01. පින්වත් ස්වාමීන් වහන්ස, යම් පුද්ගලයෙකුගේ සිරුරින් නිරන්තරයෙන් ම දුර්ගන්ධයක් හටගන්නේ නම් එම තත්ත්වය සුවපත් කර ගැනීමට ධර්මානුකූල ව කළ හැකි යම් පිළිවෙතක් කරුණාවෙන් පහදා දෙන්න.

මෙයට යම් කර්මානුරූප බලපෑමක් තිබිය හැකියි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කල බිරිඳ වූයේ භද්ද කාපිලානියයි. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දී සිටු කුමාරියක් ව ඉපදී සිටිය දී නිරන්තරයෙන් ම කුණු මඩවලින් එන දුගඳ වැනි දුර්ගන්ධයක් හැමුවා. ඊට හේතුව අතීත ජීවිතයක දී ද්වේෂයෙන් යුතුව පසේබුදුරජාණන් වහන්සේනමකගේ පාත්තරයට කුණු මඩ පිරවීමයි. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් ස්වර්ණ චේතියට සිය රන් ආභරණ යොදවා රන් ගඩොලක් සාදා පූජා කළා. එවිට අර අකුසලය මැඩ කුසල් බලය ඉස්මතු වීම නිසා ශරීරයෙන් හමන දුර්ගන්ධය සම්පූර්ණයෙන් ම නැතිව ගියා. එමෙන් ම එදින ඇය ස්වර්ණ චේතියට නිල් මහනෙල් මල් පිදූ පිනෙන් සිරුරෙන් මිහිරි සුගන්ධයක් හමන්නට වුණා.

එම නිසා ඔබත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සෑයක් උදෙසා හඳුන්කූරු දැල්වීම පිණිස බඳුනක්, මල් ආසනයක් වැනි දෙයක් සාදවා පූජා කරන්න. ස්වර්ණමාලි මහා සෑ රදුන් වන්දනා කොට මල් පහන් සුවඳ දුම් පුදා සෑරජාණන් වටා සුවඳ පැන් ඉසින්න. හැකි නම් සඳුන් කරඬුවක් සාදවා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම පිණිස පුණ්‍ය භූමියකට පූජා කරන්න. එවිට යම් කර්මානුරූප බලපෑමක් ඇත්නම් එය දුරුවී සහන සැලසේවි.

02. පින්වත් ස්වාමීන් වහන්ස, විවාහ ජීවිතයක් ගත කරමින්, ධර්මය පුරුදු කර සුගතිගාමී විය නො හැකි ද?

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ධර්මයේ හැසිරීම තුළ, ගිහි ජීවිතයක් ගතකරමින් වුව ද සුගතිගාමී වීමටත්, මාර්ගඵල අවබෝධ කර ගැනීමටත් හැකියාව ඇත. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ දී සැවැත්නුවර කෝටි හතක පමණ ජනතාවක් වාසය කළ අතර ඉන් කෝටි 05ක් ම මගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් ව සිටියහ. එම නිසා බාහිරින් ලැබෙන වටිනා ම උපකාරය වූ කල්‍යාණ මිත්‍ර සේවනයත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ඇතිකර ගැනීමෙන් මතු ජීවිතය සුගතිගාමී කර ගැනීමටත්, මාර්ගඵල අවබෝධ කර ගැනීමටත් මග විවර කර ගත හැකි ය. එහි දී තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් තේරුම්ගෙන සිත පහදවා ගැනීම හෙවත් ශ්‍රද්ධා සම්පත්තියත්, ජීවිතය සිල්වත් කර ගැනීම හෙවත් සීල සම්පත්තියත්, ශ්‍රී සද්ධර්මය හදාරා සුත සම්පත්තියත්, පරිත්‍යාගශීලී බව හුරුකරමින් චාග සම්පත්තියත්, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරමින් ප්‍රඥා සම්පත්තියත් යන සේඛ බල ධර්මයන් ඇතිකර ගත යුතු ය.

