උදෑසන හිරු කුමරා දවසේ මෙහෙය අරඹා හෝරා කීපයක් ගතවෙද්දී දහස් ගණන් රහතුන්ගේ පා පහසින් පූජනීය වූ තවත් සොඳුරු පින් බිමක අසිරිය සොයා අපි ගමන් ඇරඹීමු. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට හැරී වතුරුගම මාර්ගයේ කි. මී. 04 ක් පමණ ගොස් පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කි. මී. 1ක් පමණ ගිය විට මේ සොඳුරු පින් බිම වෙත පැමිණිය හැකි ය.

රජ දරුවනට පිළි සැපයූ ගම්මානය, වළගම්බා රජ බිසවගේ පිළි සඟවා තැබූ ස්ථානය යන්නෙන් බිඳී ‘පිළිකුත්තුව’ යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ පවතියි.

ඉදිරිපසින් සිත නිවන සොඳුරු වූ වෙල් යායක් ද දකුණුපසින් විශාල පොල් වතු ද වම්පසින් නේකවිධ රමණීය ජල පුෂ්පයන්ගෙන් සුසැදි සිහිලැල් ජලය පිරුණු වැවක් ද නැගෙනහිර දෙසින් සුවිසල් පර්වත පෙළක් සමඟින් වන සොඳුරු වන රජදහන ද මැදිකරගෙන ශතවර්ෂ ගණනාවක කතාවක් සඟවා ගත් පිළිකුත්තුව රජ මහා විහාරය තේජාන්විතව වැඩ හිඳිති.

බස්නාහිර පළාතේ, සියනෑ කෝරලයේ, උරුවෙල් පේරුවේ, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිළිකුත්තුව ග්‍රාම සේවා වසමේ පිහිටි මේ සොඳුරු පින් බිමට ඇතුළු වූ අපි පළමුව විහාරාධිපති හිමියන් මුණගැසී වන්දනා කොට අප ආ පවත් දන්වා එකත්පස්ව වාඩි වුණෙමු.

“මහත්තයා… දැන් මේ විහාරය බාරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා… අන්න අර කඳු පියස මත, අර ඈත පේන බුද්ධ මන්දිරයට වම් පැත්තෙන්… මහත්තයලා එතෙන්ට යන්ට… ඒ මහත්වරු මේ විහාරය පිළිබඳ සියලු තොරතරු මහත්තයලාට ලබා දෙයි.”

උන්වහන්සේගේ පා කමල් වන්දනා කළ අපි ආවාස ගෙයින් පිටතට පැමිණ පළමුව බෝධීන් වහන්සේ පසුකරමින් ගල් පියගැටපෙළ තරණය කර සුවිසල් කටාරම් කෙටූ ගල් ලෙනක් පියස්ස කොටගෙන තැනූ බුද්ධ මන්දිරය වෙත පැමිණ වන්දනා කළෙමු.

ඉපැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් මැදිකොටගෙන නිර්මාණය වූ ඒ විසල් බුදු මැදුර තුළ ඇත්තේ සිත මෙන් ම ගත ද සනසන සිහිලසකි…. ශෛලමය වූ බිත්ති සහ වහලය පුරා ඉපැරණි ලෙන් සිතුවමින් අලංකාර වී ඇත.
බුද්ධ මන්දිරයෙන් පිටතට පැමිණි විට වම්පසින් ඇති යෝධ කළු ගලකින් සෙවණ ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඒ ආකරයෙන් පිහිටා ඇති ලොව ප්‍රථම සෑරජාණන් වහන්සේ යයි මට සිතුණි.

සෑරජාණන් වහන්සේ වන්දනා කළ අපි මේ සොඳුරු ඉපැරණි විහාරාරාම සංකීර්ණයේ තොරතුරු සොයා පුරාවිද්‍යා කාර්යාලය වෙත එළඹුනෙමු.

එහි වැඩ හුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූජ්‍ය මුල්ලේගම සෝම ස්වාමීන් වහන්සේ සහ එහි සිටි පුරාවිද්‍යා කාර්යාලයේ කලාප භාර නිලධාරිනී එච්. වීරසිරි මහත්මිය මේ ඓතිහාසික පුදබිමෙහි තොරතුරු ලබාගැනීම සඳහා බෙහෙවින් උපකාර වූහ.

මා විසින් මීට පෙර අකුරු කරන ලද සොඳුරු පුදබිම්හි අසිරිය රැඳුනු පුණ්‍යචාරිකා කෘතියක් උන්වහන්සේ වෙත පූජා කළ මම පසෙකින් වාඩි වීමි.

