අපේ ආච්චි රසට අග්ගලා හදන්ට දන්නවා. දවසක් ආච්චි අග්ගලා හැදුවා. එදා මුළු ගෙදර ම සුවඳයි. හාල් බැදලා බොහෝම පිළිවෙළකට අපේ ආච්චි අග්ගලා හදන හැටි අපි බලාගෙන හිටියා. ඊටපස්සේ ඒ අග්ගලා ගුලි බොහෝ ම ලස්සනට පෙට්ටියකට ඇසුරුවා.

“කෝ… ඔය දරුවොත් මෙහෙට එන්න. ආ… මේ අග්ගලා කන්න.”

“ආච්චියේ…. දැන් ඔය පෙට්ටියේ ඇසුරුවේ කාට ගෙනියන්ට ද?”

“දරුවෙනි…. දැන් ඔයාලා දන්නවා නේ මං ගොඩාක් බණදහම් දන්නා වග.”

“ආපෝ…. අපි විතරක් යැ දන්නේ…. දවසක් අපේ අප්පච්චි ආච්චිට කිව්වේ ‘අම්මා දැන් හරි බණකාරියක්’ කියලා.”

එතකොට ආච්චි මලක් පිපුනා වගේ ලස්සනට හිනාවුණා. “ඔව් පුතේ… දැන් නම් මාත් බණකාරියක් තමයි. හැබැයි පුතේ මීට අවුරුදු පහළොවකට ඉස්සරියෙන් නම් මං පන්සිල් පද පහේ තේරුමවත් දැනගෙන හිටියේ නෑ… දැන් නම් චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ මහා ගාම්භීර දේ පවා අපි දන්නවා නොවැ…. ඒක නේ පුතේ…. මං මේ අග්ගලා හදාන සූදානම් වෙන්නේ…!”

“ඇයි ආච්චියේ අග්ගලා හදාන සූදානම?”

“මයෙ දරුවනේ… කළුතර ඉන්නවා මං හඳුනන නංගියෙක්. අනේ…. එයා තමයි මාව මේ දහම් වැඩසටහන්වලට ඉස්සෙල්ලා ම එක්කරගෙන ගියේ…. මං එදා ඉඳලා මොන පින්කමක් කළත් ඈට පින් දෙනවා…. අපි ගම්පහ ආවාට පස්සේ ඈ බලන්ට ගියේ නෑ. මං මේ ඈ බලන්ට යන්ටයි මේ අග්ගලා හැදුවේ. මයෙ දරුවනේ…. ඉස්සර කාලෙ කපුටන්ටත් කෙළෙහි ගුණේ තිබිලා තියෙනවා.”

“අනේ ආච්චියේ අපිත් ආසයි ඒ කෙළෙහි ගුණ දන්නා කපුටන් ගේ කතාව අහන්ට.”

“දරුවනේ… රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ රුහුණු රටේ මාගම්පුරේ තිසාවැවට යටි පැත්තේ කපුටු බෝ ගසක් තිබුණා.”

“කපුටු බෝ කියන්නේ ඇයි ආච්චියේ?”

“පුතේ… කපුටු බෝ කියන්නේ අපේ ජය සිරිමා බෝරජුන්ට අයිති වෘක්ෂයක් නොවෙයි. කපුටෙක් බෝගෙඩි කාලා වසුරු කළ තැන හටගත්තු ගසයි… ඉතින් මේ කපුටු බෝධියේ කපුටු කූඩුවක කපුටෙක් වාසය කළා.

දවසක් මේ කපුටා ඈතට පියාඹා ගියා. උතුරු රටේ මණිනාග දිවයිනේ තැන තැන්වල පියාඹා ගියා. ඒ පළාතේ ‘නාග’ කියන ගමේ තල්ගසක කූඩුවක සිටිය කපුටියක් එක්ක මේ කපුටා යාළු වුණා. රුහුණු රටේ හිටිය කපුටාගේ වාසස්ථානෙට කැන්දන් ආවා. මේ දෙන්නා ලැබෙන දෙයක් කාලා සතුටින් වාසය කළා. දවසක් මේ කපුටා වෙනත් කපුටියක ගේ කූඩුවක ලැගලා ඉන්නවා අර කපුටි දැක්කා. ඒකිට හොඳට ම කේන්ති ගියා.

‘මං නම් ආයෙත් නුඹ වැනි කපුටෙක් එක්ක පවුල් කන්ට එන්නේ නෑ’ කියලා ඒ කපුටි හඬ හඬා මණිනාග දිවයිනට ම ගියා.

