highlights of the week
Home » සුඛිනෝ වත අරහන්තෝ » අම නිවනට වැඩිය සේක – පිරිසිදු සිල් ඇති උතුමන්

අම නිවනට වැඩිය සේක – පිරිසිදු සිල් ඇති උතුමන්

මේ පර්වතය පිහිටි වන පියස සැබැවින් ම සිත්කළු ය. මෙහි මිනිසුන්ගේ නිබඳ වාසය කිරීමක් ද නැත. නිහඬ ය. සිහිල් දිය ඇති ඇළ පාරක් ගලා බසී. ගම්මානයට බොහෝ දුරක් නැත. ගම්මානයට ඉතා ළඟත් නැත.

තිස්ස තෙරුන්ගේ සිත මේ පර්වතය දුටු පමණින් ම සතුටට පත් විය. ටික වේලාවක් පර්වතය අවට පෙදෙස විපරම් කර බලද්දී නො තෙමී වාසය කිරීමට සුදුසු ගුහාවක් ද උන්වහන්සේට හමුවිය. මඳක් වෙහෙසී ගුහාව පිරිසිදු කර ගත් තෙරුන් වහන්සේ අසල ඇළ වෙත වැඩම කොට පැන් පහසු විය. යළිත් ගුහාව වෙත වැඩම කළ තිස්ස තෙරණුවෝ, භාවනා කිරීමට වාඩි විණි. කවරදාකවත් නො දැනුණු තරම් සැනසිල්ලකුත්, එකඟ බවකුත් තෙරුන් වහන්සේට දැනෙන්නට විය.

‘හ්ම්! මෙතැන හරි අපූරු තැනක්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ නිවන් මඟේ අප්‍රමාදී වෙන්න කියලයි. දවසෙන් දවස මේ ජීවිතය ජරාව කරා ගමන් කරනවා. මරණයෙන් සියල්ල අවසන්… යළිත් දුක් සහිත සසරට ම යි වැටෙන්නේ. ඒ හින්දා… එළඹෙන වස් කාලේ මං හොඳට වීරිය වඩන්න ඕන. ඔව්! ඒ සඳහා මේ ස්ථානය ඉතා ම අගෙයි. දැන් රැය එළඹෙන්ටත් ළඟයි… ගමට පිවිසීමට සුදුසු වේලාවක් නො වෙයි මේ. හෙට දිනයේ ගම්මානයට වැඩම කොට තීරණය කරන්ට ඕන මෙහි ම වස් එළඹෙනවා ද කියලා’ තිස්ස තෙරුන් වහන්සේට සිත් විය.

එහෙත් තිස්ස තෙරුන්ගේ ආගමනයත් සමඟ මේ පර්වතවාසී දෙවඟනට නම් එතරම් සතුටක් නැත. තෙරුන් වහන්සේගේ සිල් තෙදින් ඇයට විමානයේ විසීම අපහසු විය. තම දරුවන් ද කැටුව ඈ විමානයෙන් බැස පර්වත පාමුල එදින රැය ගත කළා ය. ඇත්තෙන් ම ඈ සිතුවේ තෙරුන් වහන්සේ මෙහි වැඩ වසන්නේ එක් රැයකට පමණක් කියා ය.

පසු දින අරුණ උදාවිය. උදෑසනින් ම මුව දොවාගත් තෙරුන් වහන්සේ මනා කොට සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය ද රැගෙන ගමට පිණ්ඩපාතය පිණිස වැඩම කළේ ය. දෙව්දුව තෙරුන් වහන්සේ ස්ථිරව ම වැඩම කළේ යැයි සිතා යළි පර්වතයේ වූ තම විමානය වෙත දරුවන් ද සමඟ ගියා ය.

උදෑසනින් මිදුල අතුගාමින් සිටි උපාසිකාවක් ඉතා ම සංවර ගමනින් පිණ්ඩපාතයේ වැඩම කරන මේ තෙරුන් වහන්සේ ව දුටුවා ය. ඕ මහත් සේ සතුටට පත්ව ඉක්මනින් ම නිවස තුළට දිව ගියා ය. “ලොකු පුතේ, ඉක්මනට පිරුවටයක් එළලා ආසනයක් හදාපං” කියමින් ඇය සුදු වස්ත්‍රයක් හැඳ සිටි චීත්තයට උඩින් පටලවා ගත්තා ය. තවත් කුඩා සුදු ලේන්සුවක් රැගෙන ඉක්මන් ගමනින් නිවසින් පිටතට පැමිණියා ය.

තෙරුන් වහන්සේ නිහඬ ව බිමට යොමු වූ නෙත් ඇතිව නිවසට පිවිසෙන මාවත අබියස වැඩ සිටී. ඕ ඉමහත් සතුටට පත් වූවා ය. තෙරුන් වහන්සේ සමීපයට ගොස් ලේන්සුව බිම එළා පසඟ පිහිටුවා වන්දනා කළා ය.

“අනේ ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් දානය පිණිස නිවස වෙත වැඩම කරන සේක්වා!”

තිස්ස තෙරණුවෝ නිහඬ ව ම නිවස තුළට වැඩම කොට පැනවූ අසුනේ වැඩ හුන් සේක. ඉතා ම සැදැහෙන් උපාසිකාව සහ දරු දෙදෙනා තෙරුන් වහන්සේ හට උපස්ථාන කළහ. දන් වළඳා අවසානයේ කෙටි අනුමෝදනා බණ දෙසුමක් වදාළ තිස්ස තෙරුන් ආපසු වැඩම කිරීමට සූදානම් වෙද්දී සැදැහැවත් උපාසිකාව තෙරුන් වහන්සේගෙන් මෙසේ විමසුවා ය.

“ස්වාමීනී, ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ වැඩ සිටියේ මේ ගමට සමීප තැනක වෙන්ටැති?”

“ඔව් උපාසිකාවෙනි, මේ නුදුරේ ම ඇති වන පියසේ තිබෙන පර්වතයේ ගුහාවක තමයි මා වැඩ සිටියේ.”

“ස්වාමීනී, ඔබ වහන්සේ කොහි වඩින ගමන් ද?”

“උපාසිකාවෙනි, මා වස් කාලය එළඹෙන්නට පෙර වස් වැසීමට සුදුසු ස්ථානයක් සොයා වඩින ගමන්.”

“අනේ! සාදු! සාදු!… ඔබ වහන්සේ මේ වස් තුන් මාසයේ මේ වන පියසේ ම වැඩ වාසය කරන සේක්වා! අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් වසන සේක්වා! මටත් පැවිදි වූ දරුවෙක් නැති එකේ… ඔබ වහන්සේ මගේ ම දරුවෙක් වගේ. මේ වස් කාලය පුරා ම මමත්, මගේ දරු දෙදෙනාත් ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්.”

තිස්ස තෙරුන් නිහඬව ම ඇරයුම පිළිගෙන යළි වන පියස වෙත වැඩම කළ සේක. යළිත් වරක් තෙරුන් වහන්සේ වන පියස දෙසට වඩිනා අයුරු දුටු දෙව් දූ,

‘හෑ! මේ භික්ෂුවගේ කිසිවක් අමතක වී වත් ද යළි වඩින්නේ? නෑ… එහෙම වෙන්ට බෑ… උන්වහන්සේ වැඩියාට පසු ගුහාවේ කිසිවක් තිබුණේ නෑ. එකත් එකට ම… දෙතුන් දවසක් වැඩ ඉන්ට හිතෙන්ට ඇති. කමක් නෑ… මේ ටික දවසට අපි විමානෙන් බැහැර වෙලා ඉන්නවා.’ යි සිතා යළිත් විමානය අතහැර පර්වත පාමුලට දරුවන් ද සමඟ පැමිණියා ය.

තිස්ස තෙරුන් වහන්සේ මහත් උත්සාහයෙන් යුතුව ධර්මයේ හැසිරෙමින් සතිපට්ඨාන භාවනා පුරුදු කරමින් එම ගල්ලෙන ඇසුරු කරගෙන ම සුව සේ වැඩ විසුවේ ය. දිනපතා උපාසිකාවගේ නිවසට දානය පිණිස වැඩම කරමින් දහම් කථාවෙන් අනුග්‍රහ ද දැක්වී ය. ඒ උපාසිකාව ද දිනෙන් දින සැදැහැයෙන් වැඩෙන්නී තෙරුන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයට පත් වූවා ය. මෙසේ මාස දෙකක කාලයක් ගත විය.

දැන් පර්වතයේ විසූ දෙව්දුවට විමානය අහිමි වී පොහොය දෙකක් ම ගෙවී ගොසිනි. තෙරුන් වහන්සේ යළි වඩිනා බවක් නම් නො පෙනේ. ඇය තෙරුන්ගේ සීලය කෙබඳු දැයි විමසා බැලුවා ය. ඈ ලොමුඩැහැ ගැන්වී ගියා ය, උතුම් පැවිදි බව ලැබූ දා පටන් උන්වහන්සේගේ සීලයේ අංශුමාත්‍ර පළුද්දක්වත් නැත. සුපිරිසිදු සංඛයක් සේ එය පිවිතුරු ය.

