highlights of the week
Home » සත්‍ය කතාවක් » තුනුරුවන් සරණ යෑමේ අනුසස්

තුනුරුවන් සරණ යෑමේ අනුසස්

මේ ලිපිය ලියන මා මෑණියන් වහන්සේනමක්. කාලයක් මම පානදුර ප්‍රදේශයේ මෑණියන් වහන්සේලා සඳහා වූ පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලැබුවා. එහි දී මම මුහුණ දුන් සත්‍ය සිදුවීමක් තමයි මේ.

ඒ පිරිවෙනේ ප්‍රධාන දායිකාව වුණේ පීරිස් අක්කා. පීරිස් අක්කා දවසට කිහිප වතාවක් ආරාමයට යමින් එමින් මෑණියන් වහන්සේලාගේ සැප දුක හොයලා බැලුවේ අම්මා කෙනෙක් වගේ. පීරිස් අක්කාගේ ගෙදර හිටියෙ අක්කයි, අක්කගේ නැන්දලා දෙන්නයි (තාත්තගේ අක්කලා දෙන්නා – අවිවාහක) අක්කගේ පුතයි. නැන්දලා දෙන්න ම වයසයි. එක නැන්දා කෙනෙක්ගේ කකුලක බරවා රෝගී තත්ත්වය උග්‍ර වීම නිසා දණහිසෙන් කපලා ඉවත් කරලා තිබුණේ.
හදිසියෙම රෝද පුටුවේ හිටපු ඒ නැන්දා අසාධ්‍ය වෙලා මරණාසන්න වුණා. පීරිස් අක්කා ආරාමයට ඇවිත් පිරිත් ටිකක් කියන්න වඩින්න කියලා අපිව වඩම්මගෙන ගියා. අපි පිරිත් කියන අතරේ ඒ නැන්දා කටින් සෙම දදා කපපු කකුලේ කොට කෑල්ල උඩ විසිකරමින් පණ ඇද්දා, අන්තිමට පණ යන්න ඔන්න මෙන්න තියෙද්දි ඇස් අරලා අපි දිහත් රවලා බලලා පීරිස් අක්කා දිහා රවාගෙන ඉද්දිම පණ ගියා.

එදා ඉඳලා පීරිස් අක්කා නිතර ම අසාමාන්‍ය විදිහට වැටෙන්න හදනවලු. කවුරු හරි තල්ලු කරනවා වගේ, වෙට්ටු දානවා වගේලු. ඉතින් පීරිස් අක්කා විශ්වාසවන්ත තැනකින් බැලුවම කියලා තියෙනවා අර නැන්දා මැරිලා යකින්නක් වෙලා ඉන්නවා කියලා. එයා මැරිලා තියෙන්නේ පීරිස් අක්කා එක්ක තරහින්. මොකද බරවා රෝගය උග්‍ර වෙලා කකුල කපන සැත්කමට අත්සන් කරලා තියෙන්නේ පීරිස් අක්කා. කකුල කපන්න නැන්දා කැමති වෙලා නෑ. එකතැන් වෙලා දුක් විඳිද්දී ඒ තරහා හිතේ තියාගෙන ඉඳලා. දැන් උත්සාහ කරන්නේ පීරිස් අක්ක ව වට්ටලා කකුල කඩලා එකතැන් කරන්න. එතනින් උපදෙස් දීලා තිබුණා දවස් 7ක් බෝධි පූජාව තියන්න කියලා. 7 වෙනි දවස වෙද්දි එයා යාවි කියලා.

ඉතින් පීරිස් අක්කා හැමදාම ආරාමෙට ඇවිත් බෝධි පූජා තියනවා. ඔය විදිහට දවස් 6යි බෝධි පූජාව තියන්න ලැබුණේ. 7 වෙනි දවසේ හවස පීරිස් අක්කා මුළු ආරාමෙට ම දුම් අල්ලලා දුම් කබලත් අරං තනියම බෝධිය පැත්තට ගිහිල්ලා. බෝධිය තියෙන්නේ ගඟ අයිනේ. කවුරුවත් ඒ වෙලාවට තනියම ඒ පැත්තට යන්නේ නෑ යම් යම් හේතු නිසා. පීරිස් අක්කා අපි එනකන් නොයිඳ, ඒ පැත්තට ගිහින් දුම් කබල බිමින් තියලා හැරෙද්දිම අඟල් 5/6 ක් උස පඩියෙන් කකුල පැටලිලා වැටිලා. ගඟ පැත්තෙන් මර හඬින් කෑ ගහන සද්දෙ ඇහිලා අපි ගිහින් බලද්දි අක්කා වැටිලා කකුලක් බදාගෙන කෑගහනවා. බලද්දි වම් කකුලේ දණහිස බලන් ඉද්දි ඉදිමෙනවා. ඉක්මනින් ම වෙද මහත්තයෙක් ළඟට අක්ක ව අරං ගියා කෑගහද්දි. වෙදතුමා කකුල අල්ලලා බලලා අපිට පැත්තකට අඬගහලා කිවුවා “දණහිස් පොල්කට්ට දෙකට කැඩිලා, හරියට හෙදකම කෙරුණොත් මාස 5/6ක් යද්දි පය ගහලා නැගිටීවි, නැත්නම් ඉතින් සදහට ඇඳේ තමයි” කියලා.

අපි වෙදතුමාට අක්කගෙ නැන්දා ගැන කිවුවා. එතුමා කිව්වා එහෙනම් කොහොමටවත් ගෙදර තියන්න එපා ලෙඩා, පුළුවන් නම් ආරාමේ තියාගන්න කියලා. (අක්කගේ කැඩුනේ වම් කකුල, නැන්දගේ කපලා තිබුණෙත් වම් කකුල) කොහොම හරි පරිවේණාධිපති මෑණියන් වහන්සේගේ අවසර ඇතිව අක්කව ආරාමෙට ගෙනාවා. අක්කගේ බේත් කිරීමේ පටන් සියලු දේ සිදු වුණේ මගේ අතින්. වෙදතුමා නියම කළේ කකුල නොසොල්වා තැබිය යුතුයි කියලා. දණහිසේ මැදට එක බේතකුත් වටේට එක බේතකුත් බඳින්න තිබුණා. අක්කා හිටපු කාමරේ ම එක ඇඳක තමා මමත් හිටියේ. මොකද එයා ව තනි කරන්න එපා කියලා උපදෙස් ලැබී තිබුණු නිසා.

මම හැමදාම අක්කට නින්ද යනකම් පිරිත් කියනවා. රුවන්මැලි සෑ වරුණේ කවි කිය කිය කකුල අතගානවා. ඔළුව අතගානවා. එයාට නින්ද ගිය බව දැණුනම මම සැතපෙන්න හිතාගෙන ඇඳට යනවා. ඇඳට ගිය ගමන් පීරිස් අක්කා කෑගහගෙන අවදි වෙනවා. “කවුදෝ මගේ කකුල ඇද්දා” කියලා. හොලවන්න එපා කියපු කකුල අදින්නෙ කවුද කියලා මම දැනගත්තා. ඒ නිසා ම මම අක්කගෙ ඇඳ ළඟ පුටුවේ ඉඳගෙන එළි වෙනකම් කිරා වැටි වැටී පිරිත් කිය කිය තමයි රැය පහන් කළේ. ඔය අතරේ කාමරය පුරා නොයෙකුත් ශබ්ද ඇහෙන්න පටන්ගත්තා. හිටපු ගමන් නාන කාමරේ ජලකරාමය ඇරලා වතුර යනවා ඇහෙනවා. රෙදි සෝදනවා ඇහෙනවා. ලයිට් දාලා බලද්දි මොකුත් නෑ. සමහර දවසට එක පාරට ම වහලෙට මොකක් හරි කඩාවැටෙනවා වගේ මහා ශබ්දයක් ඇහෙනවා. ඇස් ඇරලා බලද්දි මහා කළු ගුලියක් පාවෙලා යනවා දකිනවා. මගේ ඇඳ තිබුණ තැන ජනේලයට එහා පැත්තේ කවුරුහරි අද්ද අද්ද යනවා ඇහෙනවා. ජනේලයට තට්ටු කරනවා. ගොඩක් වෙලාවට ඒ ශබ්ද ඇහෙද්දි පීරිස් අක්කා තද නින්දේ. මේ දේවල් දැනගත්තම වෙන කවුරුත් ඒ කාමරේ ඉන්න ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා දිගට ම මම තමයි උපස්ථානෙට ළඟ හිටියේ.

කොහොම හරි නියමිත පරිදි සාත්තුව කෙරුණු නිසා මාස එකහමාරක් දෙකක් යද්දි පීරිස් අක්කට ලොකු ගුණයක් ආවා. කකුල පහළට දාලා ඇඳේ / පුටුවේ ඉඳගන්න අවසර ලැබුණා. ඊට පස්සේ කෙළින් හිටගන්නත්, අඩිය අඩිය ඇවිදින්නත් අවසර ලැබුණා වෙදතුමාගෙන්. ඊට පස්සේ හැමදාම අක්ක ව උස්සගෙන ටික ටික අඩිය ගහලා ඇවිද්දෙව්වා. වෝකර් එකකුත් ගෙනත් දුන්නා අල්ලගෙන ඇවිදින්න. ඉතින් හැමෝටම සතුටුයි එකතැන් වෙන්න හිටපු ලෙඩා ඇවිදින්න පටන්ගත්තම. ඒත් මේකට අසතුටු වුණ කෙනෙකුත් හිටියා. ඒ තමයි මැරුණු නැන්දා. පීරිස් අක්කගෙන් පලිගන්න බැරිවුණ තැන එයාව සුව කරන්නට හැමදේම කළ මගෙන් පලිගන්න එයා තීරණය කරලා තිබුණා.

මේ සිදුවීම වෙන දවස වෙද්දි අක්කා ගොඩක් හොඳ සෞඛ්‍ය මට්ටමක හිටියත් මම හිටියේ අධික වෙහෙස හා නිදි වැරීම නිසා හොඳටම දුර්වල වෙලා, අඩපණ වෙලා. එදත් රෑ අක්කට කෑම කවලා දත් මද්දලා හැමදේම කරලා ඇඳට ඇරලලා මම සැතපෙන්න ඇඳට ගියා. වැටුණු ගමන් නින්ද ගියා හොඳට. රෑ 11.45ට විතර අක්කා මට කතා කරනවා ඇහුණා වැසිකිළි යන්න ඕන කියලා. ඉතින් මම අවදි වෙලා ලයිට් දාලා අක්කට පහසුව සලසා ආපහු ඇඳට එක්ක ගිහින් තියලා ලයිට් නිමලා ඇඳට ගියා ආපහු. වැඩි වෙලාවක් ගියේ නෑ, මට දැණුනා කවුරුහරි බෙල්ල ළඟ ගුලි කරන් හිටපු මගේ අත් දෙක යටින් සීතල අතක් දාලා මගේ බෙල්ල මිරිකගත්තා. මගේ අත් දෙකත් හිරවෙලා. මට නින්ද ගියේ නැතුව තියෙද්දිම මට පේනවා මගේ ඉස්සරහින් ලස්සන සුදුපාට දියරැලි දෙකක් වගේ දෙකක් ඇවිත් එකට එකතු වෙනවා වගේ. එතකොට ම කවුරුහරි කෑගහලා කිවුවා දියරැලි දෙකක් වගේ පෙනුනට දියරැලි දෙකක් නෙමෙයි, ඔන්න ඔන්න ළංවෙනවා කියා. එතකොට ම මට දැණුනා… මම දඟලන්න උත්සාහ කළා. ඒත් හෙලවෙන්නවත් බෑ. එන්න එන්න ම බෙල්ල තදවෙනවා. හුස්ම ගන්න බැරිව ගියා. කෑ ගහන්නත් බෑ. මරණීය වේදනාව, මරණ භය මට පුදුම විදිහට දැණුනා. මට දැණුනා මගේ ප්‍රාණය නිරුද්ධ වේගෙන එන බව. හදවත නැවතෙන්න ඉතා ම ආසන්න වුණා.

මට එක පාරට ම සිහිවුණේ මෙහෙම දෙයක්. “උඹට මොකුත් කරන්න බෑ. මම තෙරුවන් සරණ ගිය කෙනෙක්” කියනකොට ම මගේ බෙල්ලට හිරවුණ මගේ අත්දෙක එක පාරට ලිහිල් වුණා. ප්‍රෙෂර් බැලුවම අතේ හිරි යනවා වගේ මුළු ඇඟේ ම මවිල් කෙළින් කරගෙන හිරි ගියා. මම හොඳට හුස්මක් අරං බැලුවා හුස්ම වැටෙනව ද කියලා. හුස්ම වැටුණා. ඒත් කවුරු නමුත් මගේ බෙල්ල මිරිකපු කෙනා මගේ ඇඳ ළඟ ම ඉන්න බවක් දැණුනා. මම භයටයි වේදනාවටයි එයාට හිතින් හොඳට ම බැන්නා. “උඹ ආවා මෙතන මාත් එක්ක සෙල්ලම් කරන්න. තවත් මෙතනට වෙලා ඉන්නෙ නැතිව යනවා යන්න. මට්ටු වුණා මදි ද…” ආදී වශයෙන් කියද්දි මට තේරුණා මෙයා යන්නෙ ම නෑ කියලා. ඊට පස්සේ මම හිත සැහැල්ලු කරගෙන කරණීයමෙත්ත සූත්‍රය හිතින් කිව්වා. නත්ථි මේ සරණං අඤ්ඤං… ගාථාව තේරුමත් එක්ක කිවුවා. එතකොට මට දැණුනා එයා ඈතට යන බව. ඒත් කාමරය තුළ ඉන්නවා වගේ දැණුන නිසා මම හිමීට ඇස් දෙක ඇරියා.

බලනකොට උසට උසේ සුදු ඇඳගත්ත අර මැරුණු නැන්දා තනි කකුලෙන් හිටගෙන අක්කගේ ඇඳ ළඟ තිබුණු වෝකර් එක අල්ලගෙන මගේ දිහා රවාගෙන බලාගෙන හිටියා. මගේ ඇඟ සීතල වෙලා ගියා. මම තව ටිකක් බය වුණා පීරිස් අක්කට මොනවාහරි කරයි කියලා. මම ඉක්මනින් රතන සූත්‍රය කිව්වා ඇස් පියාගෙන. මට තේරුණා එයා කාමරයෙන් පිටවුණා කියලා. එකපාරට වහලේ මහා සද්දයක් ඇවිත් පරිසරය නිහඬ වුණා. මම පීරිස් අක්කට “අක්කේ” කියලා කතා කළා. මට දැනගන්න ඕන වුණේ තාම මම ජීවත්වෙනව ද කියලා. කටින් ශබ්දෙ පිටවුණා. මම අපවත් වෙලා නෑ!

අක්කා එතකොටත් නිදි නෑ. වෙලාව ඇහුවම රෑ 12 පහුවෙලා විනාඩි 5ක් විතර කිව්වා. විනාඩි 5ක් 10ක් අතර සිදුවුණ ඒ සිදුවීම අදටත් මට මතකයි. මේ සිදුවීම සිදුවුණේ 2009/04/03 වෙනිදා. එදා මම නැවතත් තෙරුවන් සරණ ගියා මුළු හදවතින් ම. එදා මට තුනුරුවන් සරණ සිහි නොවන්නට ඔබට අද මේ කතාව කියන්න මම ජීවතුන් අතර නෑ.

පින්වත් ඔබත් දිවිහිමියෙන් තෙරුවන් සරණයෙහි පිහිටත්වා! අන් සරණක්, අන් පිහිටක් නොපතත්වා! තුනුරුවනේ සැබෑ පිළිසරණ ලැබ මේ ඝෝරතර සසරින් නිදහස් වන්නට, තුනුරුවනේ ගුණ ලොවට මැනවින් කියා දුන් ගුරු දෙවිඳු වූ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, අපටත්, ඔබටත් වාසනාව උදා වේවා! නිවන් මඟ විවර වේවා!

තෙරුවන් සරණයි!

මෑණියන් වහන්සේනමක්

Leave a Reply

Your email address will not be published.

x

Check Also

රුවන්මැලි සෑයට ජීවිතය පූජා කළ දා පුදුම හීනයක් දැක්කා

මූණ හරියට ම මතක නැහැ. ලොකු එළියක් තමයි පෙනුණේ. එයා මාව වෙලාගත්ත යක්ෂයා ව අතින් ඇදලා අරන් ඈතට වීසි කළා. එච්චරයි මතක.