කපුටාට හරිම දුකයි. කපුටා තමා ගෙන් වෙච්චි වැරැද්ද ගැන පසුතැවි තැවී හඬ හඬා හිටියා. ‘ආයෙත් නම් වෙනත් කපුටියක ගේ මූණවත් බලන්නේ නෑ. මං කොහොම හරි මගේ සුදු කපුටිව එක්කරගෙන එනවා’ කියලා ඒකිව සොයාගෙන ගියා.

දැන් කපුටාට ගොඩාක් වෙහෙසයි. කපුටාත් අතරමග දී ‘තේලිය’ කියන ජනපදේ මාතුල කියලා විහාරයකට ගොඩ වුණා. එතන දානශාලාවේ පුටුවක මහතෙරුන්නාන්සේ නමක් වාඩිවෙලා සිටිද්දී මේ කපුටාව දැක්කා. උන්නාන්සේ කපුටු භාෂාව දන්නවා පුතේ. මේ කපුටාත් ගසක අත්තක වහලා තමන් ගේ දුක මෙහෙම කියන්ට පටන් ගත්තා.

ඇඟ පත වේළීයන්නට ශෝකය වැනි තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
ගමන් බිමන් යෑම තරම් වෙහෙස කරන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
විලි ලැජ්ජාවක් නැති තණ්හා සමාන තවත් දෙයක්
මේ ලොව නම් නැත්තේ…
කුස ගින්නේ සිටීම වැනි පීඩා ඇති තවත් දුකක්
මේ ලොව නම් නැත්තේ…
හනේ හපොයි මේ කියනා හැම දුකක් ම
දැන් මා හට ඇත්තේ…
දන් දීමේ සැප විපාක සඟරුවන ම දන්න නිසා
මං ආවා මේ පැත්තේ…

එතකොට මහ තෙරුන්නාන්සේට හොඳටෝ ම දුක හිතුණා. “හා… හා… කපුටෝ… දුක් වෙන්ට කාරි නෑ. මං නුඹ ගේ කුස ගින්න නිවා දමන්නම්” කියලා පොඩි නමකට කතා කළා.

“අනේ මෙහාට එන්න පොඩිනම…. අර කපුටා මහා බඩ ගින්නකින් ඉන්නේ. රෙදි කැබැල්ලක් ගෙනැවිත් පාන්තිර ටිකක් අඹරා දෙන්ට” කියලා පහන්වැටි අඹරවාගෙන ඒවා ගිතෙල්වල පෙඟෙව්වා. තැටියක දමා ටිකක් රත් කළා. කපුටාට අනුභව කරන්ට සැලැස්සුවා. කපුටා එය අනුභව කොට ගොඩාක් සතුටු වුණා. කපුටා තෙරුන් වහන්සේට තමන් යන කාරිය කිව්වා.

“අනේ ස්වාමීනී… මගෙන් වෙච්චි වැරැද්දකට අපේ කපුටි මාව දාල ගියා. මං මේ ඈව ආපහු එක්කරගෙන එන්ට යන ගමන්… ඔබවහන්සේ මා හට අනුකම්පාවෙන් කළ උපකාරයෙන් මට මහා සැපයක් දැනුණා. මං ආපසු යද්දී අපේ බිරිඳත් එක්ක එන්නම්” කියා පිටත්ව පියාඹා ගියා. කපුටා නාගදිවයිනට ගිහින් කපුටිත් එක්ක ටික දොහක් වාසය කළා. ආපසු යන්ට කැමති කරවා ගත්තා. එමින් ගමනේ දී මාතුල විහාරයටත් ආවා. මහතෙරුන්නාන්සේට ආ බව කියා සිටියා. එදාත් තෙරුන්නාන්සේ කපුටු ජෝඩුවට ම පහන් වැටි අඹරවලා ගිතෙලෙන් පොඟවා රත් කරවා කුස පිරෙන්ට දුන්නා.

ඉතින් පුතේ කපුටු ජෝඩුවට හරිම සතුටුයි. දෙන්නා ගේ වෙහෙස සන්සිඳී ගියා. එදා කපුටා මහතෙරුන්නාන්සේට මෙහෙම කිව්වා.

“අනේ ස්වාමීනී… මේ කාක්කෝ කියන්නේ චපල සිත් ඇති සත්තු ජාතියක් තමයි. නමුත් හැම කපුටා ම එහෙම නෑ ස්වාමීනී. මා කියන්ට යන දේ ගැන පොඩිත්තක් ඇසුව මැනව. අපවිත්‍ර අශුචි ගොඬේ තිබුණත් මැණික වටිනවා නොවැ. ගඳ ගසන මඬේ පිපෙන මානෙල් මලත් පලඳින්ට ගන්නවා නොවැ. ගව කුණේ තිබ්බා කියල අහක නොදමා ගෝරෝචන ගන්නවා නොවැ… ඉතින් ස්වාමීනී අපි කල්පනා කළේ මෙතැන තමුන්නාන්සේලා දුකසේ වසන බව පෙනුනා. ප්‍රණීත දානමාන ඇති සැපදායක පළාත් ගැන අපි දන්නවා… මං මගේ ශක්ති පමණින් මේ සියලු සංඝයා වහන්සේට උපස්ථාන කරන්නම්. අපට අනුග්‍රහ පිණිස මාත් සමග වඩිනා සේක්වා!”

මේ කපුටා අවංකව කරුණු කියන බව මහතෙරුන්නාන්සේට වැටහුනා. සඟපිරිස රැස්කොරලා මෙහෙම කිව්වා.

“ඇවැත්නි… මේ කපුටා අපට උපස්ථාන කරන්ට කැමතියි. අපටත් යන්ට කතා කරනවා. අපිත් යමු” කියලා විසිපස් නමක් කපුටා සමග පිටත් වුණා.

ඉතින් පුතේ මාතුල විහාරයේ ඉඳලා මාගම මංජල විහාරයට යනකල් යොදුන් හතළිස් හතරක් තියෙනවා. මේ කපුටා ප්‍රණීත දානමාන ඇති ප්‍රදේශ වේලාසනින් හඳුනාගෙන ඒ පළාත්වලින් අපේ ස්වාමීන් වහන්සේලාව වැඩමවාගෙන ගියා. කපුටා මහ තෙරුන්නාන්සේ බැහැ දැක මෙහෙම කියනවා.

“ස්වාමීනී… අසවල් මගින් වඩින්ට එපා. ඒ ගමේ සැදැහැවත් උදවිය නෑ… ස්වාමීනී, මේ පැත්තේ වඩින්ට. මේ පැත්තේ සැදැහැවතුන් ඉන්නවා.” කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කපුටා පෙන්වන පාරවල්වලින් වඩිනවා. සුවසේ දන්පැන් ලබාගෙන වැඩම කළා. ඉතින් පුතේ මේ කපුටු ජෝඩුව උන්නාන්සේලාට මංජල විහාරයේ වාසය කරන්ට සැලැස්සුවා. වස් තුන් මාසෙ ම උපස්ථාන කළා. වස් පවාරණය කරපු මහතෙරුන්නාන්සේ කපුටාට මෙහෙම කිව්වා.

“පින්වත් කපුට, දැන් අපි ආපසු මාතුල විහාරයට ම යන්ට සතුටු යි”

“හොඳයි… ස්වාමීනී… මං මේ භික්ෂූන් වහන්සේලා අතර සිවුරු දිරා ගිහින් තියෙනවා දැක්කා. ස්වාමීනී, සිවුරු ලබාගන්ටත් අවස්ථාවක් තිබෙන බව පේනවා. තව කිහිප දවසක් වැඩ සිටින්ට ස්වාමීනී” කියලා උන්නාන්සේලා පිටත්වෙන දවසේ “ස්වාමීනී…. මුහුදට කිට්ටුවෙන්ට ඇති අසවල් ගම්මානෙට වඩින්ට. ඒ ගමේ එක් උපාසිකාවක් ඉන්නවා. ඈ ගොඩාක් සිවුරු මසාගෙන පිරිකර සකසගෙන අනේ අපේ ස්වාමීන් වහන්සේලා මේ පැත්තේ කවරදාක නම් වඩිනවාද කියමින් මග බලාන ඉන්නවා”

ඉතින් පුතේ මහතෙරුන්නාන්සේ භික්ෂූන් කැඳවාගෙන ඒ ගමට වැඩියා. බොහෝ සිවුරු ලැබුණා. උන්නාන්සේලා ඉතා සුවසේ මාතුල වෙහෙරට වැඩියා.

“ඉතින් ආච්චියේ… ඒ කපුටු ජෝඩුවට මේ නිසා ගොඩාක් පින් ලැබෙන්ට ඇති නේද?”

“මොනවා කියනවද දරුවනේ… භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ… ඔව් පුතේ… තව්තිසාවේ උපන්නේ… බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.

කළ උපකාරය සිතන්න පුතුනේ
කපුටත් එය සිහි කෙරුවා නිතිනේ
නුවණැත්තා එය රඳවා සිතිනේ
මිත්‍රද්‍රෝහියෙක් නොවන්න පුතුනේ

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)