highlights of the week
Home » සිත නිවන භාවනා » සිත නිවන භාවනා – ධම්මානුපස්සනාව සප්ත බොජ්ඣංග භාවනාව

සිත නිවන භාවනා – ධම්මානුපස්සනාව සප්ත බොජ්ඣංග භාවනාව

භාග්‍යවතුන් වහන්සේ මේ භාවනා කොටසින් අපට කියා දී වදාරන්නේ “බොජ්ඣංග” ධර්මයන් ගැනයි. මේ “බොජ්ඣංග” යන වචනය ද ලෝකයේ ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසිනි. “අවබෝධ ඤාණය ඇති වීම පිණිස උපකාරී වන්නේ ය.” යන අර්ථයෙන් (බෝධාය සංවත්තන්තීති) බොජ්ඣංග යැයි හඳුන්වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වන්නේ සතර සතිපට්ඨානය පරිපූර්ණ වීමෙන් බව වරක් කුණ්ඩලිය නම් තාපසයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“පින්වත් කුණ්ඩලිය, ශ්‍රාවකයා කෙලෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව (ආතාපි), කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව (සම්පජානෝ), මනා ව යොමු කරන ලද සිහියෙන් යුතු ව (සතිමා) ලෝකයේ ඇලීමත්, ගැටීමත් දුරු කොට, සතර සතිපට්ඨාන ධර්මයන් භාවිත කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ.”

බොජ්ඣංග වැඩීමේ උපකාරක අංග…

“පින්වත් මහණෙනි, අවබෝධ ඤාණය පිණිස උපකාරී වන අංග හත නම් වූ සප්ත බොජ්ඣංගයන්ගේ හටගැනීම පිණිස, තමා තුළ පවතින නුවණින් විමසීමේ හැකියාව (යෝනිසෝ මනසිකාරය) තරම් වටිනා වෙන කිසිදු අභ්‍යන්තරික අංගයක් මම නො දකිමි”

(අංග සුත්ත – සං.නි. 01)

බුද්ධෝත්පාදයක දී පමණි අසන්නට ලැබෙන්නේ….

“පින්වත් මහණෙනි, භාවනා වශයෙන් වඩන ලද්දා වූ, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දා වූ මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීමෙන් මිස අබුද්ධෝත්පාද කාලවල දී අසන්නටවත් නොලැබේ.

(උප්පාද සුත්ත – සං. නි.)

“යම් කෙනෙකුගේ සිත අවබෝධ ඤාණයට උපකාරී වන අංග තුළ (සම්බෝධි අංගේසු) මනා කොට භාවනා වශයෙන් වඩන ලද ද, ග්‍රහණය කර ගැනීම දුරු කොට, කිසිවක් අල්ලා නො ගෙන (අසංඛත වූ) නිර්වාණ ධර්මයෙහි පිහිටුවා ගත්තාහු ද, ලොවෙහි බබළන ඒ රහත්හු මුළුමනින් ම නිවීමට පත්වෙති.”

(අපාර සුත්ත – සං. නි.)

එසේ නම් බුදු සසුනේ මහානීය වස්තූන් වූ එම සප්ත බොජ්ඣංග ධර්මයන් වඩන ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ අප මෙතැන් පටන් ඉගෙන ගනිමු.

සති සම්බොජ්ඣංගය

“පින්වත් මහණෙනි, මෙකරුණහිලා භික්ෂුව අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනා ව පිහිටි සිහිය (සම්මා සතිය) තමා තුළ පවතින කල්හි, සති සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ ඇතැයි මනා කොට දැන ගනී. (සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගං, අත්ථි මේ අජ්ඣත්තං සති සම්බොජ්ඣංගෝ’ති පජානාති)

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනා ව පිහිටි සිහිය, තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, සතිසම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. (අසන්තං වා අජ්ඣත්තං සති සම්බොජ්ඣංගං නත්ථි මේ අජ්ඣත්තං සති සම්බොජ්ඣංගෝති පජානාති) යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හට නො ගත්තා වූ සති සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. (යථා ච අනුප්පන්නස්ස සති සම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති)

යම් ආකාරයකින් (එසේ අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ සති සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද, ඒ බව ද මනා කොට දැන ගනී. (යථා ව උප්පන්නස්ස සතිසම්බොජ්ඣංගස්ස, භාවනාය පරිපූරී හෝති තඤ්ච පජානාති)

ධම්මවිචය සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන්, සතර සතිපට්ඨානය ම බලවත් සිහිනුවණින් විමසා බැලීම තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, ධම්මවිචය සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ තිබේ යැයි මනා කොට දැනගනී. ධම්මවිචය සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී ධම්මවිචය සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගත්තා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය හටගන්නේ වෙයි ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම් වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

වීරිය සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුළ කුසල ධර්මයන් බලවත් ව වැඩී යන අයුරින් දියුණු කර ගන්නා වීර්යය තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, වීරිය සම්බොජ්ඣංගය මා තුළ ඇතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණය ඇතිකර ගැනීම නිසා හටනොගත්තා වූ වීරිය සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී.

වීරිය සම්බොජ්ඣංගය තමා තුළ නැති කල්හී, වීරිය සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝමනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) වීරිය සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින් හටගන්නා වූ විරිය සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

ප්‍රීති සම්බොජ්ඣංගය

අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන්, සතර සතිපට්ඨානය වැඩී යාමෙන් ඇතිවෙන ප්‍රීතිය, තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී, ප්‍රීති සම්බොජ්ඣංගය, මා තුළ ඇතැයි මනා කොට දැන ගනී.

ප්‍රීති සම්බොජ්ඣංගය තමා තුළ නො පවතින කල්හි, ප්‍රීති සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) ප්‍රීති සම්බොජ්ඣංගය, හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගන්නා වූ ප්‍රීති සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

පස්සද්ධි සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ ඇති වූ ප්‍රීතිය නිසා, අවබෝධ ඤණයේ අංගයක් වශයෙන් ඇතිවන කායික – මානසික සන්සිඳීම තමාගේ ජීවිතය තුළ පවතින කල්හී, පස්සද්ධි සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනා කොට දැන ගනී. පස්සද්ධි සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී. පස්සද්ධි සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැන ගනී.

යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය, සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

සමාධි සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් ඇතිවන සමාධිය තමාගේ ජීවිත පැවැත්ම තුළ ඇතිවන කල්හී, සමාධි සම්බොජ්ඣංගය මා තුළ පවතී යැයි මනා කොට දැන ගනී. සමාධි සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, සමාධි සම්බොජ්ඣංගය මා තුළ නැතැයි මනා කොට දැනගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හටනොගත්තා වූ සමාධි සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගත්තා වූ සමාධි සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත්වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

උපෙක්ඛා සම්බොජ්ඣංගය

සතර සතිපට්ඨානය තුළ අවබෝධ ඤාණයේ අංගයක් වශයෙන් ඇතිවන උපේක්ෂාව තමාගේ ජීවිත පැවැත්ම තුළ පවතින කල්හී. උපේක්ඛා සම්බොජ්ඣංගය, මාගේ ජීවිත පැවැත්ම තුළ පවතී යයි මනා කොට දැන ගනී. උපෙක්ඛා සම්බොජ්ඣංගය තමාගේ ජීවිත පැවැත්ම තුළ නො පවතින කල්හී, උපෙක්ඛා සම්බොජ්ඣංගය මාගේ ජීවිත පැවැත්ම තුළ නැතැයි මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (යෝනිසෝ මනසිකාරය තුළින් අවබෝධ ඤාණයක් ඇතිකර ගැනීම නිසා) හට නො ගත්තා වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය හටගන්නේ වේ ද ඒ බව ද මනා කොට දැන ගනී. යම් ආකාරයකින් (අවබෝධ ඤාණයක් තුළින්) හටගන්නා වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සමථ – විදර්ශනා වැඩීම වශයෙන් පූර්ණත්වයට පත් වී යයි ද ඒ බව ද මනා කොට දැන ගනී.

තමන් තුළ සේ ම අන් අය තුළ ද එක ම ධර්මතාවකි…

මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන්නා වූ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන්නා වූ ද අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ ද සප්ත බොජ්ඣංග ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි.

හේතු – ඵල දහමකි මෙහි ඇත්තේ…

සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නිසා සප්ත බොජ්ඣංග ධර්මයන් හටගන්නේ යයි අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි. සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නැති වී යාමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් නැති වී යන්නේ යැයි අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මේ මේ කාරණා නිසා සප්ත බොජ්ඣංග ධර්මයන් හටගන්නේ යයි ද නැති වී යන්නේ යයි ද අවබෝධයෙන් දකිමින් (ධම්මානුපස්සනාවෙන්) වාසය කරයි.

අවබෝධය තුළින් විමුක්තිය කරා….

සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට හේතු – ප්‍රත්‍යයන් නිසා සකස් වූ, සංඛත ධර්මයක් වශයෙන් පවත්නා, අනිත්‍යය වූ, දුක් වූ, අනාත්ම වූ සප්ත බොජ්ඣංග නම් වූ ධර්මයන් පවතී යැයි, සප්ත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි මනා ව යොමු කළ සිහිය බලවත් ව පිහිටියේ වෙයි. (අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති) එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත, තව දුරටත් අවබෝධ ඤාණය දියුණු වීම පිණිසත් සිහිනුවණ බලවත් ව දියුණු වීම පිණිසත් පවතී. (යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය)

සප්ත බොජ්ඣංග ධර්මයන් මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් ග්‍රහණය කර නො ගෙන වාසය කරයි. (අනිස්සිතෝ ච විහරති) ලෝකයේ කිසිවක් කිසි ම පිළිවෙළකින් ග්‍රහණය කර නො ගනී. (න ච කිඤ්චි ලෝකේ උපාදියති)
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි ශ්‍රාවකයෙකු තුළ විමුක්තිය පිණිස බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්වෙන්නේ ඒ අයුරිනි. කුණ්ඩලිය නම් තාපසයා හට බොජ්ඣංග ධර්මයන් දියුණු වන ආකාරය අනුපිළිවෙළින් පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“පින්වත් කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය වර්ධනය වේ. ත්‍රිවිධ සුචරිතය පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් සතර සතිපට්ඨානය පූර්ණත්වයට පත් වේ. සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ”

එසේ නම් අපිත් ඒ ආකාරයට බොජ්ඣංග ධර්මයන් දියුණුකර ගැනීම පිණිස උත්සාහවත් වෙමු.

සප්ත බොජ්ඣංග භාවනාව ගැන වැඩිදුරටත් කරුණු දැනගැනීම සඳහා “සිතට සුවදෙන භාවනා” ග්‍රන්ථයේ අදාළ කොටස කියවන්න.

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි)

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” සදහම් ග්‍රන්ථය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ධම්මානුපස්සනාව

ධම්මානුපස්සනාව – පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව

පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා කියන එකයි. පංචඋපාදානස්කන්ධ අනිත්‍ය භාවනාවේ දී කරන්නේ අවබෝධය ඇතිවන ආකාරයට ඒ කෙරෙහි සිහිය පිහිටුවීම යි.