු ලැබුවා. අමා නිවනට සමීප වුණා. ඒ අමා නිවන් සුවය සාක්‍ෂාත් කොට වදාළා. ඒ උතුමන්ව දෙවිවරු පවා නිතැතින්ම ප්‍රිය කරනවා.

“දක්‍ෂ රියැදුරෙක් විසින් ඉතා හොඳින් හීලෑ කරපු අශ්වයන් වගේ යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳින් හීලෑ කරගත්තා නම්, මාන්නය නැති කරපු , කෙලෙස් නැති කරපු අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.”

(ධම්ම පදය)

ඉඳුරන් දමනය කිරීම ගැන ලොවට දේශනා කළ ශාස්තෘන් වහන්සේ ගැන සිත් පහදවා ගෙන, මැනවින් ඉඳුරන් දමනය කළ උතුම් සඟ රුවනේ ගුණ සිහි කරමින්, නිති වන්දනා කරමින් ඒ උතුම් ධර්මයට සත්කාර කරමින් ධර්මයට අනුවම ඉඳුරන් හොඳින් දමනය කරගෙන අමා නිවනට ළං වෙන්නට අපටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අසිරිමත් මහා කරුණාව ( 1 වන කොටස)

ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා,