highlights of the week
Home » NEW ARTICLES » වඩිනු මැනවි මනුලොව වෙත පින්වතාණෙනි

වඩිනු මැනවි මනුලොව වෙත පින්වතාණෙනි

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු – ගුණ නැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරු….

‘පුත්තා වත්ථු මනුස්සානං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මනුෂ්‍ය වර්ගයාට ඇති වස්තුව දරුවන් ය කියා ය. දරුවන් නමැති වස්තුවේ වටිනාකම බෙහෙවින්ම දැනෙන්නේ දරුවන් බලාපොරොත්තු වුව ද බොහෝ කාලයක් දරුවකු නො ලැබුණු දෙමාපියන්ට ය. එම දෙමව්පියන් මෙන් ම දරුඵල තිබෙනා දෙමව්පියන් ද තමන්ට ලැබෙනා දරුවා කවුරුන් ද යන්න දැනගැනීම වැදගත් ය. දරුවන් මව්කුසට එවන විශේෂ කෙනෙකු නොමැත. නමුත් සියලු ලෝකවල ස්වභාවයන් පරිපූර්ණව අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් ආයුෂ අවසන් ව චුත වන දෙවියන් බ්‍රහ්මයින් අතරින් ඉතා ම සුළු පිරිසක් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බවත්, සතර අපාය ආදි අනෙක් ලෝකවලින් චුත වන අයගෙන් ඉතා ම සුළු පිරිසක් ද මනුෂ්‍ය ලෝකයෙන් මිය යන අය අතරින් ඉතා ම සුළු පිරිසක් ද මනුලොව උපදින බවයි. මෙසේ විවිධ ලෝකවලින් චුතව මනුලොව උපදින අය අතරින් දෙවියන්, බ්‍රහ්මයින් විශේෂ පිරිසකි. ඔවුන් ඒ ඒ ලෝකවලින් චුත වී නැවත එම ලෝකවල ම ඉපදීමට තරම් පින් බලයක් නොමැති වුව ද ඔවුන් මනුලොව ජීවත් වන අය සමඟ ගත් විට ඉතා ප්‍රබල පින්වන්තයන් ය.

අවැසි ගුණදම් ඇතිව සිටිමින් – මෙවැනි උතුමන් ලබමු මැනැවින්…..

බ්‍රහ්මරාජයින් වනාහී සමාධි සමාපත්තිලාභී ආධ්‍යාත්මය දියුණු කර ගත් පිරිසකි. දෙවියන් ද දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, දිව්‍ය සැප, දිව්‍ය බල, දිව්‍ය කීර්තිය ආදිය ලබමින් සිටින පිරිසකි. එම ලෝකවල බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි ව කතා බස් කරයි. ඒවා අසා දෙවිබඹුන් ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව පැහැදීම හෙවත් ‘ශ්‍රද්ධාව’ වඩයි. කය වචනය සංවර කිරීම නම් වූ ‘සීලය’ පුරුදු කරයි. ධර්මය පිළිබඳ දැනීම නම් වූ ‘ශ්‍රැතය’ වඩයි. අත්හැරීමෙන් සතුටු වීම නම් වූ ‘ත්‍යාගය’ වඩයි. ධර්මය තේරුම් ගෙන අවබෝධය දියුණු කිරීම නම් වූ ‘ප්‍රඥාව’ වඩයි. එසේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා ආදි ගුණ වඩමින් සිට ආයුෂ අවසන් ව චුත වීමට යන විට අනෙක් දෙවියන් බ්‍රහ්මයින් සුදුසු පරිසරයක් ඇති තැනක් පෙන්වයි. එවිට ඔබ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඇතිව සිටියහොත් ඒකාන්තයෙන් ම ඒ පිනෙන් පිරුණු, ගුණ දහමින් පිරුණු, බලසම්පන්න භාවයෙන් පිරුණු, අධිපති බවින් පිරුණු, වහා වැටහෙන නුවණ ඇති, තීක්ෂණ බුද්ධිය ඇති දිව්‍යරාජයෙකු හෝ බ්‍රහ්මරාජයෙකු හෝ ගැළපෙන සුදුසුකම් ඇති ඔබගේ කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. එවන් උතුමෙකු උපන් පවුල භවභෝග සම්පත්තියෙන් දියුණු වේ. යාන වාහන, ගෙවල් fදාරවල්, කෑම් බීම් ආදියෙන් පිරී ඉතිරී යයි. සහෝදර සහෝදරියන්ගේ සැපයට, මව්පියන්ගේ සැපයට හේතු වේ. ඔවුන්ගෙන් අන් අයට මිස, අන් අයගෙන් ඔවුන්ට උපකාර අවශ්‍ය නො වේ. කලින් රැස් කළ පින් ඇති නිසා සිතන පතන දෙය ඒ ආකාරයෙන් ම ඉටුකර ගැනීමට ඔවුන් වාසනාවන්ත වේ.

