highlights of the week
Home » NEW ARTICLES » බඳින්න වැට හැකියි ඔබටත්

බඳින්න වැට හැකියි ඔබටත්

ඔන්න ඈත රටක ලස්සන නගරයක් තිබුණා. මේ නගරයේ ජීවත් වුණේ බමුණු පිරිසක්. ඉතින් මේ ගම්මානයේ එක් බමුණු පවුලක් ඉතා සතුටින් හිටියා. ඒ බමුණු බිරිඳගේ කුසින් ලස්සන දියණියක් උපන්නා. මේ දුව ඉතාමත් ලස්සනයි. ටිකෙන් ටික ළමා වයස ගෙවා තරුණ වියට පා තබන විට මේ දියණිය වඩ වඩාත් රුවෙන් බබළනවා.

මේ කාලයේ තමයි සිඛී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකයට ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ. මේ තරුණ දුවත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් දන් පැන් පූජාකරගෙන පින් රැස්කර ගන්නවා. ධර්මයේත් හැසිරුණා. මේ දුවට සසර කලකිරිලා පැවිදි වෙන්න හිතුණේ ධර්මය අවබෝධ කරන්නයි. ඉතින් ඊට පස්සේ අම්මාගේත්, තාත්තාගේත් අවසර අරගෙන මෙහෙණි ආරාමයක පැවිදි වුණා.

පැවිදි වුණ දා ඉඳලා මේ භික්ෂුණිය ඉතාමත් නිහතමානියි. ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත් කරනවා. ලස්සනට ආරාමය තබාගන්න මිදුල් අමදිනවා. වන්දනාමාන කරනවා. දවසක් පොහොය දිනයට කලින් දවසේ මේ භික්ෂුණිය චෛත්‍ය මළුව අතුගාලා පිරිසිදු කළා. සියලු ම භික්ෂූණීන් වහන්සේලා සමඟ රාත්‍රී චෛත්‍ය වන්දනාවට ද සහභාගී වුණා. මේ වන්දනාව අතරේ එක් රහත් භික්ෂුණීන් වහන්සේනමකට කිවිසුමක් ගියා. ඉතින් අර චෛත්‍ය මළුව අතු ගාපු භික්ෂුණියට තරහා ගියා. “අයියෝ… පිරිසිදුව තිබුණ මළුවට සෙම සොටු විසිරවූ ගණිකාව කවුද?” කියලා අර රහත් තෙරණියට නපුරු වචනයක් කිව්වා.

ඒ රහත් තෙරණියට අපහාස කළ නිසා මේ භික්ෂුණිය මහා පවක් කර ගත්තා. ටික කාලයකින් කළුරිය කළා. කළුරිය කරලා රහත් තෙරණියකට අපහාස කිරීමේ පාපයට නිරයේ ඉපදුණා. කල්ප ගාණක් නිරයේ දුක් වින්දා. ඒ නිරයෙන් චුත වුණාට පස්සේ මනුස්ස ලෝකේ උපන්නා. මනුස්ස ලෝකෙත් ආත්ම භාව ගණනාවක් ගණිකාවක් විදිහට තමයි හිටියේ. ඒ අර කල්ප ගණනාවකට පෙර රහත් තෙරණියකට ගණිකාව කියලා අපහාස කළ වචනෙට. ඊට පස්සේ කල්ප ගණනකට පසුව පහළ වුණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී අරහත්වය සාක්ෂාත් කළා. හැබැයි ඒ ජීවිතයෙදිත් පැවිදි වෙන්න කලින් ගණිකාවක් ම යි.

ඒ අම්බපාලි මහා රහත් තෙරණියගේ අතීත කථාවේ කොටසක්. අපේ වචනයෙන් අපට කරන හානිය ගැන හිතන්න මේක හොඳ කථාවක්. අර කියනවා වාගේ “කටකැඩිච්ච වචන කියන්න ගිහින් අමාරුවේ වැටෙනවානේ.” කියන කියමන ඇත්තක්. බලන්න එදා සිඛී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලත් වචනය සංවර කරගත්තේ නැති නිසා වුණ විපත. අන්න ඒ වගේ වචනය සංවර නො කරගෙන සිටි මිනිසුන්ට වුණ හානිය ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

අපි දන්නවානේ අපි අපේ තුන්දොර රැකගන්න ඕන කියලා. ඒ කියන්නේ අතින් වහගෙන නෙමෙයි; සංවර කරගෙන. තුන්දොර කියන්නේ සිත, කය, වචනය. අන්න ඒ අතරින් වචනය ගැන තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා,

වචී පකෝපං රක්ඛෙය්ය – වාචාය සංවුතෝ සියා
වචී දුච්චරිතං හිත්වා – වාචාය සුචරිතං චරේ

“වචනය ප්‍රකෝප කර ගන්නේ නැතුව රැකගන්න ඕන. වචනයෙන් සංවර වෙන්න ඕන. වචී දුෂ්චරිතය අත්හැරලා, වචනයෙන් සුචරිතයේ හැසිරෙන්නට ඕන.” කියලා.