විශේෂයෙන් ම විවාහ ජීවිතයක දී ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනා තුළ ම මේ සේඛ බල ධර්මයන් ඇතිකර ගැනීම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ද ලෞකික ජීවිතය යහපත් කර ගැනීමට ද ආධ්‍යාත්මික දියුණුවට ද අවශ්‍ය ම වේ. එවැනි ගුණ සම්පන්න විවාහ ජීවිතයක් භාග්‍යවතුන් වහන්සේ අර්ථ දක්වා ඇත්තේ “දෙවි කෙනෙකු දිව්‍යාංගනාවක් සමගින් වාසය කරනවා” යනුවෙනි. එහි දී සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට පහත සඳහන් අයුරින් එකිනෙකාට යුතුකම් ඉටු කිරීම ද ඉතා වැදගත් ය.

සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම්.
■ බිරිඳට ගෞරවනීය ලෙස කථාබහ කළ යුතු ය.
■ අවමන් කොට කථා නො කළ යුතු ය.
■ සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නො යා යුතු ය.
■ නිවසෙහි වැට කටයුතුවල දී සිය බිරිඳට ප්‍රධානත්වය දිය යුතු ය.
■ තමාට ශක්ති පමණින් ඇඳුම් පැලඳුම් ආදිය මිලට ගෙන බිරිඳට තෑගි කළ යුතු ය.
බිරිඳ විසින් සැමියාට ඉටු කළ යුතු යුතුකම්.
■ කලට වේලාවට ආහාර පාන සකස් කර දිය යුතු ය.
■ ස්වාමියාගේ සේවකකාරකාදීන්ට යහපත් ව සැලකිය යුතු ය.
■ සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නො යා යුතු ය.
■ සිය සැමියා රැස්කරන ධනය ආරක්ෂා කළ යුතු ය.
■ සියලු කටයුතුවල දී කම්මැලි නැතිව දක්ෂ විය යුතු ය.

03. පින්වත් ස්වාමීන් වහන්ස, බොහෝ බෞද්ධයන් විසින් පත්තිනි මෑණියන් උදෙසා කිරි අම්මාවරු හත් දෙනෙකුට කිරි දානයක් පූජා කර රැකවරණය දියුණුව පතනවා. මෙය මිථ්‍යා දෘෂ්ටියට අයිති ද? එසේ පිළිසරණක් බලාපොරොත්තු විය හැකි ද? තෙරුවන් සරණ ගිය අයෙකුට මෙය සුදුසු ද?

“අත්ථි දින්නං” හෙවත් “දන්දීමේ යහපත් ආනිශංස ඇත.” යනු ලෞකික සම්මා දිට්ඨියේ මුල් අංගය යි. එම නිසා කිරි අම්මාවරු හත් දෙනෙකුට කිරි දානයක් පිදීම ඒකාන්තයෙන් ම යහපත් විපාක ලබාදෙන පුණ්‍ය කර්මයක්. එහි දී එම දානයට සහභාගී වන කිරි අම්මාවරුන් තිසරණගත සිල්වත් ගුණවත් පිරිසක් නම් එම දානය මහත්ඵල මහානිශංස වීමට හේතුවනවා. එනමුත් මෙහි දී පත්තිනි මෑණියන් අරමුණු කරගෙන නොව මානව ඉතිහාසයේ සිටි සිල්වත් ම ගුණවත් ම මෑණියන් වූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දස මසක් කුස හොවාගෙන මෙලොවට බිහි කළ මහා පින් ඇති මහාමායා දේවිය අරමුණු කරගෙන කිරි දානය පූජා කිරීම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට ඉතාමත් සුදුසුයි. එහි දී මහාමායා දේවියගේ උතුම් ගුණ කඳ සිහිපත් කිරීම ද සිදු කළ හැකියි. එමෙන් ම බෝසතාණන් වහන්සේ උදෙසා සසර පුරාවට ශ්‍රේෂ්ඨ ආත්ම පරිත්‍යාගයකින් පාරමිතා පූරණයට උපකාරී වූ, අවසන් දිවියේ බෝසතුන් ගිහිගෙය හැරදා ගිය දා පටන් බ්‍රහ්මචාරීව ගුණ පිරූ යසෝධරාවන්ගේ අපරිමිත ගුණකඳ මෙනෙහි කිරීම ද තෙරුවන් සරණ ගිය බෞද්ධයන්ට ඉතාමත් උචිතයි. තව ද මහාමායා දේවිය මියගිය පසු බෝසතාණන් වහන්සේට සිය කිරි පොවා මහත් ආදරයකින් සෙනෙහසකින් හැදූ වැඩූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ගුණයන් මෙනෙහි කරමින් ඉතා අර්ථවත් ව කිරි අම්මාවරුන්ට දානය පූජා කළ හැකියි.

බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වනිතා රත්නයන් වූ එම උත්තමාවියන්ගේ ගුණ ප්‍රකට කරමින් එසේ අවබෝධයෙන් රැස්කර ගන්නා උතුම් පුණ්‍ය ධර්මයන් පත්තිනි මෑණියන් ඇතුළු දෙවිවරුන්ට අනුමෝදන් කිරීම තුළ දේවාශීර්වාදය ලබා ගත හැකියි. ආර්ය ශ්‍රාවකත්වයේ පිහිටි ශ්‍රාවකයන් හට බෞද්ධ සම්ප්‍රදාය රැකගෙන මෙසේ කිරි අම්මාවරුන් උදෙසා දානය පූජා කොට වටිනා පුණ්‍ය ධර්මයන් රැස්කර ගත හැකියි.

04. පින්වත් ස්වාමීන් වහන්ස, මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් ලැබෙන ආනිශංස මොනවා ද කියා පහදා දෙන්න.

මෙත්තානිශංස නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කිරීමේ ආනිශංස 11ක් ඇතිබව ඉතා පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. ඒ මෙලෙසයි, “පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවාගෙන සිටින ලද්දා වූ, පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිශංස ධර්මයන් කැමති විය යුත්තේ ය.”

1. සැපසේ නිදන්නේ ය (සුඛං සුපති)
2. සැපසේ අවදි වන්නේ ය (සුඛං පටිබුජ්ඣති)
3. පව් සිහින නො දකින්නේ ය (න පාපකං සුපිනං පස්සති)
4. මිනිසුන් හට ප්‍රියමනාප වන්නේ ය. (මනුස්සානං පියෝ හෝති)
5. අමනුෂ්‍යයන් හට ද ප්‍රියමනාප වන්නේ ය. (අමනුස්සානං පියෝ හෝති)
6. දෙවියන්ගේ රැකවරණ ලැබෙන්නේය. (දේවතා රක්ඛන්ති)
7. ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ ඔහු හට අනතුරු නො වන්නේ ය. (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති)
8. ඔහුගේ සිත ද වහා සමාධිගත වන්නේ ය. (තුවටං චිත්තං සමාධියති)
9. මුහුණේ පෙනුම ද ඉතා පැහැපත් වන්නේ ය. (මුඛවණ්ණෝ විප්පසීදති)
10. සිහි මුළා නො වී කළුරිය කරන්නේ ය. (අසම්මූළ්හෝ කාලංකරෝති)
11. ඉහළ මාර්ග ඵල අවබෝධයක් ලබා ගත නො හැකි වූවෝතින් බඹලොව උපත ලබන්නේ ය. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)
එමෙන් ම මෛත්‍රී ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වැඩීමෙන් අනාගාමී හෝ අරහත් ඵලය සාක්ෂාත් කළ හැකි බව අට්ඨකනාගර නම් සූත්‍රයේ සඳහන් වෙනවා.

05. පින්වත් ස්වාමීන් වහන්ස, සෝතාපන්න නො වූ ශ්‍රාවකයන් හටත් ශ්‍රද්ධා ආදි ඉන්ද්‍රිය ධර්මයන් පිහිටනවා ද කියා කරුණාවෙන් පහදා දෙන්න.

සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ දී හා සරකානි සූත්‍රය වැනි දේශනාවල භාග්‍යවතුන් පෙන්වා දෙන ආකාරයට, සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් තුළත් ශ්‍රද්ධා ආදි ඉන්ද්‍රිය ධර්මයන් උපදිනවා. එහි දී ධම්මානුසාරී ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් ඇති අතර ම ප්‍රඥාවෙන් ධර්මය යම්තාක් දුරට තේරුම්ගෙන ඇති බව ද භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. සද්ධානුසාරී ශ්‍රාවකයා තුළත් එම ඉන්ද්‍රිය ධර්මයන් ඇති අතර, ඔහු ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගත් බවක් සඳහන් වෙන්නේ නෑ. ඔහු ගැන සඳහන් කරන්නේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති බවකි (සද්ධා මත්තං පේම මත්තං). යමෙක් අඩුම ගණනේ සද්ධානුසාරී බවටවත් පත්වී නැත්නම් ඔහු තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් අල්පමාත්‍ර වශයෙන්වත් පිහිටන්නේ නෑ. ඔහු මේ සසුනෙන් බැහැර පෘථග්ජන පක්ෂයේ සිටින කෙනෙක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ. එමෙන් ම සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයන් දෙදෙනා ම දස සංයෝජන ධර්මයන්ගෙන් යුක්ත වන අතර දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට නොමැති නිසා සතර අපායෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වී නැහැ. නමුත් සතර අපායෙන් නිදහස් වන මාවතට පැමිණ තිබෙනවා. එනමුත් සෝතාපන්න ශ්‍රාවකයා තුළ යළි නො පිරිහෙන ලෙස සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් ස්ථාවරව පිහිටා ඇති අතර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් ද දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ද ප්‍රහාණය කොට තිබෙනවා. සතර අපා උපතින් සම්පූර්ණයෙන් ම නිදහස් වී ඒකාන්තයෙන් ම නිවන අවබෝධ කරන ශ්‍රාවකයන් බවට පත්වෙනවා (නියතෝ සම්බෝධිපරායනෝ). සෝතාපන්න ශ්‍රාවකයා තුළ තෙරුවන් කෙරෙහි කිසිවෙකුට නො සෙල්විය හැකි අචල ප්‍රසාදයක් ද ආර්යකාන්ත සීලය ද පිහිටන අතර, පටිච්ච සමුප්පාදය ද ප්‍රඥාවෙන් අවබෝධ කොට ඇති බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

06. පින්වත් ස්වාමීන් වහන්ස, මම මානසික සුවතාවය ඇතිකර ගන්න කාලයක් තිස්සේ බෙහෙත් බොන කෙනෙක්. ඒත් ප්‍රතිඵලයක් නෑ. හිත සන්සුන් කර ගන්න අමාරු නිසා භාවනා කරන්න පුළුවන්කමකුත් නෑ. මගේ මනස සුවපත් කර ගන්න බුදු දහම පිළිසරණ කර ගන්නේ කොහොම ද කියා පහදා දෙන්න.

තථාගත ශ්‍රී සද්ධර්මයට සමාන ඖෂධයක් තුන්ලෝකයෙහි ම තවත් නැහැ. සද්ධර්මයෙන් සියලු කෙලෙස් රෝග සුවපත් කරනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ව “අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා” කියා හඳුන්වා දී ඇත්තේ ද සියලු කෙලෙස් හුල් උදුරා දමන මග දෙසූ ශාස්තෘන් වහන්සේ නිසයි. බුද්ධ කාලයේ උමතුව සිටි දරුණු මානසික රෝගීන් වූ පටාචාරාවන්, කිසාගෝතමිය වැනි අය ඒ මානසික අසහනයෙන් ද මිදී සදාකාලිකව සුවපත් වූයේ කිසිදු බාහිර ඖෂධයකින් තොරව ශ්‍රී සද්ධර්මය පිළිසරණ කර ගනිමින් ම යි.

එම නිසා ඔබත් ගුණ දැනගෙන සිත පහදවාගෙන තෙරුවන් සරණ යන්න. සීලය තුළ ජීවිතය සංවර කර ගන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරන්න. රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි පිරිත් අර්ථ මෙනෙහි කරමින් සජ්ඣායනය කරන්න. හැකි ආකාරයෙන් දන් පැන් පූජා කර ගන්න. බුදු ගුණ, රහත් ගුණ සඳහන් සදහම් දේශනා කියවමින් අසමින් සිත පහදවා ගන්න. මෛත්‍රී භාවනාව පුරුදු කර ගැනීම තුළ සිත සන්සිඳවා ගැනීමට පුළුවන් වේවි. එමෙන් ම මල් සිටුවීම, එළවළු පාත්ති දැමීම වැනි තමාටත් අන් අයටත් ප්‍රයෝජනවත් කටයුතුවල යෙදෙන්න උත්සාහ ගන්න. එවිට සතුටු සිතින් යුක්ත ව ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේවි.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 076 8255 721

තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න