‘මේ තෙරණුවෝ මහා සිල්වතෙක් නෙව. මෙබඳු පිරිසිදු සිල් ඇති උතුමෙකු කෙසේ පන්නා ගන්න ද? කළ යුත්ත මම දනිමි… සීලයේ කුඩා පළුද්දක් උපදවා, ඉන් චෝදනා කළ යුතුයි. එවිට දුසිල්වතෙකුට මාගේ පර්වතයේ විසීමට අවසර නැතැයි පවසා පන්නා දැමිය හැකි ය.’

මෙසේ සිතූ දෙව්දුව තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරන උපාසිකාවගේ වැඩිමහල් පුතණුවන්ගේ කයට ආවේශ වූවා ය. එක්වර ම තම පුතුගේ අතපය ඇඹරී යන සැටිත්, දෑත් කකුළුවෙකුගේ මෙන් නෙරා එන සැටිත්, කෙළ පෙරමින් දඟලන සැටිත් දුටු උපාසිකාවෝ කර කියා ගත දෙයක් නොමැතිව මහ හඬින් වැළපෙන්නට වූවා ය.

එවිට පුතු ආවේශයෙන් කතා කරන්නට විය.

“එම්බල ස්ත්‍රිය,… තීගේ පුතු මරණයෙන් ගලවා ගනු කැමැති වේ ද?”

“හනේ! මාගේ පුතුට කිසි ම කරදරයක් කරන්ට එපා! ඇයි මගේ පුතාට මේ විදියට කරදර කරන්නේ… ඇයි?”

“හා…! උඹට උඹගේ පුතාව ඕනෑ නම් මා කියන විදිහට කරපං… උඹේ කුළුපග භික්ෂුවක් ඉන්නේ… ආන්න… උන්වහන්සේගෙන් වැල්මී ටිකක් ඉල්ලාපං… උන්වහන්සේ අතින් දීපු වැල්මී ටිකකින් තෙලක් සකස් කොරලා මේකාට නස්න කරවාපං…”

“හනේ!.. මං කොහොමද ඒ උත්තමයාණන් වහන්සේගෙන් වැල්මී ඉල්ලන්නේ…”

“එහෙනං ඉතිං මේකා මැරෙනකම් බලාන හිටපං…”

“මාගේ කුසින් උපන් පුත්‍රයා ජීවත් වුණත්… මළත්… පුතෙක් වෙනුවෙන් මට පුළුවන්කමක් නෑ උතුම් සිල් ඇති උන්වහන්සේගෙන් යමක් ඉල්ලන්නට”

මෙසේ දෙව්දුව විසින් තිස්ස තෙරුන් ලවා කරවීමට නොයෙක් වෙදකම් කීවත්, සැදැහැවත් උපාසිකාව ඒ කිසිවකට කැමති වූයේ නැත. අවසානයේ ආවේශය මෙසේ කීවේ ය.

“උඹ මහා මෝඩ ගෑනියෙක්…, පුතාව බේරගන්ට මං දෙනවා තව එක අවස්ථාවක්. අඩු ගණනේ තෙරුන් වහන්සේගේ පා දෝවනය කරපු පැන් ටිකක් මේකාගේ ඇඟට ඉහපං. මං ඉවත් වෙන්නම්…”

“හ්ම්…! මම ඒක නං කරන්නම්, ඒත්… කොහොමද මං තෙරුන් වහන්සේගෙන් මේක අහන්නේ?”

පසුදින උදෑසනින් ම තිස්ස තෙරුන් දානය පිණිස උපාසිකාවගේ නිවස වෙත වැඩම කළේ ය. ඇය වෙනදා මෙන් ම මහත් ගෞරවයෙන් උපස්ථාන දැක්වී ය. දන් පූජා කොට කටයුතු අවසානයේ ඇය තම ලොකු පුතා ව තෙරුන් වහන්සේ ඉදිරියට ගෙන්වා මේ ආවේශය ගැන සියලු තතු තෙරුන් වහන්සේට පවසා “අනේ, ස්වාමීනි, මට සමාවෙලා… ඒ ආවේශය පැවසූ විදියට නුඹ වහන්සේගේ පා සේදූ පැන් මගේ පුතණුවන්ට ඉස්සාට කම් නැති ද?” යැයි අසා සිටියා ය.

