highlights of the week
Home » NEW ARTICLES » පිනෙන් පිරුන මංගල නැකැතක්

පිනෙන් පිරුන මංගල නැකැතක්

ගිහි ජීවිතවල බොහෝ උත්සව අවස්ථා මුණගැසෙනවා. දරුවෙකුගේ පිළිසිඳ ගැනීමේ පටන් ම දරු උපත, හිස කෙස් කැපීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, පාසලට ඇතුළත් කිරීම, විවාහය ආදි නොයෙකුත් අවස්ථාවන් උත්සවශ්‍රීයෙන් යුතුව සමරන්නට කාලයක පටන් ම සමාජය හැඩ ගැසී තිබෙනවා.

කාලයත් සමඟ සිදු වූ නොයෙකුත් වෙනස්කම් නිසා මේ බොහෝ උත්සවයන්ගේ තිබූ බෞද්ධ මුහුණුවර අද වන විට බැහැර වෙලයි තිබෙන්නේ. විශේෂයෙන් ම මත්පැන් මත්ද්‍රව්‍ය මූලික කර ගනිමින්, නැකැත් අනුව යමින්, නැටුම් ගැයුම් සන්දර්ශන පවත්වමින්, කා බී නටා ගයා වෙහෙසට පත්ව වෙන්ව යන මහා කලබගෑනි බවටයි උත්සවයන් පත්ව තිබෙන්නේ. විශේෂයෙන් ම විවාහයක දී බොහෝ කාලයක් තිස්සේ සැලසුම් සකස් කරලා, විශේෂ ඇඳුම් පැලඳුම් ආදිය නිර්මාණය කරලා, පැය කිහිපයකට හිතමිතුරන් එක් රැස් කොට කා බී සතුටු වී විසිර යන්නට බොහෝ වියපැහැදම් කරන සමාජ වටපිටාවක් අද වන විට ගොඩනැගිලා. විවාහය දිනයට පෙර පටන් බොහෝ වියපැහැදම් කරවමින් ඡායාරූප ගනිමින්, කාලය ශ්‍රමය කැප කොට නොයෙක් අනුස්මරණීය සිදුවීම් ගොන්නක් එක් රැස් කර ගන්නටයි දැන් සමාජය උත්සුක වන්නේ. එවන් සමාජයක, බෞද්ධ ශිෂ්ටාචාරයක ලද ආභාසය අරුත් ගන්වමින් වෙනස් ම ආකාරයකට සිදු කෙරුණු විවාහ මංගල්‍යයක් ගැන අපට අසන්නට ලැබුණේ පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ දී.

කලින් කලට යටපත් වෙමින්, යළි ඉස්මතු වෙමින් බබළන සද්ධර්මය පැහැදිලි ව, නිරවුල් ව දැන ඉගෙන ගන්නට කලණමිතුරු සේවනයේ උපකාර ලබන බොහෝ දෙනෙකු හට පවතින ගැටලුවක් තමයි විවාහ උත්සවයක දී ආර්ය පිළිවෙත් අනුව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය. ඒ ගැටලුවට ඉතා හොඳ විසඳුමක් ලබා දෙන්නට මේ පුවත සමත් වේවි කියා අප විශ්වාස කරන නිසා ඒ පිළිබඳ ව මහාමේඝ පුවත් සඟරාව ඔස්සේ සමාජගත කරන්නට අප සිතුවා.

