ද පෝය දවස… ආකාසයේ හඳ පායලා තියන නිසා පොඩි තරු කැට පේන්නේ නැහැ. ඒත් සඳ නැති අවපස අහසේ නම් තරු කැට හොඳින් බබළනවා. පහුගිය දවසක අවුරුදු 23ක මගේ ජීවිතේ කඩා වැටෙන තරු කැටයක් පළමු වතාවට පියවි ඇහෙන් දැක්කා… අපි ඒ තරු කැටවලට උල්කාපාත කියලා විද්‍යාත්මක ව කියනවා කියලා ඉගෙන ගෙන තියනවා. ඒත් මට එක ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි මිනිස් ලෝකේ මිනිස්සු තරු වගේ නම් මේ ලෝකේ ජීවත් වෙන්න බැහැ කියලා තමන් අතින් ම දිවි තොර කර ගන්න මිනිස්සුන්ට කියන්නේ මොකක් කියල ද?

මීට මාස දෙකකට කලින් පියවි ඇහැට මම දැක්කා එහෙම මනුස්සයෙක් දිවි තොර කරගෙන ඉන්නවා. මොහොතකට උගුර හිර වුණා වගේ… ඒ දිවිතොර කර ගැනීමට හේතු පාඨ හැම තැනින් ම ඇහෙනවා. සමහර අය ඔහුට අනුකම්පා කරද්දී තවත් කෙනෙක් ඔහුට බණිනවා… ‘අනේ අපොයි’ කියන වචනයත් එක්ක අපේ ම කෙනෙක් මෙහෙම දිවි නහගත්ත එක ගැන මුළු ගමක් ම කතා වෙනවා.

මේ වෙලාවේ මම හදන්නේ, පණ්ඩිතමානී විදිහට සිය දිවි නසා ගැනීම ගැන හේතු පාඨ කියන්න නො වේ. මෙවැනි ඛේදවාචකයක් නැවත සිදු නො වෙන්න අපිට ලබන්න පුළුවන් හොඳ ම විසඳුම සොයා යන්නයි.

කලෙකිනි මිනිසත් බව ලැබගන්නේ…

දහම් පාසල් දරුවාගේ පටන්, පන්සලේ වැලි මළුවේ කවි ලස්සනට ගායනා කරපු ගොඩක් දෙනෙක් මේ කවි පාඨය මේ විදිහට කියවලා ඇති. ඔව්, මේ මනුසත් බව දුලබයි… බුදු සසුනක් ඇති මේ යුගයේ මනුසත් බව ලැබීම කියන අපූර්ව සංසිද්ධිය කෙළ කෝටි වාරයකින් දුර්ලභයි. එහෙව් එකේ ඇයි මේ ධර්මද්වීපයේ මේ තරම් සියදිවි නසා ගැනීමේ අගයක් වාර්තා වෙන්නේ? මේ ලස්සන පුංචි රට ධර්මද්වීපය ලෙස හැඳින්වුවත්, මිනිසුන්ගේ හදවත් අධර්මයෙන් පිරුන නිසා මෙය සිද්ධ වෙනවා කියලා අමුතුවෙන් ම බුද්ධිමත් ඔබට කිවීමට අවශ්‍යතාවයක් නැහැ. සමහර සංසිද්ධීන් දැක්කම පෙනී යන දෙය වන්නේ ඉක්මන් කෝපය, විෂම රාගය සහ තෘෂ්ණාව නිසා තම අතින් ම තමන්ගේ මරණය බදා ගන්නා බවක්…. මේ කාරණා තුන ම වෙන කෙනෙක්ගේ මරණය සිදු කරන්න මිනිස් සිත දක්කන බවත් අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්.

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න…

මැරෙන්න මොහොතකට කලින්, සමහර අය ලියුමක්, මුහුණු පොතේ පෝස්ටුවක් දාලා තමන් මැරෙන්නේ මේ හේතුව නිසා බව අඟවනවා. සමහර විට ඒ ප්‍රශ්නවලට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න මිනිස්සු කොයිතරම් ද කියලත් හිතෙනවා… නමුත් අමතක කරන්න එපා, මේ තත්ත්වය මේ ලිපිය ලියන මටත්, කියවන ඔබටත් එන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න එනකොට, එහි විසඳුම පේන තෙක් මානයක නැති කොට, නූල් බෝලයක් වගේ ප්‍රශ්නය ප්‍රශ්න පත්තරයක් වෙනකොට, එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව එකක් එනකොට අපි මනසින් වැටෙනවා. ඒ වෙලාවට අඳුරු මඩ සහිත විලක මුහුණ දකින්න ගිහිල්ලා, ඒ විලේ ඉන්න භයානක රකුසෙකුට අසුවෙනවා වගේ ගන්න අවසන් තීරණය අති භයානක විය හැකියි. නමුත්, එවැනි මොහොතක ඔබට කරන්න දෙයක් තියෙනවා.

