highlights of the week
Home » NEW ARTICLES » පින්බිම සෙවණ සදනට තුරුලිය වවමු – දම් මග වඩන යතිවරුනට සුව සදමු

පින්බිම සෙවණ සදනට තුරුලිය වවමු – දම් මග වඩන යතිවරුනට සුව සදමු

ගිම්හානයේ වියළි සුළඟ සීත කඳුකරය උණුසුම් කරමින් හමා ගියා… එහෙත් සැඩ හිරු රැස්වලින් සෙවණ සැදුන තුරු වදුලු යට සුවදායී සිසිලසක් රැඳී තිබුණා… මේ තුරු සෙවණ යට ඉදිවුණ කුටි සමූහයක සසර දාහය නිවා ගැනීමට වෙර දරන යතිවරයන් වහන්සේලා පිරිසක් නිවන් මග පුරමින් වැඩ සිටියා…

එක්තරා දවසක එක් පාපතරයෙකු විසින් මේ කඳු වළල්ලේ එක කෙළවරක තණපත් අතරට ගිනි පුළිඟුවක් එක් කළා…. හමන සුළඟින් මේ ගින්න පැතිරී යන්නට වැඩි වෙලාවක් ගත වුණේ නෑ… බණ්ඩාරවෙල කුඹල්වෙල අවට විශාල බිම් පෙදෙසක් දවා හළු කරමින් ගිනිදැල් බුර බුරා නැගුනා… අසරණ වන සතුන් සිය දහස් ගණන් පණ පිටින් ම දැවී පිළිස්සී ගියා…. කෙමෙන් කෙමෙන් මේ ගින්න මිනිසුන් වෙසෙන පෙදෙස් කරා ද පැතිරුනා…. විවිධාකාරයේ උපක්‍රම යොදමින් පිරිස මේ ගින්න මැඩ පවත්වන්නට උත්සාහ ගත්තා….

ඒත් ඒ උත්සාහය පරාජය කරමින් ගින්න භාවනා අසපු භූමිය දක්වා ම පැතිරුනා…. අවට ප්‍රදේශවාසීන් මේ ගින්න නිවන්න විශාල උත්සාහයක් ගත්තා…. පින්වත් ස්වාමීන් වහන්සේලාත් විශාල උත්සාහයක් ගත්තා… ඒත් අවසානයේ දින ගණනාවක් ඇවිළ ගිය මේ ගින්න නිමා වුණේ අක්කර ගණනාවක් දවා හළුකරමින්….

මේ ගින්නට මැදි වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව අසපු භූමියට අයත් භූමි ප්‍රදේශයේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙන් ම උපාසක උපාසිකාවන්ටත් සෙවණ සලසා දුන් ශාක ගණනාවක් දැවී විනාශ වුණා…

මේ මහා ව්‍යසනය පිළිබඳවත්, එයින් සිදුවූ හානිය හා නැවත සම්බුදු සසුනට පුද දුන් මේ සොඳුරු භූමිය යළි නගා සිටුවීමට සැදැහැවත් අපට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් දැනගැනීමටත් අප පින්වත් ස්වාමීන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ ගින්න කඳුකරය තුළ මෙතරම් වේගයෙන් පැතිරීමට හේතුව කුමක් ද?”

“පින්වත් මහත්මයා…. මේ කඳුකරය පුරා ම අද වැවිලා තියෙන්නේ අපට ආවේණික දේශීය ශාක නො වෙයි… විදේශික ෆයිනස් වගේ ගස්. මේවායේ පත්‍ර සිහින් කෙඳි වගේ. ඒවා වියළී පොළවට වැටුනා ම දිරන්නේ නෑ… ආවරණයක් වගේ පොළව මතුපිට රැඳෙනවා… වෙනත් පැළෑටි වැවෙන්නෙත් නෑ… මේවාට අමතර ව අද කඳුකරය පුරා තියෙන්නේ සතෙකුට කන්න ගෙඩියක්වත් හැදෙන්නෙ නැති කිසි ප්‍රයෝජනයක් නැති ඉලුක්, මානා ආදි පඳුරු… මේ ඉලුක් පඳුරු අමු වුණත් පහසුවෙන් ම ගිනි ගන්නවා. මේවාට ගිනි ඇවිළුනා ම වේගයෙන් පැතිරිලා යනවා…”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ ගින්නෙන් වුණ හානිය තවදුරටත් සිහිපත් කළොත්?”

“පින්වත් මහත්මයා, ගින්න කියන්නේ එයට හසුවන ජීවී අජීවි සියල්ල දවා හළුකරන දෙයක්… මේ කඳුකරයේ වන ලැහැබ් තුළ උන්න අහිංසක සතුන් දහස් ගණනක් දැවී මිය යන්න ඇති… ඉත්තෑවෝ.. හාවෝ.. මීමින්නෝ… මීයෝ…. වැලිමුවෝ.. ඒ වගේ ම අපට නො පෙනෙන කුඩා සතුන්…. ගහ කොළ සියල්ල ම…. විශේෂයෙන් මහත්මයා අසපුවේ පරිභෝජනයට ජලය ලබාගන්න අප ඉහළ ඇති ජල උල්පත්වලට දාලා තිබුණ ජල නල බොහොමයක් පිළිස්සී ගියා. මේ කඳුකරයෙන් තමයි ජල උල්පත් හටගන්නේ. මේ ජල උල්පත් හිඳී යනවා. උල්පත් හිඳී ගියා ම පහළ ප්‍රදේශවල ජනතාවට ජලය අහිමි වෙනවා… දැන් මේ පායන කාලෙට කැලෑ ගිනි තැබීම සිරිතක් වෙලා. මේකෙන් වෙන තවත් හානියක් තමයි මේ කඳුකර වනාන්තරවල තියෙනවා වටිනා දේශීය ඖෂධ පැළෑටි. මේවා මුළුමනින් ම විනාශ වෙලා යනවා. නැවත වැඩෙන්නට කාලයකුත් නෑ…. මේ වනයේ තුරුලතාවල තිබෙනවා සත්තුන්ට ආහාරයට ගන්න පලතුරු, ඇට වර්ග, මේවා විනාශ වීමෙන් ආහාර නැතිව යනවා. ආහාර අහිමි වුණ රිලව් වගේ සතුන් ගම් වැදිලා වතු පිටි පාළු කරන්න පටන් ගන්නවා. ඒ වාගේ ම තණකොළ පඳුර පවා දැවී අළු වී යන මේ ගින්නෙන් පස නිරාවරණය වනවා. මී ළඟට වැසි වැස්සා ම පස සෝදාගෙන යනවා. මේක නාය යෑම්වලට හේතුවක් වෙනවා.”

“පින්වත් ස්වාමීන් වහන්ස, ඇයි මේ හිත් පිත් නැති මිනිසුන් දුර දිග නො හිතා මේ වගේ ගිනි තැබීම් කරන්නේ?”

“පින්වත් මහත්මයා, අපට 100%ක් ම කියන්න බෑ මේක පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් හිතා මතා කළ දෙයක් ද කියලා. ඒත් පුරුද්දක් වශයෙන් මේ නියං කාලයට කැලෑ ගිනි තැබීම් සිදුවෙනවා… මේක කරන්නේ වගා කරන්න පහසුවට, දඩයම් කරන්න පහසුවට, එහෙම නැත්නම් විනෝදෙට, ඇතැම් අය තුළ මිථ්‍යා මතයක් තියෙනවා මේ කැලෑ ගිනි තිබ්බා ම වැස්ස ලැබෙන බවට. ඒ හින්දා හැම නියං කාලයක ම මේ විදියට කැලෑ ගිනි තියලා තියෙන ටිකත් නැති කර ගන්නවා…

