highlights of the week
Home » බෞද්ධ සාහිත්‍ය වර්ණනා » රන් ස්වරයෙන් විමුක්ති රස හැඬවූ මහා ගාන්ධර්වයාණෝ

රන් ස්වරයෙන් විමුක්ති රස හැඬවූ මහා ගාන්ධර්වයාණෝ

සංගීතය වූ කලී ජනකායකගේ හද ගැස්මේ රාව භාවය අතිශය සියුම් ලෙසත්, යථාර්ථවාදී ලෙසත් සවනට හා මනසට ස්පර්ශ වන සේ හැඬවිය හැකි ප්‍රබල මාධ්‍යයකි. මානව සන්තානගත උත්තර සාර ධර්මයන් පුබුදු කොට එමගින් ජනතා සිතුම් පැතුම් හා හැඟුම්වල ඒකමිතියක් ජනනය කිරීමේ අපූර්ව ශක්තියක් සංගීතය තුළ අන්තර්ගත වෙයි. මිනිසාගේ භාවමය ජීවිතය හා අනවරතයෙන් බැඳී පවතින මේ මාහැඟි කලා මාධ්‍යය තුළින් යට කී අභිප්‍රායයන් හා අර්ථ සිද්ධීන් සාක්ෂාත් කර ගත හැකි වනුයේ ස්වකීය මාධ්‍යය පිළිබඳ කලාත්මක ශික්ෂණයක් ලැබූ සංගීතඥයෙකුට පමණකි.

සැලුම් වෙව්ලුම් කන, ඇතිවෙමින් බිඳෙමින් යන ලෝක ධර්මයක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී සිටීමේ ආත්ම ශක්තිය ලබන්නේ භාවනාවෙන් තම ඉඳුරන් හික්මවා ගත් මුනිවරයෙකු පමණි. උසස් සංගීතඥයා ද ළං වන්නේ එබඳු මුනිවරයෙකුට ය. සංගීත සමාධියකින් ඔහු සිය අධ්‍යාත්මය හික්මවා ගත් බැවින් ඔහුගේ ඇඟිලි තුඩගින් හැඬවෙන තතින්, මුවින් පිටවෙන ගී සරින් නින්නාද වන්නේ මිනිසා යුගයෙන් යුගයට හඬ ගා පවසන සදාතනික පණිවුඩයයි. එනම් සිනහව කඳුළ දෙක ම, නො එසේ නම් උපත මරණය දෙක ම මිනිසා සතු පොදු උරුමයක් බවයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම සංගීතඥයා – ගායන ශිල්පියා බවට පත්වූයේ පූර්වෝක්ත පණිවුඩය කලාත්මක චමත්කාරයක් දැනවෙන සේ පරිසමාප්ත ලෙස ඉදිරිපත් කළ හෙයිනි. ඒ සඳහා ඔහු ආවේශය ලැබුවේ දෙදහස් තුන්සිය වසරක දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව හික්මවූ නිදහස් බෞද්ධ සම්ප්‍රදායෙනි. පාලි භාෂාවෙන් සුපෝෂිත වූ හෙළ බස් රීතියෙනි.

වෙනත් කිසිදු දේශයක නො වූ විරූ ඒ සා දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ මෙරට ජනකායගේ අධ්‍යාත්මය පෝෂණය කරන ලද්දේ බෞද්ධ ජීවන සම්ප්‍රදාය විසිනි. බුදු දහමට සරි කොට ඉන් ලැබූ ශික්ෂණය විසින් තම දිවි පෙවෙත අරුත්බර ආස්වාදනීය මිහිරක් බවට පත්කර ගැනීමට වාසනාව හිමිකොට ගත්තේ ඉතා ම අල්ප සංඛ්‍යාවකි. කලාතුරකින් රටක පහළ වන එබඳු සත්පුරුෂයකු වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දිවි මග එළිය වූයේ කුඩා වියේ සිට ම බෞද්ධ සම්ප්‍රදාය අනුශය පරිසරයක ආස්වාදය ලද හෙයිනි. එපුවත එතුමන්ගේ ම ව්‍යක්ත වූත් රසාලප්ත වූත් ගේයමය බස අනුසරින් අසමු.

“වෙණ නදින් ගී සරින් නිබඳ ගුම්ගත් ගෙදරත්, හදට දැනෙන මන්ද සරින් කවි ගී සිලෝ ගාථා ගැයූ ධම්මතිලක හිමිපාණන් වැඩ විසූ ගමේ පන්සලත්, මහ පඬි කුමරතුඟු මුනිදසුන් අනුශය කැ. ජො. පෙරේරා ගුරු පිය සෙවණ ලැබූ ගමේ ශ්‍රී සද්ධර්මෝදය පාසැලත් මගේ ජීවන ප්‍රණිධාන සෑදූ ආශ්‍රම විණි. වයසින්, නුවණින් මුහුකුරා යත් ම ගායනය, වාදනය, භාෂණය මතු නොව ලේඛනය ද මට මහත් සොම්නසක් ගෙනදුනි.”

(නාද සිත්තම් – අමරදේව)

වෙණ නදින් ගී සරින් ගුම්ගත් සිය නිවහනේ කුඩා අවධිය අමරදේවයන් අත්පත් කොටගත් ජීවන ප්‍රණිධානය බුදු දහමේ නිමල ආස්වාදය ලැබූවකි. හැත්තෑ වසරක් සපුරා එතුමන් ගැයූ දහස් සංඛ්‍යාත ගීතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් බොදුනු සංකල්පය හා බැඳී පැවතුණි. නව යොවුන් වියේ දී ම ගීත ගායනයට පිවිසි ඔහු ගැයූ මුල් ම ගීතය බුදු වදනත්, නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගත් රහතන් වහන්සේලා අනුස්මරණය කරන්නකි. ඒ වූ කලී මින් හැත්තෑ වසරකට පෙර නිෂ්පාදනය කළ “අශෝකමාලා” චිත්‍රපටයට ගැයූ ‘භවේ භීත හැර’ යන ගීතයයි.

“භවේ භීත හැර දේශිත තිලෝනා ධර්මේ රසේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගේ පැටලී
ගැලී කාම අඳුරේ භව ආලේ
දෝෂ සෙව්වෝ තාම මේ ලෝකේ
ආල වැඩුවෝ ධ්‍යාන මනසේ
වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ
පරම ශාන්ත නිර්වාණේ…”

මේ ගීතය ගායනා කළ 1946 වසර වන විට අමරදේවයන් හැඳින්වූයේ ඔහුගේ දෙමාපියන් තැබූ නාමය වන ඇල්බට් පෙරේරා යනුවෙනි. මේ කුළුඳුල් ගීතය ගායනයේ විශේෂය නම් ඇල්බට් පෙරේරා තාපසයෙකු ලෙස රඟපාමින් ගීත ගැයීමයි. රාග, ද්වේෂ, මෝහයේ ගැලී තෘෂ්ණා දැලේ පැටලී සිටින අය තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ දහම් රසය විඳ භවේ භීත හැර ධ්‍යාන වඩා (අර්හත්වය සාක්ෂාත් කොට) පරම ශාන්ත නිර්වාණය පසක් කළ බව එම ගීතයෙන් කියැවිණ. අමරදේවයන් අශෝකමාලා හි ගැයූ දෙවැනි ගීතය වූ ‘ඇයි කළේ යමෙකු ආලේ’ පද වැලෙන් කියැවෙන්නේ පව්කම් කිරීමේ විපාක ගැන ය. ‘සෑසී ධර්මේ දේශිත කර්මේ පහදා දුනි ලොවටා’ යනු විසිනි එම ගීතය අවසන් වන්නේ.

අමරදේවයන් මුල්වරට රචනා කළ ගීතය වූ ‘පීනමුකෝ කළුගඟේ’ පද මාලාව බුදරජාණන් වහන්සේ උදෙසා පිරිනැමූ පූජෝපහාරයකි. කළුතර විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සමයේ කළුතර බෝ සමිඳුන් දැකීමෙන් තම සිත තුළ ජනිත වූ බුද්ධාලම්භන ප්‍රීතිය කරණ කොට ගෙන එම ගීතය රචනා කොට ගායනා කිරීමේ අදහස ඇතිවූ බව ඔහු සඳහන් කොට තිබේ. වෙසක් පුන් පොහොය දින බෝ මළුවට රැස්වී සාධු නාද නගන සැදැහැති ජනකාය නිවන් මඟට පිළින් අය සේ හැඳින්වීම තුළින් තරුණ වියේ දී ම අමරදේවයන් බෞද්ධ සම්ප්‍රදාය මැනැවින් පසක් කොටගෙන සිටි බව කිව හැකි ය.

‘බුදු හිමියාණන් තිලෝ දිනූ ඒ
පෝය දිනේ සිරි වෙසඟේ
සාධු නාද දෙති මහ සේනාවෝ
නිවන් මගට බසිනා’

කළු ගඟ අසබඩ බෝපත් නැළවෙන පරිසයේ සොබා සෞන්දර්යයෙන් ඔද වැඩුණු ගේය පද රචක ගායකයා පුන් පොහෝ දිනයක බෝ මළුවට රැස් වන සැදැහැතියන්ගේ විලාසය වර්ණනා කරන්නේ ශ්‍රාවක ජනයාට සනාතන වූ ශාන්ත රසයක් ගෙන දෙමිනි.

නිදහස් බෞද්ධ සම්ප්‍රදාය විසින් සිය අධ්‍යාත්මය හික්මවා ගනු ලැබූ කලාකරුවා අත ගසන කවර ම නිර්මාණයක වුව ද වෑහෙන්නේ දහම් සුවඳ යි. ස්වදේශ වාත්සල්‍යයෙන් යුතු අදීන පරපුරක ප්‍රෞඩත්වය, ස්වභාවික පරිසරයේ චමත්කාරය, දාරක ප්‍රේමය, යොවුන් සෙනෙහසේ ප්‍රබෝධය, වියපත් ජීවිතයේ හුදෙකලාව යනාදී භෞතික හා ආධ්‍යාත්මික වූ කවර ම විෂයයක් අරභයා වුව ද අමරදේවයන් ගැයූ ගීතයන්හි දැවටී තිබුණේ බුදු දහමේ පිවිතුරු සංකල්පයන් ය.

අමරදේවයන් විසින් රචනා කොට ගායනා කරන ලද දෙවැනි ගීතයට වස්තු වූයේ නව යොවුන් පෙම්වතුන් දෙපලකගේ උද්දාමයකි. මේ ගී පැබැඳුමට බෞද්ධ සාහිත්‍යයේ ථේර ථේරී ගාථාවන්හි ආභාසය ලබා ඇතැයි සිතිය හැකි ය. ස්වභාවික පරිසරයේ සුන්දරත්වය අව්‍යාජ ලෙස වර්ණනා කොට අනතුරුව ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙමින් විරාගී දහම් ගීයක් ඉස්මතු කිරීම බෞද්ධ උදාන ගීතයන්හි ලක්ෂණයකි.

‘ශාන්ත මේ රෑ යාමේ
දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ
හා ඇසේ වන කෝකිල ගීතේ
ශෝක යාවි සිඳිලා
වෙසඟ මේ පුන් පෝදා
මාහිමි දිනූ ත්‍රෛලෝනා’

සඳ කැන් වගුරුවන සුන්දර රැයක, ප්‍රේමය උද්දීපනය කරන විභවයන් මැද සොබා සෞන්දර්යයෙන් ඔද වැඩෙන පෙම්වතුන්ට වෙසක් පුන් පොහෝදා සිහියට නැගෙන්නේ තුන් ලෝකය දිනූ බුදුරජාණන් වහන්සේ ය. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය දැයක ජීවිත වත කොතරම් භාග්‍ය සම්පන්න වේ ද!

වෙනත් ගේය පද රචකයන් විසින් පබඳින ලද ගී පද මාලා අමරදේවයන් ගායනය සඳහා තෝරා ගත්තේ තම අභිමතයට සරිලන පරිදි අවශ්‍ය සංශෝධනයන් කිරීමෙන් පසුව ය. ඔහු ගැයූ සෑම ප්‍රේම ගීතයක ම විරහ ගීතයක ම නින්නාද වූයේ රාගය නොව නිරාමිස වීතරාගී ප්‍රීතිය ම ය. ශෘංගාරය අතික්‍රමණය කළ උතුම් ඊප්ෂිතාර්ථයක් එතුමන් ගැයූ සෑම ප්‍රේම ගීතයක ම දැක්ක හැකි ය.

