highlights of the week
Home » නමෝ බුද්ධාය » ධර්මාවබෝධය ගැඹුරු නින්දක් වගේ ද…?

ධර්මාවබෝධය ගැඹුරු නින්දක් වගේ ද…?

මහරු විග්‍රහ කරනවා, මේ ධර්ම අවබෝධ වීම ගැඹුරු නින්ද වගේ කියලා. ඒක වැරදි මතයක්. හැබැයි මනසේ මෙහෙම එකක් තියෙනවා. මනසේ තියෙන්නේ නාමරූප දෙකක ක්‍රියාකාරීත්වයක්නේ. නාම කියලා කියන්නේ (නමතීති නාමං) නැමී පවතිනවා කියන අර්ථයෙන්. ඒ කියන්නේ මනසේ ඇතිවෙන අදහසට අනුකූලව වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාරාදී චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මෙයා යන්නේ මේ දේවල් අත්හරිමින්නේ. ඒ විදිහට වීරියෙන් යුක්තව දිගට ම පුරුදු කළොත් ඒ විදිහට ක්‍රියාත්මක වෙලා එක එක නො දැනී යනවා. නො දැනී ගිහිල්ලා සම්පූර්ණයෙන් එයාට නො දැනී යන්න පුළුවන්. භාවනා කරගෙන වාඩිවෙලා ඉන්නවා, නමුත් මොකක්වත් දන්නේ නෑ. හරියට ගැඹුරු නින්දක් වගේ. එතකොට එයා ඒක විග්‍රහ කර ගන්නවා ‘මේක තමයි ඵලය…‘ කියලා. ඔන්න වරදින තැන. එතකොට එයාට සිහිය ගැන විස්තරයක් කර ගන්නත් බෑ, වීරිය ගැන විස්තරයක් කර ගන්නත් බෑ, ඤාණය ගැන විස්තර කර ගන්නත් බෑ. විමුක්තිය ගැන විස්තරයක් කර ගන්නත් බෑ. නමුත් ගැඹුරු නින්දක් වගේ ගියාට පස්සේ පොඩි සහනශීලී බවක් එනවනේ. මහන්සි වෙලා හිටිය මනුස්සයෙකුට නින්දක් ගියාම දැනෙන සහනශීලි බව ලොකු දෙයක්නේ. ඒ වගේ මේකට රැවටෙනවා.

එතකොට මෙයාට බලපාන්නේ අකුසල්නේ. පස්සෙන් ඇවිල්ලා හානි කරන්නෙත් අකුසල් විපාකනේ. එහෙම නැතුව කුසල විපාකයක් නම් හානියක් කරන්නේ නෑනේ. එතකොට එහෙම නම් මෙයාට අනතුර අකුසල් විපාකයයි. අකුසල්වලට භයවෙන්න නම් සත්පුරුෂ භූමියක ඉන්න එපායැ. අසත්පුරුෂයා හිතන්නේ එහෙම නෙවෙයි. අසත්පුරුෂයා “මම මේ සාධාරණය වෙනුවෙන් සටන් කරලා ඕන අපායක යන්න ලෑස්තියි…” කියනවා. ඉන්දියාවේ දී මට හරියට බුදු බව පතන මහායාන භික්‍ෂූන් වහන්සේලා හම්බවෙනවා. ඉතින් මම අහනවා “කොහොමද ඔයගොල්ලෝ මේක කරන්නේ? මේක සතර අපායේ වැටී වැටී යන්න තියෙන ගමනක්නේ…?” කියලා. “නෑ… නෑ… අනුන්ගේ සැප වෙනුවෙන් අපි නිරයේ වුණත් යන්න කැමතියි” කියනවා. මේ තමයි මහායාන දර්ශනය. සම්පූර්ණ විකෘතියක්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අගය කරපු එකක් නෙවෙයි.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දී දවසක් භික්‍ෂූන් වහන්සේලාට අඬගහලා අහනවා “මහණෙනි, අන්‍යාගම්කාරයෝ ඔබෙන් ඇහුවොත් දිව්‍ය ලෝකයේ උපදින අදහසින් ද තමුන්නාන්සේලා මේ බ්‍රහ්මචාරී ජීවිතේ වාසය කරන්නේ? කියලා එතකොට ඔබට ලැජ්ජාවක්, හිරිකිතක් ඇතිවෙනවා නේ ද?” කියලා. “ඇතිවෙනවා… භාග්‍යවතුන් වහන්ස.” “ඒ ඇයි?” කියලා අහනවා. “භාග්‍යවතුන් වහන්ස, අපි වාසය කරන්නේ පිරිනිවන්පෑමේ අදහසින්” කියනවා. එතකොට බලන්න, භාග්‍යවතුන් වහන්සේ මේ භවයෙන් එතෙර කරවන සංකල්පය ශ්‍රාවකයන්ට කොච්චර සමීප කරනව ද? නමුත් අර කතාවෙන් අපායට යන සංකල්පය සමීප කරනවා. මොකද, ඒ අය අන් අයගේ යහපත උදෙසා බුදු බව පතමින් සතර අපායෙත් යන්න කැමතියි කියනවා. එතකොට ඒ සංකල්පයේ තියෙන්නේ කොච්චර බරපතළ ප්‍රමාදයක් ද? ඒක ‘අප්පමාදේන සම්පාදේථ’ කියන කාරණයට කොච්චර විරුද්ධයි ද? නමුත් “මම සාධාරණය වෙනුවෙන් සටන් කරලා ඕන අපායකට යන්න කැමතියි” කියන අසත්පුරුෂයොත් ඉන්නවානේ. ඒ වගේ ම අසත්පුරුෂ ලෝකයට ඒ අසත්පුරුෂයෝ වීරයෝ වෙනවා. අසත්පුරුෂ ලෝකයේ වීරයා අසත්පුරුෂයෙක් මිසක් සත්පුරුෂයෙක් වෙන්නේ නෑනේ. නමුත් සත්පුරුෂයා සත්පුරුෂයන්ගේ ලෝකයේ වීරයෙක් නෙවෙයි, එයා හැමදාම සත්පුරුෂයෙක් විතරයි. අන්න ඒකයි මේකේ තියෙන වෙනස්කම. ඉතින් ඒ නිසා මේ සත්පුරුෂ භූමිය කියන එක අපේ මුළු ජීවිත කාලයට ම බලපාන ප්‍රධාන එකක්.

ධර්මාවබෝධයට භාවනාව විතරක් ප්‍රමාණවත් ද…?

අපි ආයෙමත් බාහිය සූත්‍රය ගැන බැලුවොත් අපට හරි පැහැදිලියි, ඔක්කෝම පිහිට පිළිසරණ තියෙන්නේ මේ සතර සතිපට්ඨානයේ ම යි. එයා සතර සතිපට්ඨානයට පැමිණෙමින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය නොකොට භාවනාවෙන් විතරක් අවබෝධයක් ලැබෙන්නේ නෑ. බුද්ධ දේශනා කියවද්දී ඒක අපට සීයට සීයක් ම පැහැදිලි වෙනවා. එහෙම භාවනාවෙන් විතරක් අවබෝධයක් ලැබෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මෙච්චර දවස් ගණන් දේශනා කරන්න ඕන ද? බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට ධර්මය දේශනා කරගෙන ගිහිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කියනවා “සාරිපුත්ත, මොග්ගල්ලානයෙනි, දිගට ම ධර්ම දේශනා කරගෙන යන්න. මගේ පිටකොන්ද ටිකක් රිදෙනවා…” කියලා. භාවනාවෙන් විතරක් අවබෝධ වෙනවා නම් එහෙම කරන්න ඕන ද? එහෙම නම් පොඩියට උපදෙස් ටිකක් දීලා භාවනාව කරගෙන යන්න වැඩෙයි කියලා අත්හරින්නනේ තියෙන්නේ. නමුත් එහෙම දෙයක් නෑනේ.

