highlights of the week
Home » නමෝ බුද්ධාය » විඤ්ඤාණය නිසා දුක සකස්වෙන ආකාරය

විඤ්ඤාණය නිසා දුක සකස්වෙන ආකාරය

ඔන්න විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක් ඇතිවෙනවා කියමු. ඇසෙන් රූපයක් දකින කොට ඇස බිඳිලා නැත්නම් එතැන නාමරූපයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩකරනවානේ. ඇහැ බිඳිලා නැත්නම් මනසිකාරය වැඩකරනවානේ. එතකොට ඒ රූපය දැක්ක ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. ඒ නිසා ස්පර්ශය ඇතිවුණා. කෙනෙකුගේ ඇස ඉස්සරහට රෝස මලක් පේනවා කියමු. දැන් ඇසත් හොඳට තියෙනවා. ඇසට රෝස මලේ ඡායාවත් වැටුණා. එතකොට ඇසයි, රූපයයි එකතු වුණා. විඤ්ඤාණයෙන් මේක හඳුනාගත්තා. (විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති) විඤ්ඤාණයෙන් මේක දැනගත්තා. ඔන්න ස්පර්ශය ඇතිවුණා. ස්පර්ශය ඇති වූ ගමන් සඤ්ඤාව ඇතිවෙනවා. මෙතැනදි අපි මතක තියාගන්න ඕන, සඤ්ඤාව ඇතිවෙන කොට ඇහැයි, රූපයයි, විඤ්ඤාණයි තුන ක්‍රියාත්මකයි. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයි තුනෙහි ක්‍රියාත්මක වීමේ ඵලයක් තමයි සඤ්ඤාව.

ඔන්න ‘රෝස මල’ කියලා හඳුනගත්තා. අපි කියමු රෝස මල හඳුනාගත්තට පස්සේ මෙයාට හිතෙනවා ඒක තමන්ගේ පෙම්වතාට දෙන්න. පස්සේ රෝස මලත් දීලා එයාව දාලා ගියා කියමු. එතකොට රෝස මල දැක්කම එයාට එන්නේ විරහ දුක. ඒ කියන්නේ දුක හැදෙන කාරණාවක් මෙයාගේ මනසේ සංස්කාරයක් හැටියට තිබුණා. ඒ සංස්කාරය තමයි භවාංගය හැටියට උදව් කළේ. එතකොට දැන් මෙයාට රෝස මල දැක්ක ගමන් මතක් වෙන්නේ ‘අනේ මේ වගේ මලක් දීලනේ අරයා මාව දාලා ගියේ…’ කියලයි. ඔන්න විඳීම හටගත්තා. දැන් ඔන්න එයාට දුක් වේදනාවක් ඇතිවෙනවා. ඒ කියන්නේ දුකක් හටගත්තා. ඒ විදිහට දුකක් හටගත්තාම ඔන්න තවදුරටත් හිතනවා, ‘අනේ, මට එයාව හම්බවුණේ නෑනේ.. එයා මාව දාලා ගියානේ…’ කියලා. ඊට පස්සේ හිතන්න පුළුවන් ‘මේකාගෙන් මං පළිගන්නවා’ කියලා.

දැන් ඔන්න සංස්කාරයක් උපද්දවනවා. ඒ තමයි පළිගැනීම. එතකොට ඒ ඔක්කොම වෙද්දී ඇහැයි, රූපයයි, විඤ්ඤාණයි තමයි වැඩකරමින් තියෙන්නේ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි වැඩකරමින් තියෙන කොට හඳුනාගත්තා. ඒ වගේ ම ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙවී තියෙන කොට වින්ඳා. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු කරගෙන චේතනා පහළ කරනවා. චේතනා පහළ කරනවා කියන්නේ විපාකයක් විඳින්න කර්ම හැදෙනවා. ඒ විදිහට කර්මය හැදෙන කොට ඒ කර්මයට අනුව විඤ්ඤාණය වෙනස් වෙනවා. ඒ විදිහට විඤ්ඤාණය වෙනස් වෙන්නේ පුද්ගලයෙක් නිසා නෙවෙයි, ඒක කරන්නේ චේතනාවෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘(චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) චේතනාව තමයි කර්මය වෙන්නේ (චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා) චේතනාවෙන් තමයි සිත, කය, වචනය මෙහෙයවා වැඩකරන්නේ’ කියලා.

අපි කියමු එයාට පළිගන්න ම හිතෙනවා කියලා. ඒ වෙනුවෙන් එයා එක්කෝ වෙන ගෑනු ළමයෙක් එක්ක යාළුවෙනවා කියමු. ඒ ගැන දැන් මෙයා ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. මොනවා හරි කොඩිවින කරනවා. ඒ විදිහට මොනවා හරි කරනවා. මෙයා මේවා කරන්න කරන්න අරයට ඒකෙන් පීඩා ඇතිවෙනවා. එක්කෝ ආයෙමත් ටෙලිෆෝන් කරලා ‘මම උඹව තියන්නේ නෑ… උඹ මට මෙහෙම මෙහෙම කළා…’ කියලා බණිනවා. එතකොට අරයා කම්පාවට පත්වෙනවා. ඊට පස්සේ එයාගේ ගෑනු ළමයාටත් කෝල් කරලා බණිනවා. එයත් කම්පාවට පත්වෙනවා. මෙයා තවදුරටත් කියනවා ‘මම ජාති ජාතිත් පළිගන්නවා… මම උඹලට යහතින් ඉන්න දෙන්නේ නෑ…’ කියලා කියනවා. එතකොට මෙයාගේ චේතනාව තුළ අකුසල් රැස්වෙලා.

කර්මය විපාක නො දී අවසන් වෙන්නේ නෑ…

චක්ඛු විඤ්ඤාණය කර්මයකට යටත් වෙලා තියෙන්නේ. ඒක තමයි භවාංගය. ඊට පස්සේ ඊට අනුකූලව හැදෙන එක එයාට පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි ඒකේ ආත්මයක් නෑනේ. ඒ කියන්නේ තමන්ගේ වසඟයේ පිහිටුවන්න බෑ. ඒකයි මේකෙන් ගැලවෙන්න අමාරු. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘මහණෙනි, චේතනාව පහළ කොට කරන ලද කර්මය විපාක නො දී අවසන් වෙන්නේ නෑ…’ කියලා. එක්කෝ එයාට ඒක මෙලොව ජීවිතයේ විපාක දෙනවා. එහෙම නැත්නම් ඊ ළඟ ජීවිතයේ විපාක දෙනවා. එහෙමත් නැත්නම් නිවන් දකින ජාති දක්වා එනවා. ඒ කියන්නේ කර්මය දිට්ඨධම්මවේදනීය, උපජ්ජවේදනීය, අපරාපරියවේදනීය වශයෙන් එනවා.
එයා මැරෙන කොට චුතවෙන්නේ කර්මානුරූපීව සකස් වූ විඤ්ඤාණයක්. ඇහෙන් රූප බලමින් ඉන්න කොට, කනින් ශබ්ද අසමින් ඉන්න කොට, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරමින් ඉන්න කොට, දිවෙන් රස විඳිමින් ඉන්න කොට, ඒ වගේ ම කයෙන් පහස විඳින අතරේ අපි මනසෙන් වෙන ම ලෝකයක් හදාගෙනනේ ඉන්නේ. එහෙම නම් හැමතිස්සේ ම තියෙන්නේ කර්මානුරූපව වෙනස් වෙවී තියෙන විඤ්ඤාණයක්. ඔහොම තියෙද්දී අපි කියමු, ඔන්න එයා මුනින් අතට ලිස්සලා වැටිලා සිහිය නැතිවුණා කියලා. නමුත් විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය එහෙම ම තියෙනවා. කර්මානුරූපීව හැදුණු විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය එහෙම ම තියෙනවා. ඒක සංස්කාරයක්.

අපි ගත්තොත්, භවයේ තමන්ගේ පුරුදු, ඊ ළඟට තමන්ගේ ගතිගුණ, ගති ලක්ෂණ ඔක්කෝම සම්බන්ධ විඤ්ඤාණයට නෙවෙයි, සංස්කාරවලට. එතකොට සංස්කාරවල බලපෑම මත තමයි විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ පවා සංස්කාරයක් කියලා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ‘මහණෙනි, හේතුඵල දහමින් හටගත්තු දේවල් අතරින් (ඒ කියන්නේ සංඛත දේවල් අතර) ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අග්‍ර’ කියලා. මොකද, ඒකට විතරයි සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්. සංඛත දෙයකින් තමයි විඤ්ඤාණය හටගන්නේ. එතකොට විඤ්ඤාණය වෙනස් වෙවී තියෙන්නේ සංඛතය අනුව. ඒ නිසා අපේ මේ ක්‍රියාකාරීත්වය තුළ අපි නැවත නැවත විඤ්ඤාණය හටගන්න, දුක පිණිස සංඛත හටගන්න ඕන දේම කරමින් ඉන්නවා. නමුත් අපි යම් විදිහකින් මේ කරමින් ඉන්න එක නවත්තලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තොත්, ඒ සංඛතයට පුළුවන් විඤ්ඤාණය උපතක් කරා යන ස්වභාවය නැති කරන්න.

ප්‍රඥාවෙන් දත යුතුයි…

අභිධර්ම ක්‍රමයට ගත්තොත් ‘ඕතප්පණ’ කියලා කියන්නේ යමක් වැඩකට භාරදුන්නා වගෙයිනේ. ඒ කියන්නේ සම්පටිච්ඡන්න සන්තීර්නය කරලා ඕන එකක් කර ගන්න භාරදුන්නා වගෙයි. ඊට පස්සේ තමයි වේගයෙන් ජවන සිත යන්නේ. අභිධර්මයට අනුව ගියපු ගමන් කර්මයනේ. එතකොට කොහොමත් ජවනයකින් තොරව මුකුත් කරන්න බෑනේ. මෙතැන ජවනය කියන්නේ බලසම්පන්න කියන එක. එහෙම නැතුව ‘ස්පීඞ්’ කියන අර්ථය නෙවෙයි. ඒකේ තේරුම විපාකයක් උපද්දවන්න පුළුවන් කියන එකයි. නමුත් අපි සාමාන්‍යයෙන් ‘ජව’ කියලා කියන්නේ වේගයටනේ. නමුත් මේ කියන්නේ වේගය නෙවෙයි, බලසම්පන්නකමයි. මේ බලසම්පන්නකම තමයි චේතනාව. චේතනාවෙන් තමයි මේක වෙන්නේ.

එතකොට චේතනාව පහළ කරලා මේ විදිහට කරන කොට, ඒ කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කොට විඤ්ඤාණයට සම්බන්ධ භවාංගයේ ඇති ගති, සතර අපායට ඇදිලා යන ගති ඔක්කොම මැකිලා යනවා. ඒ කියන්නේ (ඛයධම්මා) ක්‍ෂයවෙලා යනවා. එහෙම වෙන්න නම් ඊට අනුකූලව තමා තුළින් සිහිය උපද්දවලා ඒක දැකීමේ හැකියාව එන්න ඕන. ඒක ප්‍රඥාව. එතකොට ප්‍රඥාව පහළ කරන්නේ නැතුව අපි හිතුවොත් විඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ කියලා අපට ධර්ම මාර්ගය තුළ දියුණුවක් කරා යන්න බෑ. ඒ නිසා ප්‍රඥාවෙන් ම යි දකින්න ඕන.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න නම් එයා චතුරාර්ය සත්‍යය ගැන මූලික දර්ශනය ඉගෙනගන්න ඕන. අපි ගත්තොත්, බුද්ධ දේශනාවේ තියෙනවා ‘ඉපදීම දුකයි..’ කියලා. එතකොට ඒ ඉපදීමට තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස අයිති. එහෙම නම් ඒ ඔක්කොම අයිති දුකට. ඒ වගේ ම ඉපදීමට තමයි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණත් අයිති. උපත ගැන විස්තර කරන තැන්වල තියෙන්නේ (ඛන්ධානං පාතුභාවෝ) පංච උපාදාන ස්කන්ධයන්ගේ පහළවීම (ආයතනානං පටිලාභෝ) ඇස, කන, නාසය, දිව, කය, මනසයෙහි පටිලාභය ජාති දුක කියලනේ. මේ දුක තමයි එයා ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන. ප්‍රඥාව අයිති මාර්ගයට මිසක් දුකට නෙවෙයි. නමුත් විඤ්ඤාණයට අයිති දුකට. සීල, සමාධි, ප්‍රඥා අයිති මාර්ග සත්‍යයට මිසක් දුක්ඛ සත්‍යයට නෙවෙයි. නමුත් විඤ්ඤාණය අයිති දුක්ඛ සත්‍යයට. ඉතින් මේවා විග්‍රහ කර ගත්තේ නැත්නම් අපි එක එක විග්‍රහවල පැටලි පැටලී ඔහේ ඉන්නවනේ.

ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයට ධර්මය ඉගෙන ගන්න…

අපි ගත්තොත්, කෙනෙක් රූපවාහිනිය බලමින් බත් කනවා කියමු. ඒ කියන්නේ රූපවාහිනිය බලනකොට ඇහෙන් රූපත් පේනවා. කනෙන් ශබ්දයත් ඇහෙනවා. ඊ ළඟට බත් කන කොට එයාට සුවඳත් දැනෙනවා. රසත් දැනෙනවා. එතකොට ඒ ඔක්කොම අතරේ එයා ඒකේ සිද්ධිවලට හිනාවෙවී ප්‍රතිචාරත් දක්වනවා. එතකොට මනසත් වැඩකරනවා. ඒක තමයි මම කිව්වේ ඒක ප්‍රඥාවකින් තොරව, ඒ කියන්නේ නීවරණ ධර්ම යටපත් කරලා උපදවාගත්තු ප්‍රඥාවකින් තොරව කොහොමද දකින්නේ? ඒක තමයි මම කාලයක් තිස්සේ කියන්නේ, නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් දැක්ක යුතු ප්‍රඥාව උපදවා ගැනීමෙන් තොරව මේ කියන ක්‍රමයට පුළුවන් ද? ඒකනේ අපි කලිනුත් කිව්වේ ‘ලෙට් ඉන් ගෝ…’ කියලා බෑ කියලා. ‘ඇහුණා… ඇහුණා… දැක්කා… දැක්කා…’ කියලා අපට මේක ෂේප් කරන්න පුළුවන්. හැබැයි නාමරූප නිසා මේක හැරෙන හැරෙන පැත්තට නැමිලා යනවා.

අපි ගත්තොත් අහිංසක අංගුලිමාල වුණා. එයා තුළ හැදුණු නාමරූප අනුව එයා ම රහත් වුණා. බලන්න, මේක හැදුණු හැදුණු විදිහට යනවා. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් බණ භාවනා කරන කොට ගොඩක් අයට වෙන්නේ මොකක්වත් නැතුව හිස්වෙලා වගේ ස්වභාවයක් ඇතිවුණොත් එයා හිතනවා ‘මේ මේ හිස් බව සංස්කාර හටගන්නේ නැති තැනක් වෙන්න ඇති’ කියලා. ඒ වගේ තමයි රැවටෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයට ධර්මය ඉගෙන ගත්තේ නැතිකම.

මම හිතනවා කෙනෙක් සිහියෙන් ඉන්න නම් කතාව අඩුකර ගන්න ඕන. එතකොට එයාට ධර්මය පුරුදු කරන්න ගොඩක් පහසුව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා හරියට මහන්සි වෙලා කතාකිරීම අඩුකරලා දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. නමුත් අපට හිතෙන්නේ බුදුකෙනෙක් පහළ වුණා නම් අපි නිකම් ම නිවන අවබෝධ වෙයි කියලනේ. මොකද, සමහර මහා පුණ්‍යවන්තයන් හරි වේගයෙන් ධර්මය අවබෝධ කරපු අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපිත් ඒ මට්ටමෙන් හිතනවා. ‘ආ… බුදු කෙනෙක් පහළ වුණා නම් අපටත් එහෙම පුළුවන් වෙයි’ කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ.

කෙනෙක් මැරෙන කොට චුතවෙන්නේ කර්මානුරූපීව සකස් වූ විඤ්ඤාණයක්. ඇහෙන් රූප බලමින් ඉන්න කොට, කනින් ශබ්ද අසමින් ඉන්න කොට, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරමින් ඉන්න කොට, දිවෙන් රස විඳිමින් ඉන්න කොට, ඒ වගේ ම කයෙන් පහස විඳින අතරේ අපි මනසෙන් වෙන ම ලෝකයක් හදාගෙනයි ඉන්නේ.

3 comments

  1. කෙනෙක් gee vigaanaya චුතවූ විගසම නවත උපතක් කරා යනවා කියන karuna මා අසා තිබෙනවා .මව් කුසක හෝ බිත්තර yaka vingaanaya බසගන්නාවිට එය එසේම සිදුවේද ? punnaabi සන්ස්කාර බලවත් (අප sithamu) කෙනෙකුගේ vingaanaya පින්වත් මව් කෙනෙකුගේ කලලයකට බසීමත් ඒ වේගයෙන් ම සිදුවේද ? හේතුව pinvath මව පියා එකතු වන අවස්තාවක් වෙනකම් එම vingaanaya බසගනීම pramaada veeda .කොටින්ම කීවොත් gandabba අවස්තාව කියානා කාරනය .මෙම කරුන මාහට පහදා දෙන්නේනම් මනවි. .තෙරුවන්සරණයි නමෝබුද්දාය.

  2. Chatumadura sakas karana ayuru karunaakara pahadaa denna. pin sidu weewaa.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

විජ්ජාකරුවාගේ මායාව

"විඤ්ඤාණය සාමාන්‍යයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනසේ හටගන්නවා. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ රූපයේ බැසගෙන.