highlights of the week
Home » NEW ARTICLES » බුදු සසුන රැකදුන් පින්වත් කුමරා

බුදු සසුන රැකදුන් පින්වත් කුමරා

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු – ගුණ නැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරු…..

බුද්ධ රාජ්‍යය රැකදුන් – මහ පවුරක් වූ උතුමන්…..

නාගසේන මහරහතන් වහන්සේ ද මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ කළ සෙයින් ම බුද්ධ ශාසනයට උපද්‍රවයක් ඇතිවී තිබූ විට මනුලොව පහළ වී සියලු අර්බුද, වාද, තර්ක මැඩ පවත්වා බුදු සසුන ගැන තිබූ සැක සංකා දුරුකොට බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන මනා කොට නො දන්නා තර්කවාදී මිනිසුන්ගෙන් එල්ලවිය හැකි උභතෝකෝටික ප්‍රශ්න රැසකට ධර්මානුකූල පිළිතුරු ලබා දුන්නේ ය. එම නිසා රජු, මැති ඇමතිවරු බුදු සසුන ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන අප්‍රමාණ පැහැදුණෝ ය. බුදු සසුනේ දියුණුවට කටයුතු කළෝ ය. මිනිසුන්ට පින් කර ගැනීමට අවස්ථා ඇතිකර දුන්නෝ ය. උන්වහන්සේ එම සේවය නො කරන්නට එකල ම බුදුරජාණන් වහන්සේ ද ධර්මය ද හෑල්ලුවට ලක්වී, ශ්‍රාවක සංඝයා ද ගර්හාවට ලක්වී මිනිසුන් තෙරුවන ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ තිබුණි. නාගසේන මහරහතන් වහන්සේගේ මේ ශාසනික කටයුතු සියල්ලට ම මග කීවේ උන්වහන්සේගේ තිබූ මහා ප්‍රඥාව ය, දුර දක්නා නුවණ ය, තීක්‍ෂණ බුද්ධිය ය, ව්‍යක්ත විශාරද බව ය, ධර්මධර විනයධර බව ය. උන්වහන්සේ ද දෙව්ලොව සිට පැමිණි කටයුත්ත මනා කොට පරිපූර්ණ ව ඉටු කොට බුදු සසුන බබළවන්නට කටයුතු කළේ ය.

ගමයි පන්සලයි වැවයි දාගැබයි – බැබළුණ යුගයකි පෙර වූයේ…

මෙලෙසින් ම රට දැය සසුන වෙනුවෙන් අති උදාර කටයුතු සිදුකළ උතුම් ප්‍රතාපවත් රජවරුන් ද හමු වේ. ඒ අතර ගාමිණී අභය හෙවත් දුටුගැමුණු මහරජතුමා විශිෂ්ට ම ස්ථානයේ පසුවේ. දුටුගැමුණු මහ රජතුමා මනුලොව උපදින්නේ ද දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාර නම් ආක්‍රමණිකයා ලංකාද්වීපය යටත් විජිතයක් කොට බුද්ධ ශාසනයට ද උපද්‍රව කරමින් තිබූ යුගයක ය. ඔහුගේ ආක්‍රමණයට පෙර අප රට ගුණ දහමින් ද බතබුලතින් සමෘද්ධිමත්ව ස්වයංපෝෂිතව තිබුණේ ය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට එකල ලක්දිව රජකල දේවානම් පියතිස්ස රජුගේ ද පූර්ණ අනුග්‍රහය ඇතිව ගෞතම බුද්ධ ශාසනය මේ ලක් දෙරණේ ස්ථාපිත කළ සේක. අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහත් පරපුරක් බිහිවිය. සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ අරහත් භික්ෂුණී සංඝයා වහන්සේලාගෙන් ද මේ රට ශෝභාවත් විය. අනුරාධපුර මහමෙව්නාව උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කළ අතර භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන්කොට ථූපාරාම මහා සෑ රජාණන් ඉදිකෙරිණි. සංඝමිත්තා මහරහත් තෙරණිය සමග පැමිණි දහඅට කුලයක ශිල්පීන් තම කුසලතා යොදාගෙන කෘෂි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, වාරි කර්මාන්තය ආදි සෑම අංශයකින් ම රට දියුණු කළහ. ලක්දිව පුරා ගව්වෙන් ගව්ව ධාතූන් වහන්සේලා තැන්පත් වෙහෙර විහාර ඉදිවිය. එමෙන් ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා ද දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ද ලක්දිව පුරා රෝපණය කෙරිණි. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ලක්දිව සියලු වැසියන් සම්බුදු දහම සරණ ගිය අතර දහස් සංඛ්‍යාත පිරිස් උතුම් පැවිදි බව ලබාගත්හ.

