highlights of the week
Home » NEW ARTICLES » අත්තම්මා කළ වෙදකම් අමතක ද? අත් බෙහෙතින් ලද සුව ගුණ නො දැනේ ද?

අත්තම්මා කළ වෙදකම් අමතක ද? අත් බෙහෙතින් ලද සුව ගුණ නො දැනේ ද?

රෝ බිය වූ කලී මිනිසුන්ගේ කිසිදු භේදයක්, තරාතිරමක් නො සලකා ඔවුන් වෙත නිරාසයෙන් ම ළඟා වන ධර්මතාවයකි. මෙයින් සකල ලෞකික දියුණුව ද වැනසී යන අතර ධර්මාවබෝධයට සුවසේ පිළිවෙත් පිරීමට ද බාධා පැමිණීම නො වැළැක්විය හැකි ය.

අද සමාජයේ පෞද්ගලික හා රජයේ රෝහල්වල පෙළගැසී සිටින රෝගීන් දෙස බල විට රටේ සියල්ලෝ ම ලෙඞ්ඩුදැයි සැක සිතේ. ඔබ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගෙන් විමසුවහොත් වැළඳී ඇත්තේ සුළු ආබාධයකි. තම නිවසේ දී ම සුළු අත් බෙහෙතකින් සුවකර ගත හැකි ය. එහෙත් අභාග්‍යය නම් සුළු අත් බෙහෙතක් තබා පාවට්ටා ගහක්වත් අපේ ඇත්තන්ට අමතක වීම ය. අපේ පාරම්පරික දැනුම් සම්භාරය ඉවත දමා බටහිර දේ ම හිස් මුදුනේ තබා ගත්තවුන්ට සුළු අසනීපයක් ඉඟුරු කොත්තමල්ලි පානයෙන් සුවකර ගත හැකිව තිබිය දී වෛද්‍ය විශේෂඥ සේවය ලබා ගැනීම නම් මනාව හුරු පුරුදු ය.

අත් බෙහෙතේ යටගියාව

ගෘහ ඖෂධ හෙවත් අත් බෙහෙත් අවශ්‍ය වන්නේ රෝග තත්ත්වයන් මතුවන විට එය මර්ධනය කිරීමට හා රෝග වළක්වා ගැනීමට ය. යම් රෝගී අවස්ථාවක දී මුලින් ම එවැනි ප්‍රතිකාර සිදු කළහොත් රෝගය අසාධ්‍ය තත්ත්වයට පත් වීම වළක්වා ගත හැකි සේ ම සමහර අවස්ථාවල දී සම්පූර්ණයෙන් ම රෝගය සුවකර ගත හැකි ය. සිංහලයන්ගේ අති විශිෂ්ට ඤාණ සම්භාරයේ එක් අංගයක් වූ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ ගෘහ ඖෂධ ප්‍රතිකාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඈත අතීතයේ පටන් පාරම්පරිකව පැවත එන මෙකී දැනුම් සම්භාරය බොහෝ විට පැවතියේ මුඛ පරම්පරාගතවයි. සමහර වෙද පරම්පරා සතුව අත් පිටපත්, පුස්කොළ සහ රන්, තඹ පත් ඉරුවල පවා සටහන් වී ඇති අත්දුටු අත් බෙහෙත් බොහෝමයක් පවතී. දැනට මුද්‍රණයෙන් පවා පළ වී ඇති ඒ ඒ වෙද පරම්පරාවන්ට උරුම වූ දේශීය අත් බෙහෙත් සඳහන් ග්‍රන්ථ කීපයක් ම පවතී. ඒ අතර ගෘහ ඖෂධ චින්තාමණී, නැඳුන්ගමුවේ අත්වෙද පොත, කරඹගලේ අත්වෙද පොත, ඉත්තෑගලේ අත්වෙද පොත, ගෘහ ඖෂධ මාලාව, ගෘහ ඖෂධ ශතකය, රජගෙයි අත්වෙද පොත, වීර කැප්පෙට්ටිපොළ නිලමේගේ අත්වෙද පොත වැනි ග්‍රන්ථ ප්‍රධාන තැනක් ගනී. එහෙත් මෙකී ග්‍රන්ථ සොයා ගැනීම අද ඉතා දුෂ්කර ය. වගකිව යුතු නිලධාරීන් මෙවැනි ඉපැරණි අත් වෙදපොත් මුද්‍රණය කිරීමට කටයුතු කරන්නේ නම් අපේ දේශීය ඤාණය සුරැකීමට එය ඉතා වැදගත් පියවරක් වන්නේ ය.

වෙද පරම්පරාවකට උරුමකම් නො කීවත් අපේ පැරණි වැඩිහිටියන්ට අත් බෙහෙත් ගැන තිබූ දැනුම ඉතා විශිෂ්ට ය. එයට හොඳ ම නිදසුනක් 1681 දී පළ වූ රොබට් නොක්ස් නම් විදේශිකයා විසින් ලියන ලද ‘එදා හෙළදිව’ නම් ග්‍රන්ථයෙන් හමුවේ.

“රටේ හැමෝම වෙද්දු වෙති. කැපුම්, කෙටුම්, කැඩුම්, බිඳුම්, පෑස්සුම් ගැන ද සිංහල කොයි කාටත් සාමාන්‍ය දැනුමක් හා පළපුරුද්දක් තිබේ.”

එකී ග්‍රන්ථයේ සඳහන් වන පරිදි තමාට එක් අවස්ථාවක ඇසෙහි කටුවක් ඇණීම නිසා ඇතිවූ දරුණු ආබාධයක දී ගැමියෙක් විසින් කරන ලද සුළු අත් බෙහෙතකින් සුවය ලද ආකාරය ඔහු පවසන්නේ විස්මයජනක ලෙසිනි.

එලෙස පරම්පරා ගණනක් පුරාවට ප්‍රත්‍යක්‍ෂ බව තහවුරු කරමින් සිංහල ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාර වූ දේශීය අත්බෙහෙත් භාවිතය අද වන විට ක්‍රම ක්‍රමයෙන් අප සමාජයෙන් ගිලිහී යාමට පටන්ගෙන තිබේ. අද අප අත්දකින වාණිජකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් ක්‍ෂණික ප්‍රතිකාර තුළින් ක්‍ෂණික ප්‍රතිඵල සොයන්නට හුරු පුරුදු වී තිබේ. එහි අවසාන ප්‍රතිඵලය නම් එක් ලෙඩකට බෙහෙත් බී ලෙඩ කීපයක් සාදා ගැනීමයි.

අපේ පැරණි මුතුන් මිත්තන් තුළ පාරම්පරික ඤාණය කෙරෙහි ඇති විශ්වාසය කොතෙක් ද කිවහොත් මව්කුසෙන් බිහිවූ සිඟිති දරුවන්ට පවා ඔවුන් මුලින් ම ලබාදුන් ‘රත කල්කය’ (දෙසඳුන් කල්කය) දිව ඔසුවක් බව දැන සිටියහ. කුඩා ළදරුවන්නේ ශරීරයේ සියලු ම ඉන්ද්‍රියයන් වර්ධනයට හා පෝෂණයට උපකාරී වූ එවැනි ප්‍රතිකාර ප්‍රතිශක්තිකරණය අතින් ළදරුවාට ලබා දුන්නේ මහත් ආරක්ෂාවකි. එහෙත් නූතන මව්වරුන් රත කල්කය තබා නම වත් අසා ඇත්දැයි අපි නො දනිමු. පරම්පරා ගණනක් පුරාවට සිංහල දරු පරම්පරාවේ නිරෝගී භාවයට හේතු වූ එවැනි ප්‍රතිකාර විධි අද අපට තහනම් ය. එලෙස ළදරු තොටිල්ලේ සිට ම ගෘහ ඖෂධ ප්‍රතිකාර තුළින් යෝධ ශක්තිය සහිත කායික මානසික නිරෝගී භාවයෙන් පිරිපුන් සිංහල ජාතියක් එදා බිහිවීමට එවැනි දේශීය ප්‍රතිකාර ක්‍රම උපයෝගී නො වූයේ යැයි කාට නම් කිව හැකි ද?

උණ ද? සෙම්ප්‍රතිශ්‍යාව ද? ඉඟුරු කොත්තමල්ලි බෙහෙත අමතක ද?