මෙන්න මේ විදිහට දේශනා කරපු අවවාද අනුශාසනා පිළිගෙන පිළිපදිනවා නම් කවුරුවත් වචනය නිසා දුක්ඛිත තත්ත්වයන්ට පත්වෙන්නේ නෑනේ.

දවසක් ගිජුකුළු පව්වේ සිට වැඩම කරමින් හුන් නාරද ස්වාමීන් වහන්සේට පෙරේතයෙක් ව මුණ ගැහුණා. එයාගේ කට ඌරෙක්ගේ වගේ. හැබැයි ශරීරය හරි ම ලස්සනයි. නාරද ස්වාමීන් වහන්සේ අහනවා,

“ඔබේ ශරීරය රන්වන් පාටයි. කට ඌරෙකුගේ වගේනේ. ඔබට ඔය විදිහේ ශරීරයක් ලැබෙන්න ඔබ කළ කර්මය කුමක් ද?”

එතකොට ප්‍රේතයා පිළිතුරු දෙනවා.

“ස්වාමීනී, මම මිනිස් ලෝකේ සිටිය දී කයින් සංවර වෙලා හිටියා. (එයා මිනිස් ලෝකේදි කයින් සිල් රැකලා.) හැබැයි වචනය ආරක්ෂා කර ගත්තේ නෑ. (එයා වචනයෙන් සිල් රැකලා නෑ.) පින්වත් නාරද ස්වාමීන් වහන්ස, මට මේ ලස්සන කයක් ලැබිලා තියෙන්නේ කයින් සිල් රැකපු නිසා. හැබැයි මම වචනය ආරක්ෂා කළේ නැති නිසා මට ඌරෙකුගේ වගේ කටක් තමයි ලැබිලා තියෙන්නේ.”

බලන්න කට පරිස්සම් කර නොගත්තහම වෙන දේ.

අප දන්නවා අකුසල් දහයක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ අකුසල්වලින් හතරක් ම වචනයෙන් වෙන අකුසල්.

බොරු කීම අකුසලයක්. බොරු කියනවා කියන්නේ, තමා කළ දේ ගැන නො කළා කියනවා. ඔන්න දැන් ඔයා වෙන කෙනෙකුගේ දෙයක් ගත්තා හොරෙන්, දැන් ඉතින් ඒකේ අයිතිකාරයා හොයනවා හැමතැන ම. එයා ඔයාගෙනුත් අහනවා “ඔයා ගත්ත ද?” කියලා. හැබැයි ඔයා තමයි ගත්තේ. ඒත් ඔයා කියනවා “මම ගත්තේ නෑ.” කියලා. අන්න ඔයා බොරු කිව්වා. එය වචනයෙන් වන අකුසලයක්.

ඊට පස්සේ තවත් කෙනෙක් හොඳ දෙයක් කරනවා කියමුකෝ. කවුරුහරි ඇවිල්ලා අහනවා “ෂා…. මේ වැඬේ කවුද කළේ?” කියලා. ඔයා කියනවා “මම කළේ.” කියලා. එතකොට තමන් නො කළ දේ කළා කිව්වහම බොරු කිව්වා වෙනවා. නො දැකපු දේ දැක්කා කියනවා. දැකපු දේ නො දැක්කා කියනවා. මේ විදිහට බොරු කිව්වහම තමයි තමන්ගේ වචනය අසංවර වෙන්නේ. එයින් අප ව නිරයේ, ප්‍රේත ලෝකයේ ආදි දුක්ඛිත තැන්වල උපතක් කරා ගෙනියන්න පුළුවන් අකුසල කර්මයන් රැස්වෙනවා.

සැවැත් නුවර හිටියා අඹු සැමි යුවළක්. හැබැයි මේ පවුලේ කාන්තාවට දරුවන් නෑ. ඒ නිසා මේ පුරුෂයා වෙනත් විවාහයක් කර ගත්තා. ටික කාලයක් ගියහම ඒ අලුත් බිරිඳට දරුවෙක් ලැබෙන්න දරු ගැබක් පිහිටියා. අර මුලින් සිටි බිරිඳට හරි ඊර්ෂ්‍යයි මැය දරුවා වැදුවාහම නිවසේ හිමිකාරිය වෙයි කියලා. ඇය එක් කාන්තාවකට මුදල් දීලා මේ දරු ගැබ විනාශ කරවූවා. හදිසියේ දරු ගැබ විනාශ වූ නිසා ගැබිණි කාන්තාව හඬාගෙන දෙමව්පියන්ට මේ බව කිව්වා. දෙමව්පියන් පෙර බිරිඳ ව සැක කළා. ඇගෙන් ප්‍රශ්න කළා ම ඇය බොරුවට දිවුරුවා. “මා විසින් ඒ දරු ගැබ විනාශ කළා නම් මම සෑම ආත්මයක දී ම කුසගින්නෙන් පෙළේවා! උදයේ හා සවස දරුවන් පස්දෙනා බැගින් වදා ඒ දරුවන් දසදෙනා ම කෑවත් මාගේ කුසගිනි නො නිවී පවතීවා…! නිරතුරුව ම නිල මැස්සන් ගහන වුණ දුගඳ හමන ශරීරයක් ලැබේවා…!” කියලා.

ටික කාලෙකින් ඒ බිරිඳ මරණයට පත් වුණා. අර බොරුවට දිවුරපු නිසා ප්‍රේත ලෝකේ ඉපදුණා. ඇය මිනිස් ලෝකේ ශාප කර ගත් ආකාරයට ම විපාක දෙනවා. උදේ සවස දරුවන් පස් දෙනා බැගින් කර්මානුරූප ව වදනවා. ඒ දරුවන් කෑවත් කුසගිනි නිවෙන්නේ නෑ.

(පංචපුත්තඛාදක ප්‍රේත වස්තුව)

දැන් තේරුණා නේ ද තමන් කළ දේ නො කළා කියලා බොරුවට කිව්වහම වෙන දේ. අන්න ඒ නිසා “සච්චං භණේ න කුජ්ඣෙය්‍ය” – “සත්‍ය ම යි කථාකරන්න ඕන. කේන්ති ගන්ට හොඳ නෑ.” බොරු කීමෙන් වැළකිලා සත්‍යය ම කථා කරනවා කියලා හික්මෙන්න ඕන.

වචනයෙන් තමයි කේලාම් කීම නැමැති අකුසලය සිදු වෙන්නේ. මෙතැනින් අහගෙන ගිහින් තවත් තැනක කියනවා. එයා කියන දේ අහගෙන ගිහින් අනිත් අයත් එක්ක කියනවා. බිඳුවන අදහසින් ම කියනවා. අන්න එහෙම තමයි කේලාම් කීම සිදු වෙන්නේ. හොඳට ඉන්න පවුල් දැක්කම කේලාම් කියලා බිඳවනවා. හොඳට ඉගෙන ගන්නා, ගුරුවරුන්ට නිහතමානී ව ඉන්න සිසුන් දැක්කම එයා ගැන කේලාම් කියලා ගුරුවරයාගෙන් ඈත් කරනවා. බොරු ගොතලා කේලාම් කියනවා.

දන්නවානේ අහිංසක, අංගුලිමාල වුණ හැටි. එයා පංතියේ දක්ෂ ළමයා නිසා අනිත් අය ඊර්ෂ්‍යාවට බොරු ගොතලා ගුරුතුමාට අහිංසක ගැන කේලාම් කිව්වා. ගුරු සිසු සබඳතාව බිඳුණා. අහිංසක අංගුලිමාල වුණා. බලන්න කේලාම් කීමේ භයානකකම.

මේ විදිහට ම හොඳට ඉන්න යාළුවන් බිඳවනවා කේලාම් කියලා. හොඳට ධර්ම මාර්ගය තුළ හික්මෙන්න මහන්සි ගන්න කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලා ව පවා කේලාම් කියලා අසමගි කරවනවා.

එක ආගන්තුක භික්ෂුවක් එක්තරා විහාරයක නේවාසික ව සමගියෙන් වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙනමක් අතරින් එක් භික්ෂුවක් ළඟට ගිහිල්ලා “අර භික්ෂුව මෙහෙමයි. ඔබ වහන්සේ ඉන්න තැන හොඳින් කථා කරනවා. නැති තැන fදාස් කියනවා.” කියලා අර සමගි ව හිටිය ස්වාමීන් වහන්සේලා කොහොම හරි භේද කළා. ටික දිනකින් ඒ ආවාසයෙන් පරණ හිටපු ස්වාමීන් වහන්සේලා දෙනම යන්න ගියා. අර ආගන්තුක භික්ෂුව හොඳින් ආවාසයේ ඉන්නවා. ටික කාලයකින් රෝගාතුර වී ඒ භික්ෂුව කළුරිය කළා. කළුරිය කළාට පස්සේ ගිහින් නිරයේ උපන්නා. එක් බුද්ධාන්තර කල්පයක් නිරයේ පැහුණා. පසුව මේ බුද්ධෝත්පාද කාලයේ රජගහ නුවරට ආසන්නව කුණු වූ කටක් ඇති ප්‍රේතයෙක් වෙලා ඉපදුණා. ඔහුගේ ශරීරය රන්වන් පාටයි. හැබැයි කේලාම් කීමේ අකුසලය නිසා කටින් පණුවෝ බේරෙනවා. කට හපා කනවා, කටින් හමන දුඟද ඉතා දුරට හමනවා.

(පූතිමුඛ ප්‍රේත වස්තුව)

දැන් ඒ කථාවෙන් ඔබට හොඳට තේරෙන්න ඇති කේලාම් කීමේ භයානකකම. ඒ ස්වාමීන් වහන්සේ කයින් සිල් රැක්කා තමයි. හැබැයි වචනය රැකගත්තේ නෑ. ඒ නිසා අකුසලය බලවත් ඒ නිසා කල්ප ගාණක් විඳවනවා. ඒක තමයි කියන්නේ කේලාම් කීම අතහැරලා අනුන් සමගි වන වචන කථා කරනවා යනුවෙන් හික්මෙන්න කියලා.

බොරු කීම, කේලාම් කීම වචනයෙන් වෙන අකුසල්. හිස් වචන කථා කිරීමත් වචනයෙන් වෙන බොහෝ භයානක අකුසලයක්. අපි සමාජයේ ජීවත් වෙද්දී අර්ථවත් වචන කථා කරන්නේ ම නැති තරම්. අපි වචන සීයක් කථා කළොත් ඒ වචන සීය ම හිස් වචන වෙනවා තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනයක් නැත්නම්. ගෙදර දොරේ, කඩපිළේ, පාසල් ළමුන් අතර, නාන තොටේ නිතර ම ඇසෙන්නේ හිස් වචන මිස ප්‍රයෝජනවත් දේවල් නෙමෙයිනේ.

බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කොට වදාළේ, “පින්වත් මහණෙනි, ඔබ රැස්වූ විට කරුණු දෙකක් පුරුදු කරන්න. ධර්ම කථාවෙන් යුතුව සිටින්න, නැති නම් ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් ඉන්න” කියලයි. ඒ උපදේශය අපටත් හරි වටිනවා. හිස් වචන කථා කරනවා නම් ඒ අනුවණයන් මිස බුද්ධිමතුන් නො වෙයි.

“න තේන පණ්ඩිතෝ හෝති – යාවතා බහු භාසති.” – “පිරිස් මැද ව්‍යක්ත විදිහට මුඛරි ව කථා බස් කළ පමණින් ඔහු නුවණැත්තෙක් වෙන්නේ නෑ.” එහෙම නම් හිස් වචන කථා කරන අය, මහා ඉහළින් දේශපාලනය ගැන කථා කරන අය මහා බුද්ධිමතුන් කියලා හිතුවට ඔවුන් සැබෑ බුද්ධිමතුන් ද? නෑනේ. ඒ නිසා අපි දෙතිස් කථා නො කර, දස කථාව, ධර්ම කථාව ම පුරුදු වෙන්න ඕන. හික්මෙන්න ඕන “මම හිස් වචන කථා කිරීම අත්හැර අර්ථවත් වචන කථා කරනවා” කියලයි.

වචනයෙන් සිදුවන අනිත් අකුසලය තමයි පරුෂ වචන කීම. පරුෂ වචන කියලා කියන්නේ, අනුන්ගේ සිතට අප්‍රිය වූ, අසභ්‍ය වූ, අසන අයට අමිහිරි වූ වචන. පරුෂ වචන කථා කිරීම නිසා ඇති වන්නේ වෛරයෙන් යුතු අමනාප පිරිසක්. එතකොට තමාට තමයි පාඩුව.

