වත් ව්‍යවහාරික වර්ෂයක ආරම්භයේ අපි සිටින්නෙමු. පසුගිය වසරට වඩා වෙනස් සහ සාධනීය අයුරින් ජීවිතය වෙනස් කරන්නට කෙටුම්පත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා විය යුතු ය. කලින් කලට මුණගැසෙන සන්ධිස්ථාන මුල් කර ගනිමින් මෙසේ විවිධ ආකාරයෙන් ජීවිතයේ වෙනස්කම් සිදු කරන්නට උත්සාහ කිරීම දැනුම් තේරුම් ඇති කාලයේ පටන් ම අපගේ ඉලක්කයක් විය.

සෑම වර්ෂයක දී ම දින කිහිපයක් මෙසේ අප විසින් අනාගත සැලසුම් සකස් කිරීම පිණිස යොදා ගැනේ. ඇතැම් විට ඒ සැලසුම් කර පරිද්දෙන් ම හෝ ඊටත් වඩා සාර්ථක ලෙසින් අදාළ කටයුත්ත සඵල කර ගන්නට අපට ඉඩ ලැබේ. ඇතැම් විට සැලසුම් කළ ආකාරය හාත්පසින් ම වෙනස් වී වෙනස් ම සැලසුමක් කරා යන්නට අපට සිදු වේ. අපගේ සැලසුම සහමුලින් ම අසාර්ථක වන අවස්ථා ද නැත්තේ නො වේ. මේ නිසා සෑම වසරක් ම අපට ජයග්‍රහණයන්, පරාජයන්, නැගී සිටීම්, බිඳ වැටීම් අඩු වැඩි පරිද්දෙන් මුසු වූ කාලසීමාවන් බවට පත් වේ.

නැවත විමසා බැලුවහොත් අප කලින් කල එසේ තබා ගත් ඉලක්කයන් අප ව ආපසු නො හැරෙන දියුණුවක් කරා ගෙන ගොස් නැති බව පෙනී යයි. අපගේ ඉලක්ක හුදෙක් ඒ වසරට, ඒ ඒ කාලසීමාවට පමණක් අදාළ වූ ඒවා ය. එනිසා ම නැවත නැවතත් සැලසුම් සකසන්නට අපට සිදු වේ. අප ගෙවන මේ ජීවිතය තුළ කෙටිකාලීන ඉලක්ක තබා ගැනීම වැදගත් බව සැබෑවකි. එහෙත්, මෙවන් ජීවිත ගණනාවක් කෙටිකාලීන ඉලක්ක මත පදනම් ව අප විසින් ගෙවා අවසන් කළා නො වේ ද?

ආරම්භක කෙළවරක් පැනවිය නො හැකි මේ සසර ගමනේ අප විසින් නො ලද සැපයක් වේ නම් ඒ වනාහී නිර්වාණ සැපය මිස අනෙකක් නො වේ. එසේ නම්, අප කලින් කල සැලසුම් සකසන්නේ පෙර ලැබුවා වූ ද අනිත්‍ය වී ගියා වූ ද සැපපහසුවක් ලබනු පිණිස ය. පෙර ද වූ අයුරින්, ඒ ලද – එහෙත් ලැබුවා යැයි කියා මතකයේ හෝ නැති සැපසම්පත් අත්පත් කර ගන්නට අප අපේක්ෂා සහගත ව සිටිද්දී ම මේ කෙටිකාලීන ජීවිතය අපට අහිමි විය හැකි ය.

එසේ නම් අප මේ ජීවිතයෙන් අහිමි වී නො යන, මතු ජීවිතයක දී නොවෙනස් ව හිමි වන යමක් හිමි කර ගත යුතු ය. එවැනි දේවල් ලෝකයේ තිබේ ද? නිසැකව ම තිබේ. චක්‍රවර්තී රජ පදවි පවා එක් ජීවිතයකින් පසු අහිමි වී ගිය ද සම්බුද්ධ ශාසනයක මාර්ග ඵල ලැබූවෙකුගේ එම මාර්ග ඵලලාභීත්වය එසේ ජීවිතයෙන් ජීවිතයට වෙනස් වන්නේ නැත. විය හැකි දෙය, මරණින් මතු ලබන උපත තුළ දී එහි විපුල බවට පත් වෙමින් මෙතෙක් නො ලද ඒ පරම ප්‍රණීත වූ නිර්වාණ සැපය සාක්ෂාත් කිරීමේ මඟ සම්පූර්ණ කිරීමයි.

පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයක ලද මේ මිනිස් ජීවිතයේ ගෙවී යන සෑම මොහොතක් පාසා ම අපට ඉලක්කය විය යුත්තේ ද එය යි. අද අද ම කළ යුතු දෙය ද එය ම මිස අනෙකක් නම් නො වේ.

“අජ්ජේව කිච්චං ආතප්පං
කෝ ජඤ්ඤා මරණං සුවේ
න හි නෝ සංගරං තේන
මහාසේනේන මච්චුනා”

“අද කළ යුතු දෙය අද ම කරන්න. හෙට මැරෙයි ද කවුද දන්නේ? මහා සේනා ඇති මාරයා සමඟ ගිවිසුමක් නැත.”