සමහර අයගෙන් අපි ඇහුවොත් සතියේ කැමති ම දවස මොකද්ද? හෝ අකමැති ම දවස මොකද්ද? කියලා එකිනෙකට ලැබෙන උත්තර වෙනස්. විශේෂයෙන් ම රැකියාවක් යෙදෙන කෙනෙක් නම් කියාවි “සිකුරාදා කැමති ම දවස, සඳුදා තමා අකමැති ම දවස” කියලා. සමහර අයට රස්සාවට යනවා කියන්නේ එපා ම කරපු දෙයක් කියලා එයාල ම කියනවා. කොහොම නමුත් අපි කරන රස්සාව කැමැත්තෙන් කරන්න බැරි ද? අද අපේ මාතෘකාව දිව යන්නේ ඔන්න ඔය කියන පදනම ඔස්සේ. ඒ කියන්නේ රස්සාව කැමැත්තෙන් කරන්නේ කොහොම ද කියලා…

නායකයාගේ සෙවණැල්ල

මට දවසක් උදේ කෝච්චියේ යනකොට මෙන්න මේ වගේ කතාවක් ඇහුණා.

“උදේ ම බොස්ගේ මූණ දකින එක තරම් අසුභ දෙයක් තවත් නෑ…”

මේ වචන කිහිපය ඇතුළේ ඇත්තටම ගොඩක් දේවල් ගැබ් වෙලා තියනවා. ඒ තමයි අපි රැකියාව තුළ හැසිරෙන ස්වභාවය අපිට නායකත්වය දෙන තැනැත්තාගේ චර්යා රටාව එක්ක බැඳිලා තියනවා කියන එක. සමහර නායකයෝ යටතේ බොහොම කැමැත්තෙන් වැඩ කරන චරිත, තවත් වෙලාවකට සමහර නායකයන්ට බොහොම අකැමැත්තෙන් වැඩ කරන අවස්ථා දකින්න ලැබෙනවා. මේ දෙය ආයතනයක දියුණුවටත් බලපානවා කියන එක අපි අමතක නො කළ යුතුයි. විශේෂයෙන් ම හොඳ, මානුෂීය නායකයෙකු සමඟ වැඩ කිරීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක්. ඒ නිසා ම අර වගේ ඇඟට කඩා පනින බොස්ලව අමතක කරලා, හොඳ නායකයන් වටේ එකතු වෙන පිරිස බොහෝමයි.

එතනදි අමතක නො කළ යුතු තවත් කාරණයක් තියනවා. ඒ තමයි තමන් කවුරුන් හෝ යටතේ වැඩ කරද්දි තමන්ට එපා වුණ ලක්ෂණ කවදාවත් ඔබ නායකයෙකු වුණ දවසට ඔබේ යටතේ ඉන්න අයට දකින්න ඉඩ තියන්න එපා…
ඒ වගේ ම රැකියා ස්ථානය තුළ නායකයා විසින් අනාගත නායකත්වය ගොඩ නැගීම සිදු වනවා. එහෙම අලුතින් ඔබේ ආයතනයට කෙනෙක් එක් වුණා ම අවංක ව ඒ කෙනාට සියලු ම දේ පැහැදිලි කරලා, ඔබ දන්න සියලු දේ ඒ පුද්ගලයාගේ යහපත වෙනුවෙන් පටු අරමුණු රහිත ව කියා දුන්නොත් එය ඔබට වගේ ම ආයතනයටත් ලාභයක් බව අමතක කරන්න එපා.

සමඟිය පිරුණු කණ්ඩායමක්?