එදා අපේ පැරැන්නන් උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුන කල නූතනයේ මෙන් පෙතිකරල් අහුරු පිටින් ගිල දමමින් ලෙඩ ගොඩ කර ගත්තේ නැත. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට තැම්බුම ඕනෑම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණක් සුවකිරීමට දිව ඔසුවකි. වියළි ඉඟුරු මඟින් දූෂිත සෙම පැසවීමත්, ආමාශගත ආමය ද පැසවා රෝගකාරක හේතුව මර්ධනය වීමත් සිදුකරයි. කොත්තමල්ලි මුත්‍රකාරක, විරේචන හා ස්වේදකාරක ඔසුවකි. එම නිසා අපද්‍රව්‍ය හෙවත් මළ මුත්‍රා හා දහදිය බැහැර කිරීමට ආධාරක වන අතර උණ වේගය ද ක්‍රමයෙන් බැස යයි. වෙනිවැල් ගැට ද මීට එක් කිරීමෙන් ඇඟපත වේදනා අඩුකර මුත්‍රකාරක විෂ හර ගුණ නිසා හොඳින් අපද්‍රව්‍ය බැහැර කරලමින් රක්ත ශෝදකය ද (ලෙය පිරිසිදු කිරීම) සිදු කරනු ලබයි. එසේ ම හිසරදය, හිසේ බර ගතිය වැනි අපහසුතා තිබේ නම් පැරැන්නන් සිදු කළේ ඉහත ප්‍රතිකාරය කරන අතරතුර පාවට්ටා කොළ, නික කොළ, බෙලි කොළ, යකිනාරං කොළ, කොත්තමල්ලි වැනි ඖෂධ හොඳින් තම්බා වාෂ්පය ඇල්ලීමයි. මේ වාශ්පශ්වේද ප්‍රතිකාරය හේතු කොටගෙන දූෂිත සෙමෙන් අවහිරව තිබූ ස්‍රෝතස් (ශරීරයේ විවිධ ශ්‍රාව ගලන මාර්ග) විවෘත වී දහදිය සමඟ දූෂිත සෙම් කොටස් බැහැර වී රෝගියාට ඇතිවන අපහසුව දුරු කරන බව නම් දහස්වර අත්දුටුවකි.

සෙම් ගෙඩි ද? උගුර වේදනාව ද? සෙම පැටලෙනවා ද? සෙම අරින බෙහෙත දන්නේ නැද්ද?

සෙම්ප්‍රතිශ්‍යාව උණත් සමඟ ඇතිවන අපහසුතාවයකි. සෙම් ගෙඩි ප්‍රදාහවත් වීම, එවිට උගුරේ වේදනාව, ගිලීමේ අපහසුව, කන් කැක්කුම, උගුරේ සෙම පැටලීම වැනි ආබාධ ඇතිවෙයි. මෙවැනි අවස්ථාවල දී පැරැන්නන් මූලිකව සිදු කළේ ලුණු දිය මිශ්‍ර උණු දියෙන් කට සේදීම යි. පසුව පැරණි සෑම නිවසක ම පාහේ තිබුණ සර්වවිෂාදී, කෝලශෙලේස්මා, බටු වැනි තෙලක් ගෙන උගුරේ ආලේප කර සෙම ඇරීම කරන ලදී. සර්වවිෂාදී වැනි තෙලක් ගම්මිරිස් කොළයක ගල්වා රත් කර උගුර දෙපස තැවීම ද අගනා ප්‍රතිකාරයක් බව ඔවුන් දැන සිටියහ. එසේ ම ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සුදුළුණු, මුරුංගා පොතු, කළුදුරු හා ලුණු සම ව ගෙන ඇඹුල් fදාඩම් ඉස්මෙන් අඹරා කුඩා පොට්ටනියක් බැඳ විටෙන් විට හපමින් සෙම ඇරීමට දීම ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරයක් බව ඉඳුරා ම පැවසිය හැකි ය. එවැනි ප්‍රතිකාර මූලිකව ම සිදු කිරීමට ඤාණයක් වර්තමානයේ ඇත්තෙන්ම නොමැති නිසා රෝගය උග්‍ර වී සැත්කම් දක්වා ගොස් නැති ලෙඩ ඇතිකර ගනී.
කය ම ලෙඩ වන උදරාබාධ නසන ඔසුවකි කායම් හොද්ද.

උදරාබාධ යනු අප අතර ප්‍රචලිත රෝග තත්ත්වයකි. ආහාර හරි හැටි නොදිරවීම හේතු කොටගෙන ඇතිවෙන ආම දෝෂයක් නිසා ශරීරයේ අනේක ප්‍රකාර රෝගාබාධයන්ට මුල පුරයි. අජීර්ණ, බඩරුජා, මන්දාග්නිය (බඩගිනි අඩුකම), බඩ වාතයෙන් පුරවා දැමීම, මල බද්ධය හෝ නිතර වැසිකිළියට යාම වැනි ආබාධවල දී නො වරදින ප්‍රතිකාරයකි කායම් හොද්ද. පරම්පරා ගණනාවක් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් කායම් හොද්ද පැරැන්නෝ සාදාගන්නේ මෙසේ ය. සුදුළුෑනු, ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සියඹලා, ගොරක, කරපිංචා, කුරුඳු පොතු සහ මුරුංගා පොතු අවශ්‍ය ප්‍රමාණයට ගෙන ගලේ දමා අඹරා කායම් හොද්ද සකසා ගනී. පදමට සාදාගත් කායම් හොද්ද රෝගී නිරෝගී කාටත් මහඟු ගුණදායක ඖෂධයකි.

