highlights of the week
Home » කතුවැකිය » ඉවසීමට සීමාවක් නැත

ඉවසීමට සීමාවක් නැත

‘ඉවසීමට ද සීමාවක් තියෙනවා’ කියා පවසන පිරිස් ඔබට මුණගැසී තිබෙනවා විය හැකි ය. ඇතැම් විට ඔබ ම එසේ කියා තිබෙනවා වන්නට ද පුළුවන. සැබැවින් ම ඉවසීමේ සීමාව තිබෙන්නේ කොතැන ද?

ඇතැමෙකුට කර්කශ වචනයක් ඇසෙන සීමාව ඉවසීමේ සීමාව යි. තවකෙකුට කටුක කායික පීඩා ඇතිවන සීමාව ඉවසීමේ සීමාව යි. මේ ආකාරයෙන් ඉතා සුළු කරුණේ පටන් කටුක, මාරාන්තික පීඩාවන් දක්වා ‘ඉවසීමේ සීමා’ පැනවේ. එසේ නම්, මේ ලෝකයේ කථාබහ වන ඉවසීමේ සීමාව පුද්ගලරූපී ය.

අල්පමාත්‍ර පීඩාවේ පටන් මාරාන්තික පීඩා දක්වා වන කවර තැනක දී ඉවසීම සීමා වූවත් ඒ සීමාවෙන් එපිට තිබෙන්නේ සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ ඉන් සියල්ල හෝ කිහිපයක් හෝ භාවිත කිරීමෙන් සිදු කෙරෙන අයහපත් හැසිරීමකි. එසේ නම්, ඉවසීමට සීමාවක් පනවා ගැනීමෙන් අප සිදු කරන්නේ දුසිරිතට අනුබලයක් ලබා දීමකි.

සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ ජාතිභූමියේ වාසය කළ ධම්මික භික්ෂුව එබිම උපාසක පිරිස් විසින් ජාතිභූමියේ වූ ආවාසයන් හතෙන් ම නෙරපා හරින ලද්දේ ය. ධම්මික භික්ෂුව ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ, පරිභව කරමින්, වෙහෙසමින්, වචනයෙන් නුරුස්නා දේ කීම නිසා ඒ ආගන්තුක භික්ෂූන් ආවාසයන්ගෙන් නික්ම ආවාසය අත්හරිනු ලැබීම එයට හේතුපාදක විය. මෙකරුණ ධම්මික භික්ෂුව විසින් සම්බුදුරජුන්ට සැල කළ කල්හි උන්වහන්සේ මෙසේ ශ්‍රමණ ධර්මය පෙන්වා වදාළහ.

“බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙහිලා ශ්‍රමණ තෙමේ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නොකරයි. ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ නොකරයි. දබර කරන්නහුට පෙරළා දබර නොකරයි. මෙසේ බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ශ්‍රමණ තෙමේ ශ්‍රමණ ධර්මයෙහි පිහිටියේ වෙයි.”

(ධම්මික සූත්‍රය – අංගුත්තර නිකාය 4)

එසේ නම්, ඉවසීමට සීමා පැනවූ කල්හි අප බැහැර වන්නේ සම්බුදුරජුන් අනුදැන වදාළ ඒ ශ්‍රමණ ධර්මයෙන් ය.

අනෙකෙකු විසින් කිවයුතු වෙලාවටත්, නොකිවයුතු වෙලාවටත්, සත්‍යයෙනුත්, අසත්‍යයෙනුත්, මොළොක් ලෙසත්, දරුණු ලෙසත්, යහපත පිණිසත්, අයහපත පිණිසත, මෛත්‍රී සිතිනුත්, ද්වේෂ සිතිනුත් වචන කිව හැකි බව සම්බුදුරජුන්ගේ අවබෝධය යි. එවිට ඒ පුද්ගලයා කෙරෙහි ද අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවමින් වාසය කරමින් හික්මිය යුතු යැයි කියා සම්බුදුරජුන් අනුශාසනා කළ සේක.

ඒ ඉවසීම කොපමණ බලවත් විය යුතු ද යන්න සම්බුදුරජුන් මෙසේ උපමාවකින් දක්වා වදාළහ.

“නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කර ගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි. එවැනි අවස්ථාවක වුණත් පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියල. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේ ම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා.”

(කකචූපම සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය 1)

අද අප විසින් ඉවසීමට සීමා පනවන්නේ මෙසේ කියතකින් කපනවා වැනි දරුණු ගොරෝසු කරුණු අබියස ද? අනෙකාගේ සිනහව නිසාත් ඉවසීමට සීමා පනවන ලෝකය කියතකින් කපනු ලැබුවහොත් මොනවා නම් නො කරාවි ද? එහෙත්, සම්බුදුරජුන්ගේ අනුශාසනය අනුව යන්නවුන්ට නම් කියතකින් කපන කල්හී වුව ද ඉවසීමේ සීමාව එළඹෙන්නේ නැත. සැබැවින් ම, සම්බුදු ශ්‍රාවකයන්ට ඉවසීමට සීමාවක් නැත…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!

"මේ සියල්ල තුළ පෙනී යන්නේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය හාත්පසින් අප වට කොට තිබෙන බව නො වේ ද? "