දවසක් එක කැලයක ඌරෝ කණ්ඩායමක් හිටියා, මේ කාණ්ඩයේ නායක ඌරෙක් හිටියා ‘තක්ක’ කියලා හඳුන්වපු. දවසක් මේ නායක තක්ක ඌරා සමඟ අනිත් පිරිස කතාවට එකතු වුණා. ඒ අය කියා සිටියා මහා වනාන්තරයේ අලුත් අභියෝගයක් තිබෙනවා කියලා. අභියෝගය තමයි ‘ව්‍යාඝ්‍රයෙකුගේ’ බලපෑමෙන් තමන්ගේ කණ්ඩායමේ එක එක සාමාජිකයා ගාණේ අඩු වීම. ඉතින් අර තක්ක කියන ඌරු නායකයා කිව්වා “අපිට හොඳ ශක්තිමත් ශරීරයක් වගේ ම හොඳ තියුණු දළ දෙකකුත් තියෙන නිසා මේ පාර කවුරුවත් බය නො වී එකා වගේ ඉදිරියට ඇවිත් මේ ව්‍යාඝ්‍රයාට මුහුණ දෙමු” කියලා.

ඉතින් කතා කර ගත්ත විදියට ම ව්‍යාඝ්‍රයා එනකොට මුළු කණ්ඩායම ම එකා වගේ ඉස්සරහට ආවා. එදා දවසේ බලගතු ව්‍යාඝ්‍රයා පසු බැස්සා. මේ ජාතක කතාව තුළින් අපිට ගන්න තියන දේ තමයි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළොත් ඕනම බැරෑරුම් තත්ත්වයකට මුහුණ දීලා ජයගන්න පුළුවන් බව. නමුත් ගොඩක් අයට නැත්තේ ඔය කණ්ඩායම හැඟීම ම යි.

සමහර වෙලාවට කණ්ඩායම් හැඟීම් නැති නිසා වගේ ම අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන් නිසා සමහර ආයතනවල සේවකයන් ඉවත් වීමේ අගය වැඩි බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම කේළම මුල් කරගෙන සිදුවන සමහර සන්සිද්ධින් නිසා ම සේවකයෝ බොහෝ දෙනෙක් ඉන්නේ කලකිරීමෙන්. මේ නිසා පිටත රැකියා ලෝකයේ එන අවස්ථා ගැන නිතර දෙවෙලේ ඔවුන් බලා ඉන්න බවක් ද පෙනී යනවා. එවන් කණ්ඩායම් රැකියා පරිසරය තුළ හැදුනට පස්සේ තවත් කෙනෙක්ට උදව්වක්, උපකාරයක් කරනවාට වඩා ඒ අයගේ අඩුපාඩු, පෞද්ගලික ප්‍රශ්න වගේ ම නැති අඩුපාඩු ගැන මවා පාන බවක් නිතර ම ඉස්මතු වෙනවා. මේ වගේ හිස් වචන, කේළාම් සහ බොරුව මුල් කරගෙන හොඳ රැකියා පරිසරයක් නිර්මාණය කරනවා කියන එක සිදු කළ නො හැකි යි. අනික, ඔබගෙන් හෝ මගෙන් මේ වරද සිදුවෙනවා නම් ඉක්මනින් මෙය වෙනස් කර ගත යුතු පුරුද්දක් බව අවධාරණය කළ යුතුයි.

මොකද මේ ලිපිය කියවන මොහොතේ පවා අපේ රැකියා ස්ථානයේ ඉන්න චරිත මතක් කර ගන්නවාට වඩා තමන්ගේ අතින් වෙන සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් එය සකසා ගැනීමයි අප කළ යුත්තේ. අනික, ඔබට හැකියාවක් තියෙනවා නම් එවැනි කෙනෙකුගේ අඩුපාඩුවක් දුටු විට එයට සිනාසෙනවාට වඩා හෝ ඒ ගැන මුහුණු පොතේ පළ කරනවාට වඩා අවංකව ඒ කෙනාට උදව් කරන්න, එය කොයිතරම් වටිනව ද? ජනප්‍රිය වෙන්න ගන්න තීරණවලට වඩා ඒ දේ සෑහෙන්න වටිනවා ම යි.