“මහත්තයා… මේ බිම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මහනුවර යුගය දක්වා පැතිරුන සුවිසල් ඉතිහාසයකට උරුමකම් කියන පින් බිමක්.

අක්කර 200ක විතර වනය පුරා කටාරම් කෙටූ ගල් ලෙන් ද ඇතුළු ව ගල් ලෙන් 99ක් විතර මේ පුදබිම පුරා විසිරී තිබෙනවා. අනුරාධපුර යුගයේ දී රහතන් වහන්සේලා පිරිවරා ගත් සංඝයා වහන්සේලා හුදෙකලාවේ බවුන් වැඩූ වන සෙනසුනක් විදියට මේ සෙනසුන පැවති බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.

ඒ වාගේ ම පොළොන්නරු හා දඹදෙණි යුගයට අයත් ඉපැරණි කාසි හා මහනුවර යුගයට අයත් නිර්මාණ ද මේ අවට කළ කැනීම්වලින් හමුවී තියෙන හින්දා මේ ආරණ්‍ය සේනාසනය බොහෝ කාලයක් සංඝයා වහන්සේලා වැඩ විසූ පින් බිමක් විදියට සිතන්නට පුළුවන්.

මීට අමතරව අනුරපුර යුගයට අයත් කැට ගලින් නිමැවුන විශාල පොකුණකුත්, මහනුවර යුගයට අයත් දැනට ලංකාවේ ඉතිරිවෙලා තියෙන ඉපැරණි දැව පාලම් දෙකෙන් එකකුත් මේ පින් බිමේ දී දැකගන්නට පුළුවන්.

අනුරාධපුර යුගයේ දී සොළී ආක්‍රමණ හමුවේ පසුබැස පලා ආ වට්ඨගාමණීඅභය (වළගම්බා) රජතුමා සැඟවී සිට සේනා සංවිධානය කළ ස්ථාන අතරින් එකක් බව ද ජනප්‍රවාදයේ සඳහන් වනවා.

මේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙත ගියාම අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලි ව දිස්වන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිරීක්ෂණය කරන්නට පුළුවන්.

මහත්තයා මෙතනින් ඇතුළු වෙලා මේ වන පියස ඇතුළට යන්න… වචනයෙන් කියන්නට බැරි බොහෝ දේ මේ වනය ඇතුළේ දී හමුවේවි.”

උන්වහන්සේගේ පා කමල් වන්දනා කළ මම රහතුන්ගේ පා පහසින් පූජනීය වූ ඒ සොඳුරු වන පියසට ඇතුළු වීමි.

මා හට මග පෙන්වන්නට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ පුරාවිද්‍යා නිලධාරීන් වූ සමරසිංහ මහතාත්, චන්ද්‍රසිරි මහතාත් පෙරමුණ ගත් අතර නයනා මහත්මිය ද අපගේ ගමනට එකතු වූවා ය.

ගල් පඩිපෙළක් තරණය කිරීමෙන් අනතුරුව වල්දෙල්, රුක්අත්තන, හොර, මිල්ල, හල්මිල්ල, නැදුන්, දොඹ, නුග, කිතුල්, මා වේවැල්, පුස්වැල්, කළුවර, හුලංහික්, සියඹලා, දූරියන් ආදි මහා වනස්පතීන්ගේ සෙවණ යට වැවුනු ඉරිවේරිය, මාදන්, අක්කපාන, කෝමාරිකා, ඇත්දෙමට, තොටිල්ල, අංකෙන්ද, නවහන්දි, හාතාවාරිය ආදි බෙහෙත් පැළෑටිවලින් පිරුණ මේ වනය විටෙක ඔසු උයනක් වැන්න…

ගස් වැල් අතරින් වැටුනු අඩි පාර විටෙක ගල් පඩි නගිමින් හා බසිමින් ද විටෙක කඳු බෑවුම් අතරින් ගස් වැල්වල ආධාරයෙන් තරණය කරමින් ද යා යුතු ය…. බැලු බැලු අත ඇති ලොකු කුඩා ගල් ලෙන් බොහොමයක කටාරම් කොටා ඇත.

පාවහන් රහිතව පැමිණි මාගේ දෙපයට පුරාවිද්‍යා නිලධාරීන්ට හුරු පුරුදු වන මං පෙත්වල වේගයෙන් පියවර තැබීම අපහසු ය… එහෙත් සැණෙකින් සිතට නැගුනේ ‘අනේ… මේ වනපෙත් මැදින් නිකෙලෙස් චිත්ත සන්තානයන් දරාගත් මහරහතන් වහන්සේලා කොතරම් නම් පාවහන් රහිතව පියවර තබන්නට ඇද්ද?’ කියා ය.

“මහත්තයා මේ කැලේ සර්පයින් නැද්ද?”

පසෙකින් වූ තුඹසක් දැක මම විමසීමි.

“ඇයි නැත්තේ… නයින් පොළඟුන් පිඹුරන් කුණකටුවන් ඕනෑතරම් ඉන්නවා.”

මම පයට පෑගෙන අතුපතර දෙස වඩාත් විමසිලිමත් වීමි… තුරුලතා අතරින් නැගෙන කුරුලු කූජනය සිතට නැගුන බිය මොහොතකින් පහකිරීමට සමත් විය.

සැලළිහිණියන්, මල් කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, කැලෑහැලපෙන්දන්, අවිච්චියන්, සුදු රෙදි හොරුන්, කහ රෙදි හොරුන් එක සීරුවට නගන ගී රාවයෙන් වන පෙතට මුසු වී ඇත්තේ අපූරු සංගීතයකි.

“මොනවද මහත්තයා මේ පොඩි අඹ ජාතිය?”

ඉදී බිම වැටුන සුවඳ හමන අඹ ගෙඩියක් අහුලාගනිමින් මම ඇසීමි.

“ඕවාත් මහත්තයා පිළිකුත්තුවට ම ආවේණිකයි… නම තමයි පිළිකුත්තු අඹ. හරි ම රසයි…”

එය සැබෑවකි… පිහි අනවශ්‍ය ය. මුවෙන් ම ලෙල්ල ගලවා, ඇති තරම් අහුලා ගත හැකි ඒ ඉමිහිරි අඹ රස වින්දෙමු.

හිටිගමන් අප ව තිගස්සවමින් පඳුරු අතරින් සර බර ගාමින් අප අසලින් ම සතෙකු පැන දිවී ය.

“මොකෙක් ද සමරවීර මහත්තය ඒ…?”

“ආ… ඒ හාවෙක් මහත්තයා. මේ කැලේ ඉතින් හාවෝ, නරි, මීමින්නෝ, ඉත්තැවෝ, අඳුන් දිවි ඕනැතරම් ඉන්නවනෙ.

ඕන්න දැක්ක නේ ද මේ ස්වාභාවික ගල් ළිඳ… මෙන්න මෙතෙන්ට එන්න ඇති වතුර බොන්න…”

අප එන මගෙහි අතරමග පිහිටි කටාරම් කෙටූ ගල් ලෙන් කීපයක් නිරීක්ෂණය කරමින් පැමිණිය ද මේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ ගමනේ ප්‍රධාන ඉලක්කය වෙන තැනක් බව ඔවුන්ගේ හැසිරීම කියා පායි.

“මහත්තයා මේ මාව කොහාට ද එක්ක යන්නේ….?”

පාවහන් රහිත දෙපා ද රිදුම් දෙයි… තරමක විඩාවක් ද ගතට දැනෙයි.

“මහත්තයා මහමෙව්නාවට යන එනවා නේ ද? අපි මේ ළඟදිත් සම්බුද්ධරාජ මාලිගාව වැඳ පුදා ගත්තා… මහත්තයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නිසා අපි කාටවත් නො පෙන්වූ තැනක් පෙන්වන්නයි මේ එක්ක යන්නේ… අඩු ගාණේ මේ නයනාවත් මීට කලින් ගිහින් නැති.

ඒ වගේ තැන් මේ පින්බිමේ හැංගිලා තියෙනවා මහත්තයා. අපි ඒවා වැඩිය මාධ්‍යයට කියන්නෑ. මොකද දැන් එනකොටත් දැක්කනෙ ටෙලි නාට්‍ය හදන අය ඇවිල්ල හැමතැන ම රූගත කිරීම් කරනවා… බුද්ධ මන්දිරය ඇතුළෙත් ඇඳුම් මාරු කරන්න හදනවා මම දැක්කා… මේ හැමදෙනා ම සැදැහැවත් අය නෙවෙයිනේ මහත්තයා. එහෙම වුණා ම මේ පින් බිම් කෙලෙසිලා යනව. අපට ඒ ගැන දුකයි. මේ බලන්න මහත්තයා මෙතැනත් ගස් වගයක් කපල දාලා… එකත් එකට ම නිදන් හොරුන්ගෙ වැඩක්…”

ඔවුන්ගේ මුහුණු ශෝකාකූල විය.

