ගෞතම බුදු සසුන ශෝභමාන කළ පරම වූ අග්‍ර ශ්‍රාවක යුගළ වනාහී ශ්‍රාවක සංඝරත්නයේ මුදුන්මල්කඩ යි. එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ වන ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ය, වාම ශ්‍රාවකයන් වහන්සේ වන ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ය.

මෙයින් ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හී පරතෙරට පැමිණි “අනෝමදස්සී” සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සාරද සහ සිරිවඞ්ඪ යන නමින් යුතු මිතුරන් දෙදෙනෙකුව සිටියදී මහා දන් පවත්වා මතු බුදුවන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීමට අනෝමදස්සී බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවෝ ය.

එසේ නියත විවරණ ලබා ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමීදම් පුරමින් පැමිණ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයේ මනුලොවට පැමිණියහ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල නම වූයේ ‘උපතිස්ස’ ය. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ නම ‘කෝලිත’ විය. මේ දෙදෙනා ම ඉපිද සිටියේ බ්‍රාහ්මණ මහාසාර කුලයකයි. උපතිස්ස, කෝලිත දෙදෙනා කුඩා කල පටන් ම ඉතා ම හොඳ මිතුරෝ වූහ. උපතිස්ස කෝලිත යහළුවන් දෙදෙනා ඉතාමත්ම ප්‍රඥාවන්ත ය. ඉතා හොඳින් සිප්සතර හදාරා වේදයෙහි කෙළවර පැමිණියහ.

උපතිස්ස, කෝලිත දෙදෙනා ගිහිගෙදර අත්හැරීමට තීරණය කළේ රජගහනුවර ‘ගිරග්ග සමජ්ජ’ නමැති සැණකෙළිය නැරඹීමට ගිය මොහොතේ ය. එහි දී මොවුන් දෙදෙනා ජීවිතයේ ඇති නිස්සාර බව හොඳින් වටහාගෙන විමුක්තියක් සොයා පිටත්ව ගියහ. උපතිස්ස, කෝලිත යහළුවන් දෙදෙනා ද ඔවුන්ගේ පන්සියයක් පමණ යහළුවන් ද සංජය පරිබ්‍රාජක ළඟට ගොස් පැවිදි වූහ.

සංජය පිරිවැජියා ළඟ සිටීමෙන් විමුක්තියක් සොයාගැනීමට නො හැකි බව දැනගත් උපතිස්ස, කෝලිත දෙදෙනා විමුක්ති මඟ සොයා යන අතරේ උපතිස්සයන් හට අස්සජී මහරහතන් වහන්සේ හමු විය. උන්වහන්සේ “යේ ධම්මා හේතුප්පභවා” යන ගාථාව දේශනා කළ කල්හී එහි පළමු පද දෙක ඇසීමෙන් ම උපතිස්ස තෙමේ සෝතාපන්න විය. හෙතෙමේ තම මිතුරා වන කෝලිත හට මෙම ගාථාව ප්‍රකාශ කරන කල්හී පද හතර ශ්‍රවණය කිරීමෙන් කෝලිත තෙමේ ද සෝතාපන්න විය. උපතිස්ස කෝලිත තම මිතුරන් ද සමඟ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ ඒහිභික්ෂු පැවිදි බව ලදහ. උපතිස්ස තෙමේ ගෞතම බුද්ධ ශාසනයේ සාරිපුත්ත නමින් ප්‍රචලිත විය. කෝලිත තෙමේ මහා මොග්ගල්ලාන නමින් ප්‍රචලිත විය. ගෞතම බුදුරජුන්ගේ දකුණත් ශ්‍රාවක වූයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. වමත් ශ්‍රාවක වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා ඉදිරියේ දී සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලාට අග තනතුරු පිරිනමන ලද්දේ මේ අයුරිනි. “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තෝ” මහණෙනි, මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර සාරිපුත්තයන් ම අග්‍ර වන්නේය. “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ” මහණෙනි, මාගේ ශ්‍රාවක වූ ඉර්ධිමත් භික්ෂූන් අතර මහා මොග්ගල්ලානයන් ම අග්‍ර වන්නේය යනුවෙනි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් පරමාදර්ශය ලෙසට, මිනුම් දණ්ඩ ලෙස තබාගත යුත්තේ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා බව වදාළ සේක. “ මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් මැනැවින් අයදිනවා නම්, මේ සාරිපුත්ත, මොග්ගල්ලාන යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් හට මිනුම් දණ්ඩ වන්නේ ද, පරමාදර්ශය වන්නේ ද, මේ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම යි.

