highlights of the week
Home » NEW ARTICLES » වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

දුරුතු පුර සඳ අහස් කුස මෝදු වෙමින් පැවැත්තේ ය. සීත හිමවත් පව්වේ කඳු වළලු සතකින් රැකවල් ලබන අනවතප්ත පුෂ්කරණිය දෙව් බඹුනගේ පරිභෝගයට ද යෝග්‍ය පරම පාරිශුද්ධ අභිනීල ජලයෙන් පිරී ගත්තේ ය. එකී පුෂ්කරණිය අසබඩ රත්ගල් තලාවෙක අකම්පිත දඹරන් රුවක් සේ වැඩ හිඳිනුයේ, මෙයට නව මසකට පෙර ශ්‍රී සම්බුද්ධාභිෂේකයේ අභිශික්ත ගෞතම සම්මා සම්බුදුරජාණෝ ය. හිවාචල්හි පරම දුර්ලභ ඖෂධයන් හා දිව්‍ය පුෂ්පයන් සිපගෙන හමන සුවඳ කැලතුණු මුදු මඳ පවන් රැලි, ඒ රන්වන් බුදු බඳ සිහිල් කරවමින් දසත හමා යයි. සැණෙකින් අනාවරණ දර්ශන ඇති සම්බුදු නේත්‍රයන් අබියස එක් මනරම් භූමි ප්‍රදේශයක් චිත්‍රණය වූයේ ය.

මරකත මාණික්‍යමය ප්‍රාකාරයක් බඳු ව සරුවට වැඩුණු රුක් පෙළ නේකවිධ කුසුමින් බර ව දසත සුවඳ කරවයි. නිල් වලා පෙළක් බඳු තුරු ගොමුවෙහි පුළුල් සෙවණේ සුදු වැලි තලාවෙහි වැතිරෙන දනන්ගේ සරතැස සැණෙකින් සංසිඳී යයි. තුරු පෙළ කෙළවර වෙත් ම, නිල්මිණි පලසක් ඇතුරූ කලෙක මෙන් පිනිකැට ඇමිණුනු අග ඇති තණපතින් වැසී ගත් අංගණය යි. එයට නුදුරෙහි අහස්ගඟ මිහිතලයට හැර වූ කලෙක මෙන් මහාවාලුකා නදී තොමෝ එක පිම්මේ ගලා බසින්නී ය. දිගින් තුන් යොදුන් ද පළලින් එක් යොදුනක් ද වන මේ රම්‍ය භූමි භාගය යක්ෂ, රාක්ෂස, සුර, අසුර, නාග, ගාන්ධර්ව, කින්නරාදීන් හට එක ම නෘත්‍ය මණ්ඩපයකි. ලෝකයා ‘මහානාග වන’ යන සොඳුරු නාමයෙන් මෙම සුරම්‍ය භූමිය ආමන්ත්‍රණය කෙරෙති.

“අනාගතයෙහි මාගේ ශාසනයේ උද්දීප්තියට ප්‍රතිෂ්ඨාවන ශ්‍රී ලංකාද්වීපය යක්ෂ වාසය නැමැති කළු දුමාරයෙන් වැසීගත්තේ ය. ඔවුන් ඉවත් නොවන තුරු ලක්දිව සසුන පිහිටීමක් නම් නො වන්නේ ය. අද පුන් පොහෝ දිනයෙහි ලක්දිව සියලු යක්ෂයෝ මහානාග වනෝද්‍යානයෙහි රැස් වන්නාහු ය. එබැවින් එහි වැඩම කොට ලක්දිව පිරිසිදු කිරීම යහපත් වන්නේ ය.”

