highlights of the week
Home » NEW ARTICLES » වුවමනා සම තැන ද? නිසි තැන ද?

වුවමනා සම තැන ද? නිසි තැන ද?

ලෝකයේ, ‘පිරිමි දිනය’ කියා දිනයක් වෙන් නො කළට ‘කාන්තා දිනය’ කියා දිනයක් වෙන් කොට තිබෙනවා. මාර්තු 8 වනදා ලෝකයේ බොහෝ රටවල කාන්තා දිනය හරසරින් සැමරීමට කටයුතු කෙරෙනවා. අප උපන් රටේත් කාන්තා දින සැමරුම් දැකගන්න පුළුවනි.

කාන්තා දිනය ගැන කථා කළත්, කාන්තාවන් ගැන කථා කළත් ලෝකයේ නිතර ඉස්මතු කෙරෙන කාරණාවක් තමයි පිරිමින් හා සම තැන කාන්තාවන්ට ලැබිය යුතු බව. ඇත්තට ම කාන්තාවන්ට වුවමනා පිරිමින් හා සම තැන ද? එහෙමත් නැති නම් සම වන්නට හෝ, හීන වන්නට හෝ, උසස් වන්නට හෝ හැකි ‘නිසි තැන’ ද? ඒ තැන ගැන හරියට ම තීරණය කරන්නට උපකාරී වේවි යැයි සිතුණු කාරණා කිහිපයක් මේ ලිපිය ඔස්සේ කථා කරන්නට අප සිතුවා.

ලොවට දොස් නොතැබූ උත්තරීතරත්වය…

ඇය දරුවන් දාහතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. දූවරුත්, පුතුනුත් සත් දෙනා බැගින් ඇය ලැබුවා. දරුවන් විවාපත් ව වෙන් වුණා. ස්වාමියා මරණයට පත් වුණාට පස්සේ ඇය එක් එක් දරුවා සමීපයට යමින් දිවි ගෙවන්නට වුණා. එහෙත් ඇයට දරුවන්ගෙන්, ලේලිලාගෙන් ලැබුණේ ගැරහුම්. ඒ හමුවේ ඇයට සිහිපත් වුණේ ඉපදෙමින් මැරෙමින් යන සසරේ දුක්ඛිත ස්වභාවය. ඒ නිසයි ඇය මෙහෙණින් වහන්සේලා වැඩ වෙසෙන ආරාමයකට ගොස් උපස්ථාන කොට ජීවත් වන්නට පටන් ගත්තේ…

ඇය කෙරෙහි අනුකම්පා සහගත වූ නායක භික්ෂුණිය ඇය ව පැවිදි කළා. බොහෝ දරුවන් ලැබූ ඇය ‘බහුපුත්තික ථේරී’ නමින් ප්‍රසිද්ධ වුණා. පැවිද්දෙන් ළාබාල මේ වයස්ගත භික්ෂුණිය දවස පුරා පිළිවෙත් කොට අවසන රාත්‍රි කාලයේ දී ධර්ම ශාලාවට පැමිණෙනවා. එහි කණුව අල්වාගෙන භාවනා අරමුණක් මෙනෙහි කරමින් ඇය සක්මන් කරන්නේ වැටේවි යන බිය නිසා.

ඇය මේ ආකාරයෙන් සමථ විදර්ශනා වඩමින් සිත දියුණු කරන විට නීවරණ සන්සිඳෙන ඒ සිත දුටු සම්බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් ඇය වෙත යොමු කොට ගාථාවක් දේශනා කොට වදාළා. එය ශ්‍රවණය වී අවසන් වන විට ඇය සියලු දුකින් නිදහස් වූ අරහත් මෙහෙණියක් බවට පත්වුණා.

දරුවන්ට දොස් තැබීම් නැහැ. මුණුපුරු මිනිබිරියන්ට දොස් තැබීම් නැහැ. සෙසු ලෝකයට දොස් තැබීම් නැහැ. වැඩිහිටියි, මහලුයි කියා, අපහසුකම් ඇතැයි කියා නොයෙකුත් ඉල්ලීම් ද නැහැ. මේ භික්ෂුණිය නො සිඳි වීර්යයෙන් ධර්මයේ හැසිරුණා. අරහත්වය සාක්ෂාත් කළා… කෙලෙස් සහිත ව සිටින දෙව් බඹුන් පවා ඉක්මවා ගිය අසමසම උත්තරීතරත්වයට පත් වුණා. අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්නවුන්ට නිසි වූ අග්‍රස්ථානයට පත් වුණා…!

ඉතින් අපට වුවමනා කෙලෙස් සහිත පිරිමින්, කාන්තාවන් සමඟ සම තැන ද? නැති නම් කෙලෙස් තවා නිවන සාක්ෂාත් කරන මඟ ප්‍රගුණ කරන්නන්ට ‘නිසි තැන’ ද?

වේළුකණ්ඨකයෙන් අපට පාඩමක්

අපගේ ශාස්තෘ වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිත ගෙවන උපාසිකාවන් විසින් ආදර්ශයේ ලා සැලකිය යුතු උත්තම කාන්තා චරිත දෙකක් ගැන දේශනා කොට වදාළා. එසේ වදාළේ වේළුකණ්ඨකී නන්දමාතාව හා ඛුජ්ජුත්තරාවන් ගැනයි. ඒ දෙදෙනා ම ඕරම්භාගීය සංයෝජන සහමුලින් ම නිරුද්ධ කොට, කාම ලෝකයේ උපත් ඉක්මවා ගිය උතුම් අනාගාමී ඵලය සාක්ෂාත් කොට සිටියා.

වේළුකණ්ඨකී නන්ද මාතාවගේ සැමියා මියගොස් මළ යකෙකු ව ඉපිද ඇය ඉදිරියේ පෙර ස්වරූපයෙන් පෙනී සිටිද්දී හෝ ඇය දුකින් කම්පා වූයේ නැහැ. ඇයට බොහෝ සෙයින් ප්‍රිය වූ ඇයගේ එක ම පුතු රාජද්‍රෝහියෙකු ලෙස සලකා මරා දමද්දීවත් ඇය දුකින් කම්පා වුණේ නැහැ. වෛශ්‍රවණ දිව්‍යරාජයා ඇය හමුවේ පෙනී සිටිමින් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේලා ප්‍රධාන සඟරුවනට දන් පිළිගන්වන්න සූදානම් වන්න කියා දැනුම් දෙද්දී ඇය සතුටින් කම්පා වුණේත් නැහැ… ඇයගේ ඉටු දෙවිඳුන් ව වැඩ සිටියේ වෛශ්‍රවණ දිව්‍යරාජයා. ඇය මේ වෙද්දී ශුද්ධාවාස බඹලොව බ්‍රහ්මරාජයෙකු ව වාසය කරනවා… කෙතරම් අභිමානනීය චරිත ස්වභාවයක් ද ඒ?

ඉතින් අප ඉල්විය යුත්තේ කෙලෙස් මඩ ගොහොරුවේ තැවරෙමින් ආධිපත්‍යයන් පවත්වන බොහෝ පිරිමින්, කාන්තාවන් හා සම තැන ද? කෙලෙස් තවාලූ, යළි මේ දුක සැප මිශ්‍ර කාම ලෝකයන්ට කිසිදු පැමිණීමක් නැති ඒ උතුම් අනාගාමී ශ්‍රාවිකාවන් විසින් සාක්ෂාත් කරනු ලැබුවා වූ දිවි දෙවෙනි කොට අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්නවුන්ට උරුම ‘නිසි තැන’ ද?

මෙවන් දියණියො වාසනාවන්…!

අනේපිඬු සිටුතුමා ගෞතම සම්බුදු සසුනේ අග්‍ර දායකයා. කිසි කලෙක නොසිඳි දන්වැටකින් ඔහු සිව්වණක් පිරිසට සංග්‍රහ සත්කාර කරනු ලැබුවා. ඔහුගේ එක පුතෙකු පැවිදි ව අරහත්වයට පත් වුණා. ඒ, සද්ද රහතන් වහන්සේ. දියණියක වූ චූල සුභද්‍රා සාකේතවාසී කාලක සිටු පවුලට ආවාහ කර දෙනු ලැබුවා. සෝවාන් මගඵල ලැබූ ඇය විසින් මිථ්‍යා දෘෂ්ටියේ පිහිටා සිටි කාලක සිටු පවුල තිසරණයේ පිහිටුවනු ලැබුවා. අනේපිඬු සිටුතුමාට සුමනා නමින් තවත් දියණියක සිටියා. ඇය වැඩි වයසකට නො ගොස් ම මරණාසන්න වුණා.

සිටුතුමා දියණියගේ මරණ මංචකය අබියසට පැමිණියා. ඇය ඒ වන විට සකදාගාමී ශ්‍රාවිකාවක්. තවමත් සෝවාන් ඵලය පමණක් ලැබ සිටින පියාණන් අප්‍රමාදී කරවන්නට සිතූ ඇය “මල්ලියේ” කියා සිය පියාණන්ට කථා කළා. තමන් පියාණන් බව කියද්දීත් තෙවරක් ම ඇය “මල්ලියේ” කියා ඔහු ඇමතුවා. මරණය අබියස තම දියණියගේ සිහි මුළා වී ඇතැයි සිතා අනේපිඬු සිටුතුමා බොහෝ සංවේගයට පත් වුණා.

සුමනා සිටු දියණිය මිය ගොස් තුසිත දෙව්ලොව උපන්නා. අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් මරණාසන්න මොහොතේ ඇය විසින් තමන්ට “මල්ලියේ” කියා ඇමතූ බවත්, ඒ මොහොතේ ඇයගේ සිහි මුළා වූවාදැයි සිතෙන බවත් පවසා සිටියා. එහි දී සම්බුදුරජාණන් වහන්සේ සුමනා සිටු කුමරිය සකදාගාමී මග ඵලලාභී ආර්ය ශ්‍රාවිකාවක බව වදාරා සිටුතුමා ඉදිරි මාර්ග ඵලයන්ගේ සමාදන් කරවීම පිණිස අප්‍රමාදය ඇති කිරීමේ අරමුණින් ඇය එසේ ආමන්ත්‍රණය කළ බව පහදා දුන්නා…

ඉතින්… අපට වුවමනා ප්‍රමාදී වූවන්ගේ ලෝකයේ බලකණු බවට පත්ව සිටින බොහෝ පිරිමින්, කාන්තාවන් හා සම තැන ද? නැති නම් ඒ සියල්ලන්ට වඩා සාංසාරික වැඩිමහල්ලන් බවට පත්ව විමුක්ති සුව සාක්ෂාත් කරන ධර්ම මාර්ගයේ අප්‍රමාදී වන්නවුන්ට උරුම වන මේ ‘නිසි තැන’ ද?

ගුණයෙන් බැබළුන උත්තරා…

පූර්ණක සිටුතුමාට සිටි දියණිය උත්තරා. ඇය සතර අපායෙන් නිදහස් වූ සෝවාන් මග ඵලලාභී ශ්‍රාවිකාවක්. රජගහනුවර සිටුවරයාට විවාහ කර දෙනු ලැබූ ඇය මිසදිටු වූ ඔහුගේ සිටු මැදුරේ අනුත්තර පින්කෙතෙහි දන් පුදන්නට ඉඩක් නොමැති වීමෙන් සංවේගයට පත් වුණා. මේ කාරණය දන්වා තම පිය සිටුතුමාට ඇය පණිවුඩ යැව්වා. පූර්ණක සිටුතුමා ප්‍රතිචාර දැක්වූයේ කහවණු පහළොස්දහසක් ඇය වෙත එවීමෙන්.

මේ වස්තුව යොදාගෙන සඟරුවනට දන් පුදා පින් දහම් කරන්නේ කෙසේ ද කිය කියා සිත සිතා සිටි උත්තරා සිරිමා නම් වූ අභිරූපී වෙසඟන වෙත ගොස් දින පහළොවක් මුළුල්ලේ තමන් අතින් රජගහනුවර සිටුවරයාට ඉටු කෙරෙන කටයුතු ඉටු කර දෙන්නට හැකි ද විමසා ගනුදෙනු නියම කර ගත්තා. මුදල් ලාභය ගැන සලකා බලා සිරිමා එයට එකඟ වුණා. උත්තරා තම ස්වාමී වූ සිටුවරයා වෙතත් ගොස් මේ බව පවසා අවසර ඉල්ලා සිටියා. රූබර සිරිමා ගැන බොහෝ අසා තිබූ ඒ සිටුවරයා එයට එක පයින් ම කැමති වුණා. සිරිමා එසේ සිටුතුමාට බිරිඳ ව සිටින අතරේ උත්තරා දානශාලා සකසා, ලිප් බැඳ, ලිප ගිනි මොළවා දැළි කුණු දුම් අතරේ හිඳිමින්, දහදිය වගුරුවමින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව දන් පැන් සකසා සඟ රුවනට පූජා කර ගත්තා.

පසළොස්වන දවසේ දී සිටුවරයා කවුළුවෙන් එබී මුළුතැන්ගෙය දෙස බැලුවා. දහදිය පෙරාගෙන, දුම් වැදි වැදී, සේවිකාවන් අතරේ දැළි කුණු තවරාගෙන මහත් සේ වෙහෙස වන උත්තරාව දුටු ඔහුට ‘අනේ මේ මෝඩ ගෑනි… මෙච්චර සැප සම්පත් තියෙද්දි මුඩු මහණුන්ට දන් දෙන්න දුක් විඳිනවා නෙව…’ යන අවඥා සහගත සිතුවිල්ල ඇති වුණා. ඒ සිතුවිල්ලෙන් ම ඔහු සිනාසුනා. මේ මොහොතේ සිරිමාත් කවුළුවෙන් එබී සිටුවරයා සිනාසෙන්නේ කා සමඟ ද කියා බැලුවා. ඇයට පෙනුනේ උත්තරා. සිරිමාගේ හිතේ දැඩි තරහක් උපන්නා… ‘මේ මිනිහා මං මෙච්චර ඇප උපකාර සත්කාර කරද්දීත් මට නෙවේනේ හිනාවෙන්නේ, අර ගෑනිටනේ… හිටින් මං වැඩක් කරන්නම්…’ මෙසේ සිතූ සිරිමා වේගයෙන් සිටුමැදුරෙන් එළියට බැස මුළුතැන්ගෙයට දිව ගියා.

උතුරන තෙල් සහිත තාච්චියෙන් උණු තෙල් හැන්දක් අතට ගත් ඇය වේගයෙන් උත්තරා දෙසට පැමිණියා. අනතුර දකින උත්තරාට ඇති වුණේ මෙහෙම සිතුවිල්ලක්.

‘බ්‍රහ්ම ලෝකෙත් නීචයි… මට දිව්‍ය ලෝකෙත් නීචයි… මට බ්‍රහ්ම ලෝකෙවත්, දිව්‍ය ලෝකෙවත් මෙහෙම දවස් ගාණක් සංඝයාට දන් දෙන්න ලැබෙන්නේ නෑ. මට ඒ ඉඩ ලැබුණේ සිරිමා නිසා ම යි… සිරිමා ම යි ශ්‍රේෂ්ඨ…! සිරිමා ම යි උතුම්…!’

සිරිමා උණු තෙල් හැන්ද උත්තරාගේ හිසට වත් කළා. සිහිල් දිය දහරාවක් ව එය පහළට ගලා හැළුණා. විස්මයෙන් සිරිමාගේ කටත් ඇරුණා. ඇය නැවතත් දිව ගොස් තවත් උණු තෙල් හැන්දක් ගෙන ආවා. උත්තරා තවමත් අර සිතුවිල්ලේ ම යි.

‘බ්‍රහ්ම ලෝකෙත් නීචයි… මට දිව්‍ය ලෝකෙත් නීචයි… මට බ්‍රහ්ම ලෝකෙවත්, දිව්‍ය ලෝකෙවත් මෙහෙම දවස් ගාණක් සංඝයාට දන් දෙන්න ලැබෙන්නේ නෑ. මට ඒ ඉඩ ලැබුණේ සිරිමා නිසා ම යි… සිරිමා ම යි ශ්‍රේෂ්ඨ…! සිරිමා ම යි උතුම්…!’

ඒ උණු තෙල් ටිකත් උත්තරාගේ සිරුරට පතිත වුණේ සිහිල් දිය දහරක් වෙලයි… ඒ වෙලාවේ උත්තරාගේ සේවිකාවන් සිරිමා ව අල්වාගෙන තලන්නට පටන් ගත්තා. ඇය ව ඔවුන්ගෙන් නිදහස් කර ගත් උත්තරා ම ඇයගේ තැලුම්වලට තෙල් බෙහෙත් කරන්න වුණා. සිහිනුවණ උපන්න සිරිමා උත්තරාගෙන් සමාව අයැදුවා.

“නෑ…! නුඹට මා සමාව දෙන්නේ මගේ පියාණන් නුඹට සමාව දුන්නොත් පමණයි…”

“සිටු දේවිය, මං පූර්ණක සිටුතුමා දන්නවා. මං එතුමාගෙන් සමාව ඉල්ලන්නම්.”

“නෑ සිරිමා… ගුණධර්ම මා තුළ උපද්දවපු, මගේ සසර කෙටි කරවපු පියාණන් පූර්ණක සිටුතුමා නෙමෙයි. ඒ පියාණන්, සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. නුඹ උන්වහන්සේගෙන් සමාව ගන්න ඕනේ.”

සිරිමා අදිමදි කරමින් නමුත් සම්බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. ධර්මය ශ්‍රවණය කළා. දහම් ඇස පහළ කරගෙන සතර අපායෙන් නිදහස් වුණු සෝවාන් මග ඵලලාභී ශ්‍රාවිකාවක් බවට පත් වුණා. එතැනට ඇයට මඟ කිව්වේ උත්තරා තුළ පිහිටි උත්තරීතර ගුණධර්ම.

ඉතින් අපට වුවමනා අසුරු සැණින් ගැටෙන, ඇලෙන, මුළාවන බොහෝ පිරිමින්, කාන්තාවන් හා සම තැන ද? නැති නම් ධර්මය තුළ වැඩෙන ගුණධර්මයන්ගෙන් සුදිලෙමින් නිවන කරා පිය මනින නිවන් මගේ අප්‍රමාදී වූවන්ට උරුම වන ‘නිසි තැන’ ද?

අඩු ම තරමේ මෙතැනටවත් එමු ද?

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරනවා දුටු එක්තරා ගෘහයක සිටි තරුණ කාන්තාවකගේ සිත සතුටින් ඉපිලී ගියා…

‘මහා ලැබීමක්! අපගේ ආර්යයන් වහන්සේනමක් වැඩියා නෙව…’

ඇය දන් දෙන්නට දෙයක් සොයා බැලුවා. නැන්දණිය විසින් ගෙනා කැවුමක් තිබෙනවා දුටු ඇය සැදැහැ සිතින් එය පූජා කර ගත්තා. නැන්දණිය ගෙදරට ආවා. ඇය කැවුම සොයන්නට පටන් ගත්තා. ඒ වේලාවේ ලේලිය තමන් විසින් කළ පින්කම පවසා සිටියා. නැන්දණිය එයට සතුටු වනු වෙනුවට කිපුණා.

“හාහ්… මං ගෙනා කැවුම තී මහණුන්ට දුන්න ද? තී ද එතකොට මේ ගෙදර මහ උන්දැ?”

මෙසේ ආක්‍රෝෂ පරිභව කරමින් ඇය ලේලියට පහර දුන්නා. අතින් පයින් පහර දීමෙන් නොනැවතී අතට අසු වුණු මෝල් ගසෙන් හිසට ද පහර දුන්නා. එයින් බරපතළ තුවාල ලැබූ ලේලිය සතියක් දුක් විඳ මිය ගියා.

මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවේ වැඩම කරන විට දිව්‍යශ්‍රීයෙන් බබළන දෙවඟනක් පැමිණ උන්වහන්සේට වන්දනා කළා. ඕෂධී තාරකාවක් වැනි වූ ඇය මේ සා දිව්‍යානුභාවයක් ලබන්නට කළේ කවර පින් ද කියා උන්වහන්සේ විමසා සිටියා…

“අනේ ස්වාමීනී, ලොකු ලොකු පින් කර ගන්න වුණේ නෑ. ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළ වෙලාවක මං අපේ නැන්දම්මා ගෙනැවිත් තිබුණ කැවුමක් පූජා කළා. ඒ කරලා හොඳට ඇණුම් බැණුම්, ගුටිබැට එහෙමත් ලැබුවා. මෝල් ගස් පාරකුත් කෑවා. දවස් ගාණක් දුක් විඳලයි මං මැරුණේ. ඔබ වහන්සේට කැවුමක් පූජා කළ පින තමයි මා ව දිව්‍යලෝකේ ඉපැද්දුවේ…”

බලන්න… ඇය මාරාන්තික මෝල් ගස් පහරක් කා මරණීය වේදනා විඳිද්දී පවා ද්වේෂයක් ඇති කර නොගෙන සිත රැකගෙන තිබුණා නේ ද? ඒ මග ඵල ලැබූ ශ්‍රාවිකාවක් නො වෙයි. නමුත් ධර්මය තුළ වැඩෙන ගුණධර්මයන්ගේ ඇය පිහිටා සිටියා. සුගතියේ සිටින ඒ දෙවඟනට දෙව් බඹුන්ගේ දම් සභාවේ ධර්මය ඇසෙන්නේ නැති වේවි ද? තමන්ට සුගතියට මඟ කියූ ඒ ධර්මය ඇය පුරුදු නො කර සිටීවි ද?

ඉතින් අප ඉල්විය යුත්තේ ගුණයට අවනත නො වන, ගුණයේ අගයක් නො දකින පිරිහෙන ලොවක බොහෝ පිරිමින්, කාන්තාවන් හා සම තැන ද? නැති නම් ගුණධර්මයන් තුළ ම විපුල බවට පත් වීම පිණිස දේශනා කොට වදාළ මේ දහම් මගේ අප්‍රමාදී ව ගමන් කරන්නවුන්ට හිමි ‘නිසි තැන’ ද?

මිනිසත් බව ලෝකයේ දුර්ලභයි. සම්බුද්ධ ශාසනය ලෝකයේ අති දුර්ලභයි. ඒ දුර්ලභ ම කාරණාවන් එකට මුණගැසුනු යුගයක, සම්බුදු දහම ඇසෙන රටක, කලණමිතුරු සඟ රුවන ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබෙන වටපිටාවක ඉපදුණු එකේ තවත් කුමට නම් ස්ත්‍රීත්වය ශ්‍රේෂ්ඨ කරවන්නට අප වෙහෙසෙනවා ද? ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වූ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ම යි. එය පුරුදු පුහුණු කරන්නට බාධාව ස්ත්‍රීත්වය නො වේ; අප සිත්හි ඇති ශ්‍රද්ධාවේ අඩුව ම යි, වීර්යයේ අඩුව ම යි…

ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් යුතු ව දහම් මගේ අප්‍රමාදී ව, එසේ දහම් මගේ අප්‍රමාදී වූවන්ට උරුම වූ ‘නිසි තැන’ අත්පත් කර ගැනීම පිණිස ම සියල්ලෝ සිහි නුවණ වඩත්වා!

උදුලා පද්මාවතී

One comment

  1. බොහෝම පින්

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

1993 දී ආරම්භ කර, එවසර සිට සෑම වසරක ම මාර්තු මස 22 දින ජාත්‍යන්තර ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මේ මාර්තු මාසය යි. 22 වන දින ලොව පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වෙනු ඇත.