ඇත්තෙන්ම මෙවන් රාජ්‍ය නිලධාරීන් හමුවීමත් වාසනාවකි. ඉපැරණි ඉතිහාසය රැකගන්නට උරදෙන, වනයට සතා සීපාවාට සොබාදහමට ආදරය කරන මෙවන් මිනිසුන් දැයට වාසනාවකි.

අඩ හෝරාවක පමණ ගමනකින් පසුව අපි ගමනේ සොඳුරු ඉසව්වකට පැමිණියෙමු.

“මෙන්න මහත්තයා මේ ගල් ලෙන බලන්නකො…”

සැබැවින් ම සොඳුරු ය, අසිරිමත් ය. සැණෙකින් ගතේ සිතේ සියලු විඩා නිවී සිත පහන් විය. මහා ගල් කුලු තුනකින් වට වුණ එය ගල් ලෙනක් ලෙස හැඳින්වීමට මම මැලි වෙමි. එය මට නම් ශෛලමය මාලිගාවකි.

ඇතුළත වායු සමනය කළ කලෙක මෙන් ඉතා සිහිලැල් ය. බිම සුදු වැලි අතුරා ඇති අඩි 30ක පමණ සක්මනකි.

පසෙක නිදහසේ බණ භාවනා කළ හැකි මැටි පිළක් සහිත මැද මිදුලකි… අනෙක්පස රාත්‍රී කාලයට සැතපෙන්නට සුදුසු පරිදි සැකසුනු කුටිය තුළ කුඩා ලෑලි ඇඳකි. ඒ තුළ වටාපතක් ද ඇත. ඒ ආසන්නයේ හිසට ඉහළන තල්පතක් රඳවා ඇත.

කාමයන්ගෙන් වෙන්වී සිතෙහි ඇති කෙලෙස් බර උනා දැමීමට වෙහෙසෙන යතිවරයාණන් වහන්සේනමකට මෙහි සියලු පහසුකම් ඇත.

“ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා වගේ…”

සමරවීර මහතා චන්ද්‍රසිරි මහතාගේ කනට කොඳුරනු මට ඇසිණි.

“මොනවා… මේ ලෙනේ දැනුත් ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉන්නවා ද?”

“ඒකනේ මහත්තයා අපි මේවා වැඩිය පෙන්නන්න කැමති නැත්තෙ… ඒක උන්වහන්සේලාගේ නිෂ්කාමී ජීවිතයට බාධාවක්නේ.”

ඒ සොඳුරු ගල් ලෙන පිහිටි ස්ථානය පිළිබඳ මම ඔබට මං සලකුණු නො කියමි… ඔබ ද එය සොයා නො යන්න… එහෙත් අක්කර 200ක භූමි භාගයක පැතිරුන වන පියස තුළ සැඟවී ගත් ගල් ලෙන් 99 අතරේ එවන් සොඳුරු තැන් තව බොහෝ තිබෙන බව දැනගෙන සිත පහදවා ගන්න.

අකමැත්තෙන් වුව ද අපි ඒ සොඳුරු නවාතැනින් සමුගෙන නැවතත් වනපෙතට වැදුනෙමු.

පසෙක කැලෑව හෙළි කර පාරක් කපා ඇති ලකුණු පෙනේ

“මේ ඇයි සමරවීර මහත්තයා..?”

“අනේ… ඕවා තමයි මේ කැලේට තියෙන අනතුරු. කවුරු හරි බලවතෙක් මේ පාර කපලා ඉහළ බෑවුමේ හෝටලයක් හදන්න ගියා… ඒත් ඒක සාර්ථක වුණේ නෑ… එයාට අංශභාගේ හැදුණා.

බුදු සසුනට පූජා කළ මේ බිම් වන දෙවිවරු හරි රකිනවා මහත්තයා…

ඒ වාගෙ ම තව දෙයක් පත්තරේට ලියන්න… මෙතන ගල් ලෙන් 99ක් තිබුණට දැනට විහාරය සතුව තියෙන්නේ සුළු කොටසයි. වැඩි කොටසක් දැන් පුද්ගලයන් විසින් අයිති කරගෙන. ඒක කොහොම වුණා ද කියන්න නම් අපි දන්නෙ නෑ… ඒත් අන්න බලන්න ගල් වෙඩි දාලා අර ගල් කඩල තියෙන විදිය… මේවාත් ඉස්සර ගල් ලෙන් වෙන්න බැරි ද? අතීත අනාගත මහා සංඝරත්නය වෙත පිදුව මේ පින්බිම යම්කිසි සැදැහැවතුන් පිරිසකගේ උපකාරයෙන් හරි ආයෙමත් සඟ සතු වනවා නම් කොපමණ හොඳ ද?”