“මා’වෝච ඵරුසං කඤ්චි – වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං”

“කාටවත් ම නපුරු වචන කියන්න එපා. නපුරු වචන කියන්න ගියොත් අනිත් අයත් ඔබට පෙරළා නපුරු වචන කියාවි, රණ්ඩු ඇතිවෙන කථා බස් ඇතිකර ගැනීම දුකක්, එයින් ඔබට ම යි කරදර වෙන්නේ.”

(ධම්ම පදය – දණ්ඩ වර්ගය)

ඔබ කාට හරි නපුරු වචනයකින් බණිනවා. ඒ කෙනා ඔබට වචන දෙකකින් බණිනවා. එතකොට ඔබ වචන පහ හයකින් බණිනවා. වචන වැලක් කියාගෙන අනිත් කෙනා ඔබත් එක්ක රණ්ඩුවට ආවොත්, අතට අහුවෙන අහුවෙන දෙයින් ගහගෙන කොටාගෙන ජීවිත පවා අහිමි වන අනතුරකට අර ඔබත් එක්ක රණ්ඩුවට ආව කෙනා වැටුනොත්… ඔබට මොනවා වේවි ද? හිරේ විලංගුවේ පවා යන්න වේවි. එය දුකක් ද? සැපක් ද? එය දුකක්.

දැන් දැක්කා ද විපත…? ඒ නිසා අපි පරුෂ වචන කථා කිරීම අත්හැරලා, අන් අයට ප්‍රිය වූ සිත් ඇදගන්නා වචන කථා කරනවා කියලයි හික්මෙන්න ඕන.

අර මං මුලින් කියපු කථා සියල්ල ම මතක් කර ගන්න, වචනය සංවර නො කරගෙන නිරයේ ගියා. ප්‍රේත ලෝකයේ ගියා. ඒ පුංචි වචනයක් නිසා නිරයේ යන්න තරම් කර්මයක් රැස්වුණා නම් අද සමාජය තුළ කථා කරන බොරු, කේලාම්, හිස් වචන, පරුෂ වචන නිසා ඔවුන් සුගතියේ යාවි ද අද කාලේ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් බොරු කේලාම්, හිස් වචන, පරුෂ වචන කියනවා නම් ඔසවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද මරණින් මතු නිරයේ උපදින බවයි.

“පාපං චේ පුරිසෝ කයිරා – න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ”

“යම් කිසි කෙනෙක් නොතේරුම්කමින් සිත, කය, වචනය කියන තුන්දොරින් යම් පවක් කළොත්, ආයෙ ආයෙමත් නම් ඒ පාප කරන්න එපා. එබඳු පව් ගැන හිතේ කැමැත්තක් ඇති කර ගන්න එපා. ‘දුක්’ කියලා කියන්නේ ‘පවට’යි.”

යමෙක් සිතින්, කයින්, වචනයෙන් පව් කළොත් දුක නම් ලැබන්නේ ‘සැප’ ලැබෙන්නේ කොහොම ද?

“පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ”

“යම් කෙනෙක් තුන්දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරන්න ඕන පින ම යි. පින් කිරීම ගැන තමයි කැමති විය යුත්තේ. ‘සැප’ කියලා කියන්නේ පිනටයි.”

ඔන්න බලන්න සැප කියලා කියන්නේ පිනටයි. එහෙනම් සැප ලැබෙන්නේ පින් කිරීම තුළින්. අපිට අපි අතින් වචනයෙන් සිදුවන අකුසලයන් මඟ හරවාගෙන මොන තරම් පින් රැස්කර ගන්න පුළුවන් ද? ඒ වචනය රැකගන්න තියෙන්නේ තමා විසින් ම යි. අනුන් විසින් නො වෙයි. අනුන්ට තමාගේ වචනය සංවර කරවන්න බෑ. සිහිය උපදවන්න පුළුවන් වචනය සංවර කර ගන්න. ඒ නිසා තමා විසින් ම සිහිය උපදවාගෙන දැඩි වීරියක් අරගෙන, වචනය සංවර කරගෙන අපටත් දෙලොව සැප සලසා ගැනීමට වාසනාව උදා වේවා!

සංජීව ධර්මදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "