highlights of the week
Home » NEW ARTICLES » ඔබේ ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරත්වා!

ඔබේ ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරත්වා!

කාර්යබහුල තරුණ ජීවිතයකුත්, වගකීම් සහිත මැදිවියකුත් ගෙවා අවසන් කොට ජීවිතයේ විවේකී සැඳෑ සමයට පිවිසි අපගේ වැඩිහිටියන් නැතහොත් ජ්‍යෙෂ්ඨයන් ‘දැන් ඉතින් අපේ වැඩ කටයුතු සේර ම ඉවරයි.’ කියල හිතනවා ඇති. එහෙමත් නැත්නම්, දරුවෙකුගෙ දරුවෙක් බලාගෙන දෙන දෙයක් කාල බීල පැත්තකට වෙලා ඇති. එහෙමත් නැත්නම්, කයෙහි අපහසුතා දරාගෙන තවමත් මුළු ගෙදරට ම කන්න උයල දෙන නිල නොලත් කුස්සි අම්මා ඔබ වෙන්න ඇති. කොහොම වුණත් මේ ලිපිය ලියන්නෙ ඒ ගෞරවනීය ඔබ වෙනුවෙන්…!

අතීතයේ එක්තරා දවසක් තිබුණා සමාජය ඔබටත් දුව පුතා කියල කතා කරපු. තවත් කාලයක් තිබුණා නංගී මල්ලී අයියා අක්කා කියපු. ඒ කාලේ ඔබ කුරුල්ලන් කිරිල්ලියන් වගේ හිටියා. එහෙම නේ ද? තවත් කාලයක් යද්දි නැන්දා මාමා, නැත්නම් ඇන්ටි අංකල් කියන්න ඇති. නමුත් දැන් ඔබ ආච්චි හෝ සීයා කෙනෙක්. හටගත් සියල්ල ඒකාන්තයෙන් ම නැසී වැනසී යනවා. ඔබ මේ හසුවෙලා ඉන්නෙ සම්මා සම්බුදුවරුන් ම පමණක් ලොවට හෙළිකරන අනිත්‍ය ධර්මතාවයට. මේක දුක හිතන්න දෙයක් නෙමෙයි. හිතන්න ඕන මේ අවසාන කාලය අපි කොහොම ද ගෙවන්නෙ කියලා.

විශ්‍රාමික බොහෝ දෙනෙක් මේ වනවිට උපෝසථ සිල් සමාදන් වෙන්න පන්සලට නම් යනවා ඇති. තවමත් ඔබට ඒ දේත් අතපසු වෙලා නම් ඔබ ප්‍රමාදයි. ඇත්තෙන්ම කිව්වොත් ඔබ බොහෝ ප්‍රමාදයි. දැන් ඔබ වෙනදා ගත කළ බලෙන් වගකීම් කරගහ ගත් ලෝකයෙන් අත මිදෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ම “මම නැතුව බෑ” කියන මායාව අතහරින්න ඕන. ඔබ දැන් වයසයි. අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා, “ඔබ දැන් මරණයට ළඟයි.” ඔබේ විවාපත් වූ දරුවන් ඔවුන්ගේ පවුල තුළ වෙනම ලෝකයක් ගොඩනගාගෙන තියන්නෙ. ඒ ලෝකයේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවලට ඔවුන්ට ම පිළිතුරු සොයාගන්න දෙන්න. ඔබට මතක ද ඔබ තරුණ කාලෙ අලුත දරුවන් ලද ඔබට තිබූ ප්‍රශ්න ඔබ විසඳගත්තා. දැන් දරුවන්ගේ අවස්ථාව. ඒක ඔවුන්ට ම බාර කරන්න. දැන් ඔබ මී ළඟට යන්න තියෙන ගමන ගැන සිහි කරන්න. ඒකට සූදානම් වෙන්න.

වේගයෙන් ගෙවී ගිය ළමා විය, තරුණ විය, මැදි විය දෙස බලන්න. දුර්ලභ ව ලද මනුෂ්‍ය ජීවිතයේ අවසාන කාලය යි ඔබ මේ ගෙවන්නෙ. ඔබට හැකි සෑම වෙලාවක ම බුද්ධානුස්සතිය වඩන්න හුරුවෙන්න. දැන් ඔබ කියාවි මේ පොඩි ළමයි කෑගහද්දි මොන භාවනා ද කියල. භාග්‍යවතුන් වහන්සේගෙ ගුණ සිහි කරන්න පළඟක් බැඳගෙන වාඩි වෙන්න ඕනෙ නෑ. යන එන ගමන්, ඇවිදින ගමන්, පුංචි දරුවෙකු නළවන ගමන් ඔබට පුළුවන් බුදුරජණන් වහන්සේ සිහි කරන්න. අඩුම තරමෙ ගුණ නවයෙන් එකක්වත් සිහි කරන්න. මේ වන විටත් සීලයේ යම් යම් අඩුපාඩු තිබුණ නම් සීලයේ අනුසස් සිහි කර කර සමාදන් වූ සීලය මැනවින් රකින්න උත්සාහ කරන්න. අද කාලෙ ඉස්සර වගේ නෙමෙයි. දවසේ පැය විසිහතර ම වුණත් බණ අහන්න පුළුවන්. ධර්මය පමණක් ප්‍රචාරය කරන ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා කීපයක් ම තිබෙනවා. වෙන ම කාලයක් වෙන් කරගෙන ඔබේ කාමරයට වැදිල සිහියෙන් බණ අහන්න උත්සාහ කරන්න. සමහර විට ඔබේ නිවසේ ඔබට ම කියල වෙන ම කාමරයක් නැතුව ඇති. කුඩා දරුවන් නිදාගන්නා වෙලාවක් බලලා නිවසේ කොහේ හෝ විවේක ස්ථානයකට ගිහින් ඒ කටයුත්ත කර ගන්න ඔබ දක්ෂ වෙන්න.

මේ වන විට ගමේ පන්සල ඔබට ඉතා ම සමීප තැනක් වෙන්න ඕන. නිරන්තරව ම පන්සලට යන්න හුරු වෙන්න. බෝධීන් වහන්සේ, සෑරජාණන් වහන්සේ අවට හොඳින් අතුගා පිරිසිදු කරන්න. පෙර ගත කළ කාර්යබහුල ජීවිතයේ දී කිසිදා අත්නොවිඳි තෘප්තියක් ඔබට දැනේවි. ඒ සෙවණේ විවේක සුවයෙන් මඳක් ගත කරන්න. අවුරුදු පනහක් හැටක් රැකියාවක් සහිත ව හෝ රහිත ව දුවල දුවලා ඔබ ලද දෙයක් තිබෙනව ද? ගේ දොර වතු පිටි දුවා දරුවන් ගැන නෙමෙයි මේ කියන්නෙ. අධ්‍යාත්මික ව ඔබ ගොඩනගා ගත් යමක් ගැන. තව නොබෝ කලකින් ඔබ මේ ලෝකෙට සමු දෙන්න ඕන. මොනව ද එදාට ඔබ අරගෙන යන්නෙ? පිනක් තිබුණ නිසයි ඔබ මනුස්ස ලෝකෙට ආවෙ. ඒ පින ගෙවා දාල හිස් අතින් ම යන්න යනව ද? දැන් ඒ අඩුපාඩුව හදාගන්න බලන්න. මිල මුදල් තියෙන්න ම ඕනෙ නෑ ඒකට. නමුත් මේ කෙටි කාලය ප්‍රයෝජනයට ගන්න ඔබ දක්ෂ වෙන්න. ප්‍රධාන වශයෙන් ම හොඳ කල්‍යාණමිත්‍ර ඇසුරක් ලබා ගන්න. ඒ කල්‍යාණමිත්‍ර සේවනය බහුල වශයෙන් ලබා ගන්න. ඒ කල්‍යාණමිත්‍ර සේවනය ඇසුරේ මෙත් සිත වඩන ආකාරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාව පිළිබඳ ව හා පිරිසිදු බුද්ධ දේශනා ඉගෙන ගන්න බලන්න. තරුණ වියේ දී මඟහැරුනු විශාල දෙයක් මේ කෙටි කාලය තුළ ඔබ කළ යුතු බව මතක තබා ගන්න.

ජ්‍යෙෂ්ඨ වැඩිහිටියනි, තවමත් ඔබ සතුව විශාල අඩුපාඩුවක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ඔබ, ඔබ සතු ඉඩකඩම්, ගේ දොර, යාන වාහන සහ වෙනත් දේපළ තවමත් ඔබ බාරයේ ම තබාගෙන සිටීම. ලොව්තුරා අමාමෑණී සුගතයන් වහන්සේ දේශනා කරල තිබෙනවා නිසි කාලෙට දරුවන්ට දේපළ පවරන්න ඕන කියල. ඔබ ඒ වගකීම තවමත් ඉටු නො කළ ආච්චි කෙනෙක් නම්, සීයා කෙනෙක් නම්, දැන් මේ එයට කාලය විය හැකියි. මරණ මංචකයේදීත් ඉතිරි කර ගත් වගකීම් යුතුකම් තිබුණොත් එය ඔබට ඉතා ම අවාසිදායකයි. අනිත් එක මැරෙන මොහොතෙදිත් ඒ දේපළ කෙරෙහි ම ඔබේ සිත ඇලිල තිබුණොත් ඔබේ මී ළඟ පදිංචිය සතර අපායෙන් එක තැනක. මේක මහා අවාසනාවන්ත ඉරණමක්.

සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනයේ දී මේ අයුරින් දේශනා කරන්නෙ උන්වහන්සේ තුන්කල් දක්නා නුවණින් යුතු නිසයි. ඒ වගේ ම ඒ යුතුකම ඉටු නොකළොත් ඔබේ මරණින් පසු ඒ හේතුවෙන් ම ඔබේ දරුවන් රණ්ඩු සරුවල් ඇතිකර ගන්න පුළුවන් වගේ ම නඩු හබවලට ද පැටලෙන්න පුළුවන්. දෙමාපියන් නිසි අයුරින් දේපළ බෙදා වෙන්කොට පවරා නොදීම නිසා එක ම පවුලේ සහෝදර සහෝදරියන් නඩුහබ කියන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඒ වගේ ම ඒ හේතුවෙන් ම ඔවුන් මියගිය දෙමාපියන්ට දෙස්දෙවොල් තියනවා. හිමිදිරි උදෑසන අවදි වී වත්තේ ගස් යට වැටුනු පොල් ගෙඩි සොයා යන වයසක උදවිය අප දැක තිබෙනවා. ජ්‍යෙෂ්ඨ දෙමාපියනි, ඔබ ඒවා හරිහම්බ කරපු බව සැබෑවක්. ඒවා රැකබලා ගත් බවත් සැබෑවක්. නමුත් කිසිසේත් ම ඒ කිසිවක් ඔබට රැගෙන යා නො හැකියි. දැන් ඒවා කෙරෙහි තණ්හාව අත් හරින්න. දිය හැකි දෙයක් දරුවන්ට දී, ඉතිරිවා ගමේ පන්සලේ දියුණුව වෙනුවෙන්, මහා සංඝයාගේ සිව්පසය වෙනුවෙන්, ගමේ රෝහලේ අඩුපාඩුවක් වෙනුවෙන්, ගමේ අබලන් වූ පාරක් වෙනුවෙන්, පාලමක් වෙනුවෙන් එහෙමත් නැත්නම් දුගී දුප්පත් පවුලක් වෙනුවෙන් පුජා කරන්න. මරණයත් සමඟ ඔබට දේපළ කිසිවක් ගෙනයා නො හැකි නමුත් ඒ පින නම් ඒකාන්තයෙන් ම ඔබට රැගෙන යා හැකියි.

තරුණ වියේ දී මඟ හැරුනා නම්… දැන්වත් වෙහෙර විහාර හදන ශ්‍රමදානවලට, සුදුසු ධර්ම සාකච්ඡාවලට මෙන් ම සති භාවනා වැඩසටහන්වලට හැකි අයුරින් සහභාගී වන්න. තරුණ කාලෙදි ඔබට මේ මඟහැරී තිබෙන්නේ උතුම් පුණ්‍ය නිධාන. ඉඩ ලද විටෙක දුර බැහැර පූජනීය ස්ථාන වන්දනා කර ගන්න බලන්න. දුර ගමන් යන විට දරුවන්ට යන එන තැන් දැන්වීමට ඔබ කාරුණික වන්න. එක දරුවකුගේ හෝ දුරකථන අංකයක් නිතර ම ළඟ තබාගන්න. ඔබ දැන් වයසයි. දරදඬු ස්වභාවය, හිතුවක්කාරකම සහමුලින් ම අත්හරින්න. කාර්යබහුලකම නිසා හෝ නවීන සමාජයට හුරුවීම නිසා හෝ මිල මුදල් හිඟකම නිසා හෝ දරුවන් අතින් ඔබට යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒවා හැකිතාක් ඉක්මනින් අමතක කොට දමන්න. ඒ වෙනුවට අත්නොහැර මෙත් සිත වඩන්න. මෙත් සිතින් ජීවත් වීම, සිඳී යන දිය පහරක් මෙන් අවසානයට ළංව ඇති ඔබේ දිවියට මහත් ආලෝකයක් ලබා දේවි. සිහි මුළා නො වී මරණයට පත්වන්නට පාර කියා දේවි.

බොහෝ ආච්චිලාට සීයලාට අත්වන ඉරණමක් තමා දරුවන්ගෙ දරුවන් රැකබලා ගන්න සිදු වීම. නැත්නම් කුස්සියේ ඉවුම් පිහුම්වලින් නිදහස් වෙන්න නොහැකි වීම. ඔබ ඔබේ දරුවන්ට කරුණු පහදලා දෙන්න. ඔබේ දරුවන් උස්මහත් කරන්න මුළු ජීවිතය ම කැප කළ ආකාරය සිහිපත් කර දෙන්න. ඔබ මරණයට පත්වුණාට පස්සෙ කොහොමත් ඔවුන් ඒ කටයුතු කර ගන්න ඕන. ඒ බව කරුණාවෙන් වටහලා දෙන්න. සමහර විට මේ වෙද්දි ඔබේ තරුණ වියේ දී ජීවිතයට ආදරයෙන් එකතු වූ බිරිඳ හෝ ස්වාමියා මිය ගිහින් වෙන්න පුළුවන්. ඔහුගේ හෝ ඇයගේ ඡායාරූපයට සුදු මල්මාලයක් දාල වසරින් වසර පින් අනුමෝදන් කරනවා වෙන්න පුළුවන්. ඔබ දරුවන්ට කරුණාවෙන් මේ සසර ස්වභාවය පහදා දෙන්න. බණ පොතක් බලන්න, ධර්ම දේශනයක් අහන්න සිත එකලස් කර ගන්න. ඒ වගේ ම ඔවුන්ට කරදරයක් අසනීපයක් වූ විට මෙත් සිතින් උදව් කරන්න.

සමහර වැඩිහිටියො ඉන්නවා දරුවන් නිදහස දෙද්දිත් බලෙන් වැඩකටයුතුවලට පැටලෙන්න හදනවා. පවුලේ සියල්ලට ම තමා ම මූලික වෙන්න ඕන කියල මාන්නයක් ඔවුන්ට තිබෙනවා. අකමැත්තෙන් වුණත් කියන්න සිද්ධවෙනවා, වියපත් වූ ඔබ දැන් ගෘහමූලික නෙමෙයි. දරුවන් කියන්නෙ එක පරම්පරාවක්. දරුවන්ගෙ දරුවන් වෙනත් පරම්පරාවක්. ඒ ඒ යුගවලදි ඔවුන් කටයුතු කරන විදිය, ඔවුන්ගේ තීරණ ඔබේ අදහස්වලට ගැළපෙන්නෙ නැති අවස්ථා එනවා. එය තේරුම් ගැනීමට තරම් ඔබ නිහතමානී වන්න.

හමා යන සුළඟක් මෙන් සොඳුරු යෞවනය ගෙවී ගිය හැටි සිහි කරන්න. මරණය ළඟ ළඟ ම එන බව තේරුම් ගන්න. ජ්‍යෙෂ්ඨ දෙමාපියනි, මුත්තණුවනි, මිත්තණියනි, රැකියාවක් කරමින් ජාතියේ මෙහෙවරට දායකත්වය දුන් ඔබට, ගුණවත් දරු දැරියන් බිහි කළ ඔබට, මෙත් සිතින් යුතුකම් ඉටු කළ ඔබට… සැනසිලිදායකවූත්, ධර්මයෙන් පෝෂිතවූත් අරුත්බර සැඳෑ සමයක් ම වේවා!

සඳා සමරනායක

2 comments

  1. මේ ලිපිය ඉතා වටිනා අදහස් හා යෝජනා පෙලගැස්වීමකි.
    මෙය හැකිනම් මුද්‍රණය කොට මේ එළබෙන වෙසක් සමයේ “අප රැස්කර ගත යුත්තේ රැගෙන යා හැකි දේ පමණි” යන බුදු අදහස පෙරදැරිකොට යන මාතෘකාවෙන් එළිදැක්විය හැක. හැකිනම් ඔබ ආශ්‍රමයට සම්භන්ද තරුණ ළමයින් යොදවා මෙය ධර්ම දානයක් මෙන් වයෝවුර්දයන්ට යැවිය හැක. එතුලින් දරුවන්ද දැනුවත් කල හැක.
    නොදැනුවත් කමත්, අවභෝදයෙන් ක්‍රියා නොකර දැනුමෙන් මෝහනයවූ, ඉගෙනගත් එහෙත් අක්ඥානයන්, සමයක් දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටියට බඳවා ගන්නා බල වේගයන්ට ගොදුරුනොවන්ට දැනුම් ඇති එහෙත් ප්‍රඥාවක් නොමැති දරුවන්ටත් මේ අදහස් ඔවුන්ගේ සිත් තුලට කා වැද්දීම අපගේ යුතුකමක් ලෙස සිතමි.
    ආචාර්ය නන්දදාස නාරායන
    .

  2. කපිල කුසුම්සිරි

    සැබැවින්ම අරුත් බර උපදෙස් පෙලකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "