“සෝතාපත්තිඵලං පාපෙත්වා” යන තන්හි ඔවුන් බුදුහු මැ සෝවාන් කළා වෙත්.

කිසෙ යැ යත්?

යම්සෙ රජු විසින් ප්‍රත්‍යන්තජනපදයට ප්‍රෙරිත ලෙඛය එහි මනුෂ්‍යයො කියවන සෙ නොදන්නාහු යමෙක් කියවන සෙ දනී ද ඔහු ලවා කියවා එ අර්ථය අසා ‘රජුගෙ ආඥා ය’ යි ආදරයෙන් කීතාක් දෑ කෙරෙති. ලෙඛවාචක වූ කලැ ‘කියවන සෙ යහපතැ’ යි යන ප්‍රශංසාමාත්‍ර මැ ලැබෙයි. එසෙයින් මැ ශාරීපුත්‍ර ප්‍රභෘති ධර්මකථිකයො කිසිසෙ ද ධර්ම දේශනා කෙරෙත් නම් ලීපත් කියවනුවන් වැනි වෙති; ධර්ම දේශනා වූ කලැ බුදුන් ගැත්තෙ යැ රජුගෙ ආඥා සෙයින්. යම් කෙනෙක් එ අසා අභිසමය ප්‍රාප්ත වෙද්ද, ඔවුන් බුදුහු මැ උද්ධරණ කළා වෙති. ධර්මකථිකයො වූ කලැ ‘කියවන සෙ යහපතැ’ යි යන ප්‍රශංසාමාත්‍ර මැ ලැබෙත්.

(ධර්ම ප්‍රදීපිකාව – ගුරුළුගෝමි මහපඬිතුමා)

සරලව තේරුම් ගැනීම:-

“සෝවාන් ඵලයට පමුණුවා” යන තැන කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ම ඔවුන් ව සෝවාන් ඵලයට පත් කරවා වදාළ බවයි. ඒ කෙසේද යත්;

යම්සේ රජ කෙනෙකු විසින් ප්‍රත්‍යන්ත ජනපදයකට රාජ ආඥාවක් යවනවා. නමුත් එහි වාසය කරන මිනිස්සු ඒ ආඥාව කියවන්නට දන්නේ නෑ. එතකොට යමෙක් අකුරු කියවන්නට දන්නවා නම්, ඔහු ලවා ඒ රාජ ආඥාව කියවා ගන්නවා. එය ඇසූ පසු ‘මේ අපගේ රජ්ජුරුවන් වහන්සේගේ ආඥාව ය’ යනුවෙන් ආදර ගෞරවයෙන් යුක්තව එහි සඳහන් යම්තාක් දෑ ඇද්ද, ඒවා කරනවා. ඒ රාජාඥාව කියවන්නා වූ කලී ‘කියවන ආකාරය නම් යහපතැ’ යි යන ප්‍රශංසා මාත්‍රයක් ම ලබයි.

ඒ අයුරින් ම ශාරීපුත්‍ර මහ රහතන් වහන්සේගේ පටන් ධර්ම කථිකයන් වහන්සේලා කිසියම් අයුරකින් ධර්ම දේශනා කරත් නම්, ඒ සියල්ලෝ ම රජ්ජුරුවන්ගේ ආඥාව ඇතුළත් සටහන කියවන්නවුන් වැනි වෙති. ධර්ම දේශනාව වූ කලී බුදුරජාණන් වහන්සේ සතු දෙයකි; රජුගේ ආඥාව සෙයිනි. යම් කෙනෙක් එය අසා අවබෝධය ලබත් ද, බුදුරජාණන් වහන්සේ ම ඔවුන්ව භවයෙන් උඩට ගෙන මාර්ගයට ගත් සේක් වෙති. ධර්ම කථිකයන් වහන්සේලා වනාහී ‘කියවන ආකාරය නම් යහපතැ’ යි යන ප්‍රශංසා මාත්‍රයක් ම ලබනවා.

(ධර්ම ප්‍රදීපිකාව – ගුරුළුගෝමි මහපඬිතුමා)