එම සන්ධ්‍යා භාගයෙහි අප භාග්‍යවතුන් වහන්සේ එයින් පැන නැගී, සිංහරාජයෙකුට බඳු අනන්ත බුද්ධ විලාසයෙන් ශෝභමාන ව ගුවන් තලයෙන් වැඩම කොට, අද මියුගුණ මහා සෑයේ සිළුමිණ පිහිටි තන්හි අහසෙහි සවණක් රැසින් දිදුළමින් වැඩහුන් සේක. යක්ෂයෝ ‘තමන්ගේ හිස් මත්තෙහි සම්කඩක් අත දරා පෙනී සිටින මොහු වනාහි මහානුභාව සම්පන්න යක්ෂයෙකුයි ද ගාන්ධර්වයෙකැයි ද කුම්භාණ්ඩයෙකුයි ද නා රජෙකැයි’ ද සිතූහ. චේතෝපරිය ඥානයෙහි පාරංගත වූ සම්බුදුරජාණෝ ඔවුන් සිතන සිතන අයුරින් පෙනී සිටි සේක.

“මාගේ සසුන අනාගතයෙහි මෙහි පිහිටි කල්හි, ඉදින් යක්ෂයන් මෙහි ම විසුවහොත්, මොවුන් මාගේ ශ්‍රාවකයන් හට අනාදර කොට බොහෝ පව් රැස් කර ගන්නාහු ය. එබැවින් මොවුන් පවින් මුදවා ගැනීම පිණිස ලක්දිව පිළිබඳ ව මොවුන් තුළ පවතින ඇල්ම දුරු කරවීම කළ යුත්තකි.” යක් පිරිස කෙරෙහි පතළ මහා කරුණාවෙන් සිහිල් වූ සන්තාන ඇති භගවතාණෝ මහා කළු වැසි වලාකුළු අහසෙහි නැංවූ සේක. මහා ගල්කුළු බඳු ජලබිඳු වේගයෙන් පතිත වෙමින් මහා පෘථිවිය දැදුරු කරවන්නට වන. ගලා එන මහා ජල කඳ දුටු යක්ෂයෝ ‘අහෝ! අපි වනාහි අද මහ සමුදුරට ගසාගෙන ගොස් වැනසෙන්නමෝ’ යයි මරබියෙන් බියපත්ව විලාප තැබූහ.

ඒ ක්ෂණයෙහි ගම් නියම්ගම් සුණු විසුණු කරනු සමත් මහා සුළඟක් හමා ගියේ ය. අඩ යොදුන් පමණ මහා ගල් කුළු වේගයෙන් පෙරලෙමින් මහානාග වනය දෙසට එන්නට වූයේ ය. පර්වත බිඳී ගිනියම් වූ ගල් කැබලි දුම් දමමින් යකුන්ගේ හිස්වල ගෑවි නො ගෑවි යන්නට වූයේ ය. ඒ අතරට ම තියුණු මුවහත් කඩු අඩයටි තෝමර ඊ තල වර්ෂාවක් වැටෙනු දුටු ඔවුහු බියෙන් මුසපත් වන තරම් වූහ. දුම් දමන ගිනි අඟුරු ද අළු ද සියුම් වැලි හා මඩ ද වරින් වර වාත වේගයෙන් හමා යන්නට වූයේ ය. එක් වර ම සිරුරෙහි ඇට තුළට ම කිඳා බසින තද සීතලෙන් යුත් මහා හිරිකඩ සුළඟක් සිව්දෙසින් හමන්නට වන. යකුන්ගේ සම්මස් නහර හැකිළුණු කලක් මෙන් විය. ළඟ ම සිටින්නවුන්ට පවා ඔවුනොවුන් නො පෙනෙන සේ එක්වර ම මහානාග වනය අඳුරු වැ ලෝකාන්තරික නිරය මෙන් වූයේ ය.

යළිත් සිව්දෙසින් සැඩ සුළං හමා ගියේ ය. මහා පර්වත වෘක්ෂයන් මුලින් ගැලවී එන කලක් මෙන් ඔවුන්ට දැනිණ. මහා හෙණ හඬ සමඟ කල්පාන්තයෙහි වර්ෂාව බඳු වැසි වසින්නට පටන් ගත්තේ ය. මහා පොළොව ගුගුරයි. මහා සයුර කැළඹී මහ හඬ දෙමින් ගොඩගලන්නාක් මෙන් යකුනට දැනෙයි. ශාස්තෘන් වහන්සේ හැර අන් කිසිදු පිළිසරණක් දැන් ඔවුනට නො පෙනෙයි.