එවන් නිමල බිම නසමින් උරුම සොයන්නේ…..

මෙසේ ගුණ දහමින් ද බත බුලතින් ද සරුසාරව පැවති ධර්මද්වීපය පෙරදිග ධාන්‍යාගාරය වන්නට විය. මෙසේ තිබූ අප මව්බිමට අභාග්‍ය සම්පන්න යුගයක් උදාවූයේ ආක්‍රමණික එළාර රජු ප්‍රමුඛ දකුණු ඉන්දීය සේනා පැමිණීමත් සමඟ ය. සාමකාමී නිවහල් රටක් කෲර ලෙස ආක්‍රමණය කළ ඔවුහු මුහුද ගොඩ ගැලීමෙන් රටවැසියන් පීඩාවට පත්ව සිටිය දී ඒ වෙනුවෙන් ධාර්මික ලෙස රජුටත්, රට වැසියාටත් උපකාර කරනු වෙනුවට එවකට රජ කළ මහලු අසේල රජු ද ඝාතනය කොට බලහත්කාරයෙන් ලංකා රාජ්‍යය පැහැර ගත්හ. මෙතෙක් කල් බෞද්ධ රටවැසියන් වැඳුම් පිදුම් කළ චෛත්‍යරාජයන් වහන්සේලා, බෝධීන් වහන්සේලා සත්කාර නො කොට වනගත වීමට ඉඩහැර එම බෝ මළු සෑ මළුවල කැළිකසළ බහාලමින්, මල මුත්‍රා පවා කරමින් ඉතා නින්දිත ලෙස එම පුණ්‍යභූමි කෙලෙසන්නට විය. අහිංසක රට වැසියන් ද දයා විරහිතව සුළු කරුණෙහි දී පවා ඝාතනය කරන ලදී. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා විනාශ කෙරුමට උත්සාහ කළහ. මේ සියල්ල සිදු කරමින් ධාර්මික නීතිගරුක පාලනයක් ගෙන යන බවට මවාපාමින් නොයෙකුත් ව්‍යාජ කටකතා ප්‍රචාරය කරන ලදී.

වීර පුතෙක් බිහිකර රට රකින්න පතනා….

රුහුණේ රජ කළ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවියටත් ඒ වන විට දරුවන් සිටියේ නැත. මැදිවියේ පසුවූ කාවන්තිස්ස රජුට සේනා සංවිධානය කොට එළාර රජු සමග යුධ වැදීමට හැකියාවක් ද නො තිබුණි. වරක් නිර්භීතව රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් මුහුදුට බිලිවීමට ඉදිරිපත් වූ විහාර මහා දේවියට රට දැය සසුන නගා සිටුවිය හැකි රජ කුමරෙකුගේ අවශ්‍යතාවය තදින් ම දැනිණි. ඇය සිතුල්පව්ව වෙහෙරේ සිලාපස්සය ආරාමයේ මහාසිව මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා සිල්වත් දැහැමි ජීවිතයක් ගත කරමින් නිරන්තරයෙන් ම සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළා ය. එම ආරාමයේ දැඩිසේ ගිලන්ව සිටි සාමණේර හිමිනමක් මරණාසන්න විය. උන්වහන්සේ දෙව්ලොව වඩින්නට සිත පිහිටුවාගෙන සිටියේ ය. මහාසිව මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම මත විහාර මහා දේවිය එම හිමිනම වෙතට ගොස් රටට ඇතිවී තිබෙන විපත් පවසා අනාගතයේ රට එක්සේසත් කොට සසුන නගාසිටුවන්නට තම කුසේ පිළිසිඳ ගන්නා ලෙස ආරාධනා කළා ය. මෙසේ ආරාධනා කොට දේවියගේ කුස පිළිසිඳ ගන්නට කැමති කරවා ගත්තේ ය. අපවත් වූ ඒ මහා පින් ඇති හිමිනම දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ය.

ඔවදන් දෙවා අගනා මුතුමැණික් වගේ…

කුමරු මව්කුස වැඩෙද්දී ද මෙලොව එළිය දුටු පසු ද විහාර මහා දේවිය නිරන්තරයෙන් ම සංඝරත්නයට දන්පැන් පිදුවා ය. කුමරුන්ට ගාමිණී අභය ලෙස නම් තබන ලද්දේ ද මහාසිව මහරහතන් වහන්සේ විසිනි. කුඩා කල සිට ම ගැමුණු කුමරුන් හැදී වැඩුණේ ජාතික ආගමික හැඟීම් වැඩී යන පරිදි ය. ගැමුණු කුමරුගේ බාල සොහොයුරා තිස්ස නම් කුමරු විය. වරක් පියරජතුමා කුමාරවරුන් දෙදෙන විමසනු පිණිස මහා සඟරුවනට දන් පුදා අවසානයේ දී භික්ෂු සංඝයා වහන්සේලාගෙන් රන් තැටියකට බත්පිඬු ඉල්ලා ගත්තේ ය. ඉන් පසු කුමාරවරුන් දෙදෙනා ඉදිරියට කැඳවා බත් පිඬක් සකසා මෙසේ පැවසී ය. “දරුවනි, සම්මා සම්බුද්ධ ශාසනය ජීවිතය ගිය ද අත් නො හරින්නෙමි’ යි පොරොන්දු වී මේ බත්පිඬ අනුභව කරන්න”. කුමරුවන් දෙදෙනා එය පිළිගෙන ඉතා සතුටින් ඒ බත්පිඬ අනුභව කළෝ ය. ගැමුණු කුමරුට දොළොස්වන වියේ දී පමණ පියරජතුමා විසින් යළිත් වරක් මහා සඟරුවනට දන් පුදා අවසානයේ දී රන් තැටියකට බත්පිඬු ඉල්ලාගෙන බත්පිඬු තුනක් සකසා එක බත්පිඬක් ගෙන මෙසේ පැවසී ය. “දරුවනි, අපගේ මුරදේවතාවුන් වූ සංඝරත්නය කෙරෙහි කිසිම විටෙක සිත අපහදවා නො ගන්නෙමි’ යි සිතා මෙම බත්පිඬ අනුභව කරන්න.”

කුමාරවරුන් දෙදෙනා එවිට ද ඉතා සතුටින් ඒ බත්පිඬ අනුභව කළෝ ය. ඉන්පසු දෙවන බත්පිඬ ගෙන “සහෝදරයන් දෙදෙනා කිසි කලෙකත් එකිනෙකාට ද්‍රෝහි නො වන්නෙමු’ යි සිතා මේ බත්පිඬ අනුභව කරන්න.” යැයි කී ය. කුමරුවන් දෙදෙනා ඉතා සතුටින් ඒ බත්පිඬ ද අනුභව කළෝ ය. තුන්වන බත්පිඬ ගෙන මෙසේ ද පැවසී ය. “ආක්‍රමණික එළාර හා පිරිස සමඟ යුද්ධ නො කරන්නෙමි’ යි සිතා මෙය අනුභව කරන්න.” එවිට තිස්ස කුමරා බත්පිඬ අතින් ගසාදමා නැගිට ගියේ ය. ගැමුණු කුමරු ද බත්පිඬ තැටියට දමා නැගිට ගොස් අත්පා හකුලාගෙන යහනේ වැතිර ගත්තේ ය. එවිට විහාර මහාදේවිය ගොස් වක් වී නිදන්නේ ඇයි දැයි ඇසූ විට කුමරුන් මෙසේ පැවසී ය. “ගඟින් එතෙර ආක්‍රමණිකයන් ය. අනෙක් පැත්තෙන් ගොළු මුහුද ය. මම අත්පා දිග හැර කෙසේ නිදන්නට ද?” එවිට ගැමුණු කුමරුගේ සිතේ රට වෙනුවෙන් ඇති හැඟීම, ජාතිය වෙනුවෙන් ඇති හැඟීම, බුද්ධ ශාසනය ගැන ඇති හැඟීම, රට එක්සේසත් කිරීමට ඇති කැමැත්ත ආදිය සියලු දෙනා අතර ප්‍රකට විය.

මේ රට මගෙ රට… මා ඉපදුණු රට… හැදෙන වැඩෙන රට… මගේ ම මව්රට….