මේ විවාපත් වූ යුවළ සිදු කළේ තමන් දෙදෙනා විවාහ මංගල්‍යයක් උත්සවාකාරයෙන් නෑ හිතමිතුරන් පිරිවරාගෙන පවත්වන්නට යෙදුණා නම් වියපැහැදම් වන්නට තිබූ මුදල් ප්‍රමාණය වැය කොට ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට සුවසේ ගමනාගමනයේ යෙදීම පිණිස ත්‍රිරෝද රථයක් පූජා කිරීම. ඒ වගේ ම ස්වකීය ඤාතී වර්ගයා ද එක්රැස් කරගෙන ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි දහවල දානය ද ඔවුන් විසින් මැනැවින් සකසා පූජා කරන්නට යෙදුණා. ඒ දිනවල ඔවුන් මේ කටයුත්තට පසුබිම් කර ගත් අසපු භූමියේ නේවාසික සදහම් වැඩසටහනකට සහසම්බන්ධ ව සිටි උපාසක උපාසිකා පිරිස උදෙසා උදෑසන හීල දානය ද ඔවුන් විසින් පූජා කරනු ලැබුවා. අසපු භූමියේ සුපිහිටි සෑරජාණන් වහන්සේ ව සොඳුරු මල් සැරසිලිවලින් අලංකාර කරවා චෛත්‍ය වන්දනාවක් ද මේ කාරණයට සමගාමීව ම පවත්වන්නට යෙදුණා.

මේ පිළිබඳ ව ඇසූ, දුටු බොහෝ දෙනා පෙර නොඇසූ විරූ මේ කටයුත්ත සතුටු සිතින් අනුමෝදන් වූ ආකාරයත්, පැසසුමට ලක් කළ ආකාරයත් අපට අසන්නට, දකින්නට ලැබුණා. අද දවස වන විට ඔවුන් දෙපළ විසින් පූජා කරන්නට යෙදුණ ඒ ත්‍රිරෝද රථයෙන් දිනකට කිහිප වරක් ම පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම සිදු කරනු ලැබෙනවා. ආර්ය මහා සංඝරත්නය විෂයෙහි සිදු කළා වූ මේ යානමය දානය නිසා දවසක් දවසක් පාසා තම ජීවිතයට ගලා එන්නා වූ පුණ්‍ය ගංගාවක උරුමකරුවන් වූ ඔවුන් ව සම්බන්ධ කරගෙන මහාමේඝ අප, අපට ද පැනනැගුනු – ඔබට ද පැනනැගෙන්නට ඉඩ තිබෙන මේ ප්‍රශ්න කිහිපය විමසනු ලැබුවා. ඒවාට ලැබුණ පිළිතුරු තුළ සම්බුද්ධ ශ්‍රාවකයන් ලෙස අපගේ ජීවිතවල අනුස්මරණීය සන්ධිස්ථානවල දී අප කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පූර්වාදර්ශයන් ගැබ් වී තිබෙන බව ඔබටත් පෙනී යාවි…

“විවාහය නිමිති කරගෙන ඔබට මේ වගේ පින්කමක් සිදු කරන්නට සිතුණේ ඇයි?”

“ජීවිතයේ මේ පටන්ගැන්ම හොඳ ම විදිහකට පටන් ගන්න තිබුණා නම් හොඳයි කියලා අපට හිතුණා. ගොඩක් අය විවාහ උත්සවයක් කරද්දි අවුරුද්දකටවත් කලින් ඉඳන් ම ගොඩක් වෙහෙස මහන්සි වෙලා, දුක් විඳගෙන ඒක සැලසුම් කරනවා. ඒත් ඒ හැමදේම එක දවසින් ඉවරයි. ඉතින් ඒ එක දවසක් වෙනුවෙන් මේ තරම් වෙහෙසක් දරනවා වෙනුවට කරන්න පුළුවන් හොඳ දෙයක් ගැන අපි කල්පනා කළා.

