highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 6

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 6

එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා.

“ඇයි පුතේ…. මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?”

“හා… ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? අනේ… ආච්චියේ මං මේ කල්පනා කළේ අද අහපු බණක් ගැනයි.”

“මොකක් ද පුතේ අහපු බණ?”

“ඇයි ආච්චියේ අපි අද මහරගම පුංචි අම්මලා ගේ ගෙදර දානයට ගියේ. එතැනදී ස්වාමීන් වහන්සේ බණට කිව්වේ එක නමකට වුනත් දානයක් පූජා කරද්දී භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ රත්නයට පූජා කරනවා කියලා හිතන්ට කියලයි. අනේ… මට ඒ කතාව තේරුනේ නෑ.”

“මෙහෙම නෙ පුතේ… අපි භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්ට, ඕනෑ තරම් උන්වහන්සේලාගේ විස්තර දන්නවා නොවැ. එහෙම සිත පහදවා ගත්තාම අපගේ සිත තුළ බුද්ධානුස්සතියත් වැඩෙනවා. ධම්මානුස්සතියත් වැඩෙනවා. සංඝානුස්සතියත් වැඩෙනවා.”

“අනේ ආච්චියේ, එහෙම වෙන්නේ කොහොමෙයි?”

“ඇයි පුතේ… අප ගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා මේ උතුම් පැවිදි බව පෙන්වා දීලා බුද්ධ ශාසනේ තුළ පිළිවෙත් පුරන හැටි දේශනා නොකළා නම් අපට සඟරුවනක් නෑ නොවැ. ඒ ධර්මය දේශනා නොකළා නම් නිවන් මගක් දන්නේ නෑ නොවැ. ඒ නිවන වෙනුවෙන් වීරිය කරන සංඝයා වහන්සේලා නොසිටියා නම් අපට පිං කෙතක් නෑ නොවැ.”

“අනේ ආච්චියේ… ඒක මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්ට.” එතකොට අපේ ආච්චි මෙහෙම කිව්වා. “ම්… එහෙනම් පුතේ නංගිටත් එන්ට කියන්ට. කව්රුත් මේවා දැනකියා ගන්නා එක හොඳයි නොවැ. ඉතින් මං අපේ නංගියාවත් එක්කරගෙන ඇවිත් ආච්චි ළඟින් වාඩි වුනා. ලස්සන සිනාවෙන් යුතු අපේ ආච්චි මෙහෙම කතාව පටන් ගත්තා.

“පුතේ… ඉස්සර කාලේ අපේ රටේ දීඝවාපිය පැත්තට වෙන්ට අමරලෙන කියලා සේනාසනයක් තිබුනා. ඒ ආරණ්‍යයේ ‘තිස්ස’ නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. ඔය රහතන් වහන්සේ ගෙන් ධර්මය ඉගෙන ගන්ට ‘තිස්සනාග’ කියන මහ තෙරුන්නාන්සේ නමක් වැඩම කොළා. ඉතින් තිස්ස රහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් බණ දේශනා කොළා. උන්නාන්සේ මෙහෙමයි කිව්වේ.

“අනේ… ඇවැත්නි… මනාකොට තිසරණේ පිහිටන්නේ නැතිව පෘථග්ජනයෙක් හැටියට මැරෙන්ට උනොත් සුගතිය නම් අවිශ්වාසයි. සුගතිය ලැබෙන්ටත් පුළුවනි. සතර අපායේ වැටෙන්ටත් පුළුවනි.

බුද්ධ ශාසනයේ පැවිදි වෙන්ට ලැබුනු වෙලාවේ උතුම් තිසරණයේ පිහිටා සතර සංවර සීලයේ ආරස්සාව ගන්ට ඕනෑ” කිව්වා.

“අනේ… ආච්චි… සතර සංවර සීලය කියන්නේ මොකක්ද?” “මයෙ පුතේ, ලෝකයේ සියලු ගංගා ජලයෙන්වත් පිරිසිදු කොරන්ට බැරි කෙලෙස්, සීලයෙන් පිරිසිදු කොරනවා. සිත අසංවර වීමෙන් ඇවිලෙන ගිනි, සිහිල් ජලයෙන් වගේ සීලයෙන් නිවා දමනවා. දෙව්ලෝ වඩින්ට සීලය ඉණිමග වගෙයි. සීලය අමා මහා නිවනට වඩින දොරටුව වගෙයි. තපෝ ගුණයෙන් යුතු සිල්වත් භික්ෂුව දෙවියන්ට පේන්නේ ආකහේ සඳ මඬල වගෙයි.

ඉතින් පුතේ, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මේවා කොරන්ට නාකයි… මේවා කොරන්ට එපා’ කියලා තහනම් කොරපු දේවල් තියෙනවා. එහෙම තහනම් කොළේ ඒවා සතර අපායේ උපද්දවන්ට හේතුවන නිසයි. ඒවා නොකොට සංවර වෙන දේට කියන්නේ සිල් පද කියලයි. අපේ ස්වාමීන් වහන්සේලා ඒ සිල්පද වලට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලයි.

ඒ වගේ ම පුතේ… තමුන්නේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, සිත අකුසලයට යොමු නොකොට ආරස්සා කොර ගැනීමට ඉන්ද්‍රිය සංවර සීලය කියනවා. ආන්න ඒ සීලයෙන් බුදුසසුන්ගත ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරනවා.
සිල්වත් සඟරුවන තමුන්නේ පැවිදි ජිවිතය අධාර්මික ක්‍රමවලින් ලැබෙන දෙයින් නඩත්තු කොරන්නේ නෑ. ඒකට කියනවා පුතේ ආජීව පාරිශුද්ධි සීලය කියලා.

ඊළඟට පුතේ අපි බුදුසසුනේ පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේට පිළිවෙත් පුරාගන්ට පහසු වෙන විදිහට කුටි සෙනසුන් හදා පූජා කොරනවා. සිව්රු පූජා කොරනවා. දානමාන පූජා කොරනවා. බෙහෙත් ඖෂධ පූජා කොරනවා නොවැ. ඉතින් උන්වහන්සේලා ඒවා පරිහරණය කරද්දී ඒවා කෙරෙහි ආශාව නොපිහිටන විදිහට ප්‍රත්‍යවේක්ෂා කොරලා තමයි පාවිච්චි කරන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියලා.

ඉතින් පුතේ ඔය විදිහට තිස්ස මහරහතන් වහන්සේ තිස්සනාග තෙරුන්ට සතර සංවර සිල් උගැන්නුවා. ඊට පස්සේ සතිපට්ඨානෙයි මෛත්‍රී භාවනාවයි ඉගැන්නුවා.”

“ආච්චියේ… සතිපට්ඨානේ කිව්වේ අපට ස්වාමීන් වහන්සේලා කියා දීපු කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන හතර නේද?”

“බොහෝම හරි පුතේ… ඒවා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ තමුන්නේ ශ්‍රාවක භික්ෂූන්ට පුරුදු කොරන්ට කියලා කියා දුන්නේ. ඉතින් මේ තිස්සනාග තෙරුන් ඒවා හොඳට පුරුදු කොළා. රහතන් වහන්සේ ඒ ගැන සතුටු වෙලා කිව්වා දැන් ඉතින් තමුන්නේ වෙහෙරට ගොහින් දිගට ම ධර්මය පුරුදු කොරන්ට කියලා.

රහතන් වහන්සේට වන්දනා කොරලා අපේ තිස්සනාග තෙරුන් අමරලෙනින් නික්මුනා. මහා වනය මැදින් පිටත් වුනා. ඒ පාරේ වඩිද්දී මහා වැස්සක ලකුණු පහළ වුනා. එතකොට ම වනේ මැදින් මද කිපුනු තනි අලියා ඇවිදින් පාර අවුරාගෙන සිට ගත්තා නොවැ. හප්පේ… අපේ තෙරුන්නාන්සේට එක්වරම භාග්‍යවතුන් වහන්සේව මතක් වුනා. උන්වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව මතක් වුනා. මේ මහා බිහිසුණු හස්තිරාජයාට මෙත් සිත පතුරන්ට පටන් ගත්තා.

එතකොට ඇතා කලබලයක් නැතිව තෙරුන් වහන්සේගේ ඉදිරියට ආවා. නිසොල්මනේ හිට ගත්තා. හෝ ගාලා මහාවැස්සක් ඇද හැලෙන්ට පටන් ගත්තා. තෙරුන් වහන්සේට නොතෙමී ඉන්නට තැනක් නැතිව ඇතාගේ කුස යටට ගොහින් වාඩිවෙලා භාවනා කොරන්ට පටන් ගත්තා. බිහිසුණු ඇත්රජා ගේ පා සතර මැදින් වාඩි වී භාවනා කරනකොට උන්වහන්සේගේ ධර්ම මාර්ගය වේගයෙන් දියුණු වෙලා උතුම් රහත්ඵලයට පත්වුනා.

එතකොට ම ඇතා වට කොට අහසින් පිච්චමල් වරුසාවක් වැටුනා. මිහිරි සුවඳ පැතිරුනා. වැස්ස පෑව්වා. උන්වහන්සේ ඇත් කුස යටින් එළියට වැඩියා. දැන් ඇතා ඉදිරියෙන් යනවා. උන්වහන්සේ පස්සෙන් වඩිනවා. කැලෑ සීමාවට ඇවිත් ඇතා නතර වුනා. ඇතාට දුකයි. ඇතා ආයෙමත් උන්වහන්සේ විහාරයට වඩිනකල් ම පස්සෙන් ආවා. විහාරය අසල වනයේ නැවතිලා තිස් අවුරුද්දක් තිස්සනාග රහතන් වහන්සේට උපස්ථාන කළා.

ඒ රහතන් වහන්සේ පිරිනිවන් පෑ දවසේ හස්තිරාජයා වැලපුනා. උන්වහන්සේ ගේ ධාතු තැන්පත් කොට හදාපු චෛත්‍යයට හැමදාම මල් පිදුවා. ඇතාත් මරණින් මත්තේ තව්තිසාවේ උපන්නා.

බලන්ට පුතේ… අපගේ භාග්‍යවතුන් වහන්සේ නිසා මනුස්ස ලෝකෙටත් මහත් සෙතක් අත් වුනා. තිරිසන් සතුන්ටත් සුගතිය උදා වුනා. කිසි ධර්මයක් නැති මිසදිටු සුද්දෝ අපේ රට අල්ලාගත්තාට පස්සේ හැම පැත්තෙන් ම අපි පිරිහිලා ගියා පුතේ. ඔය සුද්දෝ ඌව පළාතේ විතරක් අලි ඇතුන් එකොළොස්දාහක් මරා දමලා තියෙනවලු. අලි ඇතුන් විතරක් යැ. අපේ මිනිස්සු ලක්ෂ ගණනක් මැරුවා. කුඹුරු වතුපිටි ගිනි තිබ්බා. එහෙමයි සිංහලයාව දමනය කළේ. නමුත් පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ ආනුභාවය නිසා අපි බේරුනා නොවැ.

දැක්කද පුතේ… අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ ආශ්චර්ය. දරුණු ඇත්තු පවා අම්මා පස්සෙන් දණ ගසාගෙන යන කිරිදරුවෝ වගේ උන්වහන්සේලා පස්සේ ගියා. අන්න ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ ජීවිතේ පූජා කොරලා පිළිවෙත් පුරා නිවන් දුටු ශ්‍රාවක සංඝරත්නය ගැන සිත සිතා ම යි පුතේ දන්පැන් පුදන්ට ඕනෑ. එතකොට අපි වෙහෙස මහන්සි වෙලා පුදන දානය මහත්ඵල ලබා දෙනවා ම යි.”

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9

ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.