කොහොම වුණත් පුද්ගලයෙක් හෝ පිරිසක් මේ දේට සම්බන්ධ වනවා නම් ඒ ඇත්තන් රැස්කර ගන්න පව අප්‍රමාණයි…. මේක සම්බුද්ධ ශාසනයට පූජා කළ භූමියක්, ත්‍රෛකාලික ආර්ය සංඝරත්නයට පූජා කළ භූමියක්… ඒ විතරක් ද? දහස් ගණන් සතුන්ට අභය භූමියක්… ජල මූලාශ්‍රයක්.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ ගින්නෙන් පස්සේ පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කළා නේ ද? මෙහි දී මේ පැළ වර්ග තෝරා ගැනීමේ දී වෙනසක් සිදු කළා නේ ද?”

“පින්වත් මහත්මයා, ටික කලකට පෙර මහාමේඝයේ අක්මුල් සොයා තුළින් පළ වුණ ශාක ත්‍රස්තවාදය ලිපිය මතකයි නේ ද?. මම කලිනුත් සඳහන් කළා වගේ මේ විදේශික ආක්‍රමණික ශාකවලින් මේ කඳුකරයට වෙලා තියෙන හානිය විශාලයි… ඒ වාගේ ම ඒවායින් ඇති විශේෂ ඵල ප්‍රයෝජනයකුත් නෑ. ඒ ගස්වල ස්වභාවය නිසා ම මෙවැනි ගින්නක් වුණත් ඇතිවුණා ම ලේසියෙන් ම බොහෝ දුර පැතිර යනවා. අප මේ ගැන විශේෂයෙන් කල්පනා කළා. මේ නිසා ම අප සිටුවීමට තෝරා ගත්තේ… කුඹුක්, මී ගස්, නා ගස් වැනි මේ පළාතට ඔරොත්තු දෙන දේශීය ශාක පමණයි. මීට අමතරව සත්තුන්ට හෝ ආහාරයක් වේවා කියා කොස් දෙල් අලිපේර වගේ පැළ සිටවූවා.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ ගින්නෙන් අසපු භූමියට සිදු වූ හානිය ප්‍රතිසංස්කරණය කරන්නට ගත්ත අනෙකුත් පියවර මොනවා ද? ඒ වාගෙ ම අපට මේ වෙනුවෙන් තවත් කළ හැකි දේ මොනවා ද?”

“විශේෂයෙන් පින්වත් මහත්මයා… මේ ගින්න පැතිරෙන මොහොතේ සිට එය නිවා දමන්න උපකාර කළ ප්‍රදේශවාසී සැදැහැවත් පිරිසට අප පුණ්‍යානුමෝදනා කරනවා…. ඒ වාගේ ම ගින්නෙන් පස්සේ මේ බිමේ අපි ආයෙමත් රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කළා…. මේ වෙනුවෙන් අසපු භූමිය ශුද්ධ පවිත්‍ර කරන්න, ගිනි වැටක් හදන්න, වළවල් කපන්න, පැළ ලබා දෙන්න බොහෝ පිරිසක් උදව් වුණා… විශේෂයෙන් යුධ හමුදාව… ඌව ගුවන්විදුලිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදි ආයතන විශාල සහයක් ලබා දුන්නා… ඒ වාගේ ම මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ අසපු ගණනාවක් හා ඒ හා එක්වුණ සැදැහැවතුන් මේ වෙනුවෙන් විශාල වශයෙන් කැපවුණා.. විශේෂයෙන් බලංගොඩ හා බුත්තල අසපු.. ඒ වාගේ ම තාවතිංස යාත්‍රා සංවිධානය. ඒ සියලු දෙනාට ම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ සිටවූ පැළවල වත්මන් තත්ත්වය මොකක් ද?”

“මේකට දෙන්න තියෙන පිළිතුර නම් කණගාටුදායකයි… අපි හිටෙව්වේ අඟල් අට දහය ප්‍රමාණයේ පැළ. ඒත් මේ වනයේ දිවි රැකගෙන ඉතිරි වුණ වැලි මුවන්ට දැන් කන්න දෙයක් නෑ. මේ අය මේ පැළවලින් වැඩි හරියක් කා දමලා. මේකෙන් අපි තේරුම් ගත්තා කුඩා පැළ හිටවලා නම් බේරගන්න අමාරුයි… අනික ඒවා ලොකු මහත් වෙන්නත් විශාල කාලයක් ගතවෙනවා.”