“අහෝ! යක්රජාණෙනි, මුඹ වහන්සේ අපට පැමිණුනු බිය නොපෙනෙන දෙනෙත් ඇති ව වැඩ සිටිනවා ද? අනේ! අප ව මෙයින් මුදවාගත මැනව!”

“තොපට පැමිණුනු භය සංසිඳුවාලීමට මා හට හැක්කේ ම ය යක්ෂයිනි, එහෙත් අහසෙහි සිටින බැවින් මම සුපිහිටියෙම් නො වෙමි. ඉදින් තෙපි මට වැඩ සිටින්නට සුළු ඉඩක් දෙව් නම්, මම නිසැවක ම තොප ව මුදා ගන්නෙමි.”

“අනේ! නිදුකාණන් වහන්ස, අප ව මේ බිහිසුණු විපතින් මුදවන සේක් නම්, මේ ලක්දිව ම ඔබ හට ය.”

“තෙපි දැන් නම් එසේ කියන්නාහු ය. එහෙත් බියෙන් මිදී සුවපත් වූ කල්හි වචනය අමතක කොට තෙපි අඩදබර කර ගන්නටත් පුළුවනි. එසේ නොවන බවට මා හට සහතික වුව මනා ය.”

“නිදුකාණෙනි, මුඹ වහන්සේ හට ම ලක්දිව අයත් වන්නේ ය. කිසිදු අමනුෂ්‍යයකු හට එය වැළැක්විය නො හැක්කේ ම ය. ඉදින් යම් හෙයකින් යමෙකු එයට විරුද්ධ වන්නේ නම්, ඔහු යක්ෂයන්ගේ නීති ප්‍රකාර ව දඬුවමට සුදුසු වන්නේ ය.”

සියලු ශ්‍රී ලංකාද්වීපයෙහි යකුන්ගෙන් ලබන ලද වචන ඇති අප මුනීන්ද්‍රයන් වහන්සේ අද මියුගුණ මහා සෑය වැඩසිටින තැනට අහසින් බැස පත්කඩ අතුරා ඒ මත වැඩ සිටි සේක. ශාක්‍යසිංහයන් වහන්සේ අඳුර දුරු වන ලෙසට අදිටන් කළ සේක. එහෙත් තවම අධික සීත පහ නො වුණේ විය.

“අනේ! නිදුකාණෙනි, දැන් අපට ඇත්තේ මුඹ වහන්සේගේ පිළිසරණ පමණ ය. මේ දැඩි සීත දුරලමින් හිරු රැස් පහළ කළ මැනව!”

එකල්හි අපගේ තුන්ලෝකාග්‍රයන් වහන්සේ මෙසේ අදිටන් කළ සේක.

“මාගේ මේ පත්කඩය ගිරිහෙල් රුක් ලියගොමු වන ලැහැබ් වසාගෙන සියලු ශ්‍රී ලංකාද්වීපය පුරා පැතිරේවා! පත්කඩ අගින් යුගාන්ත සූර්ය රශ්මිය බඳු රශ්මි ඇති අග්නි ජාලාවෝ විහිදෙත්වා! පොළොවෙහි සිටින යකුන් හට ගිනියම් තඹ ලෝ දිය ගංගාවක් ගලන පරිද්දෙන් මේ පත්කඩය පෙනේවා! අහසෙහි සිටින යකුන් හට මෙය ගිනි ගෙන දැවෙන යකඩ පර්වතයක් පෙරැලීගෙන එන කලක් පරිද්දෙන් පෙනේවා! ලක්දිව කෙරෙහි පවතින ඇල්ම දුරු වන පමණට බියපත් වීම මිස කිසි ම යක්ෂයෙකු හට කිසිදු හිංසා පීඩාවක් නො වේවා! යටත් පිරිසෙයින් කුරා කුහුඹුවෙකුටවත් සිත් සසලවීම් තරම්වත් දුකක් නො වේවා!” මොහොතකින් සර්වඥයන් වහන්සේගේ පත්කඩය ශ්‍රී ලංකා ධරණී තලය වසා පැතිරෙන්නට පටන්ගත්තේ ය. මේ භූමියෙහි සියලු උස් මිටි ස්ථානයෝ සම ව ගියාහු ය. රැස් විහිදෙමින් පැතිරෙන පත්කඩය ගිනියම් වූ යකඩ තැටියක් මෙන් ද ගිනි අඟුරු පර්වතයක් මෙන් ද අවීචියෙහි සන්තාපය මෙන් ද යකුන් හට වැටහුණේ ය. බුදුරජුන්ගේ පත්කඩය ලක්දිව ම වසාගත් කල්හි යක්ෂයෝ එහි සිට ගැනීමටවත් තැනක් නො දැක ලංකා භූමියෙහි වාසය කිරීමෙහි ආශාව අතැර මුහුදු වෙරළෙහි සිටියෝ ය.

ලක්දිව වසා පැතුරුණු පත්කඩය මත ශාස්තෘන් වහන්සේ වැඩ සිටි සේක. එකල්හි ලංකාද්වීපය, පත්කඩය සහ සම්බුද්ධ ශරීරය යන මේ තුන ප්‍රමාණයෙන් සම වූයේ ය. ජිනවරයන් වහන්සේගේ සිරස බඹලොව පිහිටියේ ය. ඒ තාක් අහසෙහි පැවති සියලු දිව්‍ය විමානයන් ඉවත් වී ගියේ ය. හාත්පස රැස්කමින් බලා සිටින දෙව් බඹහු දිව්‍ය පුෂ්ප සුගන්ධාදියෙන් ශාස්තෘන් වහන්සේ පිදූහ.

මුහුදෙහි යොදුන් පමණ දුර ජලය ඉවත් ව වැල්ල මතු වූයේ ය. යක්ෂයෝ ලංකා භූමියෙන් ඉවත් ව එහි සිට ගත්තාහු ය. එක් පසෙකින් රැස් විහිදෙමින් පැතිරෙන පත්කඩ ද අනෙක් පසින් චණ්ඩ රළ ඇති මහ සයුර ද දුටු ඔවුහු ජීවිතාශාව අත්හැර මහත් භීතියෙන් දුක් අඳෝනා නගන්නට වූහ.

එකල්හි අප භාග්‍යවතුන් වහන්සේ යක්ෂයන්ගේ වාසයට අතිශයින් ම යෝග්‍ය වූ, වාසය කළ කල්හි යකුන් හට මහත් අභිවෘද්ධිය සැලසෙන්නා වූ ‘ගිරි’ නම් දිවයින දුටු සේක. ඒ දිවයින වනාහි ලක්දිවට ගිනිකොණ දෙසින් පිහිටා ඇත්තේ ය. පියුම් පිපී සුවඳවත් වන තඩාගයන් ද ස්වයංජාත ඇල් වී – යව – තිරිඟු ආදි සශ්‍යයන් පැසෙන කෙත්වතුවලින් ද උක් – කෙසෙල් – තල් – පොල් – ආදි මියුරු ඵල වැලින් ගැවසුණ උයන් වතුවලින් ද ඒ දිවයින සෞභාග්‍යවත් වූයේ ය.

භාග්‍යවතුන් වහන්සේ දකුණු සක්වළ සමුද්‍රයෙහි යොදුන් දහසක් පමණ ප්‍රදේශයේ ජලය ඉවත් කළ සේක. යොදුන් සියයක් පමණ විසල් ගිරි දිවයින බුද්ධානුභාවයෙන් ලක්දිව සමීපයට ගෙනවුත් යකුන් හට දකින්නට සැලැස්වූ සේක.

