highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව – 8

අපේ ආච්චිගේ ලස්සන බණ කථාව – 8

අද අපේ තාත්තා පත්තරේ කියවලා දෑස හකුළුවා ගත්තා. කිසියම් වේදනාවකින් වගේ ආච්චි ළඟට ආවා. “අනේ අම්මා…. අද පත්තරේ දැක්කා ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදුරුව යෙදූ අත්පිස්නා තොගයක් ලංකාවට ගෙන්වලා තියෙද්දි ඒවා රේගුවේ දී හසුවෙලා තියෙනවා. අනේ අම්මා… බලන්ට, මේ හිස් මිනිස්සු පව් පුරවා ගන්නා හැටි.”

“කෝ පුතේ…. කෝ බලන්ට” කියලා ආච්චි පත්තරේ දෙස එබිලා බැලුවා. එතකොට තාත්තා බුදුරුව යෙදූ අත්පිස්නා පින්තූරය සහිත ලිපිය පෙන්නුවා. එය දුටු ආච්චි කම්පාවට පත්වුණේ නෑ. සෝක වුණෙත් නෑ. සුපුරුදු ලස්සන සිනහවෙන් යුතුව මෙහෙම කිව්වා. “මයෙ පුතේ…. ඔය හිස් මිනිස්සු තමන්ට ම යි කොරගත්තේ. තමුන්නේ අතින් අසුචි ඇන්න සඳ මඬලට වීසි කොළා වගේ දෙයක් නොවැ. චන්ද්‍ර මණ්ඩලේ තිබුණා වගේ ම ලස්සනේට බබළනවා. තමන්ව ම යි ගඳ ගස්සවා ගත්තේ. ඔහොම තමයි පුතේ…. ඔය මේ ලෝකෙ හැටි නොවැ…. හොඳට අහගන්ට පුතේ, මීට අවුරුදු එක්දාස් දෙසීයකට පෙර තමයි රාමායනය කියන කතන්දර පොත ලියවුණේ. ඒක ලිව්වේ ආන්ද්‍රා රටේ බමුණෝ නොවැ. ඒ රාමායනය කියවන්ට පටන් ගත්තු දා පටන් දකුණු ඉන්දියාවේ බුද්ධ සෑසනේට කණ කොකා හඬන්ට පටන් ගත්තා. දකුණු ඉන්දියන්කාරයෝ එදා පටන් මේ ලංකාද්වීපයටත්, අපගේ භාග්‍යවතුන් වහන්සේටත් හදි කටින්ට පටන් ගත්තා…. ඒ වුණාට පුතේ ඊට කලියෙන් දකුණු ඉන්දියාවේ දෙමළ රාජ්ජෙ හරි අගේට බුද්ධ සෑසනේ බැබළුනා. ඒක නැතිව ගියා නොවැ ඔය රාමායනය රචනා කොළාට පස්සේ.”

“ඉතින් ආච්චියේ, ඒ කාලෙත් ඒ මිනිස්සු දැන් කාලේ වගේ අපගේ භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස වෙන දේවල් කරලා තියෙනවා ද?”

“මොනා අහනවා ද මයෙ පුතේ…. ඒ කාලෙත් එහෙම තමයි. දැන් ඔය විසාල කෝවිල් තියෙන්නේ. ඉස්සර ඕවා අලංකාර විහාර මන්දිර. පස්සේ කාලේ තමයි ඒ විහාර විනාස කොරලා කෝවිල් හැදුවේ. ඉතින් පුතේ, ඉස්සර ඔය කාවේරි පටුනේ තිබුණේ බෞද්ධ රාජධානියක්. බ්‍රාහ්මණයෝ ඒක නැති කොළා. රාමායනයේ විස්තර වෙන විදිහට ශිව දෙවියන්ට පූජාවල් තියන්ට කෝවිලක් හැදුවා. ඒ කෝවිලේ එක්තරා පුවරුවක භාග්‍යවතුන් වහන්සේට මහා අපහාසයක් වෙන විදිහේ සිතුවමක් අන්දවලා මහා කලබැගෑනියක් ඇතිවුණා නොවැ.”

“අනේ…. මොකක්දෑ ආච්චියේ ඒ කලබැගෑනිය? ඒක වුණේ කොහොමෙයි?”

“පුතේ…. මෙහෙමයි ඒක වුණේ. ඔය ශිව කියන අසුර බලවේගය දියුණු කොරලා දකුණු ඉන්දියාවේ අසුර බලය බලවත් කළා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා මරාදැම්මා. උපාසකවරුන් ව නැකැත් කේන්දර, හදි හූනියම්, වශී ගුරුකම්වලට පුරුදු කෙරෙව්වා. තිසරණෙන් බැහැර කෙරෙව්වා. හින්දු බවට පත් කෙරෙව්වා. ඔය අතරේ තිසරණයට දිවි පුදා වාසය කළ උපාසකවරු පිරිසකුත් සිටියා. දවසක් ඒ උපාසකවරුන්ගේ දරුවෙක් හඬාගෙන ගෙදර ආවා.

“ඇයි පුතේ…. මොකදෑ ඔය හඬන්නේ?” “අනේ අපේ අප්පොච්චි…. මගේ යාළුවෝ මාව කෝවිලකට එක්කරගෙන ගියා. ගෙනිහින් මට ලොකු චිත්‍රයක් පෙන්නුවා. ‘හිහ්…. හී…. යාළුවා, දැක්කා නේ ද? තොපගේ බුදුන්ට සිදු වූ කලදසාව. ආං අතන පෙන්නුම් කරනවා. යමං බලන්ට. මේන් බලාපං. අපගේ ශිව මහා දෙවියෝ ඉදිරියේ ඔය දණ ගසාගෙන නැමී වැඳගෙන සිටින්නේ කවුද? ඒ තොපගේ බුදුන් ය!’ කියලා. ඉතින් අප්පොච්චි…. මට මේ ගැන හරී දුකයි.”

“හෑ…. අපගේ භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස කරලා ඇඳපු චිත්‍රය මොකක්ද කියලා බලන්ට අපිත් යන්ට ඕනෑ” කියලා ඒ උපාසකවරුත් කෝවිලට ගියා. ගිහින් ඒ නින්දනීය සිතුවම දැකලා වේදනාවෙන් දෑස් වසාගත්තා.

“අයියෝ…. අපි නොදැක්කපිය යුත්තක් නොවැ මේ දැකගත්තේ. අනේ! මේ හින්දු බ්‍රාහ්මණයෝ තමුන්ට මහා භයානක දෙයක් කොරගත්තා නොවැ. අපි මේ කාරණය රජ්ජුරුවන්ට පැමිණිලි කොරන්ට ඕනෑ” කියලා උපාසකවරු එකතු වෙලා රාජාංගනේට රැස්වුණා. රජ්ජුරුවෝ උපාසකවරුන් ව කැඳෙව්වා. උපාසකවරු ගොහින් රජ්ජුරුවන්ට වන්දනා කොරලා සිටගත්තා.

“හ්ම්…. මොකදෑ තොප මේ හැඬූ කඳුළින් සිටින්නේ? තොපට සිදු වූ ඇබැද්දිය කිම?”

“අනේ…. දේවයන් වහන්ස, අපට මේ කාරණාව පවසන්ට සමාව අවසර…! මේ අපි හැමෝ ම ඉතාමත් ආදරයෙන් භාග්‍යවතුන් වහන්සේ ව සරණ ගිය උපාසකවරු. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ කුරා කුහුඹියෙකුටවත් වරදක් නැති සේක. දෙව්මිනිස් සකල ලෝකයාට මහා කරුණා ඇති සේක. මේ ලෝකයේ මිනිසුන් තුළ යම්තාක් කෙලෙස් ඇද්ද, ඒ කිසි ක්ලේශයක් අප භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙහි නැත්තේ ම ය. දෙව්ලොව දෙවියන් තුළ යම්තාක් කෙලෙස් ඇද්ද, ඒ කෙලෙස් කිසිවක් නැති සේක. බඹලොව බඹුන් තුළ යම්තාක් කෙලෙස් ඇද්ද, ඒ කෙලෙසුත් නැති සේක. අප භාග්‍යවතුන් වහන්සේ මේ සකල ලෝකය ඉක්මවා ගිය සේක.

මහ රජ්ජුරුවන් වහන්ස, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් කෝප නොවන සේක. පළි නොගන්නා සේක. ඊර්ෂ්‍යා නොකරන සේක. මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් යුතුව වැඩ සිටිනා සේක. දෙවියන්ට දෙවි වූ සේක. බඹුන්ට බඹු වූ සේක. ලෝකයෙහි කිසිවෙකුට සම නොවන සේක. ලොවෙහි කිසිවෙකුට හෝ කිසිවකට හෝ නොඇලුන සේක. නොගැටුන සේක. අනන්ත අපරිමාණ ගගන තලය සෙයින් අනන්ත අප්‍රමාණ ගුණ ඇති සේක. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම රත්නයන්ගෙන් සමන්විත මහා සද්ධර්ම චක්‍රවර්තීන් වන සේක.

මහ රජ්ජුරුවන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සුශෝභිත වූ සේක. නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ඨ හා ප්‍රභාෂ්වර යන ෂඞ්විධ බුද්ධ රශ්මි මාලාවෙන් යුතු සේක. උන්වහන්සේ අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක.

මහ රජ්ජුරුවන් වහන්ස, උන්වහන්සේ අපගේ එක ම ශාස්තෘන් වහන්සේ වන සේක. අපි උන්වහන්සේ සරණ ගිය උපාසක දරුවෝ වම්හ. ඉතින් මහ රජ්ජුරුවන් වහන්ස, මෙබඳු ගුණයෙන් සුශෝභිත වූ අප භාග්‍යවතුන් වහන්සේට නින්දා පිණිස, අපහාස පිණිස, ගරහනු පිණිස, හෙළා දකිනු පිණිස, පහත් කොට සලකනු පිණිස මේ කාවීර පටුනේ අසවල් කෝවිලේ පූජකවරුන් විසින් ද බැතිමතුන් විසින් ද ළාමක සිතුවමක් අඳින ලද්දේ ය. ශිව දෙවියාගේ පින්තූරයට අප භාග්‍යවතුන් වහන්සේ දණ නමාගෙන වැඳ නමස්කාර කොට සිටින ආකාරයයි.”

“හහ්… හා… එම්බා මිත්‍රවරුනි, ඒකට මක් වෙනව ද… ඕක ගණන් ගන්ට කාරි නෑ. මේ ලෝකයේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ දෙවියන්ට මහත් භක්තියෙන් තම තමන්නේ දෙවියන් උසස් කොට සැලකීම තියෙනවා නොවැ.”
“එසේ ය එසේ ය…. මහ රජ්ජුරුවන් වහන්ස, අපි එය පිළිගනිමු. නමුත් අපි නම් කිසි කලෙක ශිව දෙවියන්ට හෝ වෙනත් දෙවියෙකුට හෝ මෙබඳු නින්දා අපහාස නො කළෙමු. අපගේ දේවාතිදේව වූ ශාස්තෘන් වහන්සේව හෙළා දකින එක ගැන දුකට පත්ව මේ කඳුළු වැකුණු මුහුණින් යුතුව පැමිණිලි කොරන්ටයි ඔබවහන්සේ ව බැහැදකින්ට පැමිණියේ.”

“එසේ නම් එම්බා මිත්‍රවරුනි…. තොපගේ ඔය බුදුන්නේ ඔය කියන ආකාරයේ මහානුභාව විශේෂයක් ඇත් නම් අපටත් පෙන්වාලව්.”

“දේවයන් වහන්ස, එය අපට බැරි නැත්තේ ය. එයට නුඹවහන්සේ මැදිහත් වන සේක්වා! ඒ කෝවිලේ අප භාග්‍යවතුන් වහන්සේට නින්දා පිණිස සිතුවම් කොට ඇති පුවරුකඩ එතැනින් බැහැර කොට සුදු වස්ත්‍රයකින් වසාලුව මැනව. රාජ මුද්‍රාවෙන් මුද්‍රා තබා එය කිසිවෙකුටත් ස්පර්ශ නො කළ හැකි සේ තැබුව මැනව. එයට රැකවල් තැබුව මැනව. සත් දවසකින් පසු ඒ පුවරුකඩ වසා ඇති සුදු පිරුවටය ඉවත් කොට බලනු මැනව. අප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවය ඔබවහන්සේට ම ප්‍රත්‍යක්ෂව දකින්ට ලැබෙනු ඇත.”

“ඉතින් දරුවෙනි, එතකොට ඒ රජ්ජුරුවෝ උපාසකවරුන්ගේ අදහසට කැමති වුණා. අර කෝවිලෙන් සිතුවම් පුවරුකඩ බැහැර කෙරෙව්වා. කෝවිලේ වෙනත් ඇතුළු කාමරයක තැබුවා. සුදු පිරුවටයකින් වසා රාජ මුද්‍රා තිබ්බා. කිසිවෙකුටත් ඇතුල් වෙන්ට බැරි විදිහට රැකවල් තැබුවා. ඊට පස්සේ පුතේ, අර උපාසකවරු ගෙදර ගොහින් උපෝසථ සිල් සමාදන් වුණා. බුද්ධානුස්සතිය වැඩුවා. ඊට පස්සේ සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරෙව්වා. දන්පැන් පූජා කළා. දිනපතා මේ විදිහට පින් අනුමෝදන් කළා.

“ලෝකපාලක වූ මහානුභාව ඇති සතරවරම් දෙව්මහරජ දරුවෙනි, ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක ම සරණ කොට වාසය කරන අපි උන්වහන්සේ නිසා ම පස්පව්, දස අකුසල් ගැනත් පින් කුසල් ගැනත් දැනගත්තෙමු. එනිසා අපි අද දවස පුරා ඉතා ශ්‍රද්ධාවෙන් උපෝසථ සිල් සමාදන් ව සිටිමු. දන්පැන් පිදුවෙමු. සියලු ලෝසතුන්ට මෙත් සිත පැතිරෙව්වෙමු. මේ සියලු පින් ඔබවහන්සේලා අනුමෝදන් වෙත්වා! බොහෝ දෙනෙකු විසින් කර ගන්නා භයානක අකුසලයක් ඇත්තේ ය. අසවල් කෝවිලෙහි භාග්‍යවතුන් වහන්සේට නින්දා පිණිස සිතුවම් කළ පුවරුකඩක් ඇත්තේ ය. තවදුරටත් ඔවුන් රැස්කරන අකුසලයෙන් ඔවුන්ව මුදවා ගැනීම පිණිස අප භාග්‍යවතුන් වහන්සේ සුවසේ වැඩසිටින ආකාරයෙන් ද ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන ආකාරයෙන් ද ඒ පුවරුකඩෙහි දකින්නට ලැබේවා!යි දිනපතා සත්‍යක්‍රියා කොරන්ට පටන් ගත්තා.

එතකොට මයෙ දරුවනේ, ඒ උපාසකවරුන්ගේ මෙත් සිතේ තේජසින් සක් දෙවිඳුන්ගේ පඬුපුල් අස්න උණු වුණා. එතකොට සක් දෙවියෝ අපේ මිනිස් ලොවට දිවැස් හෙළා බැලුවා. මිථ්‍යා දෘෂ්ටික බමුණන් විසින් වෛරී චිත්තයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේට අවමන් කරන්ට සිතුවම් කළ පුවරුකඩ දකින්ට ලැබුණා. උපාසකවරු ඉල්ලා සිටින ආකාරයට ඒ සිතුවම යළි සකසන මෙන් සක් දෙවිඳුන් විස්කම් දෙව්පුතුට අණ කළා.

ඉතින් දරුවනේ, සත් දවස ගෙවුනා. උපාසකවරුත් වේලාසනින් ම එතැනට රැස්වුණා. මිසදිටු පූසාරිලත්, බැතිමතුනුත් රැස්වුණා. රජ්ජුරුවෝ ඇවිත් රාජමුද්‍රාව කඩා සුදු රෙද්ද ඉවත් කළා. මයෙ දරුවනේ, කියන්ට බැරිතරම් ආශ්චරියයි…! බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුණා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුණා. රජ්ජුරුවෝ එතැන වැඳ වැටුනා. උපාසකවරු දෑත නළලේ තබා මහා හඬින් බුද්ධ සරණං ගච්ඡාමි කියා ඒකනින්නාද වෙන්ට කෑ ගසා කිව්වා. රජ්ජුරුවොත් එවෙලේ ම මිසදිටුව බැහැර කළා. තෙරුවන් සරණ ගියා. කාවේරී පටුනේ තිබුණු ඒ කෝවිලේ දේව ප්‍රතිමා ඉවත් කෙරෙව්වා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිම වහන්සේනමක් තැබුවා. ඒක අලංකාර රාජමහා විහාර මන්දිරයක් බවට පත්කොළා. දිනපතා බුද්ධෝපස්ථානයේ යෙදුනා. රජ්ජුරුවෝ බොහොම පින් කොරගත්තා. පවෙන් බේරුනා නොවැ.

“ඉතින් ආච්චියේ…. ඒ රජ්ජුරුවෝ බේරුන හැටි නම් හරි පුදුමයි නේද?”

“ඔව් පුතේ…. ඒ රජ්ජුරුවෝ බේරුනේ තුනුරුවන්ට ජීවිතේ පූජා කොරපු උපාසකවරු පිරිසක් හිටිය නිසයි. අද කාලේ එහෙම දෙයක් වුණෝතින් ඒකට මක් වෙනවා ද කියලා කවුරුත් කරබාගෙන සිටීවි. එහෙම නැත්නම් හැමෝ ම බකන්නිලාන සිටීවි.” කියලා ආච්චි හිනැහෙන්ට පටන් ගත්තා.

“ඒක ඇත්ත අම්මා…. අද කාලේ වුණත් තිසරණේට දිවි පිදූ පිරිසක් සිටියොත් තමයි යහපත සිද්ධ වෙන්නේ. එහෙම දෙයක් වුණෝතින් දැන් බෞද්ධ වේශයෙන් ඉන්න චණ්ඩාල උපාසකවරුත් තිරුපති යාවි. ඕකුන්ට තිසරණේ නෑ නොවැ” කියලා අපේ තාත්තා පත්තරේ පැත්තකට වීසි කළා.

(සද්ධර්මාලංකාරය ඇසුරෙනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9

ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.