නමුත් විවේකය තියෙන්න ඕන. එක තැනක දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ‘(සන්නිපතිතානං ඛෝ භික්ඛවේ ද්වයං කරණීයං) මහණෙනි, ඔබ එකට එකතු වුණා ම කාරණා දෙකක් කරන්න ඕන. (ධම්මී වා කථා) එක්කෝ ධර්මය කතා කරන්න. (අරියෝ වා තුණ්හීභාවෝ’ති) එක්කෝ සතිපට්ඨානය වඩන්න ‘ආර්ය තුෂ්ණිම්භූත භාවය’ කියන්නේ සතිපට්ඨානය වැඩීමට. මේ දෙක අපට සම්බන්ධයි. එකකට එකක් වෙන්වෙලා නෑ. නමුත් මේ වෙද්දී ඔක්කෝම විකෘති වෙලා. ඒ නිසා දැන් ඒ විකෘතිය පේන්නේ ප්‍රකෘතිය වගෙයි. ඒකයි අද වෙලා තියෙන්නේ. අද සත්‍යය කිව්වාම ඒක සමාජයට තේරෙන්නේ විකෘතියක් වගෙයි. ඒක ශාසනයට බරපතල අර්බුදයක්. මොකද, ශාසනය තුළ ගෞරවය ලබන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවයි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයයි. භාග්‍යවතුන් වහන්සේගේ විමුක්තියයි. භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට වූ ඥානය යි.

නමුත් අද ඒකට තැනක් නෑ. තමන්ගේ අත්දැකීමට තැන එනවා. එතකොට ශ්‍රාවකයෙක් බිහිවෙන්නෙත් නෑනේ. ඊට පස්සේ අපි දේශනාවකින් යමක් කිව්වොත් “ඔය ත්‍රිපිටකය අල්ලගෙන එන්න එපා…” කියලා බණිනවා. ඉතින් ඒ නිසා අපි හොඳට බුද්ධ දේශනා කෙරෙහි ගෞරවය ඇතිකර ගන්න ඕන. අපි මේ බුද්ධ දේශනා සරල විදිහට ලියලා ජනතාවට ප්‍රචලිත කළේ, අපට තේරුණා මේ ධර්ම ඥානය තමයි ලැබෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේ ආයු සංස්කාර අත්හරින්න මොහොතකට කලින් මාරයා ඇවිල්ලා ආරාධනා කළානේ “භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන්පානා සේක්වා…! සුගතයන් වහන්ස, පිරිනිවන්පානා සේක්වා..! භාග්‍යවතුන් වහන්සේට මතක ද, භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියට පත්වෙලා සතියකින් මං ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන්පාන්න කියලා ආරාධනා කළා.ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරක් දුන්නා, ‘මාරය, මේ ශාසනයේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා පිරිස යම්තාක් ධර්මධර, විනයධර, බහුශ්‍රැත වෙයි ද ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යුක්ත වෙයි ද උපන්නා වූ වාදප්‍රතිවාදයන් ප්‍රහාණය කොට බුද්ධ වචනය ඉස්මතු කරන්න දක්‍ෂ වෙයි ද එතෙක් මම පිරිනිවන්පාන්නේ නෑ…’ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂු සංඝයා ධර්මධරයි, විනයධරයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි, භික්‍ඛුණී සංඝයා ධර්මධරයි, විනයධරයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ වගේ ම උපාසකවරුත් ධර්මධරයි, විනයධරයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. උපාසිකාවොත් එහෙමයි.” කියලා.

එහෙම නම් අපට පේනවා බුද්ධ කාලයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන කොට හොඳ ධර්ම ඥානයක්, විනය පිළිබඳ හොඳ දැනුමක් ගිහි අය තුළත් තිබිලා තියෙනවා. පැවිදි අය තුළත් තිබිලා තියෙනවා. ඒ නිසයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කළේ “පොඩි ශික්‍ෂා පදයක්වත් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කියලා වෙනස් කරන්න කල්පනා කරන්න එපා..! මොකද, ගිහි මිනිස්සු ඔක්කොම විනය දන්නවා. එතකොට ඒ අය තුළ ‘භාග්‍යවතුන් වහන්සේගේ චිතකයේ රස්නය නැති වෙන්න ඉස්සර වෙලා ශ්‍රාවකයෝ ටික ශික්‍ෂාපදත් වෙනස් කර ගත්තා නේ ද…?’ කියලා අපැහැදීමක් ඇතිවෙයි” කියලා. එතකොට අපට පේනවා, එකල ගිහි ජනතාවත් ධර්මය ගැනත්, විනය ගැනත් හොඳ දැනුමක් ඇතුවයි ඉඳලා තියෙන්නේ.

බුද්ධ දේශනාවේ තියෙන්නේ (තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ) තථාගතයන් වහන්සේ වදාළ ධර්මයත්, විනයත් විවෘත වූ විට බබළයි, වැසුණු විට නොබබළයි.’ කියලයි. නමුත් අද ඒ ධර්මය සම්පූර්ණයෙන් ම වැහිලා තියෙන්නේ. ඒ විදිහට ධර්මය සම්පූර්ණයෙන් වැහිලා නිසා ධර්මයට විනයට අදාළ නැති කාරණයක් ප්‍රතිපත්තියක් හැටියට ගෙනාවොත් ඒක ප්‍රශංසා ලබනවා. උදාහරණයක් හැටියට අපි කියමු, ඔන්න මම එළවළුයි, බතුයි වළඳනවා කියලා. ඒ වගේ ම එළවළුයි බතුයි කන කෙනෙක් කියලා මම මේක ප්‍රසිද්ධ කරනවා කියමු. ධර්මය දන්නේ නැති සමාජයකට නම් ඒක බොහොම බරපතළ ධර්මයට අනුග්‍රහ ලැබෙන දෙයක් කියලා හිතෙයි. මොකද, ධර්මයත් විනයත් දන්නේ නැති සමාජයක් නොමග යවන එක සුළු දෙයක්නේ. නමුත් ධර්මය, විනය දැනගත්තාම එයා කරන්නේ තමන්ගේ ගමනට පෞද්ගලිකව ශක්තිමත් වෙන එක පමණයි. එහෙම නැතුව එයා ලෝකය වටේ විවේචනය කරමින් යන්නේ නෑ.

තමන් ව දූපතක් කර ගන්න…

ඇත්ත වශයෙන් ම මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ තමා ව පිළිසරණ කරගෙන යා යුතු ගමනක්. ‘අත්තදීප’ සූත්‍රයේ එහෙම තියෙන්නේ තමා ව පිළිසරණ කරගෙන වාසය කිරීම ගැනනේ. බුදුරජාණන් වහන්සේ හැම තිස්සේ ම දේශනා කළේ ‘(අත්තදීපා භික්ඛවේ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා) මහණෙනි, තමන්ව දූපතක් කර ගන්න. තමන් ව සරණ කර ගන්න. වෙන කෙනෙක් ව සරණ කර ගන්න එපා…’ කියලයි. සමහරු එතැන ‘දීප’ කියන වචනය තමා ව ආලෝකයක් කර ගන්න කියලා වැරදි විදිහට විග්‍රහ කරනවා. නමුත් බුද්ධ කාලයේ ආලෝකයට පාවිච්චි කරලා තියෙන්නේ දීප කියන වචනය නෙවෙයි. බුද්ධ කාලයේ ආලෝකයට පාවිච්චි කරලා තියෙන්නේ ‘පදීප’ කියන වචනය. රතන සූත්‍රයේ තියෙන්නේ, ‘(නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ) රහත්හු නිවීයති මේ පහන නිවෙනා සේ…’ කියලා. එතකොට එතැන පදීප කිව්වේ පහනට. නමුත් ‘දීප’ කියලා කියන්නේ දූපතට. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, ‘(ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා) ධර්මය ද්වීපයක් කරගෙන වාසය කරන්න. බාහිර දෙයක් පිළිසරණක් කරගෙන වාසය කරන්න එපා…’ කියලයි. එතැනට එන්න නම් එයා තමන් යන මාර්ගය ධර්මයෙන් ලස්සනට එකලස් කර ගන්න ඕන.

අපි මෙතෙක් වෙලා කතා කළේ ගෞතම ශාසනයේ පිළිසරණ හොයන කෙනෙකුට මේ මාර්ග ප්‍රතිපදාව ඇතිකර ගන්න උපකාරී වෙන දේවල්නේ. එතකොට ඒ උපකාරී වෙන දේ දෘෂ්ටියක් නෙවෙයි, ඒක පහුරක්. ඒක තමන්ට එතෙර වෙන්න පාවිච්චි කළ හැකි එකක්. ඒ වගේ ම උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළානේ, “මහණෙනි, මම මේ ධර්මය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) දේශනා කරන්නේ පහුරක් වගේ පාවිච්චි කරන්නයි. එය (නිත්තරණත්ථාය) එතෙර වීම පිණිසයි. (නෝ ගහණත්ථාය) ග්‍රහණය කරගැනීමට නො වේ” කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පවා තියෙන්නේ ග්‍රහණය කරගන්න නොවෙයි. එහෙම නම් අපි මේ දැනුම සාකච්ඡා කරන්නේ මේ දැනුම ග්‍රහණය කර ගන්න නොවෙයි, තමන්ගේ ධර්ම මාර්ගයට උපකාරී වෙන්නයි.

අරහත්ඵලය සංඥාව යනු කුමක් ද?

අරහත්ඵලය සංඥාවක්. අරහත්ඵලයේ සංඥාවට කියන්නේ ‘නිරෝධසංඥා’ කියලා. නිරෝධ සඤ්ඤාව කියන්නේ ‘(ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්’ති) මෙයයි ශාන්ත… මෙයයි ප්‍රණීත… යම් මේ සියලු සංස්කාරන්ගේ සන්සිඳීමක් ඇද්ද, සියලු කෙලෙසුන්ගෙන් බැහැර වීමක් ඇද්ද, තණ්හාව ක්‍ෂයවීමක් ඇද්ද, තණ්හාව නිරුද්ධවීමක් ඇද්ද, තෘෂ්ණාව නැතිවීමක් ඇද්ද මේක තමයි නිවන’ කියලයි. ඒ සංඥාව තමයි අරහත් ඵලය කියන්නේ. එතකොට ඒක ගැඹුරු නින්ද වගේ නෙවෙයි. ගැඹුරු නින්ද කියන්නේ නොමග යෑම ම යි.
ඒ වගේ ම ධ්‍යානයයි, ඥානයයි දෙකක්. මේකට හොඳ ලස්සන දේශනාවක් තියෙනවා. මහණෙනි, සමථය වැඩිය යුතුයි. ‘(සමථෝ භික්ඛවේ භාවිතෝ ඛමත්තමනුහෝති?) සමථය වැඩුවොත් (චිත්තං භාවීයති) යම් සිතක් ඇද්ද එය වැඬේ…’ එහෙම නම් ධ්‍යානයෙන් වැඩෙන්නේ සිත විතරයි, ප්‍රඥාව නෙවෙයි. මහණෙනි, විදර්ශනාවත් වැඩිය යුතුයි. (විපස්සනා භික්ඛවේ භාවිතා ඛමත්තමනුහෝති?) විදර්ශනාව වැඩුණොත් (පඤ්ඤා භාවීයති) යම් ප්‍රඥාවක් ඇද්ද එය වැඬේ.’ එහෙම නම් ධ්‍යානයෙන් වැඩෙන්නේ සිත විතරයි. සියලු ඥාන වැඩෙන්නේ විදර්ශනාවෙන්.

මතු සබැඳි…

(“නමෝ බුද්ධාය” සජීවී සදහම් කතිකාව ඇසුරින් සකස්වන ලිපි පෙළේ 57 වන කොටසයි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

මිහිරි මී වදයක් මෙන් සුන්දර දෙසුමක්..

" විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයත් සමඟයි මේ ඔක්කොම යන්නේ....