වටිනා පිළිවෙත් ඇයි ගිලිහෙන්නේ…..

බොහෝ දරුවන් සිටීම කරදරයකැයි කියා මිථ්‍යාවක් ඔළුවලට ඇතුල් කරගෙන සිටින සමාජයක පවුලකට මෙවන් දරුවන් දහ පහළොස් දෙනෙකු සිටිය ද දෙමව්පියන්ට, සමාජයට බරක් නො වේ. ඒ ඔවුන්ගේ පිනෙන් අන් අයට ද සැප ලැබෙන නිසා ය. කොහේ හෝ සිට චුත වී පැමිණෙන කවුරු හෝ මව්කුසට ගෙන්වා නොගෙන මෙවන් පින්වන්තයන් ම මව්කුසට ගෙන්වා ගැනීම සියලු දෙනාගේ ම යහපත පිණිස වේ. එසේ දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් ආයුෂ අවසන් ව චුත වීමට ආසන්න පින්වන්තයන් තමාගේ කුසට, තම පවුලට වඩමවා ගැනීමට අනිවාර්යයෙන් ම කළ යුතු සිරිත් විරිත්, පේ වීම් තිබේ. බොහෝ මාතාවන් දරු ගැබක් ලැබ බිහිවීමට ආසන්න වන විට අංගුලිමාල පිරිතෙන් ආශීර්වාද ලබා සුවසේ දරුවන් බිහි කරති. එනමුත් පිළිසිඳ ගැනීමට පෙර පින්වත් දරුවෙකුගේ ආගමනයක් පිළිබඳ ව අවධානයක් හෝ ඒ පිණිස පේ වීමක් බොහෝ විට දක්නට නො ලැබේ. එසේ අවධානය ගිලිහී ඇත්තේ තමන් බලාපොරොත්තු වූ පින්වත් දරුවෙකු ලැබීම සඳහා කළ යුතු වැදගත් ම දෙය සම්බන්ධව ය. මන්ද යත් ඉහත සියලු දෑ සිදුකරනුයේ කුසේ දරුවා පිළිසිඳ ගත් පසුව හෙවත් උපත සිදු වූ පසුව ය. එවිට පැමිණ සිටින්නේ කවුරු හෝ වේවා ඔහු රැස් කළ කර්මානුරූපව ඔහුගේ ඉදිරි ජීවිතය තීරණය වනු ඇත.

දරුවන්ගේ දුක් කඳුළු දකින දා…..

අප ජීවත් වන ලෝකය පිළිබඳ ව, රටතොට පිළිබඳ ව අපි යම් පමණකින් දන්නෙමු. එහි දී සාමාන්‍ය ලෙස පිළිසිඳගෙන ඉපදී ජීවත් වී ජීවිතය අවසන් කරන මනුෂ්‍යයන් ගැන විමසා බලමු. බොහෝ දෙමව්පියන්ට දරුවන් කුඩා කාලයේ දී මහත් ඉවසීමෙන් විශාල කැප කිරීම් කිරීමට සිදු වේ. සමහර දරුවන් මුළු රාත්‍රී කාලය පුරාම හඬමින් පසුවෙති. එම නිසා මව්පිය දෙදෙනා ද දරුවාට ඇති ආදරය නිසා නිදි වරමින් ම රැය පහන් කරයි. දරු සෙනෙහස නිසා දරුවා හඬන විට දෙමව්පියන්ගේ ද මුහුණු මැළවී දෑස් ද කඳුළුවලින් පිරෙනු අප දැක තිබේ. දරුවා නිතර ම පොඩි දේටත් හැඬීම දෙමව්පියන්ට මහත් දුක් වේදනාවකි. එසේ වූ විට දරුවා වෙනුවෙන් එක් අයෙක් අනිවාර්යයෙන් ම ළඟ සිටීමට සිදුවේ. දෙදෙනා ම රැකියා කරයි නම් එම ආයතනවලින් එන ඇනුම් බැණුම් අසමින් ම මේ දුෂ්කර කාර්යය කිරීමට සිදුවේ. තව සමහර දරුවන් උපන්දා සිට ලෙඩ රෝගවලින් පෙළෙයි. අව්වෙන්, වැස්සෙන්, පින්නෙන්, දුහුවිල්ලෙන් ආදියෙන් බොහෝ ප්‍රවේශම් කිරීමට සිදුවේ. එසේ කළ ද සමහර දරුවන් නිතර ම ලෙඩ දුක්වලට ගොදුරු වේ. තවත් සමහර දරුවන් ඇඳක හෝ බිම තැබීමට ඉඩ නො දෙයි. කවුරුන් හෝ විසින් ඔසවාගෙන ම සිටිය යුතු වේ. බිම තැබුවහොත් හැඬීමට පටන් ගනී. එවිට දෙමව්පියන්ට ගෙදර දොර කටයුතු කර ගැනීමට අපහසුකම් ඇති වේ. තව සමහර දරුවන්ට කෑම බීම කැවීමට පෙවීමට ඉතා දුෂ්කර ය. විවිධ කතන්දර, කවි, චාටු කතා ආදිය කියමින් ද යම් යම් පොරොන්දු ආදිය වෙමින් ද බොහෝ අපහසුවෙන් පෝෂණය කිරීමට සිදුවේ. එවිට ධර්මය නො දත් දෙමව්පියන් ඇස්වහ කටවහ, අණවින කොඩිවින ආදිය ගැන සැක පහළ කරයි. නිතර නිතර වෛද්‍යවරුන් පසු පස්සේ දරුවා ඔසවාගෙන යාමට පෙළඹේ. එනිසා ගෙදර දොර අග හිඟකම් ද ඇති වේ.

මෙසේ දුෂ්කර අවුරුදු කිහිපයකින් පසුව එම දරුවන් පාසල් යවන කාලය පැමිණේ. එවිට ද තමාගේ ම උනන්දුවෙන් ඉගනීම් කටයුතු සිදුකර ගන්නා දරුවන් ඉතා අතලොස්සකි. බොහෝ දෙනාට ළඟ හිඳිමින්, ඇඟිල්ලෙන් අනිමින් දෙමව්පියන්ගේ බලහත්කාරයෙන් පාඩම් වැඩ කටයුතු කරවීමට සිදුවේ. මෙසේ දුක් මහන්සි වී ඉගෙනීමට යොමු කළ ද ලොකු දියුණුවක් කරා නො යයි.

නුඹ පොළොවට බරකි පුතේ……

තරුණ වියට පැමිණි විට අසත්පුරුෂ ඇසුර බහුල සමාජයේ ගොදුරු බවට පත් වේ. මත්පැන් මත්ද්‍රව්‍යවලට, වැරදි කාම සේවනයට ඇබ්බැහි වේ. සොරකම් මැරකම්වලට සම්බන්ධ වේ. මින් ගැලවෙන්නේ සුළු දෙනෙකි. රැකියා සොයා ගිය ද සමාජයේ සුළු සුළු රැකියා කරමින් ජීවත් වීමට සිදුවේ. ඉතා අපහසුවෙන් විවාහයක් ද කරගෙන පසුව දරුවන් ද ඇති වේ. අඹු දරුවන් මත්තේ ම දුක් මහන්සි වීමට සිදුවේ. තමන් දුක සේ ලොකු මහත් කළ දෙමව්පියන්ට සැලකීම කෙසේ වෙතත් තමන් ආරම්භ කළ පවුල් ජීවිතයවත් හරියට දියුණු කර ගැනීමට නො හැකි වේ. උදය, දහවල්, රාත්‍රී කාල පුරා වෙහෙස මහන්සි වී ධනය ඉපැයීමට සිදුවේ. ධර්මයේ හැසිරීම, රට ජාතිය ආගම වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්, කැපවීම්, ආදිය දුරින්ම දුරු වී යයි. මෙවැනි අයගෙන් අද සමාජයේ බහුතරය සමන්විත වේ. තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ ගැන, උන්වහන්සේ වදාළ ධර්මය ගැන, ඒ ධර්මයේ හැසිරෙන ශ්‍රාවක සංඝයා වහන්සේලා ගැන ඉතා අල්ප දැනුමෙන් යුක්ත වෙයි. ඇතැම් අවස්ථාවල රටේ යම් යම් අර්බුදවල දී පින්වන්ත කවුරු හෝ රට ජාතිය ආගම වෙනුවෙන් යමක් කියයි ද කරයි ද එය හෝ තේරුම් ගැනීමට දක්ෂ නො වේ. කළයුත්ත නොකළයුත්ත නො තේරේ. මෙසේ ජීවත් වී රටට, ජාතියට, ආගමට යහපත් යමක් නො කර ම ආයුෂ අවසන් වී මිය පරලොව යයි.

මෙවන් පුතුන් ඇති – මව්පියන් නිති සැනසෙති……..

මෙසේ ජීවිතය අවසන් කරන බහුතර අය අතර එසේ නො වී කුඩා කල සිට ම ජීවිතය අවසානය දක්වා වීරියෙන් යුතුව තමන් උපන් රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිස පරිපූර්ණ අර්ථවත් සේවයක් කර නිවී සැනසුන, මෙත් සිතින් ජීවිතය අවසන් කරන විශේෂ ගිහි පැවිදි උතුමන් ද සිටී. ඔවුන් මෙලොවට බිහිවූ දා සිට විශේෂත්වයක් දක්වයි. එවැන්නන්, කුඩා දරුවන් කාලයේ රාත්‍රිය පුරා නිදිවරමින් හඬන්නේ නැත. රාත්‍රිය එළඹුණු පසු සුවසේ නිදි සුව විඳියි. එවිට මව්පියන් දෙපළට මහත් සුවපහසුවක් ඇති වේ. යාබද නිවෙස්වලට ද පහසුවක් ඇති වේ. එමෙන් ම ලෙඩ රෝග වැළඳීම ද ඉතාමත් අඩු ය. බාහිර පරිසරයට හොඳින් ඔරොත්තු දෙයි. නිරෝගී ව ඇතිදැඩි වෙයි. කවුරුන් හෝ විසින් නිතර ම ඔසවාගෙන සිටීමට අවශ්‍ය නො වේ. තබනා තැනක හිඳියි. ආහාර කවන පොවන විට පවා කිසිදු බල කිරීමකින් තොරව ආහාර ගනියි. එවැනි දරුවන් පෝෂණය කිරීම ඉතා පහසු ය. පාසල් යවන කාලය වන විට ද තම තමන්ගේ කටයුතු තනියම කිරීමට පෙළඹේ. ඉගෙනීම් කටයුතු ද කැමැත්තෙන් ම සිදු කරයි. කාගේවත් බල කිරීමකින් තොරව ම පාඩම් වැඩ කටයුතු ඉතා උනන්දුවෙන් සිදු කරයි. මෙම දරුවන්ගේ පවුල්වල දියුණුව ද දිනෙන් දින වැඩි වේ. සහෝදර සහෝදරියන්ට ද ශක්තියක්, ගෞරවයක්, ආරක්ෂාකාරී බවක් ඇති වේ. මෙවැනි දරුවන් නම් කොතෙක් ලැබුණ ද කම් නැතැයි දෙමව්පියන් කියනු අසන්නට ලැබේ. එවැනි දරුවන් ලබනා දෙමව්පියන් බොහෝ වාසනාවන්ත බව පෙනේ.

තමන් ලැබූ දිවි පෙවෙතේ – කොටසක් රට සමය වෙතේ……

මෙසේ ඉතා වීරියෙන් කැපවීමෙන් ඉගෙනගෙන අවසන් වන අය අතුරින් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු සසුනේ පැවිදි වී ධර්මයේ හැසිරීමට කැමති පින්වන්තයන් ගිහි ජීවිතය අතහැර බුදුසසුනේ පැවිදි වෙයි. ධර්මයේ හැසිරෙන අතරතුර තමන් උපන් රටට, ජාතියට, තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයට හා සමාජයට යහපත් යුතුකම් රාශියක් ඉටු කරයි. රට, ජාතිය, ආගම බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිස කටයුතු කරයි. පැවිදි දිවිය ද සාර්ථක කර ගනියි.

ගිහි ජීවිත ගත කරන අය ද සමාජයේ ධාර්මික, උසස්, ඉහළ වැටුප් ලබනා රැකී රක්ෂාවලට යොමු වේ. විවාහ වී හොඳ දරු පවුලක් ද සමඟින් තමා ලොකු මහත් කළ දෙමාපියන්ට ද සලකමින් පැවිදි උතුමන් විලසින් ම, ගිහි ජීවිත ගත කරමින් ම විශාල සේවයක් සමාජයටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත් සිදු කරයි. ජීවිත සුගතිගාමී කර ගනී. එවන් ගිහි පැවිදි උතුමන් බෝසත් ගුණැති යුග පුරුෂයන් ය.

ඉතිහාසය විමසන්නේ නිසි පිළිතුරු ලැබගන්නේ……

මෙසේ සාමාන්‍ය ලෙස පිළිසිඳගෙන බිහිවන බොහෝදෙනා අතරින් තමන් උපත් රටට, ජාතියට, තමන් සරණ ගිය ධර්මයට සේවයක් කරන්නේ සුළු දෙනෙකි. ඒ බව දන්නා අප කළ යුත්තේ එසේ කවුරුන් හෝ පහළ වී රට ජාතිය රකීවි යැයි සිතා අලසව සිටීම නො වේ. අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්, අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් මෙයට පිළිතුරු සෙවීම ය. එවිට මේ සම්බන්ධයෙන් අපට වැටහෙන දෙයක් වන්නේ ලෝකයට ශාසනයට අවශ්‍ය අවස්ථාවල අති උදාර කටයුතු කළ අතීතයේ වැඩසිටි මහතෙරුන් වහන්සේලා ද හෙළ දැය සමය එක්සේසත් කළ ප්‍රතාපවත් දුටුගැමුණු මහරජු වැනි සියලු යුග පුරුෂයන් ද පාහේ විශේෂ ලෙස ආරාධනා කොට මනු ලොවට වඩමවා ගත් පින් ඇති දිව්‍යරාජයින්, බ්‍රහ්මරාජයින් හා දෙවියන් අතර ඉපදීමට සිටි මහා පිනැතියන් බවයි. මෙය ඉතා හොඳින් තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ අති උතුම් ධර්ම විනයෙන් හා අපගේ දේශයේ අභිමානය ලියවී ඇති උතුම් මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් උදාහරණ හමු වේ.

සොයා පිළිසරණක් ලොවෙන් අප නො ලැබ හව්හරණක්….

හොඳ ම උදාහරණයක් නම් තුන්වන ධර්ම සංගායනාව සිදුකොට රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කර හැරීමට මූලිකත්වය ගත් ‘මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ’ ය. උන්වහන්සේ බඹ ලොවින් චුත වී මිනිස් මව්කුසක පිළිසිඳ ගන්නේ එවන් විශේෂ ආරාධනාවක ප්‍රතිඵලයක් ලෙසිනි. දෙවන ධර්ම සංගායනාව සිදුකොට වදාළ සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඍද්ධිබලලාභී මහරහතන් වහන්සේලා ඉන් වසර එකසිය දහඅටක් ගතවෙද්දී බුදු සසුනට මහත් උපද්‍රවයක් සිදුවන බව දුටු සේක. එය මැඩ පවත්වා චිරාත් කාලයක් ශාසනය පවත්වන්නට පුණ්‍ය ශක්තිය ඇත්තේ කා හටදැයි විමසද්දී මිනිස් ලොව හෝ දෙව් ලොව එයට සමත් කිසිවෙකු නොමැති බව දුටු සේක. බඹලොව ඉපදී සිටි ‘තිස්ස’ නම් බ්‍රහ්මරාජයා එයට එක ම සුදුස්සා ලෙස හඳුනා ගත්හ. ඉන් පසු ඒ රහතන් වහන්සේලා බඹලොවට වැඩම කොට මනුලොව උපදින්නට මෙසේ ආරාධනා කළහ. “පින්වත් බ්‍රහ්මරාජය, මෙයින් අවුරුදු සියයකට මඳක් මත්තෙහි බුද්ධ ශාසනයේ මහත් අර්බුදයක් උපදින්නේ ය. අප විසින් සියලු මිනිස් ලොවත්, දිව්‍ය ලෝක සයෙහිත් විමසා බැලූමුත් සසුන නගාසිටුවීමට සමත් කිසිවෙකු නො දුටුවෙමු. බඹලොව විමසා බලද්දී පින්වත් ඔබ දුටුවෙමු. ‘සත්පුරුෂය එබැවින් මිනිස්ලොව ඉපදී දසබලධාරී භාග්‍යවතුන් වහන්සේගේ සසුන නගාසිටුවනු මැනැවි’.” එවිට තිස්ස බ්‍රහ්මරාජයාණන් බොහෝ සෙයින් ම සතුටු වී, මම අනාගතයෙහි සසුනෙහි උපදින අර්බුද සන්සිඳුවා සසුන නගාසිටුවන්නට මිනිස්ලොවට පැමිණෙන බවට රහතන් වහන්සේලාට පොරොන්දු විය. සුදුසු කාලයේ දී පින්වන්ත මාපිය යුවළක් වූ මොග්ගලී නම් බ්‍රාහ්මණයාට දාව මොග්ගලී බ්‍රාහ්මණතුමියගේ කුස පිළිසිඳ ගත්තේ ය. දස මසක් ඇවෑමෙන් තිස්ස කුමරු ලෙස උපත ලැබී ය.