අහෝ… ශ්‍රද්ධාවන්ත මිනිසුනේ… මේ පින් බිම් අප කෙසේ හෝ අනාගත පරපුරට රැක දිය යුතු නො වේ ද?

කෙමෙන් කෙමෙන් පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනාගේ ගමන කඳු පියසකට යොමු වී ඇත.

හෝරා කීපයක ගමනින් ගත විඩාපත් වී ඇතත් අපි ඒ පසුපසින් එකතුවීමු

“කොහාටද සමරවීර මහත්තයා මේ යන්නේ?”

අපි කිව්වනෙ අනුරාධපුර යුගයේ දී සොළී ආක්‍රමණ හමුවේ උපක්‍රමික ව පසුබැස පළා ආපු වට්ඨගාමණීඅභය (වළගම්බා) රජතුමා සැඟවී සිට සේනා සංවිධානය කළ ස්ථාන අතරින් එකක් බව ද ජනප්‍රවාදයේ සඳහන් වනවා කියලා.
මේ අපි යන්නේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙතටයි.”

අඩහෝරාවක වෙහෙසකර කඳු තරණයකින් පසුව අපට බැලුම්ගල වෙත ළඟා වීමට හැකි විය.

අසිරියකි. උඩු ගුවනේ ගුවන්යානයක සිට අවට සියල්ල ඉතා හොඳින් නිරීක්ෂණය කරනවා වාගේ හාත්පස ම දිස්වන්නේ ඉතා රමණීය වටපිටාවකි.

“මොකක්ද චන්ද්‍රසිරි මහත්තයා අර ඈතින් පර්වත මුදුනක පෙනෙන සෑය?”

“ආ…. ඒ තමයි මහත්තයා මාලිගාකන්ද සෙනසුන. ඔය පේන්නේ දළදා වහන්සේ වැඩ සිටිය තැනයි…”

“සාධු…! සාධු….! එතකොට අර ඊට දකුණින් පෙනෙන ගල්කුළ?”

“ආ… ඊට පාමුලින් තමයි වළගම්බා විහාරය තියෙන්නේ….”

ඇත්තෙන්ම බැලුම්ගල මුදුනේ සිට අංශක 360ක පරාසයකට සිව් දිසාව ම පැහැදිලිව දිස්වන දසුන මනස්කාන්ත ය.

“බලන්න මහත්තයා මෙතනට අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලිව පේන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිරීක්ෂණය කරන්නට පුළුවන් නේ ද? ඉතින් වළගම්බා රජතුමාට ඒක බොහො ම ප්‍රයෝජනවත් වෙන්න ඇති…”

අපි නැවතත් කඳුබෑවුම ඔස්සේ සීරුවෙන් ගමන් කළෙමු.

“කතාවෙන් කතාව ඔන්න මහත්තයා අපි තවත් ලෙනකට ආවා. මේ බලන්නකො මේ බ්‍රාහ්මීය අක්ෂර කියන කතාව.

දෙවනපියතිස් රජුගේ අශ්වාරෝහක ප්‍රධානී විසින් අතීත අනාගත සතර දිගින් වඩින සංඝයා වහන්සේලා උදෙසා පූජා කරන ලදී.”

බොහෝ වේලා වනයේ සැරිසැරුව ද ගතට ලොකු වෙහෙසක් නො දැනේ… පුරාවිද්‍යා නිලධාරීන්ට බොහෝ ස්තූති කළ මම නැවතත් ප්‍රධාන ලෙන් විහාරයට පිවිසුනෙමි… සමාධි සුවයෙන් වැඩ හිඳින භාග්‍යවතුන් වහන්සේ ළඟ සිරස බිම තබා වැඳ වැටුනෙමි.

විහාර සිතුවම් තුළ රහතන් වහන්සේලා දෝතින් මල් රැගෙන වඩින රූප සජීව වූ බවක් මට දැනේ… එදා මේ ලෙන් තුළ බවුන් වඩා නිකෙලෙස් සිත් උපදවාගත් මහරහතන් වහන්සේලා කීනමක් නම් මේ විදියට ම දෝතින් වන මල් නෙළා ගෙනවුත් මේ සිරිපා පාමුල වැඳ වැටෙන්නට ඇද්ද…

ස්වාමීනී…. මාගේ ජීවිතය ද ඔබ වහන්සේට ම පූජා කරමි. පූජා වේවා!

චාරිකා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