කුමරුට කුඩා කල සිට ම යහපත අයහපත තේරුම් ගැනීමට සහජ දක්ෂතාවයක් තිබුණේ ය. මිනිසුන්ට සිනාමුසු මුහුණින් අඹුදරු මුණුපුරන් සමඟින් සුව සේ ජීවත් වන්නට නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවශ්‍ය බව කුමරු කුඩා කල සිට ම දැන උන්නේ ය. එම නිසා සම්බුදු දහම යනු තම රටේ සමෘද්ධිමත් බවට උපකාර කරන දහම බව කුමරු වටහාගෙන සිටියේ ය. එම නිසා ජීවිතය ගිය ද සම්බුද්ධ ශාසනය අත් නො හරින්නෙමි’ යි සිතේ තබාගෙන කුමරු ලොකු මහත් විය. එළාර විසින් රට ආක්‍රමණය කර පසුව තමන් ධාර්මික කෙනෙකු යැයි ජනතාව මුළා කළ ද කුමරු ඒවාට රැවටුණේ නැත. නිදහස් නිවහල් රටක්, මිනිස්කමින් පිරි ජාතියක්, සියලු දුකින් මුදවන දහමක් යටත් කොට ආක්‍රමණය කරන්නේ නම්, රටට හිතෛෂී රජු ද මරා පාලනය අතට ගත්තේ නම්, රටවැසියා පෙළන්නේ නම්, කෙසේ හෝ පැමිණ අන් රටකට බලපෑම් කරයි නම් ඔහුගේ ඇති ධාර්මිකකමක් නැත. ආක්‍රමණිකයාට ධාර්මික පාලකයෙකු විය නො හැක යන්න ගැමුණු කුමරුට වැටහී තිබූ කරුණකි. කුමරුට අනතුරක් වේ යැයි සිතා පිය රජතුමා හෝ මව් දේවිය කුඩා කුමරුට යුද්ධය ගැන පැවසීමට ගියේ නැත.

විපුල බල වෙර විරිය ඇති ඔබ – මව්බිමට මගෙ වාසනාවන්…..

දුටුගැමුණු කුමරුගේ පිනට ලක්දිව විවිධ ප්‍රදේශවල උපන් ප්‍රබල යෝධයන් දස දෙනෙකු ද විය. මේ එක් එක් යෝධයාට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය බැගින් ඇත්තේ ය. කාවන්තිස්ස රජු මේ දසමහා යෝධයන් රහසේ එකතු කළේ ගැමුණු කුමරු අනාගතයේ රට එක්සේසත් කරන විට එයට සවියක් වීමට ය. මේ යෝධයන් දසදෙනා ප්‍රධාන කොටගත් එකොළොස් දහස් එකසියයක් වූ මහා යෝධ සේනාවක් දුටුගැමුණු කුමරු වෙනුවෙන් සිටියේ ය. එසේ ගත්විට සාමාන්‍ය යුධ සේනාවන්ගේ ප්‍රමාණය කෙසේ වන්නට ඇති ද……?

රට බේරාගන්න මට අවසර දෙන්න…..

එළාර රජුගේ සෙන්පතියන් ප්‍රමුඛ සේනාවන්ගෙන් ලක් වැසියන්ටත්, බුද්ධ ශාසනයටත් එල්ල වූ හිරිහැර ඉවසිය නො හැකි වූ තැන ගැමුණු කුමරුන් යුධ වැදීමට පිය රජුගෙන් තුන්වතාවක් අවසර පැතී ය. සුදුසු කාලය නො වන නිසා පියරජුගෙන් ඊට අවසර ලැබුණේ නැත. මෙසේ අවසර ඉල්ලුව ද නො ලැබුණු තැන කුමරු කොත්මලේ කඳුකරයට පලා ගියේ ය. එහි වසද්දී ද තමන් සතු එක ම වස්තුව වූ රාජකීය කුණ්ඩලාභරණය තලා අලෙවි කොට රහතන් වහන්සේලාට දන්පැන් පිදී ය. වසර දොළහකට පසු පියරජු මියගිය විට රජකමට පැමිණ රට නිදහස් කිරීමට, කෙත්වතු අස්වැද්දවීමට තිස්ස කුමරු දිගාමඬුල්ලට පිටත් කර යැවී ය.

සසුන රකින්නට සටනට යන්නේ……

රට එක්සේසත් කිරීම පිණිස රාජකීය කුන්තායුධයේ ධාතු නිධන් කරවා සිව්රඟ සේනා සහිතව තිස්සමහාරාම විහාරයට ගොස් සංඝරත්නය වැඳ මෙසේ පැවසී ය. “ශාසනය බබළවන්නට මම ගඟෙන් එතෙර යන්නෙමි. උපස්ථාන කරමින් ආශීර්වාද ලබාගැනීම පිණිස අප හා වැඩම කිරීමට භික්ෂූන් වහන්සේලා දුන මැනවි. මුර දේවතාවුන් වහන්සේලාගේ දසුන අපට මංගල්‍යයක් වන්නේ ය.” මහ නාහිමිවරුන් ගැමුණු රජු සමඟ වැඩම කිරීමට පන්සියයක් මහරහතන් වහන්සේලා ලබා දුන් සේක. ධාතූන් වහන්සේලා පෙරටුව රහතුන්ට දන්පැන් පුදමින් පිරිත් කියමින් ඉතා ධාර්මික ලෙස ඉදිරියට ගමන් කළ රජු ප්‍රමුඛ සේනාවන් මහවැලි ගඟෙන් එතෙරව මහියංගණය බලකොටුව ජය ගත්තේ ය. ඉන් පසු කළ මුල් ම කටයුත්ත වූයේ මහියංගණ දාගැබ අසූ රියනක් විශාල කොට බැඳීම යි.

බුදු සසුනින් හෙබි මහරු අතීතය – රාජ තේජසින් යළි පිබිදී යයි…

“මාගේ මේ ව්‍යායාමය කිසිවිටෙකත් රජ සැප පිණිස නො වන්නේ ය. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම වන්නේ ය” යන උදාර සංකල්පය පවසා මිනිස්කම් සුරකිමින් යුධ වැදුණු ගැමුණු රජතුමා එළාර සතු තිස්දෙකක් වූ සියලු බලකොටු ජයගෙන අවසානයේ බොහෝ දෙනෙකුගේ ජීවිත සුරකින අදහසින් එළාර රජු සමඟ තනිව යුධ වැදී ජය ගත්තේ ය. රට එක්සේසත් කළේ ය. ඉන් පසු රටවැසියන් වෙහෙසට පත් නො කොට බුද්ධානුභාවයත්, දේවානුභාවයත්, රජුගේ පුණ්‍යානුභාවයත් නිසා මහා ශාසනික සේවාවන් රැසක් සිදු කළේ ය.

ජාතියේ මුර දේවතාවුන් සැමවිට ම සිරසින් පුදා…

සඟරුවනට ආහාරයේ පළමු කොටස පූජා කොට ආහාර අනුභව කිරීමට පුරුදු වී සිටි රජතුමා දිනක් මිරිස් යෙදූ ආහාරයක මුල් කොටස සංඝරත්නයට පුදන්නට අමතක වීම නිසා තමාට ම දොස් පවරාගෙන ඊට වන්දි ගෙවීමක් ලෙස මහසෑයක් ඉදිකිරීමට සිතා සර්වඥධාතු සහිත ජයකොන්තය නිධන් කොට තිසාවැව අසල මිරිසවැටිය නමින් මහ සෑයක් ඉදිකළේ ය. මිරිසවැටිය දාගැබ බුද්ධ ශාසනයට පූජා කොට සතියක් පුරාවට සඟරුවනට දන්පැන් පුදා තුන් සිවුරු ද පූජා කළේ ය.

එකල අනුරාධපුර රාජ්‍යයේ ජනයා අතර පරම්පරාවෙන් පැමිණි කථාවක් විය. එය, මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට කර තිබූ ප්‍රකාශයකි. එය මෙසේ ය. ‘රජතුමනි, තොපගේ මුණුපුරු වූ ගාමිණී අභය නම් වූ මහා පිනැති රජ කෙනෙක් අනාගතයෙහි, අතිශයින් ම සුන්දර වූ එකසිය විසි රියන් උස් වූ ස්වර්ණමාලි නමින් මහා ථූපයක් කරවන්නේ ය’ යන්නයි. දුටුගැමුණු මහරජුට මෙය අසන්නට ලැබී මෙය යමක සඳහන් ව තිබේදැයි සොයන කල රජගෙයි කරඬුවක තිබී රන්පතක් හමුවිය. එහි සඳහන් වූයේ මින් එකසිය සතළිස් වර්ෂයක් ඉක්ම ගිය විට අනාගතයෙහි, කාවන්තිස්ස නම් මහරජුගේ පුත්‍ර වූ ගාමිණී අභය නම් නිරිඳෙක් මේ මේ දේවල් මෙසේ මෙසේ කරවන්නේ යැයි දුටුගැමුණු මහරජු ඉදිරියේ දී සිදුකරනා දාගැබ් ඉදිකිරීම් ආදි ශාසනික කටයුතු රාශියකි. එහි තිබූ දේවල් කියවා අතිශයින් ම සතුටට පත් වී මහමෙව්නාව උයනට භික්ෂූන් වහන්සේලා රැස් කරවා “නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් හා සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි” යි කීවේ ය. ඉන් පසු දිව්‍ය විමානයකට රහතන් වහන්සේලා වඩමවා විමානයක සැලැස්මක් ගෙන්වාගෙන සංඝ උපෝසථය කිරීමේ පහසුකම් ද සහිතව සඟරුවනට වැඩ සිටින්නට මහල් නවයකින් යුතු ලෝවාමහාපාය නම් ප්‍රාසාදයක් කරවා පූජා කළේ ය. ඉන් පසු දිනක් රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විශාල ධනයක් වැය කර උදාර වූ බෝධි වන්දනාවක් සිදුකර යළි පැමිණෙන අතරතුර අහඹු ලෙස ස්වර්ණමාලී මහාසෑය පිහිටන තැන දේවානම්පියතිස්ස රජතුමා විසින් පිහිට වූ ගල්ටැඹ දුටුවේ ය. රන්පතේ ලියා තිබූ අනාවැකිය ද සිහි කළ දුටුගැමුණු රජතුමා අතිශයින් ම සතුටු වී මහ සෑය ඉදිකරන්නට තීරණය කළේ ය.

ගෞතම සසුනේ සෑය බඳින්නේ – දෙව් පිරිස ද උපකාර කරන්නේ…

රාත්‍රී නිදියහනේ දී රජුට මෙසේ සිතුණි. ‘ආක්‍රමණිකයන් සමඟ පැවති යුද්ධය නිසා ජනතාව බොහෝ පීඩාවට පත්විය. එම නිසා අයබදු අය නො කොට කෙසේ ධාර්මිකව සෑ කර්මාන්තය සඳහා ගඩොල් සපයා ගනිම් ද?’. එසේ සිතන විට ම රජුගේ සේසතේ වසන දෙව්දුව එම සිතුවිල්ල දැක මහාසෑය තනන්නට උදව් වන්න යැයි කියමින් දෙව්විමන් කරා ගියා ය. එවිට සක්දෙවිඳු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මෙසේ පැවසී ය. “ගැමුණු රජතුමා මහසෑය තනන්නට ගඩොල් සපයා ගන්නේ කෙසේදැයි සිතයි. ඔබ ගොස් අනුරාධපුරයට යොදුනක් දුරින් ගම්භීර නම් නදිය අසල සෑයට උවමනා ගඩොල් මවන්න”. මෙසේ රජතුමාගේ පුණ්‍යානුභාවයෙන් ද දෙවියන්ගේ උපකාරයෙන් ද රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද මහසෑය තනන්නට අවශ්‍ය සියලු දෑ සුළු කලකින් ම ලැබුණි. ආචාරවිටිය නම් ගමෙන් අවශ්‍ය රත්තරන් මතු විය. තඹවිට ගමෙන් තඹ ද සමන්වැව ගමෙන් බොහෝ මැණික් ද පහළ විණි. අම්බට්ටකෝල ගමේ ලෙනක රිදී පහළ විය. උරුවෙල් පටුනේ විශාල මුතු පබළු පහළ විය. පෙළවැව්ව ගමේ විශාල මිණිරුවන් සතරක් පහළ විය.

ගෞතම සසුනේ උත්තම පින්බිම – ස්වර්ණමාලි මහ සෑය තනන්නේ……

මේ සා මහත් රන්, රුවන්, රිදී ආදී ධනස්කන්ධයන් ලැබ සෑයට මුල්ගල් තබා විශාල ධාතු ගර්භයක් ද තැනවී ය. ධාතු ගර්භයේ බිත්ති රහතන් වහන්සේලා විසින් ගෙන එන ලද මේදවර්ණ පාෂාණවලින් තනවන ලදී. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා, ශ්‍රාවක පිරිස් එක් වූ ආකාර, දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පිළිරූ, ජාතක කතාවන්ගේ සිදුවීම් ආදි බුදු සසුනේ බොහෝ විශේෂ අවස්ථා මේ ධාතු ගර්භයේ රනින්, රිදියෙන්, මුතුමැණික්වලින් කරවන ලදී.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු දේහය ආදාහනය කිරීමෙන් පසු ධාතූන් වහන්සේ අට ද්‍රෝණයක ප්‍රමාණයක් විය. මහා කස්සප මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර ස්වර්ණමාලී මහාසෑය වෙනුවෙන් ඉන් එක් ද්‍රෝණයක් ම වෙන්කර තබන ලදී. ස්වර්ණමාලී සෑ කර්මාන්තය ඇරඹෙන කාලය වනවිට ඒ ධාතූන් වහන්සේලා වැඩසිටියේ නාග ලෝකයේ ය. එවිට පින් ඇති සෝණුත්තර නම් මහරහතන් වහන්සේ නාලොව තිබූ එම ද්‍රෝණයක් මුනිධාතු අනුරාධපුරයට වඩමවාගෙන ආවේ ය. ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට සක්‍ර දේවේන්ද්‍රයා මැණික් කරඬුවක් මවාගෙන ආවේ ය. දුටුගැමුණු රජතුමා එම කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කර හිස මත තබාගෙන වන්දනා කරද්දී දෙවියන්ගේ චාමර සැලීම්, මුතුකුඩ ඇල්ලීම් ආදිය පෙනිනි. දිව්‍ය වීණා නාද ද ඇසිණි. නමුත් දෙවිවරු නො පෙනිනි. මේවා දැකීමෙන් රජු අප්‍රමාණ සතුටට පත් වී අපගේ මව්බිම බුද්ධ ශාසනයට පූජා කළේ ය. ඉන් පසු දෙවියන් බඹුන් දිව්‍ය සේසත් පූජාකර ඇති බව දැක තමන් ද සේසත පුදා නැවතත් මේ රට බුද්ධ ශාසනයට පූජා කළේ ය. ධාතූන් නිධන් කිරීමට කරඬුව හිස මත තබාගෙන නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට තුළට පිවිසියේ ය. එවිට ඍද්ධි බලයෙන් කරඬුව විවෘත වී ඒ ධාතූන් වහන්සේලා අහසට පැනනැඟී ශ්‍රී බුද්ධ ශරීරය මැවී සම්බුද්ධ රශ්මිමාලා විහිදෙන්නට විය. එවිට රජතුමා දෑත් සුවඳ පැනින් සෝදා මෙසේ අදිටන් කළේ ය. ‘දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ධාතූන් වහන්සේලා ලොව වැඩ සිටිති. එය සත්‍යයකි. මට ඒ ගැන සැකයක් නැත. එනිසා මේ රන් පළඟ මතට ධාතූන් වහන්සේලා වැඩ අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර සල්රුක් සෙවණේ පිරිනිවන් වැඩි ආකාරයට වැඩහිඳිනා සේක්වා!’. එවිට ඒ ධාතුන් වහන්සේලා රජුගේ සිතුවිල්ල පරිදි ම වැඩ සිටියේ ය. ඒ මොහොතේ මහපොළව සෙලවී ගියේ ය. ඒ මොහොතේ ද සතුටට පත් රජු විසින් ලංකා රාජ්‍ය බුද්ධ ශාසනයට පූජා කළේ ය. මෙසේ ධාතු නිධන් කර රහතන් වහන්සේලා දෙස බලා “ස්වාමීනී, මාගේ කටයුත්ත අවසාන ය, දැන් ඔබ වහන්සේලාගේ කටයුත්ත කරනු මැනව”යි කීය. එවිට රහතන් වහන්සේලා ඍද්ධි බලයෙන් මේදවර්ණ පාෂාණමය වැස්ම ගෙන ධාතු ගර්භය වසා මෙසේ අදිටන් කළ සේක. ‘ මේ සම්බුදු සසුන ලොව පවතින තුරු මේ පූජා කරන පරසතු, මදාරා, කඩුපුල් ආදි පුෂ්පයන් පර නො වී තිබේවා! මේ දල්වන ලද පහන් නො නිවී තිබේවා! ධාතුගැබ සුවඳවත් කරන සුවඳ සඳුන් තෙත් වෙවී සුවඳ හමාවා! ලොව බාහිර කිසි කෙනෙකුට අනතුරක් කිරීමට නො හැකිවන ලෙස මේ ධාතු ගර්භය සිදුරු නොමැතිව යාවී එක් වේවා!’. රජතුමා මෙසේ පුණ්‍ය ඍද්ධියෙන් මහසෑයේ ඉතිරි කටයුතු සම්පූර්ණ කළේ ය.

කුමරු උපන් දවසේ විවිධ රටවලින් රන්, මැණික් ආදියෙන් පිරී ඉතිරී ගිය කිසිදු අයිතිකරුවෙකු නොමැති නැව් හතක් මුහුදු තොටුපළවලට පැමිණියේ ය. රජ පවුල ද ධන ධාන්‍යයෙන් වැඩී ගියේ ය. කුමරුගේ පිනෙන් හිමාලයේ ඡද්දන්ත කුලයේ ඇතින්නක් මුහුද පිහිනා ලක්දිවට පැමිණ පැටවකු බිහිකර ආපසු ගියා ය. කණ්ඩුල නම් මහා හස්තිරාජයා වූයේ එම ඇත් පැටවා ය. රජ කුමරුගේ ජීවිත කාලය පිණිස ද ආනාගතයේ රට එක්සේසත් කිරීම පිණිස ද අවශ්‍ය ධනය හා හස්ති රාජයා කුමරු උපන් දින ම ලැබුණේ ය. තීක්‍ෂණ බුද්ධිය ද පරිවාර සම්පත්තිය ද නිර්භීත බව ද ධනයෙන් අග හිඟකම් නොවීම ද සිතන පතන දෙය ඒ අයුරින් ම කිරීම ද ගැමුණු කුමරු උපතින් ම රැගෙන පැමිණි දෑ ය.

රට දැය ද නගා බුදු සසුන වඩා – දසරාජ ධර්ම දිලුනා…

දුටුගැමුණු රජතුමා ද කලින් සඳහන් කළ මහරහතන් වහන්සේලා මෙන් මනුලොවට තමන් පැමිණි කාරණය එලෙසින් ම ඉටු කළේ ය. නිවහල් ජාතියක් බිහි කළේ ය. නිදහසේ සතුටින් හැසිරිය හැකි සියලු දුකින් මුදවන දහම ආරක්ෂා කළේ ය. එතුමා මනුලොවට පැමිණි පසු මෙය කරන්න, මෙය නො කරන්න යැයි කියමින් හරි වැරදි පෙන්වීමට අවශ්‍ය නො වී ය. කළ යුතු සියල්ල එතුමාටම වැටහිණි.

මෙසේ ධාර්මික ලෙස දසරාජ ධර්මයෙන් රජකම් කළ දුටුගැමුණු රජතුමා රජ කළ විසිහතර වසර පුරාවට ම ලක්දිව පුරා මහා වෙසක් පින්කම් විසිහතරක් සිදු කළේ ය. වෙහෙර විහාර, වැව් අමුණු, ආරෝග්‍යශාලා, ගිමන්හල්, මංමාවත් ඉදි කරවී ය. මෙසේ රටට ජාතියට බුදු සසුනට වැඩදායී මහත් වූ පින්කම් රැසක් සිදුකර සුවසේ ධර්මයේ හැසිරිය හැකි රටක් බිහිකොට තමන් මෙලොවට පැමිණි කාර්යය පරිපූර්ණව ඉටුකොට තුසිත දෙව්ලොව සිත පිහිටවාගෙන කලුරිය කර එහි උපන්නේ ය.

අපිදු අපි උපන් රටට, ජාතියට, සසුනට සෙනෙහෙවන්ත ය. රට යටත් කිරීමට, කැබලි කිරීමට, බුදු සසුන පිරිහෙළීමට අප දිවිහිමියෙන් ඉඩ නො දිය යුතු ය. ඇතැම් දුරදක්නා නුවණ නැති, බලලෝභීව පාලන කටයුතු කිරීමට මානබලන බොහෝ දෙනා තුළ, අප බලාපොරොත්තු වන ලෙස නිදහස් නිවහල් ස්වයංපෝෂිත රටක් බිහි කිරීමට අදහසක්වත් නැති බව පෙනේ. අප කළ යුත්තේ මෙවැන්නන් ගැන සිතා ද්වේෂය ඇතිකර ගැනීම නොව, රට දැය සසුනට විපත් සිදු වෙමින් පවතින මෙවන් අර්බුදකාරී අවස්ථාවල දී අතීතයේ වැඩ සිටි ගිහිපැවිදි උතුමන් කටයුතු කළ ආකාරය විමසා බැලීම ය. එවිට අපට වැටහෙන කරුණක් වන්නේ රට ජාතිය ආගම බෙහෙවින් අනතුරේ වැටුන අවස්ථාවල එය නගා සිටුවීමට බලවත් පින්වන්තයන් හට සීලයේ පිහිටා සිට සත්‍යය දක්වා අවංක ව කළ ආරාධනා නිසා බුදු සසුන ආරක්ෂා කිරීමට මනුලොව උපන් බවකි.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි…

One comment

  1. සාධු! සාධු!! සාධු!!!

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

1993 දී ආරම්භ කර, එවසර සිට සෑම වසරක ම මාර්තු මස 22 දින ජාත්‍යන්තර ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මේ මාර්තු මාසය යි. 22 වන දින ලොව පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වෙනු ඇත.