උගත් සියලු දම් අතුරින් – බුදු සසුනයි දැක අගතැන්……

මහා නුවණැති කුමරු දොළොස්වන විය වන විට ම බ්‍රාහ්මණ ධර්මය වන ත්‍රිවේදය පරතෙරට ම උගෙන අවසන් ව මහා ශිෂ්‍ය පිරිසකට ගුරුවරයා ද විය. වාළුකාරාමයේ දී බුදුරජුන්ගේ දහම අසා බ්‍රාහ්මණ දහමේ ඇති නිසරු බව වටහාගත් කුමරු තරුණ වියේදී සිග්ගව, චණ්ඩවජ්ජී යන රහතන් වහන්සේලා ළඟ පැවිදි වී ධර්ම විනය මැනැවින් හදාරා, විදසුන් වඩා ෂඞ් අභිඥාලාභී මහරහතන් වහන්සේනමක් බවට පත්විය. මහා ආනුභාව ඇති උන්වහන්සේගේ වචනය ශාස්තෘන් වහන්සේගේ වචනය මෙන් එකල මිනිසුන් අදහන්නට විය.

බුදු සසුනට වන ගැරහුම් – වළකන්නට කළ යුතුකම්……

එකල්හී ඇතිවුණ මහා අර්බුදය නම් බොහෝ අන්‍යාගමික තීර්ථකයන් ලාභ සත්කාර උදෙසා බුදු සසුනේ පැවිදිව තමන් කලින් කරමින් සිටි යාගහෝම, නැකැත් සැකසීම්, දියේ ගිලී පව් සේදීම් ආදි මිථ්‍යා දෘෂ්ටික කටයුතු, ඇදහිලි ආදිය ඒ ආකාරයෙන් ම සිදු කරගෙන යාමයි. මෙනිසා සාමාන්‍ය ජනයාට ධර්මය අධර්මය කුමක්දැයි නිවැරැදිව හඳුනාගැනීමට නො හැකි විය. මෙය නිර්මල බුදු සසුනට නින්දාවක් විය.

දහම සංගායනා කළ අප – මහා පින් ඇති මුනිඳුනේ……

මෙවැනි අර්බුද නිසා සත් වසරක් පුරාවට සංඝ උපෝසථය සිදුකිරීම, විනය කර්ම ආදි ශාසනික කටයුතු ඇනහිට තිබුණි. පිරිසිදු දහම් කතාව වියැකී යමින් තිබුණි. ඒ නිසා සැදැහැවත් ගිහි පින්වතුන්ට ද නිර්මල ධර්මය ඇසීමට, දන්පැන් පුදා පින් රැස් කර ගැනීමට, සිල් රකිමින් ගුණදහම් දියුණු කිරීමට නොයෙකුත් බාධා ඇතිවී තිබුණි. මෙම ශාසනික අර්බුදය විසඳීම වෙනුවෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ එකල දඹදිව අගරජු වූ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි පහන් සිත් ඇති ධර්මාශෝක රජුගේ ද සහය ඇතිව මේ සඳහා කළ යුතු පිළියම් වටහාගෙන අන්‍යාගමික තීර්ථකයන් හඳුනාගෙන සිවුරු හරවා බැහැර කොට අර්බුදය සන්සිඳවූ සේක. ඉන්පසු අනාගතයට ධර්මය සුරක්ෂිත කිරීමට මහරහතන් වහන්සේලා දහස්නමක් ද සහභාගී කරවාගෙන පැළලුප් නුවර අශෝකාරාමයේ දී ‘සහස්සිකා’ නම් වූ තුන්වන මහා ධර්ම සංගායනාව සිදු කොට වදාළ සේක. මෙසේ අවිනය, අධර්මය බැහැර කොට පිරිසිදු ධර්මය, විනය ඉස්මතු කරවා උතුම් බුදු සසුන පිරිසිදු කළ සේක. රටවල් නවයකට ධර්ම ප්‍රචාරය පිණිස මහරහතන් වහන්සේලා වැඩම කරවීමට සලස්වා ඒ ඒ රටවල ද බුද්ධ ශාසනය ස්ථාපිත කළ සේක. අපගේ මේ පින්බර ලංකාදීපයට මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන වැඩියේ ද එහි ප්‍රතිඵලයක් ලෙස ය.

මහා පුණ්‍යවන්තයෙකුගේ මිනිස් ලොව පැමිණීම සියලු දෙනාටම ආශීර්වාදයක් වූයේ ද බොහෝ කාලයක් බුදු සසුනේ යහපත පිණිස හේතු වූයේ ද මේ අයුරිනි. ඒ පිණිස කළ යුතු වූයේ බොහෝ දෙනාගේ යහපත කැමතිව පිරිසිදු චේතනාවකින් බුදු සසුන රැකීම පිණිස මනුලොව පැමිණෙන්න යැයි ආරාධනා කිරීම පමණි. ඉන් පසු සියල්ල සිදු කරන ලද්දේ එය කිරීම පිණිස සුදුසු පින් බලය තිබූ උන්වහන්සේ විසින් ම ය. ඒ සඳහා අමුතුවෙන් පෙළඹවීමක් අවශ්‍ය නො වී ය. සියල්ල සිදුකළේ උන්වහන්සේගේ ම වැටහීමත්, දුරදක්නා නුවණත් උපකාරයෙනි. මෙයින් අපට පැහැදිලි වන්නේ යම් යහපත් දෙයකට කරුණු සහිත ව පිරිසිදු සිතින් කළ ආරාධනාව බාර ගත් බ්‍රහ්මරාජයන් වහන්සේ එම භාරගත් කටයුත්ත පිරිසිදු ව ඉතා පර්පූර්ණ ව ඉටු කළ බවයි.

සුවසේ දහමේ හැසිරෙන උතුමන් – සිත් විසිරෙන වාදයට කැඳවමින්……

මෙසේ කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ දෙනාට යහපත ඇතිකර ගැනීමට බොහෝ කලක් පැවතුණේ ය. දඹදිව් තලය ධාර්මික රජවරුන්ගෙන්, ගුණදහමින් පිරුණු ගිහි පැවිදි උතුමන්ගෙන් නො අඩුව පැවතුණේ ය. එසේ තිබිය දී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගතවූ තැන මිළිඳු රජ නමින් ප්‍රශ්න ඇසීමට, වාද නැංවීමට, කරුණු ඉස්මතු කිරීමට අතිශයින් ම දක්ෂ රජ කෙනෙකු පහළ විය. තර්කය අවිය කරගෙන සත්‍යය ද අසත්‍යයක් ලෙස පෙන්විය හැක. එය තර්කයේ ස්වභාවය යි. එසේ කරන තර්ක සිඳලීමට සියලු දෙනා ම දක්ෂ වන්නේ නැත. ඔහුගේ වාද ප්‍රතිවාදයන්ට මුහුණ දීමට රහතන් වහන්සේලාට පවා අසීරු විය.

