highlights of the week
Home » NEW ARTICLES » ඔබත් ඔබ අතින් සිදු වූ වැරදිවලට පසුතැවෙමින් සිටින කෙනෙක් ද? එසේ නම් මෙන්න එයට විසඳුම

ඔබත් ඔබ අතින් සිදු වූ වැරදිවලට පසුතැවෙමින් සිටින කෙනෙක් ද? එසේ නම් මෙන්න එයට විසඳුම

ත දවටන වස්ත්‍ර හල ඔහු ඒ වෙනුවෙන් තම ගතෙහි දුහුවිලි තවරා ගත්තේ ය. මසකට වරක්, එක් වේලක් ආහාර බිංදුවක් දිව මත තබා බත් අනුභව කොට ඒ වෙනුවට කුස පුරා වියළි අසූචි අනුභව කළේ ය. වැවෙන කෙස්, රැවුල් කපා දමනවා වෙනුවට ඒවා තම අතින් ම උදුරා දැම්මේ ය. වාඩිවන, නිදන සුව පහසු ආසන අතහැර තනි කකුලෙන් ඔහු සිටගෙන සිටියේ ය. ගේ දොර අතහැර හිස් අවකාශයේ කර්කශ සීතලට, උණුසුමට, අව් වැසි සුළං රුදුරු මැසි මදුරු පහසට තම නිරුවත් කය විවර කළේ ය. ඥාතීන්, හිත මිතුරන්, ප්‍රිය සම්භාෂණ, ප්‍රිය තෙපුල් කිසි දිනෙක කිසි විටෙක ඔහු හා එක් නො වී ය. මෙසේ මුළු ජීවිත කාලය ම අනේක දුක් විඳිමින් ඔහු මේ ගෙවා දමන්නේ ඔහුගේ උපතින් 55 වන වසර ය.

සම්මා සම්බුදු සසුනක නිකෙලෙස් මහා මුනිවරයෙකු වීමට පින් ඇති ජම්බුක තෙමේ සම්බුදු සසුන මුණගැසීමට පෙර ඔහු ගෙවූ ජීවිත අඳුර ය ඒ. අතීතයේ ඔහු විසින් ම සිදු කළ පවිටු කර්ම විපාකයන් ගෙවමින්, කෙලෙස් සැඩ පහරේ ගිලෙමින්, අපායගාමී පව් කරමින් සිටි ජම්බුකට ද ඒ අසිරිමත් සම්බුදු සසුන මුණගැසුනේ ය.

මහා පිනැතියන් අතලොස්සක් හැරෙන්නට බොහෝ දෙනාට බුදු සසුන මුණගැසෙන විට තමා මෙතෙක් ගත කළ ජීවිතයේ පවිටු අඳුරු පසුබිම් කථාවක් තිබුණේ ය. ඒ අඳුරු සෙවණැලි විටින් විට ඔවුන්වත් පීඩාවට පත් කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කල ද බොහෝ අයට එය සාධාරණ ය. ඔවුන් සොරුන්, මිනීමරුවන්, පාපී මිථ්‍යා දෘෂ්ටිකයන්, වෙසඟනන්, දූෂකයන් ආදි විෂම ගති පැවතුම් ඇතිව ජීවත් වූහ. ඒ පිනැති මිනිසුන්ගේ ජීවිත ඒ අඳුරේ ම ගිලී නො ගියෝ ය. සම්බුදු සසුන මුණගැසී ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ශ්‍රාවකත්වයට පැමිණිය පසු කළ සියලු පව් සෝදා ඇතුළත පිටත පිරිසිදු සුදෝ සුදු සක් ගෙඩියක් සේ පරම පාරිශුද්ධ ජීවිතයකට උරුමකම් කියන්නට ඔවුන් වාසනාව ලද්දෝ ය. ඒ අසිරිය සිදුවූයේ අනෙකක් නිසා නොව සසරේ රැස්කළ සියලු පව් සෝදා හරින්නට සමත් ගුණයක් ඒ ශ්‍රී සද්ධර්මය තුළ ගැබ් වී තිබුණ නිසා ය. කර්ම, කර්ම විපාක, කෙලෙස්, ආශ්‍රව, උපක්ලේශ, වැරදි සසර පුරුදු, වංක ගති, පාපී දෘෂ්ටීන් ආදී හැම පාපයක් ම සෝදා හැර අද්විතීය ජීවිතයක් ලබා දීමට සමත් ධර්මයක් ඒ බුදුරජාණෝ දෙසා වදාළ සේක් ම ය.