බුදුරජාණන් වහන්සේ සච්ච විභංග සූත්‍රයේදී මෙසේ වදාළ සේක. “සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්‍රහ්මචාරීනං” පින්වත් මහණෙනි සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඇසුරු කළ යුත්තේ ය. සාරිපුත්ත හා මොග්ගල්ලානයන් භජනය කළ යුත්තේ ය, ඔවුහු නුවණැත්තෝ ය, සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ දක්වන්නෝ ය.

“සෙය්‍යථාපි භික්ඛවේ ජනෙත්ති ඒවං සාරිපුත්තෝ පින්වත් මහණෙනි දරුවන් වදන්නා වූ මෑණියන් යම් සේ ද සාරිපුත්තයන් ද ඒ ආකාර ම ය. සෙය්‍යථාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ උපන්නා වූ දරුවා පෝෂණය කරන තැනැත්තා යම් සේ ද මොග්ගල්ලානයන් ඒ ආකාර ම ය. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපත්ති ඵලේ විනේති පින්වත් මහණෙනි සාරිපුත්තයන් සෝවාන් ඵලය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයන් හික්මවන්නේ ය. මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති මොග්ගල්ලානයන් ඉහළ මාර්ගඵලයන් අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයන් හික්මවන්නේ ය.”

සම්බුදු මුව මඬලින් මෙවැනි ආකාරයේ ප්‍රසංශාවන්ට බඳුන් වූ ඒ පරම වූ අග්‍රශාවක යුගළ පිළිබඳ සිහිකරන වාරයක් පාසා අප හට එය බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය.

මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රඥාවෙන් දෙවැනි වූයේ බුදුරජාණන් වහන්සේට පමණි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ අයුරින් ම පවත්වන ලද්දේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය.

දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන් සඳ පායා ඇති රාත්‍රියක කෙස් රැවුල් බා එළිමහනට වී එක්තරා සමවතකට සමවැදී සිටියහ. පවිටු යක්ෂයෙක් ඉතා වේගයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට පහරක් ගැසී ය. එවිට ඒ පවිටු යක්ෂයා එතැනම චුත වී මහා නිරයට ඇදගෙන වැටුණේ ය. ඒ යක්ෂයා සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහර දෙන විට, මහා මොග්ගල්ලානයන් වහන්සේ දිවැසින් එම සිදුවීම දැක වහා සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණ සුවදුක් විමසුවේ ය. එවිට සාරිපුත්තයන් වහන්සේ පැවසුවේ කිසිදු අපහසුවක් නොමැති බවත් යාන්තමට හිසේ කැක්කුමක් තිබෙන බවත් ය. ඒ අසා විස්මයට පත් වූ මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙසේ පැවසුවේ ය.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද, කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයයි! අද්භූතයි! දැන් එක්තරා යකෙක් ඔබවහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවැනි පහරකින් විශාල ඇතෙක්ව බිම දමන්නට වුනත් පුළුවනි. මහා පර්වතයක් පලා දමන්න වුනත් පුළුවනි. නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. මට දරාගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා’ කියලා.”

එවිට සාරිපුත්තයන් වහන්සේ මෙසේ පැවසූ සේක. “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද, කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයි! අද්භූතයි! මෙතැන හිටපු යකෙක්වත් දැක්කා. නමුත් අපි නම් දැන් මෙතැන පාංශු පිශාචයෙක්වත් දැක්කේ නෑ.”