විශේෂයෙන් ම මෙකී කායම් හොද්දේ ප්‍රතිකාරය ගම්බද පැරණි මව්වරුන් ලබා දුන්නේ දරුවන් බිහිකරන ලද සූතිකා මව්වරුන් සඳහා ය. එම නිසා සූතිකා මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන අනේකප්‍රකාර ව්‍යාධීන් හිරු දුටු පිණි මෙන් සුව වූ බව අත්දැකීමෙන් ම දනිමි. වර්තමානයේ අලුත් තාලයට හැදෙන අම්මලා කායම් හොද්ද සැකසීම කෙසේ වෙතත් බටහිර සංකර කෑම වට්ටෝරුව සැකසීමට නම් හොඳාකාරව ම දනී. මෙකී ඖෂධ කායමේ එක් එක් ඖෂධයන්ගේ ද්‍රව්‍ය ගුණ විග්‍රහ කොට බැලුවහොත් එහි අන්තර්ගත රෝග නිවාරක ශක්තිය ගැන වෙනම ම ග්‍රන්ථයක් සම්පාදනය කළ හැකි ය. පැරණි වැඩිහිටියන් වෛද්‍යවරුන් නො වූවත් සෞඛ්‍ය සංරක්ෂණයට ඔවුන්ගේ තිබූ දැනුම විස්මිත ය. දිව ඔසුවක් බඳු මෙකී කායම් හොද්ද වර්තමානයේ සූතිකා මව්වරුන්ට බටහිර ක්‍රමයට තහනම් වූවත් පරම්පරා ගණනක් පුරාවට හෙළ අම්මාවරුන්ට කිසිම ව්‍යාධියකින් තොරව නිරෝගී දරුවන් දහ පහලොස් දෙනෙක් දැයට දායාද කරන්නට මෙවැනි විස්මිත ගෘහ ඖෂධ ප්‍රතිකාර විධි උපයෝගී නො වූයේ දැයි මඳක් සිතා බැලීම වටී.

බටහිරට ගැති නො වෙමු. හෙළ දැනුම සුරකිමු.

නොයෙක් ආබාධයන් සඳහා ගැළපෙන බොහෝ ප්‍රතිකාර විධි සාම්ප්‍රදායික දැනුම තුළ අන්තර්ගතව ඇත. ඒ ඒ පළාත්වලට හා නොයෙකුත් වෙද පරම්පරාවලට ආවේණික වූ අත් බෙහෙත් බොහෝමයක් පවතී. එදා අපේ මුතුන් මිත්තන් සතුව තිබූ මෙකී ඤාණ සම්භාරය අද වන විට එන්න එන්න ම පිරිහෙමින් පවතී. බටහිර මානසිකත්වය කරපින්නා ගත් බොහෝ දෙනෙක් සුළු ආබාධයක දී පවා අධික වියදමකින් යුතු ඖෂධ භාවිත කොට එහි අවසාන ප්‍රතිඵලය ලෙස අතුරු ආබාධ ගොන්නක පැටලී සිටිති.

වහල් මානසිකත්වයෙන් අත්මිදී අපේ සාම්ප්‍රදායික දැනුම සංරක්ෂණයට කටයුතු කළ යුතු ය. වැඩිහිටියන් දන්නා ඖෂධ පැළෑටි හා ඒවායින් සිදුකරන අත්බෙහෙත් පිළිබඳ ව දුවා දරුවන්ට ඉගැන්විය යුතු ය. අපේ පැරැන්නන් සතු දැනුම් සම්භාරය ඔවුන් සමඟ ම මියැදීමට තබා බලා සිටීම ජාතික අපරාධයකි. එම නිසා එකී දේශීය දැනුම් සම්භාරය අනාගත පරපුරට දායාද කළ යුතු වෙමු. එය වැඩිහිටියන්ගේ යුතුකමක් සේ ම වගකීමක් ද වන්නේ ය.

‘බටහිර දේ ම ලැග ගත්
සෝදා හරිනු පර සිත්
සිහල වෙද පිළිවෙත්
රැක ගනිමු අත් බෙහෙත්’

සටහන – පුලස්ති අධිකාරි

Leave a Reply

Your email address will not be published.

x

Check Also

පිළිවෙත් සරු සඟරුවන

බුදු සසුනක් ලෝකයේ පවතින යුගයක පමණක් දක්නට ලැබෙන අරහත් ධජය වන කසාවත පොරොවා ගත් ඒ ශ්‍රාවකයෝ දෙව්ලොව ද බඹලොව ද දක්නට නො ලැබෙති. මේ මිනිස් පියසෙහි ම පමණක් ඒ උතුම් ශ්‍රාවකයෝ බිහි වෙති.