highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

එදා අපේ ආච්චි ගොඩාක් කණගාටුවෙන් වගේ සිටියේ. මොකාක් දෝ බරපතල කල්පනාවක් ආච්චි ගේ සිතේ තිබුන බව පෙනුනා.

“ඈ… ආච්චි… මොකද මේ? වෙනදා වගේ සතුටක් නැති පාටයි. මොකාක් නමුත් ලොකු ප්‍රශ්නයකින් ආච්චිට පීඩාවක් ඇතිවෙලා වගෙයි”

“හ්ම්… ඔව් මයෙ පුතේ… ඔයාලා දන්නව නේ පන්නිපිටියේ අල්විස් ආච්චි ගැන.”

“ඔව්… ටික කාලෙකට කලින් ඒ ආච්චි මළා නේද? ඇයි අපිත් මළ ගෙදර ගියේ.”

“ඒක හරි පුතේ… දැන් දන්නවාද අල්විස් ආච්චිට වෙච්චි දේ? මං ඒ කාලෙ ම කිව්වා අසපුවට යමං. ධර්මය ඉගෙන ගනිං. ඉවසීමත් මෛත්‍රියත් පුරුදු කරපං කියල. කෝ… ඇහැව්වෙ නැහැ නොවැ. එක් එක්කෙනා ගෙ අසත්පුරුෂ අවලාද ඇත්තක් ය කියල පිළිඅරගෙන මාත් එක්ක වාදෙට ආවා. සිල්වතුන්ට ත් ගැරහුවා. අපහාස කර කර හිටියා…. අයියෝ…. මදෑ කරගත්තු හරිය!”

“ඇයි ආච්චියේ… අල්විස් ආච්චිට මොකද වෙලා තියෙන්නෙ? අපායේ ඉපදිලා වත් ද?”

“වෙන මොකක්ද…? ආන්න පෙරේතියක් වෙලා බාල දූට වැහෙනවා. දැන් අඬ අඬ පිං ඉල්ලනවා. කන්ට නැහැලු. බොන්ට නැහැලු. ඇඳුම් නැහැලු. දුකසේ ලබාගත්තු මනුස්ස ජීවිතෙන් නියම පොරෝජනේ ගත්තේ නෑ නොවැ.”

“මොකක්ද ආච්චියේ මනුස්ස ජීවිතෙන් ලබාගන්ට තියෙන නියම ප්‍රයෝජනය?”

“ඇයි දරුවෝ…. අපට ඉතාමත් කලාතුරකින් නොවැ මේ ගෞතම බුද්ධ ශාසනේ ලැබුනේ. ඉතින් හොඳ හැටියට තෙරුවන් සරණ යන්ට එපායැ. තෙරුවන් කෙරෙහි බලවත් විශ්වාසයක්, පැහැදීමක්, ශ්‍රද්ධාවක් ඇතිකර ගන්ට එපා යැ. ඒකමයි මේ මනුස්ස ආත්මෙන් පොරෝජන් ලබනවා කියන්නේ…. හප්පේ…. මහමෙව්නාවට නොගියා නම් අපටත් ඔච්චර තමයි වෙන්නේ. තිසරණේ වටිනාකොම මං දැනගත්තෙත් එහෙට යන්ට පටන් ගත්තාට පස්සේ නොවැ…. මට පුතේ…. මේ වෙලාවේ…. ලස්සන කතාවක් මතක් වුනා. සද්ධර්මාලංකාරේ කියවද්දී තමයි මට මේ කතාව කියවන්ට ලැබුනේ.

“අනේ ආච්චියේ…. ඒ ලස්සන කතාව අහන්ට අපිත් හරි ආසයි.”

“ඒක වුනේ මෙහෙමයි පුතේ. අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළාට පස්සෙයි මේ සිද්ධිය වුනේ.

කොසොල් රාජ්‍යයට අයිතිව කුණ්ඩ කියලා ගමක් තිබුනා. ඔය ගමේ බුද්ධදාස කියලා ඉතාම සැදැහැවත් උපාසකයෙක් වාසය කළා. මෙයා බුදුන් සරණ ගියේ මෙහෙමයි. “මං මගේ පණ කෙන්ද තියෙන තුරා බුදුරජාණන් වහන්සේව සරණ යමි. බුද්ධ රත්නය මට තියෙන ඒකාන්ත පිහිටයි. බුද්ධ රත්නය මට ඇති එකම ආරක්ෂාවයි. එකම රැකවරණයයි!’ කියල. ඔය විදිහට තමුන්නේ මුළු ජීවිතේම රත්නත්තරේට පූජා කොරගෙන වාසය කොළා.

දවසක් ඔය බුද්ධදාස උපාසකගේ ගෙදරට යාළුවෙක් ආවා. ඉතා දුර පළාතකින් මෙයා ආවේ. ඇවිදින් බුද්ධදාසගේ ගෙදර ටික දොහක් නවාතැන් ගත්තා. හැබැයි මේ ආගන්තුක මනුස්සයාට කාලයක් තිස්සේ යක්ෂ දෝෂයක් තියෙනවා. ඇඟට යකෙක් වැහෙනවා. මුන්දැට හරියට දුක් කරදර පීඩා ඇති කරනවා. මේ මනුස්සයා බුද්ධදාස උපාසක ගේ ගෙදරට ආ දවසේ ඒ යකා ගම් සීමාවේ නැවතුනා. උපාසකගේ ගුණ තේජස නිසා ඒ ගමටවත් ඇතුළුවෙන්ට යකාට බැරි වුනා. අර මනුස්සයා ආපහු හැරිලා එද්දී අල්ලාගඤ්ඤං කියලා යකා ගම් සීමාවට වෙලා රැකගෙන හිටියා.

ඒ මනුස්සයා බුද්ධදාස උපාසක ගේ ගෙදර සතියක් වාසය කළා. ඒ සතිය පුරා මෙයාට කිසි කරදරයක් පීඩාවක් ඇති වුනේ නෑ. ඇයි දැන් යකා ඇඟේ නෑ නොවැ. අටවෙනි දවසේ ඒ ගමෙන් පිටත් වෙද්දී හරියට ණයකාරයෙක්ව මග රැකලා හිට අල්ලාගන්නවා වගේ මේ මිනිහාව අල්ලපි. යකා මිනිහා ගෙන් මෙහෙම ඇහැව්වා.

“හහ්… හා… ඈ බොල…. තෝ මොකදෑ මෙතෙක් දවස් නාවේ? තෝ එනකල් සතියක් ම මට මෙතැන ඉන්ට වුනා නොවැ”

“අනේ යක්ෂය… ඇයි නුඹ මට මේ හැටි වද දෙන්නේ? මේ අසරණ මාව ග්‍රහණයට ගැනීමෙන් නුඹට ඇති පොරෝජනේ මොකක්ද? මොනාද නුඹ මගෙන් දැන් ඉල්ලන්නේ?”

“මට හොඳටෝම බඩගිනියි. මං සතියක් ම සාගින්නේ නොවැ. මට දැන් බත් කන්ට දීපං.”

“අයියෝ යක්ෂය…. මට බුද්ධදාස උපාසක ගේ ගෙදරදී කීවා නම් අපූරුවට බත් දෙන්ට පුළුවන් කොම තිබුනා නොවැ. මේ වේලාවේ දැන් මගේ අතේ මොකෝවත් නෑ නොවැ.”

“හප්පා…. මං කොහේ එන්ට ද. තෝ නැවතිලා හිටිය ගෙදර උන්නු උපාසක ගේ තේජස නිසයි මට ඒ ගම් මායිමටවත් එන්ට බැරි වුනේ. හප්පා…. ඒකා බුදුන් සරණ ගොහින් නොවැ ඉන්නේ. මට… ඒ පැත්තවත් බලන්ට බෑ.”

“අනේ යක්ෂය, බුද්ධදාස උපාසක බුදුන් සරණ යන්නේ කොහොමද කියල නුඹ දන්නවා ද?”

“මොකෝ මිනිහෝ මං නොදන්නේ? ඒකා බුදුන් සරණ යන්නේ මේන්න මෙහෙමයි. ‘ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව මං සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි…’ කියලයි. ඕන්න ඔය විදිහට යි ඒකා බුදුන් සරණ යන්නේ.”

එතකොට පුතේ ඒ මිනිහා හිතුවා ‘හරි මේ යකා ගෙන් බේරෙන්ට නම් මාත් බුදුන් සරණ යන්ට ඕනෑ’ කියල. ඉතින් ඒ මිනිහා මහා හඬින් කෑගහලා මෙහෙම කිව්වා. “යක්ෂය…. මේ මොහොතේ පටන් මම ත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි” කියලා කිව්වා. මෙතෙක් වේලා තමන්ට පෙනි පෙනී කතා කොරාපු ඒ යක්ෂයා බියට පත්වුනා. කෑගහලා වෙව්ලන්ට පටන් ගත්තා. නොපෙනී ගියා. යකා ගියා ගියාමයි. ආයෙ කවදාකවත් ඒ මිනිහාට ආවේශ වුනේ නෑ.

ඉතින් පුතේ, ඒ මනුස්සයාට මේ වෙච්චි දේ ගැන පුදුමෙනුත් පුදුමයි. ආපහු හැරිලා බුද්ධදාස උපාසකගේ ගෙදර ගියා. ගිහින් මේ සිද්ධිය කියා හිටියා. එදා පටන් මේ මනුස්සයාත් ජීවිත පූජාවෙන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයත් සරණ ගියා. ශ්‍රාවක සංඝ රත්නයත් සරණ ගියා. සැදැහැවත් උපාසක ගේ ඇසුර නිසා තවත් බොහෝ පින් දහම් රැස්කරගත්තා.

බලන්ට පුතේ, ඒ මනුස්සයා ගේ වාසනාව පෑදුනු හැටි. උතුම් තිසරණයේ හොඳාකාරව පිහිටා සිටිය ආනුභාවයෙන් නිදා පිබිදියා වගේ මරණින් මතු දෙවියන් අතර උපන්නා.

ඉතින් පුතේ, මට මේ කතාව මතක් වුනේ එක එකා ගේ අවලාද හිස් මුදුනින් පිළිඅරගෙන තමන්ට තිසරණයත් නැති කොරගෙන, පින් දහම් කරන්ට ඇති දුර්ලභ අවස්ථාවත් නැති කොරගෙන අපේ අල්විස් අක්කා කරගත්තු හරිය. හනේ හපොයි!”

“හැබෑට ම ආච්චියේ… අල්විස් ආච්චිට නම් වුනේ මහා අවාසනාවක් තමයි. වැරදුනොත් වැරදුනා ම නොවැ. දැන් කව්ද ඉන්නේ අල්විස් ආච්චිව බේරාගන්ට”

“කාටවත් බෑ පුතේ…. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ තමා තමයි තමන්ට උපකාර කරන එකම කෙනා කියලා. ‘අත්තා හි අත්තනෝ නාථෝ’ කියල වදාළේ ඒකයි. තමා තමන්ට උපකාර ගත යුත්තේ මුළු හිතින් ම තෙරුවන් සරණ යාම තුලින් නොවැ” කියලා ආච්චි දිගු සුසුමක් පිට කළා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9

ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.