දේවදත්ත සංඝයා භේද කොට අලුත මහණ වූ භික්ෂූන් වහන්සේලා පන්සීයක් තමාගේ මතයට හරවාගෙන ඔවුන් ද සමගින් ගයා ශීර්ෂය බලා පිටත්ව ගියේ ය. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ඒ භික්ෂූන් වහන්සේලාට පිහිට වීමේ බලාපොරොත්තුවෙන් ගයා ශීර්ෂයට වැඩම කොට ඒ නවක භික්ෂූන් වහන්සේලා පන්සියනමට ධර්මය දේශනා කරන ලදී. එහි දී පන්සියනමක් වූ නවක භික්ෂූන් වහන්සේලා සියලු ම දෙනා සෝතාපන්න ඵලයට පත් වූහ. ඔවුහු ඒ පරම වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නිසා දේවදත්තගේ පාප මිත්‍ර ආශ්‍රයෙන් නිදහස් වූහ.

එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, කය ඍජු කොටගෙන තමන්ගේ කෙලෙස් සංසිඳීම ගැන නුවණින් විමසමින් වැඩසිටියහ.

එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළ සේක.

“උපශාන්ත වූ, සංසිඳුනු සිත් ඇති, භව රැහැන් සිඳ දැමූ, ඒ භික්ෂුවගේ ඉපදෙන මැරෙන සංසාරය ගෙවිලා ඉවරයි. ඒ භික්ෂුව මාර බන්ධනයෙන් නිදහස් වෙලයි ඉන්නේ.”

තවත් අවස්ථාවක මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, කය ඍජු කොටගෙන, තමා තුළ කායානුපස්සනා භාවනාවේ සිහිය මනාකොට පිහිටුවා වාඩි වී සිටියහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළ සේක.

“කායානුපස්සනාවේ සිහිය පිහිටුවා ගෙන ඉන්නේ. ස්පර්ශ ආයතන හයම සංවර වෙලයි තියෙන්නේ. භික්ෂුව නිතරම සමාහිත සිතිනුයි ඉන්නේ. අන්න ඒ භික්ෂුව තමන් සාක්ෂාත් කරපු අමා නිවන ගැන දන්නවා.”

අග්‍ර ශ්‍රාවක දෙනම වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගෞතම බුද්ධ ශාසනයට ඉටුකළ මෙහෙය අප්‍රමාණ ය, අනන්ත ය.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වජ්ජී ජනපදයෙහි උක්කචේල නුවර නදී තීරයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ වැඩවසන සේක. ඒ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා දෙනම පිරිනිවන් පා වැඩිකලක් නැති අවදියකි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එළිමහනෙහි වැඩහුන් සේක. එකල්හී නිහඬ ව වැඩසිටි භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිරිනිවන් පෑ කල්හී මේ මුළු පිරිස ම හිස් වූවාක් මෙන් වැටහෙයි. මහණෙනි, යම් දිශාවක මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ සිටිත් ද, මාගේ ඒ පිරිස හිස් නැත්තේ ය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතු යැයි මට අපේක්ෂාවක් නොවෙයි.

මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.

මහණෙනි, ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, ශ්‍රාවකයන්ගේ අද්භූතයෙකි! ශාස්තෘන් වහන්සේ හා සම ව සසුන කරන්නෝ වන්නාහ. අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ ය. සිව් පිරිසට ප්‍රිය ව, මනාප ව, ගරු සම්භාවනාවට පාත්‍ර වන්නෝ ය.

මහණෙනි, තථාගතයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, තථාගතයන්ගේ අද්භූතයෙකි! මෙබඳු වූ ශ්‍රාවක යුගලයක් පිරිනිවන් පෑ කල්හී පවා තථාගතයන් හට ශෝකයක් හෝ වැලපීමක් හෝ නැත්තේ ය. මහණෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය.

මහණෙනි, අරටුව ඇති මහා වෘක්ෂයක යම් මහා ඇතුළු කඳක් තිබේ ද, එය නැසෙන්නේ යම් සෙයින් ද, එසෙයින් ම මහණෙනි, මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තමොග්ගල්ලානයෝ ද පිරිනිවන් පෑහ.”

සම්බුදු මුව මඩලින් මේ සා මහත් වූ වර්ණනාවන්ට බඳුන් වූ ඒ පරම වූ අග්‍ර ශ්‍රාවක යුගළ වන ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට ද ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා!

(මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.)