අනිත් එක… බොහෝ දෙනෙක් විවාහ උත්සවයක දී මත්පැන් බලාපොරොත්තු වෙනවා. ඒ අයට මත්පැන් නො දී හිටියොත් ඒක ලොකු ප්‍රශ්නයක් කර ගන්නවා. මත්පැන් දෙන්න ගියොත් බෞද්ධකමට කොහොමවත් නොගැළපෙන දෙයක් කළා වෙනවා. ඉතින් අපි කැමති වුණේ නෑ සිල්පද බිඳින්න අනුබල දෙන විදිහට උත්සවයක් ගන්න. උත්සවයක් අරගෙන බොන්න නො දුන්නොත් සමහර නෑදෑ පිරිස් ඒකට fදාස් කියලා අකුසල් කර ගන්නවා. ඒ ප්‍රශ්නයත් විසඳාගන්න අපට වුවමනා වුණා.

ඒ වගේ උත්සවයක් ගන්න අපි දෙන්න ම කැමති වුණේ නෑ. ඉතින් අපි අවසානේ තීරණය කළා මේ විදිහට ඒ කටයුතු සිද්ධ කරන්න.”

“දෙමව්පියන්ගේ පාර්ශවයෙන් මේ ගැන ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක් ද?”

“මුලින් ම කිව්වා ‘එහෙම හරියන්නේ නෑනේ. හොඳට උත්සවයක් අර ගන්න ඕනි.’ කියලා. ඒත් අපි දෙන්න ම එහෙම උත්සව ගන්න අකැමැති බව දිගින් දිගට ම කියද්දි අම්මලා, තාත්තලා කිව්වා ‘ඔයාලා දෙන්නා කැමති දෙයක් කරන්න’ කියලා. ඊට පස්සේ අම්මලා, තාත්තලා මේ කටයුත්තට අපට ගොඩක් උදව් කළා.”

“නෑදෑයින්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාර ද?”

“හොඳයි… වෙනසක්… කියන මතයේ ඒ අය හිටියා. ‘වැඩක් නෑ, අපරාදේ…’ කියල නම් කවුරුත් මූණට කිව්වේ නැහැ. කොහොමත් ඒ අයගෙන් පුළුවන් හැම කෙනෙක් ම පින්කම වෙනුවෙන් සහභාගී වුණා. වන්දනාවට, දානයට සම්බන්ධ වුණා. උපකාරත් කළා.”

“මේ වගේ දෙයක් කරද්දි විවේචන එයි කියන බය තිබුණේ නැද්ද?”

“අපි කරන දේ වැරදි දෙයක් නො වුණු නිසා බයක් හිතුණේ නෑ. කාටවත් ඒ දේට fදාස් කියන්න බෑනේ. ඒ නිසා ඇත්තටම ඒ ගැන අපි බය වුණේ නෑ.”

“පූජා කරන්නේ මේ දේවල් ය කියලත්, මෙවැනි පින්කමකුයි කරන්නේ කියලත් තීරණය කළේ කොහොම ද?”

“අපි ඒ ගැන ස්වාමීන් වහන්සේලාට දැනුම් දුන්නා. සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ ඇහුවා අපි මේ වෙනුවෙන් කොයි තරම් මුදලක් වෙන් කරන්න අදහස් කරනවා ද කියලා. ඒ මුදලින් පිරිමසාගන්නට පුළුවන් විදිහෙ අවශ්‍යතාවයක් අසපුවේ තියෙනවා ද කියන කාරණය උන්වහන්සේගෙන් අපි දැනගත්තා. ඒ නිසයි ත්‍රීරෝද රථයක් පූජා කරන්නත්, දානමය පින්කමක් පවත්වන්නත්, සෑ වන්දනාව සිදු කරන්නත් තීරණය කළේ.”

“ඔබ දුන්නු ඒ යානමය දානය නිසා අද වන විට පින්වත් ස්වාමීන් වහන්සේලා දිනපතා ගමන් පහසුව සලසා ගන්නවා. ඒ ගැන සිහි කරද්දි අද ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද?”

“ගොඩාක් සතුටුයි. ඇත්තට ම අපි ඒ ගැන මතක් කර කර සතුටු වෙනවා. ඒ විදිහේ දෙයක් කරන්න අපට ඉඩ ලැබුණු එක ගැනත් ගොඩාක් සතුටුයි.