අහෝ…. මෙවන් වූ සම්බුද්ධ ශාසනයට පූජා කළ පින්බිමක්, ආර්ය මහා සංඝරත්නයට පූජා කළ පින්බිමක්… නැවත ඒ බිමෙහි බවුන් වඩන යතිවරයන් වහන්සේලාට සෙවණ දෙන්නට විසල් තුරු මුදුන් සෙවණ සලසන්නේ කවදා ද? මේ කුඩා පැළ ඉතිරි වුණත් ඒවා ලොකු මහත් වී ඒ තත්ත්වයට පත්වන්නට තවත් කලක් ගත වේවි….

ඒත් එය කඩිනම් කිරීමටත්, මේ වැලිමුවන් වැනි සතුන්ගේ තර්ජනයෙන් බේරාගැනීමත් අපට හැකියාවක් තියෙනවා…. ඒ තමයි අඩි 8ක්, 10ක් විතර උසට වැඩුණු දේශීය ශාක යළි රෝපණය කිරීම. එබඳු ගස් වර්ග ලබාගෙන අසපු භූමිය තුළත්, හැකි නම් අවට ප්‍රදේශය තුළත් රෝපණය කරන්නට අවස්ථාව ලැබුණොත් එය මහා පිනක් වේවි…

සාමාන්‍යයෙන් තුරු මුදුන්වලින් සුසැදි අරණක අපට සෙනසුනක් සාදන්නට පුළුවන්…. ඒත්… සෙනසුනක නිවන් මග පුරන ස්වාමීන් වහන්සේලාට තුරුලතා සිටුවා සෙවණ සලසන්නට වන අරණක් තනන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ ඉතා ම කලාතුරකින්… දැනටමත් නෙළුම් විල සංවිධානයෙන් අඩි අට, දහය ප්‍රමාණයේ විශාල පැළ 15ක් පමණ පූජා කරන්නට සැලසුම් කොට තිබෙනවා… ඔබත් මේ මහානීය පින්කමට දායක වන්නට කැමති නම් ඒ සඳහා අවස්ථාව සලසා දෙන්නටත් අපට හැකියාව තිබෙනවා.

“ආරාමරෝපා වනරෝපා – යේ ජනා සේතුකාරකා
පපංච උදපානඤ්ච – යේ දදන්ති උපස්සයං
තේසං දිවාච රත්තෝ ච – සදා පුඤ්ඤං පවඞ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා – තේ ජනා සග්ගගාමිනෝති”

“ජනතාව උදෙසා මල් පලතුරු රුක් රෝපණ කරන, ඒ දඬු පාලම් හදන, ගිමන් හල් පැන් පොකුණු ගේ දොර දන් දෙන, යම් කෙනෙක් වෙයි නම් ඔවුන්ට දිවා රෑ පින් රැස්වෙයි. ධර්මය තුළ පිහිටි සිල්වත් වූ එම ජනතාව තමයි සුගතියේ උපදින්නේ…”

(භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ – සංයුත්ත නිකාය – වනරෝප සූත්‍රය)

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ
0767717644
(ඔබ මේ රුක්රෝපණ ව්‍යාපෘතිය හා සම්බන්ධ වන්නට කැමති නම් අප වෙත දැනුම් දෙන්න)

Leave a Reply

Your email address will not be published.

x

Check Also

බුදු මුවින් ගලා ගිය උතුම් සම්බුදු වදන්

එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන සිංහලයන් හට නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට පරාධීන මානසිකත්වයෙන් යුතුව ඒ මත හිස් මුදුනින් පිළිගැනීමට යාම තරම් නො වේ යැයි සිතේ.