යක්ෂයෝ වහා එහි දිව ගොස් කායික මානසික සුවපත් භාවය ලැබ ‘අහෝ! අර යක්ෂරාජයාගේ පත්කඩ මෙහිවත් නො එන්නේ නම් කෙතරම් හොඳ ද? කියා සිතූහ. ශාස්තෘන් වහන්සේ ගිරි දිවයින පිහිටි තන්හි නැවත ද පිහිටුවාලූ සේක.

ලක්දිව නො පෙනී යාමත් සමඟ ‘අහෝ! අපගේ පැතුම ඉටුවූයේ නොවැ’ යි කියමින් කුල්මත් ව සිනාසෙමින් යක්ෂයෝ ප්‍රීත්‍යුත්සව පැවැත්වූහ.

අනතුරුව අති උත්තමයන් වහන්සේ අහසට පැන නැගුණු සේක. ලක්දිවට රැකවල් පිණිස මහා පරිත්ත නම් මෙත් පිරිත සජ්ඣායනා කරමින් තෙවරක් ලංකාද්වීපය පැදකුණු කළ සේක. ඉන් පසු භාග්‍යවතාණෝ පෙර සේ මියුගුණ මහ සෑ භූමියෙහි ම වැඩ හිඳ සමවතට සමවැද පන්දහසක් කල් ලංකාද්වීපයෙහි බුද්ධ ආඥාව පිහිටුවා ලූ සේක. ඉක්බිති ව ඇදිලි බැඳ වැඳගෙන එහි රැස්ව හුන් දිව්‍ය බ්‍රහ්ම අසුර ගාන්ධර්ව කින්නරාදී මහා සමාගමයෙහි දහම් දෙසූ සේක. නොයෙක් කෝටි දහස් ගණන් සත්වයන් හට ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ වූයේ ය. ගණනින් කිව නො හැකි තරම් සත්වයෝ තෙරුවන් සරණ ගොස් සීලයෙහි පිහිටියාහු ය.

එහි දී සෝවාන් ඵලයෙහි පිහිටි ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙව් මහරජාණන් විසින් බුදුරජුන් වෙතින් පිදිය යුතු වස්තුවක් ඉල්වන ලද්දේ ය. ශාස්තෘන් වහන්සේ දකුණතින් සිරස පිරිමැද මෙනේරි මල් මිටක් මෙන් ද නිල් මැණික් සුණු අඤ්ජන වර්ණයෙන් ද බබළන කේෂ ධාතූන් වහන්සේලා මිටක් ලබා දුන් සේක. ඉක්බිති ව භාග්‍යවතුන් වහන්සේ පෙරළා උරුවේල ජනපදයට ම වැඩම කළ සේක.

සුමන සමන් දෙව්රජ තෙමේ ද ගණ රන් කරඬුවකින් ඒ කේෂ ධාතූන් වහන්සේලා පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන එය තැන්පත් කොට ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් වසා සත්රියන් සෑයක් තනවා අනන්ත පුද පූජා පැවැත්වූයේ ය. උත්පත්ති දේව වූ සුමන සමන් දෙව් නිරිඳුන් විසින් කළ ඒ පළමු සෑරජුන් හට අපගේ නමස්කාරය වේවා!