වාද නො කරන දහම රැකගනු – පිණිස එනු මැන දෙවිඳුනේ……

දඹදිව ඇති වී තිබූ එම තත්ත්වය මැඩ පවත්වා ශාසනික මත ඉස්මතු කළ හැකි මහා පුණ්‍යවන්තයකුගේ උපතක අවශ්‍යතාවය ඇතිවිය. යළිත් මහරහතන් වහන්සේලා ඒ සඳහා සුදුසු පින්වන්තයකු සොයන කල ඒ සඳහා පින් ඇති ‘මහාසේන’ නම් දිව්‍ය පුත්‍රයා සුදුසු බව දැන ගත් සේක. ඒ සඳහා දෙව්ලොවට වැඩම කළ උන්වහන්සේලා මනුලොව උපදින්නට මෙසේ ආරාධනා කළ සේක. “මහානුභාව සම්පන්න දෙව් පුතුනි, ඔබගෙන් බුද්ධ ශාසනයට බලවත් සේවාවක් වන්නේ ය. දඹදිව මේ වන විට රාජ්‍ය කරන මිළිඳු නම් රජු වාද නංවමින් තර්ක කරමින් භික්ෂූන් වෙහෙසට පත්කරන්නේ ය. මේ වන විට මෙම වාදයන් මැඩ පැවැත්වීමට සමත් කිසිවෙකු මනුලොව නැත්තේ ය. අරහත් නුවණින් සියලු ලෝකයන් විමසා බලද්දී ඒ ශාසනික කටයුත්තට සුදුසු පුණ්‍යබලය ඇත්තේ ඔබට බව දුටුවෙමු. එම නිසා, දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් අපගේ බෝසතාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී සම්බුදු බව ලබා ලෝසතුනට සෙත සැලසූ පරිද්දෙන්, පෙර කළ පින් ඇති ඔබත් රහතුන්ගේ ආරාධනය පිළිගෙන මිනිස්ලොව උපදිනු මැනැව. මිළිඳු රජුගේ වාදවිවාද පරදවා, මැඩ පවත්වා භික්ෂු සංඝයා වහන්සේලාට සුවසේ වසන්නටත්, බුදු සසුන බබළවන්නටත් කටයුතු කළ මැනැව” යි පවසා මනුලොව මව්කුසක පිළිසිඳ ගන්නට ආරාධනා කළ සේක.

අරහත් ධජයේ අභිමන් ලොවට ම හෙළිවන්නේ……

එම ආරාධනාව පිළිගෙන ඒ මහාසේන නම් දිව්‍ය පුත්‍රයා මිළිඳු රජුගේ වාදයන් මැඩලනු පිණිස දෙව්ලොවින් චුතව දඹදිව සාගල නුවර බ්‍රාහ්මණ මහාසාර පවුලක උපන්නේ ය. වයස අවුරුදු හතේ දී බුද්ධ ශාසනයේ පැවිදි වී ත්‍රිපිටකධාරීව පටිසම්භිදාලාභීව නාගසේන මහරහතන් වහන්සේ නමින් බොහෝ ප්‍රසිද්ධියට පත් වූයේ ය. නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජු නැගූ සියලු ප්‍රශ්නයන්ට ඉතා පහසුවෙන් සුවසේ පිළිතුරු සැපයූ සේක. එමෙන් ම ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. නොයෙක් උපමා මගින් ඉතා මනහර ලෙස දහම් ගැටලු විසඳූ සේක. සැබැවින්ම නාගසේන මහරහතන් වහන්සේට මිස වෙන කවරෙකුටවත් මිළිඳු රජුගේ ප්‍රශ්නවලට ප්‍රමාණවත් තරම් පිළිතුරු දෙන්නට බැරි බව පෙනේ. නාගසේන මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥා සම්පන්න පිළිතුරුවලින් බොහෝ සෙයින් සතුටු වූ මිළිඳු රජතුමා සිය ඇමති මණ්ඩලය සමඟින් ම තෙරුවන් සරණ ගියේ ය. මිළිඳු රජුගේ රාජ ඍද්ධිය නාගසේන මහරහතන් වහන්සේගේ අරහත් ඍද්ධිය ඉදිරියේ දමනය වී ගියේ ය. ඉන්පසු මිළිඳු රජතුමා ‘මිළින්ද ආරාමය’ නමින් මහ විහාරයක් කරවා තෙරුන් වහන්සේට පුදා පිරිවර ජනයා සමඟින් සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. නාගසේන මහරහතන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාව කෙරෙහි පැහැදී සිය පුත්‍රයාට රාජ්‍ය පවරා බුදු සසුනෙහි පැවිදි වී උතුම් අරහත්වය සාක්ෂාත් කළේ ය. ඒ සමයේ මිළිඳු රජුගේ අධිරාජ්‍යය පුරා ම බුද්ධ ශාසනය පැතිරී ගියේ ය. එනම් වත්මන් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය වැනි රටවලටයි.

මතු සබැඳි….

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි…

2 comments

  1. පින්වත් ස්වාමින් වහන්ස පින්වත් දරුවකු කුසතුල පිළිසිඳ ගැනීම සඳහා අනුගමනය කළ යුතු බෞද්ධ වත් පිළිවෙත් මොනවාදැයි කාරුණිකව පහදා දෙන්න.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

1993 දී ආරම්භ කර, එවසර සිට සෑම වසරක ම මාර්තු මස 22 දින ජාත්‍යන්තර ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මේ මාර්තු මාසය යි. 22 වන දින ලොව පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වෙනු ඇත.