අද දවසේ ද අප අතර බුදු සසුන මුණගැසීමට පෙර කළ වැරදි ඇති අය දුලබ නැත. අප කා අතිනුත් එවැනි පාපී අකුසලයන් සිදු වී ඇති බව තම තමාටත්, දෙවියන්ටත් නොරහසකි. අප ඒ අඳුරු මතකය සිහි කිරීමට පවා අකමැති ය. ඇතැමුන් ඒ පිළිබඳ ව මුළු ජීවිත කාලය පුරාවට ම පසුතැවෙමින් සිටිනවා අප දැක ඇත.

මහා කාරුණික බුදුරජාණෝ එවැනි අයට ඒ සියලු පව්වලින් මේ ජීවිතයේ දී ම නිදහස් වීමට හැකි ආකාරය ගැන වදාළ දේශනා අපට පෙළ දහම තුළ කොතෙකුත් මුණගැසේ. එවැනි සුන්දර දෙසුමක් අපට සංයුත්ත නිකායේ සළායතන සංයුත්තයේ මුණගැසේ. මේ දේශනාවේ නම සංඛධම සූත්‍රයයි. මේ දේශනාව ඉගෙන ගන්නා විට අපට පැහැදිලි වන එක් කරුණක් නම් පව් සෝදා හැරීම වනාහී හුදු යාදිනියක් ම පමණක් නොව ප්‍රතිපදාවක් තුළ ගුණධර්මයන් දියුණු කිරීම තුළ ම සිදුවන සම්මා පරිවර්තනයක් බව ය.

මේ දේශනය කරන කාලයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ පාවාරික අඹ වනයෙහි ය. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්ධක ගාමිණීටයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් ගාමිණී, මෙහිලා ලෝකයෙහි අරහත් වූ, සම්මා සම්බුදු වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වෙනවා. උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහනවා. බලවත් ව ගරහනවා. සතුන් මැරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් සොරකම් කිරීම ගරහනවා. බලවත් ව ගරහනවා. සොරකම් කිරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් කාමයේ වරදවා හැසිරීම ගරහනවා. බලවත් ව ගරහනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් බොරු කීම ගැන ගරහනවා. බලවත් ව ගරහනවා. බොරු කීමෙන් වළකින්න කියලා කියනවා.”

ශ්‍රාවකයා කළ වරදින් නැගී සිටින පළමු පියවර

“එතකොට පින්වත් ගාමිණී, ශ්‍රාවකයෙක් ඒ ශාස්තෘවරයා කෙරෙහි අතිශයින් ම පැහැදීමෙන් යුතු වෙනවා. එතකොට ඔහු නුවණින් කල්පනා කරනවා. ‘භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහන සේක. බලවත් ව ගරහන සේක. සතුන් මැරීමෙන් වළකින්න යැයි වදාරන සේක. මා විසිනුත් සතුන් මැරීම යම් තාක් ඇත්නම් ඒ තාක් කෙරිලා තියෙනවා. මා විසින් යම්තාක් සතුන් මරා ඇද්ද ඒ යහපත් දෙයක් නො වේ, හොඳ දෙයක් නො වේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නො කළා වෙන්නේ නෑ.’ ඒ විදියට ඔහු නුවණින් විමසලා ඒ සතුන් මැරීම අත් හරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාපකර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඉක්මවා යනවා.

‘භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සොරකම් කිරීම ගැන ගරහන සේක… කාමයේ වරදවා හැසිරීම ගැන ගරහන සේක. බොරු කීම ගැන ගරහන සේක. බලවත් ව ගරහන සේක. බොරු කීමෙන් වළකින්න යැයි වදාරන සේක. මා විසිනුත් බොරු කීම් යම්තාක් ඇත්නම් ඒ තාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් බොරු කියා ඇද්ද, ඒ යහපත් දෙයක් නො වේ. හොඳ දෙයක් නො වේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නො කළා වෙන්නේ නෑ.’ මේ විදියට ඔහු නුවණින් විමසලා ඒ බොරු කීම අත්හරිනවා. ඉදිරියටත් බොරුකීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.”