අපිට මේ විදිහට කටයුතු කරන්න නැඹුරුවක් ඇති කළේ අපේ සහෝදර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නිසා තමයි අපි බුද්ධ ශාසනයේ ගොඩක් පින් රැස්කර ගන්න කැමැත්ත බලවත් කර ගත්තේ. උන්වහන්සේව නමස්කාර පූර්වක ව සිහිපත් කරන්න ඕනි. අපිට, අපේ පවුල්වල අයට මේ කටයුතුවල දී උන්වහන්සේ කල්‍යාණමිත්‍රයෙක් ම වුණා.”

ඒ තමයි ඔවුන්ගේ කථාව. අපත් ඔවුන් කළ පුණ්‍යකර්මය සතුටු සිතින් අනුමෝදන් වුණා. ඒ වගේ ම අප රැස් කරන සියලු පුණ්‍යධර්මයනුත් ඔවුන් හට අනුමෝදන් කළේ සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස උපකාරක ධර්මයන් වේවා යන ප්‍රාර්ථනාවෙන්.

ඇත්තටම කා, බී, නටා, ගයා වෙහෙසට පත්ව වෙන් ව යන පැය කිහිපයක් වෙනුවෙන් මාස ගණනක් පුරා සැලසුම් සකස් කරමින් බොහෝ දුෂ්කරතා විඳිනවාට වඩා කුල දේවතාවුන් වහන්සේලාගේ අනුශාසනයන්ගේ පිහිටමින් දිවා රැය පින් රැස්වන මෙවන් සොඳුරු පුණ්‍යධර්මයන් රැස්කර ගන්නට සිතන සිතුවිල්ල පවා කොයි තරම් නම් වටිනවා ද? සිතුවිල්ල පවා වටින විට ක්‍රියාවෙන් එය ඉටු කිරීමේ අනර්ඝත්වය ගැන කථා දෙකක් නැහැ. සුභ නැකැත, සුභ මුහුර්තිය කියා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරෙන මොහොත. ඉදින් මෙවැනි සොඳුරු පුණ්‍ය අස්වැන්නක් නෙළා ගනිමින් විවාහයක කටයුතු සිදු කෙරුණ මොහොතත් නිසැකයෙන් ම පිනෙන් පිරී ගත් සුභ නැකැතක්, සුභ මුහුර්තියක්…!

මේ ආකාරයෙන් අරුත් පිරිපුන් ව ජීවිතය ගෙවන්නට ඉඩ සැලසෙන්නේ සම්බුද්ධ ශාසනයක ම විතරයි. පින ගැන, කුසලය ගැන මෙවන් පරිපූර්ණ විග්‍රහයක් අන් කිසිදු තැනක අපට මුණගැසෙන්නේ නැහැ. ඉදින්, සම්බුද්ධ ශාසනය නිර්මල ව මුණගැසුනු මේ විරල ජීවිතය තුළ මේ ආකාරයෙන් ධර්මය ම පෙරටු කොටගෙන, ධර්මය ම ශ්‍රේෂ්ඨ කොටගෙන කටයුතු කරන්න ඉඩ සලසා ගැනීම නේ ද අපත් කළ යුත්තේ…

ආර්ය පිළිවෙත්හි පිහිටමින් ජීවිත අරුත්බර කර ගන්නට අප සියලු දෙනාට ද උතුම් තෙරුවනේ ආශීර්වාදය ම වේවා!

– මහාමේඝ –

One comment

  1. ගොඩක් වට්නවා මටත් මේ වගේ පින් සිදු වෙන දේවල් කරන්න ආසයි.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

1993 දී ආරම්භ කර, එවසර සිට සෑම වසරක ම මාර්තු මස 22 දින ජාත්‍යන්තර ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මේ මාර්තු මාසය යි. 22 වන දින ලොව පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වෙනු ඇත.