තමන් වහන්සේට මාස දෙකක් තිස්සේ උපස්ථාන කරන මේ සැදැහැවත් උපාසිකාව ගැන තිස්ස තෙරුන්ගේ සිතේ මහා අනුකම්පාවක් ඇති විය.

“උපාසිකාවෙනි, මා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්, වෙදකම් දන්නා කෙනෙක් නො වේ… එහෙත් ඒ පැවසූ ක්‍රමයෙන් ඔබේ දරුවා සුවපත් වේ නම් මම එයට විරුද්ධ නො වෙමි.”

ඒ උපාසිකාවෝ තෙරුන් වහන්සේගේ පා දෝවනය කිරීමට පැන් ලබා දී, පා සේදූ පැන් ගෙන පුතුට ඉස්සේ ය. එවිට ම දෙව්දුව ආවේශය අතහැර තෙරුන් වැඩවසන ගුහා දොරට වී තෙරුන් වහන්සේ ආපසු වඩිනා තෙක් බලා සිටියා ය. තිස්ස තෙරුන් ද මනා සිහියෙන් යුතුව තම ගුහාව සමීපයට වැඩම කරද්දී ඒ දෙව්දුව දැක නතර විය. එවිට ම ඒ දෙව්දුව ඉතා සැරපරුෂ ලෙස මෙසේ පැවසුවා ය.

“හා! වෙද උන්නාන්සේ… දැන්ම ම මේ ලෙනෙන් පිටවුණොත් හොඳයි. වෙද්දුන්ට මේකේ ළගින්ට අයිතියක් නෑ.”

“පින්වත් දේවතාවිය… ඔබ කුමක් නිසා මෙසේ පවසයි ද?”

“භික්ෂුව… නුඹ දුස්සීලයි… නුඹට මෙහි සිටීමට පර්වතයට අරක්ගත් දෙව්දුව ලෙස මාගේ අවසරයක් නෑ.”

කිසිදු කලබලයකින් තොරව ම තිස්ස තෙරුන් තමන් වහන්සේගේ සීලය ආවර්ජනය කළේ ය. උන්වහන්සේට එහි කිසිදු දොසක් නො පෙනේ.

“ඇයි පින්වත් දෙව්දුව ඔබ එසේ කියන්නේ?”

“ආ! වැඩිය දුර යන්ට ඕනෑ නෑ භික්ෂුව… දැන් මොහොතකට පෙර නුඹ වෙදකමක් කළා නො වේ ද?”

තිස්ස තෙරුන්ට සියල්ල වැටහිණි. මේ දෙව්දුව අභූතයෙනි මේ චෝදනා කරන්නේ. තමන් වහන්සේගේ සීලය ඉතා ම පිවිතුරු ය. මෙතෙක් කල් සුළු හෝ හානියක් නො වී සීලය රැකගත්තේ සිහිනුවණත්, වීරියත් නිසා ම ය. ඒ සිහිවද්දී උන්වහන්සේට මහත් ප්‍රීතියක් ඇතිවිය. බොහෝ කල් වඩන ලද කුසල් තුළ ම සිත එකඟ විය. උන්වහන්සේ ඒ තුළ ම විදර්ශනාවට සිත යොමු කොට ඉතා සුළු මොහොතකින් සියලු කෙලෙසුන් නසා අරහත්වය සාක්ෂාත් කළ සේක.

ගුහා ද්වාරයේ සිටි දෙව්දුව අමතා තිස්ස මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් යුතුව මෙසේ පැවසූ සේක. “මාගේ බඹසර වාසය ඉතා ම පිවිතුරු ය. නිර්මල ය. මාගේ වීරිය බලවත් ය. එබඳු පිවිතුරු වූවන්ට බොරුවෙන් දොස් නො නගනු. දෙව්දුව, නික්මෙනවා නම් මෙයින් තී නික්මෙනු.”

මේ උතුම් බුදු සසුනේ පහළ වූ සියලු රහතන් වහන්සේලා අරහත්වයට ප්‍රථම පිවිතුරු සංඛයක් මෙන් නො කිලිටි සුදෝ සුදු සීලයක් ආරක්ෂා කළ සේක. මහත් කැපවීමෙන් සිල් ගුණ දියුණු කොට සසරින් එතෙර වැඩි ඒ රහතන් වහන්සේලා ගැන අපි සිත් පහදවා ගනිමු. ඒ රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

(සද්ධර්ම රත්නාවලිය ඇසුරිනි)

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ගෞතම බුදු සසුන බැබළවූ පරම ශ්‍රාවක යුගළ

මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.