ගීවා ධාතුං නිධායෙත්ථ – සරභුත්ථේරේන නිම්මිතං
මුග්ග වණ්ණ සිලායාථ – වන්දේ කඤ්චුක චේතියං

ලෝකනාථයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍යවර සරභූ නම් මහ තෙරිඳාණෝ දැල්වෙන සම්බුදු චිතකයෙන් පළිඟු මිහිඟු බෙරයක් වැනි බුදුරජුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ රැගෙන දහසක් රහතුන් පිරිවරාගෙන එම ඉඳුනිල්මිණි සෑය සමීපයට වැඩම කළ සේක. එම සෑය මත ධාතූන් වහන්සේ පිහිටුවා සුමන, සීවලී යන අරහත් සාමණේරවරුන් ලවා නාග භවනයෙන් ගෙන්වාගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොළොස් රියන් කොට විශාල කරවා මහා පුද පූජා පැවැත්වූවාහු ය. විශුද්ධි දේව වූ සරභූ රහත් මුනිඳුන් විසින් කළ ඒ දෙවැනි සෑරජුන් හට අපගේ නමස්කාරය වේවා!

උද්ධ චූලාභයේනෙත්ථ – ඛත්තියේන යසස්සිනා
කාරිතං තිංස හත්ථුච්චං – වන්දේ කඤ්චුක චේතියං

ලක්දිව සම්බුදු සසුන පිහිටි කල්හි මියුගුණ පෙදෙසට පැමිණි දෙවනපෑතිස් මහ නිරිඳු සොයුරු උද්ධ චූලාභය නම් කුමර තෙමේ දසබලයන් වහන්සේගේ මහා සෑයෙහි පෙළහර දැක පහන් සංවේග උපදවා බොහෝ ධාතූන් වහන්සේලා සහ රාජ භාණ්ඩ පිහිටුවා කළුගලින් බැඳ තිස්රියන් කොට සෑය විශාල කළේ ය. එම තෙවැනි සෑරජුන් හට ද අපගේ නමස්කාරය වේවා!

දුට්ඨගාමිණී රඤ්ඤාථ – කාරිතං ච මහාරහං
අසීත රතනුබ්බේධං – වන්දේ කඤ්චුක චේතියං

එයින් මෑත භාගයෙහි ලක්දිව එක්සේසත් කරනු පිණිස අනුරපුරයට ගමන් කරමින් සිටින දුටුගැමුණු කුමර තෙමේ මහියංගණයේ කඳවුරු බැඳගත්තේ ය. හෙතෙම අතිශයින් අද්භූත වූ මියුගුණ සෑය දැක, තමන් සමඟ වඩිමින් සිටි පන්සියයක් රහතුන්ගෙන් එහි තොරතුරු අසා දැන ගෙන, ගඩොලින් බැඳ අසූරියනක් කොට සෑය විශාල කළේ ය. සම්මුති දේව වූ දුටුගැමුණු නරදේවයන් විසින් තනවන ලද එම සිව්වැනි සෑරජුන් හට ද අපගේ නමස්කාරය වේවා!

ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිත කුන්තල ගීව ධාතුං
වන්දාමි සාධු මහියංගණ ථූපරාජං

සුගතයන් වහන්සේ මේ උතුම් ජින ශාසනය ආරක්ෂා කරනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩම කොට යම් තැනක වැඩ හිඳ යකුන් දමනය කළ සේක් ද ඒ උතුම් ස්ථානයෙහි කේෂ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ නිදන් කොට කරවන ලද ඉතා යහපත් වූ මහියංගණ සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

අප සැමට උතුම් මියුගුණ සෑ රජුන්ගේ පිහිට ලැබේවා!

ඇසුර – ‘වංසත්ථප්පකාසිනී’ මහාවංශ ටීකාව
සටහන – රවීන් කෝදාගොඩ

ඡායාරූපය – Dennis Candy

Leave a Reply

Your email address will not be published.

x

Check Also

සාදු සාදු අපිත් වඳිමු ඒ සම්බුදු සිරිපා!

ස්වකීය වාසභවනයේ වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මත සම්බුදුරජුන්ගේ සිරිපා සටහන් පිහිටුවා වදාරන්නට කියා සුමන සමන් දෙවිඳුන් ආරාධනා කළේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පවතින තාක් කල් දෙව් මිනිසුන්ට වන්දනාමාන කොට පින් රැස්කර ගන්නට ඉඩ ලබා දීමේ අරමුණින්.