ඔෆිස් එකට ආපු දේශපාලනය

මම මෙතන අභ්‍යන්තර දේශපාලනය කියලා දෙයක් මතු කළා. ඒක ගොඩක් ආයතනවල සිදුවන බොහොම නරක දෙයක්. ඒ තමයි, තමන් අකමැති කෙනෙක් හෝ තමන්ගේ තනතුරට බාධා එන කෙනෙක් කියලා දැක්කම ඒ පුද්ගලයාට රස්සාව එපා වෙන තැනට වැඩ කරනවා. බොහෝ විට දුර්වල, තමන්ට නම්‍යශීලී පාලකයෙක් දැක්කම ඒ වටා එක් වෙන පිරිස අර පාලකයා ව කේළමකින් හෝ බොරුවකින් නොමග යවලා ඔවුන්ට අප්‍රිය පුද්ගලයාට රැකියා ස්ථානය මිහිපිට වධකාගාරයක් වන තැනට වැඩ කරනවා. මෙතන අපිට දකින්න පැතිකඩ කිහිපයක් ම තියනවා.

පළමුවෙනි එක තමයි පාලකයා බොහොම ස්වාධීන කෙනෙක් විය යුතුයි. කියන දේ ඒ අයුරින් ම අසා තීරණ ගන්නවාට වඩා බොහොම විචක්ෂණශීලීව තීරණ ගැනීම කළ යුතුයි. නැත්නම් එය ආයතනයට විශාල පරිහානියක්.
දෙවැනි පැතිකඩ තමයි අලුත් කෙනෙක් ආවාහම තමන්ගේ රස්සාව නැති වෙවි, තමන්ගේ උසස්වීම නැති වේවි කියන බය වීමට යට වෙලා ඒ පුද්ගලයා ව කපා හරින්න දරන උත්සහය අත්හැරලා තමන්ගේ රැකියාවේ අලුත් දැනුම ලබාගෙන යාවත්කාලීන වෙලා, අලුතින් යමක් කරලා උසස් වීමක් යහපත් විදිහට ගන්න උත්සාහ කිරීම කොයිතරම් අහිංසක ද කියා තේරුම් ගැනීම. නැත්නම් තමන් කේළාම් කියලා වෙන කෙනෙක් කෙරෙහි බිඳවන පාලකයා ම දවසක තමන්ටත් පාරාවළල්ලක් ලෙස එන බවත් සිහියේ තබා ගත යුතුයි.

තුන්වන පැතිකඩ තමයි, මේ සන්සිද්ධියෙන් පීඩා විඳින කෙනා මේ කිසිවකට නො සැලී, අවංක ව තම උපරිමය කරමින් බාහිර බලපෑම් අමතක කරලා ඉදිරියට ම යන එක. ඒකට මහත්මා ගාන්ධි කියපු කතාවක් මම කෙටියෙන් මෙහෙම මතක් කරන්නම්. “මුලින් ම ඔවුන් ඔබව නො තකාවි, දෙවැනියට ඔවුන් ඔබට සිනාසේවි, තුන්වෙනු ව ඔවුන් ඔබත්, ඔබ කරන දෙයත් වනසන්නට උත්සාහ කරාවි… මේ කිසිවකින් නොසැලුන ඔබ ජය ගනීවි.”

දවසක් මාත් එක්ක මේ වගේ අභ්‍යන්තර දේශපාලනයෙන් රැකියාව එපා වුණ කෙනෙක් කතා කළා. මම එයාට දුන්න උපදේශය තමයි “ඉවසන්න. ඉවසන්න. ඉවසන්න බැරි තැනත් ඉවසන්න. ඒ වගේ ම මේක අභියෝගයක් විදිහට හිතට අරගෙන මේ කන්ද තරණය කරන ගමන් සේවා ස්ථානයේ ඉන්න හැමෝට ම යහපතක් වේවා කියලා මෛත්‍රී සිත නිතර දෙවේලේ වඩන්න.” කියන එක. ඒ වගේ ම “බුදුරජුන් උදෙසා පිහිටවපු චෛත්‍යයක් අසලට ගිහින් හොඳින් වතාවත් සිදු කරලා, සිල් සමාදන් වෙලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරලා මේ තමන්ට මුහුණ දෙන්න වුණ දේ කියන්න” කියලා. දැන් අවුරුද්දකට ආසන්නයි ඒ පුද්ගලයා තමන්ගේ රැකියාව හොඳින් කරනවා වගේ ම එයාට කරදරයක් වුණ සමහර චරිත දැන් එයාට සමීප වුණ අය බවට පත්වෙලා තියෙනවා.

කැමති දේ කරන්න – කරන දේ කැමැත්තෙන් කරන්න

අපි රැකියාවක් කරද්දි අපිව පීඩනයට පත් කරන අනිත් කාරණාව තමයි අපි ආසා කරන, ප්‍රිය සිතින් කරන දේ අපිට සිදු කරන්න නොහැකිවීම. බොහෝ වෙලාවට ලැබෙන දේ කිරීම, ගෙදර බලකිරීමට වගේ ම අතට ලැබෙන මුදල කියන සාධක නිසා තමයි අපි කැමති දේ සිදු කිරීමට අපිට නො හැකි වෙන්නේ. මේ වෙලාවට අපි දෙයක් වටහා ගන්න ඕන. ඒ තමයි හැමවිට ම අපි කැමති දේ සිදුකරන්න නො හැකි බව. නමුත් ඒ දෙය නිසා ඔබ කරන රැකියාවට අසාධාරණයක් නො කරන්න උපරිමයෙන් වග බලා ගන්න. සමහර අය මුකුත් නො දන්න, අකැමැති ම ක්ෂේත්‍රවලින් උපරිම දියුණු වුණේ ඒ රැකියාවට උපරිම සාධාරණයක් කරන්න අවංක ව දරපු උත්සහය නිසා බව ඔබේ සිතට ගන්න. සමහර වෙලාවට ඔබ ඉගෙනගත්ත විෂයට වඩා පරිබාහිර දෙයක් ලෙස ඔබට කරන්න වුණ රැකියාව හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ඔබේ ඉරණම ඔබේ දියුණුවේ හිනිපෙත්තට ම ගෙනියන තැන වගේ ම ඔබේ විනාශයට මග පෙන්වන තැන වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ මොහොතක් නො වේ, කිහිප වතාවක් ම කල්පනා කරලා හැකි නම් අවදානමක් අතට ගන්න. සමහර අය ගත්ත අවදානම් නිසා එයාලගේ ජීවිත ඉතාමත් දියුණු වුණ බව ලෝකයේ රැකියාවෙන් ඉහළට ම ගියපු සමහර චරිත තුළ දකින්න පුළුවන්.

ඔබත් සමහර විට රැකියාව තුළින් ඉදිරියට යන්න උත්සාහ කරන කෙනෙක් විය හැකියි. එසේ නම් ඔබට කරන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ හොඳින් කැපවෙන, උත්සාහ කරන කෙනෙක් විය යුතුයි. නමුත් ඔබේ උත්සාහයට සහ කැපවීමට අරමුණක් නැත්නම් ඔබ හැමදාම ඉන්නේ එක ම තැන. ඒ වගේ ම අලුත් දැනුමින් සන්නද්ධ වීමත්, යහපතට කැමති වීමත් වගේ ම පරිහානියේ ලක්ෂණ නැති මංගල කරුණුවලින් යුතු වීමත් අතිශයින් ම වැදගත්. ඒ වගේ ම අභියෝග එන විට පලා යන චරිතයක් නම් දියුණුව ඔබ ළඟිනුත් ඈතට යනවා. ඒ නිසා ඒ අභියෝගවලට මුහුණ දී ජයගන්නවා කියන හැඟීම ඇති කර ගන්න. දින කාලවකවානු එක්ක ජීවිතේ සැලැස්මක් රැකියාව තුළ හදාගන්න. ඒ සැලැස්ම ඔබට ඔබේ ඉලක්කවලට යන්න උපකාර කරාවි.

පුළුවන් නම් ඔබට අනුගමනය කරන්නට හොඳ චරිතයක් සොයා ගන්න. බෝසත් ජීවිතය තරම් උත්සාහවන්ත, අවංක, බුද්ධිමත් නායකත්වයක් නැති නිසා ඔබට පන්සිය පනස් ජාතක පොත ඒ අනුගමනය කළ යුතු චරිතය මුණගස්වාවී.

වැටි වැටි නැගිටින ජයග්‍රාහකයා

අප ව පීඩනයට පත් කරන අභ්‍යන්තර කාරණාවක් තමයි අපේ දුර්වලතා. රැකියාව කරගෙන යද්දි ඔබ සමහර විට මේ දුර්වලතා නිසා පීඩා විඳින චරිතයක් වෙන්න පුළුවන්. නැත්නම් ඉදිරි කාල සීමාව තුළදි ඔබේ දුර්වලතා මතු වෙලා ඔබට මානසික අසහනකාරි බවක් එන්න පුළුවන්. ඒ වගේ මොහොතක අපිට කරන්න දෙයක් තියෙනව ද? ඔව්. තියෙනවා.

මොහොතක් ඔබ නැවතිලා හොඳින් කල්පනා කරලා බලන්න ඇයි මේ දුර්වලතා මතුවෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපේ ඉලක්කගත වීම, එහෙමත් නැත්නම් focus වීම අඩුවීම තමයි මේකට බලපාන්නේ. ඒ වෙලාවට මොහොතක් විවේකයක් අරන් නැවත පටන් ගන්න. විශේෂයෙන් ම ඒ වැටීම තමන්ගේ නැගිටීම බවට පත් කර ගන්න උත්සාහ කරන්න. ඔබ කිසිවිටකවත් අසාර්ථක වීම්වලට බය වෙන්න එපා. වර්තමාන ලෝකයේ රැකියා ක්ෂේත්‍රයේ බබළන තරු, එක රැයින් බිහිවුණ චරිත නම් නෙවෙයි. අසාර්ථක වුණු, රැකියාවෙන් අස්කරවපු, තමන් ම හදාගත්ත ආයතනවලින් පවා එළියට ඇද දාපු චරිත. නමුත් ඒ අයගේ තිබුණා නොනවත්වා උත්සහා කිරීමේ ගුණය. ඒ නිසා අද ඒ අය ඉන්න මේ තැනට ආවා කියලා අපට හොඳින් දකින්න පුළුවන්.

හොඳ ම උදාහරණය තමයි ඇපල් සමාගමේ සභාපති ස්ටීව් ජොබ්ස්. එයා ව තමන් විසින් ම හැදූ ආයතනයෙන් අස්කරලා තිබුණා. එවන් මොහොතක දැනෙන වේදනාත්මක හැඟීම කොයි තරම් ද කියන එක ඒ වගේ ම දෙයකට මුහුණ දුන් කෙනෙකුට ම තමා වැටහෙන්නේ… එහෙත් නැවත, තමන් ව නෙරපා හැරි ඇපල් සමාගමේ ම ප්‍රධානියා වන්නට ඔහුට හැකි වුණා. ‘අසාර්ථක වෙන්න බය වෙන්න එපා’ කියන එක මම මේ වෙලාවේ ඔබට මතක් කරනවා.

නමුත් හැමදාම අසාර්ථක නො වන්න ඔබ උත්සාහ කළ යුතුයි. මට මුණගැසුනු එවැනි සජීව උදාහරණයක් මම ඔබට කියන්නම්. අයෙක් තමන් නිතර ම අසාර්ථක වෙන බව මට කිව්වා. එයා එයාගේ කඩා වැටීම් ගැන ම යි සඳහන් කළේ. තත්ත්වය කොයිතරම් දරුණු ද කියනවා නම් රැකියා ස්ථානයේ ප්‍රධානීන් එයාට තව ටික කාලයක් බලලා අස්වෙන්න කියන එක කියා තිබුණා.

අපේ සංවාදය අතරතුර මම හඳුනාගත්තා එයා හොඳ පරිචයක් සහ දක්ෂතාවන් තියන කෙනෙක් කියලා. නමුත් අඩුපාඩුවකට තිබුණේ එයාගේ රැකියා ඉලක්කය බාහිර ලෝකයත් එක්ක වෙනස් වුණ එක, එහෙමත් නැති නම් ෆෝකස් එක අඩු බව. අපේ සංවාදය අවසානයේ අපි කතා කළා ඒ ඉලක්කය එක තැනකට කේන්ද්‍ර කරවලා රස්සාව කරගෙන යන්න.

නැවත පටන් ගැනීමක් විදිහට මම යෝජනා කළේ චෛත්‍ය වහන්සේනමක් ගාවට ගිහින් වතාවත් කරලා, දානයක් පූජා කරලා ඒ පිනේ උපකාර ලැබී රැකියාවෙන් ලැබෙනා සේවාමය පින රැස්කර ගන්න උපරිම ශක්තිය ලැබේවා කියලා හිතන්න කියලා. ඉතින් තමන්ගේ දුර්වලතා හඳුනගෙන මේ විදිහට නැවත එයා තමන්ගේ ජයග්‍රහණයේ ගමන් මග ආරම්භ කළා. ඉතා ම කෙටි කාලයකින් ඔහු ආයතනයේ බබළන චරිතයක් වුණා. එපමණක් නෙමෙයි, ඉතාමත් කෙටි කලකින් රැකියාවේ උසස්වීමකුත් ලැබුවේ තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ආපු නිසා බව ඒ දේ දැකපු කෙනෙක් විදිහට මට හිතුණා.

ඉතින් අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ මෙපමණයි. ඒ ඔබ ඔබේ ජිවිත යාත්‍රාව පවත්වා ගන්න අවැසි මුදල් සොයා ගන්නා යාත්‍රාව වූ රැකියාව කිසිවිටකවත් අපාය සහය රැකියාවක්, එහෙමත් නැත්නම් එලොවත් මෙලොවත් වනසන දෙයක් බවට පත් නොකරගන්න. හොඳින් සේවා කටයුතු ඔස්සේ පින් රැස්කර ගන්න ඔබේ රැකියාව මෙහෙයවන්න. කරුණාව, මෛත්‍රිය පෙරටු කරගෙන තවත් කෙනෙක්ගේ දියුණුවටත් කැපවෙමින් ඔබ රැකියාව සිදු කළොත් ඔබ විශාල පිනක් සහ යහපතක් රැස්කර ගන්නවා. ලක්ෂ ගණනින් ලබා ගත්තත්, ඉහළ ම තනතුරේ වැජඹුනත්, යාන වාහන සහ සියලු දේ ඔබට රැකියාවෙන් හිමි වුණත් ඔබ පස් පව් සිදුකරන රැකියාවක් නම් කරන්නේ… ඉතා ඉක්මනින් ඔබේ අස්වීමේ ලිපිය බාර දෙන්න. නැත්නම් කල්ප කෝටි ගණනකට ඔබට ලැබෙන ඒ රුදුරු වේතනය ඔබ ව බුදු සසුන තුළ ගැබ් වුණ සුවපත් බවින්, සනාතන රැකවරණයෙන් ඈතට ගෙනියාවි. ඔව්… බොහෝ ඈතට ගෙනයාවි…

කෞශල්‍ය අයි. රණසිංහ
මානව සම්පත් නිලධාරි සහ උපදේශක