‘අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැළවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අත වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා’

ගේහසිත ප්‍රේමයේ සොඳුරු චමත්කාරය තුළින් අනිත්‍යය පිළිබිඹු කර දැක්වූ අයුරු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ යනාදී ගීතවලින් මොනවට විශද වෙයි. මේ විෂය අරභයා පමණක් පිටු සිය ගණනකින් කියා වර්ණනා කළ නො හැකි ගීත රැසක් අමරදේවයන් විසින් ගයා ඇත.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ බැතිය ම වඩවන ගීත ගායනයට සුභාවිත වූ කටහඬක් අමරදේවයන් උරුම කොට ගත්තේ උපතින් ම හිමි වූ පින්වන්ත භාවය හා වාසනා ගුණය නිසා ය. සිංහල පාලි භාෂාවන්හි සුගායනීය රිද්මය ඔහු හද වෙණ තතෙහි නිබඳ රැව් දුන්නේ ය. එතුමන් විසින් පබඳින ලද හැම වදනක ම ගැබ් වී පවත්නා ශබ්ද මාධූර්යය, ගායනයේ දී සිය සිය ගණනකින් තරඟ නැගී ශ්‍රාවක සත්ජන ප්‍රසාදය තියුණු කළ අයුරු මනරම් ය.

‘වඳිමු සුගත ශාක්‍යසිංහ සසර දිනූ බුදු පියා//
රමණී මන්දාර කුසුම් කරමින් පූජා
බැතියෙන් යම් ගී ගයා
මෝක්ෂේ සැප ශාන්ති සැදූ
මොහඳුරු ලොවෙහි බිඳලූ
සම්බුදු මාගේ සමිඳා සිහිකර නමැදා
කරමි මහා ප්‍රාර්ථනා
සුන්දර නිවනා
පරම අමා සම්පතා’

ගේය පද බැඳුමෙන්, ස්වර සංරචනාවෙන් මෙබඳු සම්බුද්ධ පූජාවක් කළ වාග්නේය නිර්මාණකරුවෙකු අප ජීවත්වන යුගයේ දකින්ට, අසන්ට ලැබීම මහත් භාග්‍යයක්මැයි. පදවැල් හයක් ඔස්සේ නැගෙන ශාන්ත රස සමාහිත බුදු ගුණ වැනුම නිමාවන්නේ සුන්දර වූ නිවන පරම අමා සම්පතක් බව පවසමිනි. අමරදේවයන් ගැයූ මෙබඳු ගීත බුද්ධානුස්සති භාවනාවක් වැන්න.

සම්බුද්ධ වන්දනා ගීත ගායනයේ දී සැදැහැ බැති පෙම තියුණු කෙරෙන පරිද්දෙන් පාලි වදන් සිංහල සුභාවිත ගීතයට උපයෝගී කොටගත් මහා ගාන්ධර්වයාණන් සිය රන් ස්වරය නින්නාද කළේ බුදුගුණ තරංග මාලාවක් පරිද්දෙනි.

‘නමෝ නමෝ බුද්ධ දිවාකරාය
නමෝ නමෝ ගෝතම චන්දිමාය
නමෝ නමෝ නන්ත ගුණන්නවාය
නමෝ නමෝ ශාක්‍ය නන්දනාය’
සනාතන ඔබ දහම හිමි සඳ – සදාකල් මට සරණ වේවා!
ලොවේ තැවුලින් තැවෙන මා හද – ඔබේ පාමුල පුබුදු වේවා!’

ත්‍රිපිටකයේ එන ඇතැම් ගාථා රත්නයක් සංගීතවත් කොට ගැයීමේ දී ඊට උචිත නාද මාලාවක් හා ගායන ලාවන්‍යයක් මුසු කළ එක ම සංගීතවේදියාණන් වූයේ අමරදේවයන් ය.

ජීවිත කාලයේ දී ම, ස්වකීය හරසරු දිවි මඟට උචිත නාමාභිධානයකින් දෙවරක් අමරණීයත්වයට (අමර – දේව) පත්ව හැත්තෑ වසරක් පුරා මධුර ස්වර සංගත මුව සරින් ජන හදවත් සුවපත් කළ මහා ගාන්ධර්වයාණන් මෙලොවින් සමුගැනීමට දින තුනකට පෙර ගැයූ අවසන් ගී පදවැල් හත නිමා කළේ ‘බුදු හිමි සෙවණේ සිසිල ලැබේවා!’ යනුවෙන් පතමිනි.

‘සසර දනව්වේ දුක් පීඩා විඳ
නවාතැන් සොයා අප යනවා
ඒ යන ගමනේ කොතැනක දී හෝ
බුදු හිමි සෙවණේ සිහිල ලැබේවා!’

රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ එම ගේය පද වැලේ නිමාව වූ කලී අමරදේවයන් සිය ජීවිත කාලය පුරා පැතූ බුදු දහමේ අමා සිහිලසින් ලබන පරම නිෂ්ටාව කරා ළඟාවීමට කළ පැතුමක් වැන්න.

බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා පහස ලැබූ ශ්‍රී ලංකා ධරණී තලයේ සිරස හෙවත් සමනොළ ගිර පින්බිම අරභයා ගැයුණු ගීත රාශිය අතුරෙන් පණ්ඩිත් අමරදේවයන් ගැයූ ‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ’ ගීතය රචනා කරන ලද්දේ මහගම සේකරයන් විසිනි. සේකර – අමරදේව සුසංයෝගය සිංහල බෞද්ධ සභ්‍යත්වයේ අභිමානය ගී පොතේ සනිටුහන් කරන්නක් නම් එහි ඉහළින් ම තැබිය යුත්තේ ‘සිරිපා පියුමේ’ ගීතය යි. ගේය පද රචනය ම ගීතයක් ලෙසින් ගලා යන ආකාරය අසිරිමත් ය.

‘සිරිපා පියුමේ රොන් සුණු තැවරේ
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ

නිවන් දොරට මඟ පානා
සමනොළ රන් කොත මුදුනේ
බැන්ද වියන් සේ…
අරුණු වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පා වී යයි නිසංසලේ
මහරහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුල කඳුවැටි අතරේ’

පාලි ගාථා හා පිරිත් අතරින් නැගී එන ස්වර සංගතීන් එම ගීතයේ සංගීත ආකෘතිය සාධනය කර ගැනීමේ ඉවහල් කොටගත් අයුරු අමරදේව පැහැදිලි කළහ. සමනොළ ගිර නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන ‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන තුන්සරණේ නාද මාලාවන්ගේ පරිපූර්ණ ආභාසය මේ ගීතය ඔස්සේ විහිදුවා ලූ බව අමරදේවයෝ සිය ‘නාද සිත්තම්’ කෘතියෙහි ලා දැක්වූහ.

බුදුරජාණන් වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ උතුම් පහස ලැබූ සමනොළ ගිර මුදුන හා පවන් රොදින් පාවී යන අරුණු වලා ආශ්‍රිත පරිසරය ගීතයේ පසුබිම ලෙස චිත්‍රණය වෙයි. ගිමන් නිවන පවන් රොද හමා එන්නේ සිරිපා පියුමේ රොන් සුණු වැළඳගෙන ය. රන් හුයක ඇමිණූ මුතු මෙන් සුසංගතව එකිනෙක ලුහුබැඳ දිවෙන වදන් සිත්තම සිහිපත් කරවන්නේ පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ සමන්ගිරට වැඩම වූ ඒ අති උතුම් දිනය යි. ‘මහරහතුන් වැඩි මග ඔස්සේ වලා අතුල කඳු වැටි අතරේ’ යන අමර ස්වරය සවන් වැකෙන විට ම සිහිපත් වන්නේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන අහසින් වඩින විලාසය යි.

හැම ජාතියකට ම සාධාරණ වූ අධ්‍යාත්ම සම්භාෂණයක් වන සංගීතය ස්වකීය මාධ්‍යය කොටගෙන සර්වකාලීන අගයෙන් යුක්ත වූ ද ප්‍රසාද මාධූර්ය ගුණ සම්පන්න වූ ද සදහම් අමා සිහිලස රංජනය කරන්නා වූ ද ශත සහස්‍ර නිර්මාණ සම්භාරයෙන් ශ්‍රාවක ශ්‍රවණ රමණීය කළ අමරදේවයන්ගේ මධුර ස්වරය මතු මතුත් ජාතියේ යහපත පිණිස ම පවතීවා!

සටහන
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති

Leave a Reply

Your email address will not be published.

x

Check Also

විශ්වයේ අග මුල සොයා ගිය අපේ ජන කවියෝ

භාෂාව සතු මෙම ප්‍රබල ශක්තියෙන් වඩාත් ඵල නෙළා ගත්තේ ජන කවියා ය. විශ්වයේ පහළ වීම ගැන කුහුලක් දක්වන ඔහු සිවුපදයේ හෙවත් කවියේ උපත ද ඒ හා සමඟ ම සිදු වී යයි අදහයි.