ශ්‍රාවකයා තව දුරටත් පිරිසිදු භාවය කරා

“ඔහු සතුන් මැරීම අත්හැරලා, සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකම් කිරීම අතහැරලා සොරකම් කිරීමෙන් වැළකී ඉන්නවා. කාමයේ වරදවා හැසිරීම අතහැරලා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකී ඉන්නවා. බොරු කීම අතහැරලා බොරු කීමෙන් වැළකී ඉන්නවා. කේළාම් කීම අතහැරලා කේළාම් කීමෙන් වැළකී ඉන්නවා. පරුෂ වචන කීම අතහැරලා පරුෂ වචන කීමෙන් වැළකී ඉන්නවා. විෂම ලෝභය අතහැරලා විෂම ලෝභයෙන් වැළකී ඉන්නවා. කෝප සිත් පහළ කිරීම අතහැරලා කෝප සිත් පහළ කිරීමෙන් තොර සිතින් ඉන්නවා. මිසදිටුව අතහැරලා සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා.”

අප්‍රමාණ සිතෙහි නො තැවරෙන අකුසල්

“පින්වත් ගාමිණී, ඒ ආර්ය ශ්‍රාවකයා විෂම ලෝභයෙන් තොරව, කෝප සිතින් තොරව, සිහිමුළා නො වී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව මෛත්‍රී සහගත සිතින් යුතුව එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි දිශාවත්, ඒ වගේ ම තුන්වෙනි දිශාවත්, ඒ වගේ ම හතරවෙනි දිශාවත්, ඒ වගේ ම උඩ, යට හා හරහටත් සෑම තැනක ම සෑම සත්වයන් කෙරෙහි ම සකල ලෝකයට මෛත්‍රී සහගත සිතින් විපුල වූ, මහත් බවට පත්වූ, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, දුක් නැති සිතින් මෙත් සිත පතුරුවා වාසය කරනවා.

පින්වත් ගාමිණී, බලවත් සක් පිඹින්නෙක් ඉතා පහසුවෙන් ම හතර දිශාවට සක් පිඹින්නේ යම් ආකාරයකින් ද, ඒ අයුරින් ම පින්වත් ගාමිණී, මෙලෙසින් වඩන ලද, බහුල වශයෙන් කරන ලද, මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතිව නැති වෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතිව යනවා.

මෙලෙසින් ම සියලු දිශාවල සියලු සත්වයන් වෙත කරුණා සිත, මුදිතා සිත, උපේක්ෂා සිත බහුල වශයෙන් වැඩීම නිසාත් යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතිව නැතිවෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතිව යනවා.” කියා භාග්‍යවතුන් වහන්සේ එම දේශනය අවසන් කළ සේක.

පාපී ක්‍රියා අප අතින් සිදුවන්නේ එක් වරක් වන්නට පුළුවන. නැති නම් වාර කිහිපයක් වන්නට පුළුවන. නමුත් එහි විපාකය එක් වරකින්, වාර කිහිපයකින් ගෙවා අවසන් කළ නො හැක. ආත්මභාව සිය දහස් ගණන් දුක් විපාක දෙමින් තමා පිටුපසින් විපාකය පැමිණෙන්නට පුළුවන. ඒ වන විට ජීවමාන බුදු සසුනක් ලෝකයේ නො තිබුණහොත් ඒ කර්ම විපාකයේ ම දාසයෙක් වී ආයෙ ආයෙමත් අනේක දුක් විඳීමට සිදුවනු ඇත. කුරුලු වැද්දාගේ දැලට හසුවන කුරුල්ලන්ට සේ ඔවුනට සුගති ගමන මඟ හැරී යනු ඇත.

ඒ නිසා මේ ලැබුණ උතුම් මොහොතේ සර්වප්‍රකාරයෙන් ම සුන්දර බුදු සසුනේ අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරන්නට මහන්සි ගතහොත් දුගඳ පිරුණු මඩ වගුරෙන් උඩට නැගී පිපී සුවඳ හමන සුදෝ සුදු නෙළුමක් සේ සිදුවුණු සියලු පව් නිරුද්ධ කිරීමට වාසනාව උදා වනු ඇත. ඒ වාසනාව ලද ජම්බුක මහරහතන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“උතුම් තිසරණය වෙත මගේ පැමිණීම ගැන බලන්න. ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.”

ඇසුර – සංඛධම සූත්‍රය හා ජම්බුක තෙරුන්ගේ ථේර ගාථා

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)

One comment

  1. සාධු! සාධු!! සාධු!!!

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආරක්ෂිත ස්ථානය

"මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය."