highlights of the week
Home » NEW ARTICLES » මංගල ගමනේ දී ම අවසන් ගමන් ගිය ‘නො ගිලෙන මනාලිය’

මංගල ගමනේ දී ම අවසන් ගමන් ගිය ‘නො ගිලෙන මනාලිය’

තුරු අත්ලන්තික් සාගරයේ මීටර් 3000 පමණ ගැඹුරෙහි සාගර ගවේෂණයේ යෙදුණ රුසියානු න්‍යෂ්ටික සබ්මැරීනයකි. හදිසියේ ම මුහුදු පතුලෙන් දර්ශනය වූයේ මීට සියවසකට ආසන්න කාලයකට පෙර සාගරයේ ගිලී ගිය ලෝකපූජිත සිහිවටනයක් වූ දැවැන්ත නෞකාවක ඉදිරිපස කොටසයි. එහි බඳ ඇතුළු බොහෝ කොටස් තවමත් මුහුදු පත්ල තුළ ආරක්‍ෂිතව පැවතීම එය හඳුනාගැනීමට හොඳ සාධකයක් විය. මේ පුවත සමගින් ලෝක ඉතිහාසය තුළ ගිලී නිහඬව ගිය ship of dreamsship of dreams යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සුප්‍රකට ටයිටැනික් නෞකාව යළිත් පුවත් මවන්නියක් බවට පත්වූවා ය.

‘ටයිටැනික්’, ලෝකයේ අනිත්‍ය බව මොනවට ප්‍රකාශ කළ නෞකාවකි. එය 20 වෙනි සියවස මුල්භාගයේ එවකට යොදා ගත් ඉහළ ම නාවික තාක්‍ෂණය සමගින් මහා බි්‍රතාන්‍යයේ බෙලෆාස්ට්හි දී නිෂ්පාදනය කෙරිණි. ‘ටයිට් ස්ටාර් ලයින්’ නාවික සමාගම සතුවූ ඇය එවකට ලෝකයේ තිබූ විශාලතම මගී ප්‍රවාහන නෞකාව ද වූවා ය. නිෂ්පාදකයන් මෙන් ම නැව් සමාගම එය හැඳින්වූයේ ‘කිසිදා නො ගිලෙන නෞකාව’ ලෙස ය. එමෙන් ම ඇය අතිසුඛෝපභෝගී නෞකාවකි. මේ කිසිත් ලෝක යථා ස්වභාවය ඉදිරියේ වැදගත් නොවන බවට මේ බිහිසුණු ඛේදවාචකය අනේක වරක් ලෝකයාට කියා දුන් නමුදු එය වටහාගන්නට සමත් වන්නන් බුදු සසුනෙන් බැහැර සෙවීම නිෂ්ඵල ය. මෙතැන් පටන් ධර්මය තුළින් මේ සිදුවීම් එකින් එක අපගේ ජීවිතයට ද ගළපා බලමු.

මීට වසර 104කට පෙර, එනම් වර්ෂ 1912 අප්‍රේල් මස 10 වෙනි දින මහා බි්‍රතාන්‍යයේ සදම්ටන් වරායේ සිට ඇමරිකාවේ නිව්යෝක් වෙත ගමන් අරඹන ටයිටැනික් දෙවනුව ප්‍රංශයේ චෙන්බොර්ග් වරායට සේන්දු වූවා ය. එහි දී ද මගීන් නංවා ගන්නා ඇය තෙවනුව ක්වීස්න්ලන්ඞ්හි කොර්ක් වෙත ද ළඟා වෙමින් අනතුරුව උතුරු අත්ලන්තික් සාගරය හරහා දීර්ඝ සාගර චාරිකාවකට මුල පිරුවා ය. ඇය ඉතා ජවසම්පන්න ය. එබැවින් ගමන තුළ දී ඇයට වැඩි වේගයක් රඳවාගත හැකි විය. එහෙත් උතුරු අත්ලන්තික් සාගරය ඇසුරු කරමින් දැඩි ශීත දේශගුණයක් පවතින ප්‍රදේශ හරහා ද ඇය නිරුපද්‍රිතව ගමන් කළ යුතු ය. නැවේ කපිතාන්වරයා වූ එඞ්වර්ඞ් ජේ. ස්මිත් මේ බව හොඳින් දැන සිටියේ ය. ඔහු තම නැවට අනවශ්‍ය වේගයක් එක් නො කිරීමට වගබලා ගත්තේ ය. එහෙත් ඔහු වෙත හදිසි නියෝගයක් ලැබුණ අතර ඊට අනුව ඔහු විසින් පළමුව සැලසුම් කළ දිනට පෙර නැව නිව්යෝක් වෙත ළඟා කරවීමට නියමිතව තිබිණි. ඒ ලෝක පුවත්පත්වල මුල් පිටුව ටයිටැනික් සඳහා වෙන්කිරීම පිණිස ය.

නැව පන්ති 3කින් යුතු වූ අතර මගීන් 2200ක් සහ විශාල කාර්ය මණ්ඩලයකින් යුතු විය. එහෙත් වාෂ්පබල සහිත නැවෙහි ඇන්ජින් ධාරිතාවය වෙත එහි සුවිශාලත්වය, බර හෝ වේගය කිසිසේත් ම අභියෝගයක් නො වී ය. එය නිර්මාණය කළ නාවික ඉංජිනේරුවන් විසින් එහි ශක්තිය හා කාර්යක්‍ෂමතාවය පිළිබඳ ඉතා ඉහළ තක්සේරුවක සිටියහ. එසේ ම එකී කරුණු තම මංගල ගමන තුළ මෙතෙක් ටයිටැනික් විසින් ඉතා හොඳින් පවත්වාගෙන තිබිණි. සීතල දියරැළි කපාගෙන ඇය ඉදිරියට ම ඇදුනා ය. එසේ ම මේ වන විට වා තලය දැඩි ශීතලකින් යුක්ත විය. ඇය නොට් 16 ඉක්මවා ගිය වේගයක් පවත්වා ගනිමින් ගමනෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකට ආසන්නව යාත්‍රා කොට තිබිණි. නැවෙහි පළමු පන්තිය සමන්විත වූයේ අධිසුඛෝපභෝගී පහසුකම් සහිතව ප්‍රභූ පන්තිය නියෝජනය කරන මගීන් සඳහා ය. දෙවෙනි සහ තෙවෙනි පන්ති පළමු පන්තියට සාපේක්‍ෂව පිළිවෙළින් පහසුකම් අවම විය. පන්ති භේදය සහිතව සියල්ලෝ ම නිසල සයුර මත ප්‍රීතිවෙමින් සිටියහ. සියලු දෙනා බියකින් සැකයකින් තොරව මේ මංගල ගමනෙහි ප්‍රීතිය භුක්ති වින්දහ. නැව් සමාගමේ ප්‍රධානීන් ද ප්‍රභූන්ට අයත් වූ අතර ඔවුන් ද සාදයන්හි දී ටයිටැනික් පිළිබඳ උදම් අනමින් ප්‍රීති වූහ. සියල්ලෝ ම නො ගිලෙන නෞකාවෙහි සුන්දර ගමනාන්තයට ළඟා වීමට සූදානම් ව සිටියහ.

1912 අප්‍රේල් මස 14 වෙනි දින වූ එදින මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණි. ශීතල තව තවත් දැඩි වන්නට විය. නැවෙහි බඳෙහි ඉදිරිපස කුඩා ප්‍රමාණයේ අයිස් කුට්ටි ගැටෙමින් ඉවතට ඇදී ගියේ ය. තවමත් ඇය සුපුරුදු වේගය මඳක්වත් අඩු කොට තිබුණේ නැත. ටයිටැනික් මංගල ගමනට සුභ පැතුම් එක් කළ තවත් නෞකා බොහොමයක් මේ වන විට අත්ලන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබිණි. එවැනි නෞකා කිහිපයකින් ම ටයිටැනික් වෙත අනතුරු ඇඟවීම් ලැබිණි. ඒ, ඉදිරි ගමන් මග තුළ අයිස් කඳු සුලබ වීම නිසයි. එහෙත් ටයිටැනික් විසින් ඒ සියල්ල නො සලකා හරින ලද අතර ඇය තමන් පිළිබඳව තබා තිබූ විශ්වාසය බිඳකින් හෝ අඩු නො කළා ය.

දැන් දැන් නැවට ඉතා ආසන්නයෙන් අයිස් පර්වත දිස්වේ. නැවෙහි ඉදිරිපස නිරීක්‍ෂණ කුටියක සේවයෙහි නිරත නිලධාරීන්ට හදිසියේ ම යමක් දර්ශනය විය. එය හරියට ම නැවට ඉදිරියෙන් ස්ථානගත වී තිබූ අතර එය විශාල අයිස් පර්වතයක් බවට හඳුනාගැනීමට අපහසු නො වී ය. වහා ම අනතුරු සංඥා නිකුත් කෙරිණි. නැව පැමිණි වේගය අනුව එය ඉතා ඉක්මනින් ම අයිස් පර්වතය වෙත ළඟා වෙනු ඇති බව පෙනිණ. කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් නැව අයිස් පර්වතයේ මුහුණට මුහණලා ගැටීම වළක්වා ගත්ත ද ඉදිරිපස පහත බඳ කොටස එහි තදින් ගැටිණි. ඒ සමගින් මුහුදු වතුර නැව තුළට ගලා එන්නට විය. මෙතෙක් නටමින් ගයමින් වයමින් සිටි ටයිටැනික් මගීන්ට ද නැවේ කාර්ය මණ්ඩලයට ද ජීවිතය ගැන සිතන්නට හෝරා දෙකකුත් විනාඩි හතළිහක කාලයක් පමණක් මහ සයුර මත ඇය ඉතිරි කොට තිබිණි.

‘නො ගිලෙන සිහින නෞකාව’ තම මංගල ගමනේ දී ම කිසිදු පැකිලීමකින් තොරව මුහුදු පතුල වෙත යාම ආරම්භ කරමින් සිටියා ය. තම තම ජීවිත රැක ගැනීමේ අරගලයන් ගිලී යන නැව පුරා ම රැව් දෙන්නට විය. කපිතාන්වරයා නැවේ මගීන් බේරාගැනීම පිණිස ආසන්නයෙන් යාත්‍රා කරමින් සිටි නැව් කිහිපයකින් ම ඉල්ලීම් කරන ලදී. ටයිටැනික් වෙත කිලෝමීටර් 93ක් දුරින් යාත්‍රා කරමින් සිටි කාර්පේතියා නැවට පණිවිඩය ලැබුණ විගසින් මගීන් ගලවා ගැනීම පිණිස වහා වහා පැමිණෙන්ට වූවා ය. එහෙත් ඇයගේ උපරිම වේගයෙන් පැමිණිය ද ටයිටැනික් වෙත ළං වීමට පැය 4ක් ගතවනු ඇති බවට නිගමනය කෙරිණි.

අළුයම 2.20 පමණ වනවිට නැවෙහි ඉදිරිපස මුහුදු පතුල වෙත නැමී ගිය අතර පසුපස උඩට එසවිණි. ඒ සමගින් දෙකට මැදින් බිඳී ගිය ඇය කොටස් දෙකකට වෙන්ව සෙමින් සෙමින් සාගර පතුල බලා ගියා ය. ජීවිත ආරක්‍ෂක බෝට්ටුවලට නැගුණු අතලොස්සක් වූ පිරිස හැරුණු කොට සෙසු සියල්ලෝ ම ශීතල අත්ලන්තික් සයුර තුළ ම තම ජීවිතය අවසන් කළහ. නැවෙහි ගමන් ගත් මගීන්ගෙන් සියයට 68.8ක් මේ බිහිසුණු අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූහ. අධි තක්සේරුවේත්, නොසැලකිල්ලේත් පාඩම ලොවට කියාදෙමින් අනිත්‍ය දහමට යටත් ලොවක් හඬවමින් ටයිටැනික් ඉතිහාසයට ම එක් වූවා ය.

උදා හිරු කිරණ පතිත වීමට මොහොතකට කලින් කාර්පේතියා නැව සිද්ධිය වූ ස්ථානයට ළඟා විය. එවිට ඔවුන්ට දැකගත හැකි වූයේ සීතල සයුරෙන් වටවූ බෝට්ටු කිහිපයකුත් සුළු මගීන් පිරිසකුත් පමණි. එතෙක් මෙතෙක් නාවික ඉතිහාසයේ ලෝකය තුළ වැඩියෙන් ම අවධානයට ලක්වූ ටයිටැනික් ඛේදවාචකය ඉතිහාසයේ ඉහළින් කඳුළින් ම ලියැවිණි. පසුව ටයිටැනික්හි ඇතැම් කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ පමණක් නැවත ගොඩගෙන කෞතුකාගාරයන්හි තැන්පත් කෙරිණි. අද එය මතකයක් පමණකි.

අප ද මිනිසුන්ව ඉපිද බොහෝවිට ජීවිතය භුක්ති විඳීමට දරන ප්‍රයත්නයන් ඉතා අවදානම් සහගත ය. ජීවිතය පිළිබඳ අපට ඇත්තේ ඉතා සුන්දර සුභවාදී ආකල්පයකි. එය ටයිටැනික් මගීන්ගෙන් වෙන් වන්නේ අප මේ වනවිට භෞතික වශයෙන් ගොඩබිමක සිටීම නිසා පමණි. සසර නැමති සයුර තුළ ගමනාන්තයක් පවා නො දැන අතරමංව සිටින; එහෙත් ඒ බව නො දත් අපිදු අපගේ මිනිස් දිවිය කිසිදා ගිලී නො යන දෙයක් ලෙස සලකමින් උදම් අනමින් ප්‍රීතිවෙමින් සිටිමු.

ඉහළ පන්තිය, මධ්‍යම පන්තිය, පීඩිත පන්තිය වශයෙන් අප සමාජය තුළ විවිධ ලෙස බෙදී සිටිය ද අවිද්‍යාවට එවැනි බෙදීමක් නැත. එය ටයිටැනික් තුළ දී ද එසේ ම සිදුවෙමින් තිබිණි.

දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ ලෝකවිදූ ගුණයෙන් යුතු ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කොට ඒ සියල්ලෙන් ම නිදහස් වී වදාළ සේක. උන්වහන්සේ සතර අපාය, මිනිස් ලොව, දෙව්ලොව, බඹ ලොව කරා යන මගත් – ඒ සියලු ලෝකයන්ගෙන් මිදී ගමන් කරන පරම සුන්දර වූ නිවන් මගත් සම්පූර්ණව දත් සේක. එබැවින් සසර සයුර තුළ වූ බිහිසුණු අනතුරුවලින් ලෝක සත්වයා සදහට ම නිදහස් කර ගනු වස් යම් ගමන් මගක් අනතුරු සහිත යැයි දේශනා කරත් නම් එය එසේ ම ය. තෙරුවන් සරණින් බැහැරව අප, අප කෙරෙහි විශ්වාසය තබමින් කාය, වාග්, මනෝ දුෂ්චරිතයෙන් යුතු නම් ඉදිරිය අතිශයින් ම බියකරු ය. අනතුරු සහිත ම ය.

දුර්ලභව ලැබු මිනිසත් බව තණ අග පිණි බිඳක් වන්ව මරණය අබිමුවෙහි ය. ඉතා කලාතුරකින් දක්නට ලැබෙන බුද්ධ ශාසනය ද මුණගැසී ඇත. මේ උතුම් ක්‍ෂණයෙහි අර්ථය ජීවිතයට ළංකර ගැනීමට තවත් හෝරාවක්වත් ඉතිරිව තිබේදැයි අපි නො දනිමු. තවත් කිසිවෙකු විසින් අපව ගලවා ගත නො හැකි අන්දමේ අනතුරක මොහොතින් මොහොත අප ගෙවා දමමින් සිටිමු. සසර සයුර තුළ යළිත් මරණය හමුවේ හිස් අතින් ම ගිලී යන්නට පෙර අප, අප වෙනුවෙන් ගත යුතු හදිසි පියවරක් ඇත. ඒ සතර අපාය නැමැති පතුල සහිත සසර සයුරේ ගිලීයාම වෙනුවට අවබෝධයෙන් යුතුව ම තිසරණය තුළට පැමිණ සාංසාරික ජීවිත ආරක්‍ෂාව සලසා ගැනීම ය. අනතුරුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ම පිහිට කොට තමාට තමාව දූපතක් කර ගනිමින්, ධර්මය ම දූපතක් කර ගනිමින් සදාකාලික රැකවරණය සලසාගෙන සියලු දුකෙන් අත් මිදිය හැකි ය. ඉදින් එවන් කෙනෙකු වේ නම් ඔහුට කිව යුත්තේ නුවණැති සත්පුරුෂයා කියා ය. පුණ්‍යවන්තයා කියා ය. සුන්දර දූපතක සිටින ඔහුට සාගරයේ ගිලීයාම ගැන තිබෙන ගැටලුව කුමක් ද?

අප භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මයෙහි අසිරිය නුදුටු අසරණ මිනිසුන්ගේ අවිද්‍යා අන්ධකාරය අදටත් නො නැසී මෙවන් ඛේදවාචකයන් පිටුපස පැවතීම ලෝක සත්වයාගේ අසරණ භාවය මනා කොට පෙන්වන්නකි. එහෙත් අපට ඒ ආර්ය විද්‍යාවෙහි ආලෝකය පහළ කර ගැනීමට පිහිටක් ඇත. ඉදින් අප්‍රමාදී වෙමු. නැතහොත් අප ද ටයිටැනික් මෙන් සතර අපාය නම් සාගර පතුලේ බොහෝ කාලයකට තැන්පත් වනු ඇත.

සටහන – රොහාන් ඉන්ද්‍රජිත්

One comment

  1. ගොඩාක් පින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.