වැටුන තැනින් නැගිටින්න අතක්…

ඔබ ගොඩක් වේලාවට ප්‍රශ්නය තුළ හිරවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ බාහිර ප්‍රශ්නයේ පීඩනය හිස මුදුනේ ඉඳලා, පපු කුහරයේ ගැඹුරට ම දැනෙන වෙලාවල් එනවා. අපි එකට මනෝ විද්‍යාවේ කියනවා මානසික අවපීඩන තත්ත්වය කියලා. ඒ වගේ වෙලාවකට කල්‍යාණ මිතුරෙකු වෙත ගිහිල්ලා ඒ ප්‍රශ්නය නො සඟවා පවසන්න. නමුත් ඔබ මෙතන දී ප්‍රවේශම් විය යුතුයි. බැරි වෙලාවත් ඔබ ප්‍රශ්නය කියන්නේ වැරදි කෙනෙකුට නම් ඒ කෙනා වැරදි අයුරින් ඔබ ව භාවිත කරන්න පුළුවන්. ඒ නිසා, විශ්වාසයෙන් කියන්න ම කෙනෙක් නැත්නම් චෛත්‍ය වහන්සේනමකට, බෝධීන් වහන්සේනමකට වුණත් කමක් නැහැ ඔබේ ප්‍රශ්නය කියලා හිත සැහැල්ලු කර ගන්න. ඉන් පස්සේ ඉතා ම සන්සුන් සිතින් කල්‍යාණ මිතුරාගේ උපදෙස්, ධර්මය පිහිට කරගෙන උත්තරය ක්‍රියාත්මක කරන්න. එතකොට හොඳින් ගැඹුරු විල් තලයක පතුල පෙනෙනවා වගේ ප්‍රශ්නය නම් ගැඹුරු ස්ථානයේ ඇති උත්තරය ඔබට ම දැකගන්න පුළුවන්.

නමුත් සමහර විට ඔබේ මානසික තත්ත්වය ඔබ ව සිතන්නට පොළඹවාවි ‘මේ ප්‍රශ්නය මෙහෙම ම යි, මෙච්චර කාලයක් තිස්සේ’ කියලා. අමතක කරන්න එපා, ‘සියලු දේ අනිත්‍යයි, සියලු දේ වෙනස් වෙන සුලුයි’. එහෙනම් අපේ ප්‍රශ්න මේ විදිහට ම තියෙන්නේ නැහැ. එය වෙනස් වෙනවා.

ඒ වුණත් අපිට වරදින තැනක් තියෙනවා. ඒ තමයි කලබලය. මේ දෙය ඉස්සර වුණොත් කොරොස් කටේ අත දාගන්න බැරි වෙනවා විතරක් නෙමේ, දුර්ලභ මනුසත් බවේ නිධානයත් විනාශ වෙලා යාවි.

පාඩම් උගන්වන්න සියදිවි නසා ගැනීම…

ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, සමහර විට ඔබ ඒ ප්‍රශ්නවලට හේතු විදිහට බාහිර පුද්ගලයෙකු දකින්නත් පුළුවන්. එහෙම දකින බාහිර පුද්ගලයාට රිද්දන්න, පාඩමක් උගන්වන්න මේ අපරාධය කර ගත්තොත් එහි හානිය ඔබට ම මිසක් වෙන අයෙකුට නම් නෙමෙයි. මනුසත් බව තොර කරගෙන ඔබ අපමණ දුක් බොහෝ කාලයක් පුරා කර්මයක් ලෙස විඳවන්න තීරණය කරද්දී, ඒ කෙනා සතියක් පීඩා විඳලා, සති දෙකක් මාධ්‍ය සහ ගොසිප් සයිට්වල ප්‍රධාන පුවත වෙලා ඔහේ මතක පොතින් මැකිලා යාවි.

සමහර විට ඔබ ඒ අහිමි කර ගත්තේ අවුරුදු මිලියන ගාණකින් ඔබට ලැබුණු වටිනා මිනිසත් නිධානය විය හැකියි. මේ දෙයට ම තවත් දෙයක් එකතු කර ගන්න. ඒ තමයි අපි ලේසියට ප්‍රශ්නයක දී කියන දේ තමයි අරයා නිසා තමයි, මෙයා නිසා තමයි කියලා බාහිර පුද්ගලයෙක් හෝ බාහිර දෙයක් අල්වා ගැනීම… නමුත් සත්‍ය කථාව නම් බාහිරය නොව අපේ අභ්‍යන්තරය තුළ ප්‍රශ්නවල මූලය තියෙන බව. මෙහෙම කියමනක් තියෙනවා. ‘සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා බලන්නේ ගල දෙස නෙමෙයි, ගල ආපු දෙසයි…. මොකද ඒ සතා දන්නවා නැවත ගලක් එන්න පුළුවන් බව. නමුත් සුනඛයා එහෙම නෙවෙයි, ඒ සතා බුරාගෙන පනින්නේ ගල දෙසටයි.’ එහෙනම් ඔබත් තීරණය කරන්න ඔබ ප්‍රශ්න දෙස බලන විදිහ.

හැඟීම් පාලනය කර ගන්න වගකීමේ බර

පහුගිය දවසක මා ගාවට උපදේශනය සඳහා තරුණ කාන්තාවක් ආවා. එයත් තමන්ගේ දිවි තොර කර ගන්න තම අත කපාගෙන. ඒ කාන්තාවගේ කතාව ඇත්තෙන් ම දුක්බරයි. තමන්ගේ අම්මාගේ මල්ලි, ඒ කියන්නේ මේ කෙනාගෙ ම මාමා මේ කාන්තාවට කසාද බන්දලා දීලා තිබුණා. දරු පැටවු තුන් දෙනෙක් මේ තරුණ අම්මාගෙන් පෝෂණය වෙනවා… නමුත් ගෙදර ඇති වුණ ප්‍රශ්නයක් සහ ආවේගයක් නිසා මේ තරුණ මව මේ සඳහා පෙළඹිලා තිබුණා. උපදේශනය අවසානයේ ඇය තේරුම් ගත්තා තමන්ට මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ වගකීම වුණ දරුවො තුන් දෙනා ගැන හිතන්න ඕන කියලා. සමහර විට මෙවැනි ආවේගයක් ආවොත් තමන්ට බැඳිලා තියෙන වගකීම වන පවුලේ අය ගැන වගේ ම මනුසත් බවේ ඇති දුලබ බවත් හිතුවොත් යම් තාක් දුරට ඒ හැඟීම් පාලනය කර ගන්න පුළුවන්.

ඒත් එක්කම තව උදාහරණයක් කියන්නම්. ජපානය කියන්නේ ඉතා දියුණු යැයි සලකන රටක්. නමුත් ඒ රටේ මිනිසුන්ගේ ඇති වැඩ මානසිකත්වයත් එක්ක නිදහස් ජීවිතයක් නැති තරම්. එය කොයි තරම් බරපතළ ද කිව්වොත් ජපානය තුළ සිටින අයට සියදිවි හානි කර ගන්න වෙනම කැලෑවක් පවා වෙන් කරලා තියෙනවා. මේ කැලෑවට යන අයට පෙනෙන්න මිනිසත් බව ගැන, පවුලේ අය ගැන ලියපු පුවරු ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ඒ තත්ත්වය වළක්වා ගන්න.

විස්මිත උපදේශකවරයා…

ඔය වගේ ම මීට අවුරුදු දෙදහස් ගණනකට කලින් එක්තරා කාන්තාවක් සියදිවි හානි කර ගන්න මහ මූකලානට ගියා. කළේ ළිඳට දාන්න ගෙනාපු ලණුව තොන්ඩුවක් වගේ හදලා, බෙල්ලට දාගද්දිම බොහෝ ම ප්‍රියමනාප කටහඬකින් “නැගණිය, රජ්ජුමාලා” කියා ආමන්ත්‍රණය කෙරුණා. ඒ තමයි මේ ලෝකයට, මේ සක්වළට ම පහළ වුණ ශ්‍රේෂ්ඨ උපදේශකවරයා. ඒ වෙලාවේ ලැබුණ උපදේශනයට රජ්ජුමාලාට ඒ මොහොතේ විතරක් නෙමෙයි, ඉන් පස්සෙ උපරිම ව උපදින්න සිද්ධ වන භව හතටවත් සියදිවි හානි කර ගන්න හිතක් පහළ නොවන බලවත් බවක් ඇති වුණා.. ඒ ශාස්තෘත්වය ම පිළිගත්ත මට සහ ඔබට එවැනි උපදේශනයක් තුළින් මිලින වෙන්න යන ජීවිත බේරාගන්නට පුළුවන් කියන එක අමතක කරන්න එපා.

සියදිවි හානි කර ගත්ත කෙනෙකුගේ අතීතය බැලුවොත් එයා මීට පෙර කිහිප වතාවක් ම ඒ සඳහා උත්සාහ කරලා තියෙනවා. නැත්නම් එයා ඒ ගැන තමන් වටේ ඉන්න අයට ඒ ගැන අඟවලා තියෙනවා. සමහර විට ඔබ දන්න කෙනෙක් මේ තත්ත්වයේ පසුවෙනවා වෙන්න පුළුවන්, එවැනි කෙනෙකුට ඔබ ඉදිරියේ විවෘත වන්න ඉඩ ලබා දීලා එයාගේ මනස නිරවුල් කර ගන්න සහය වුණොත් එය ඉතා වටිනා පුණ්‍ය පාරමිතාවක් ම යි.

කොහොම නමුත් අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණයි. ඔබටත් මටත් ලැබුණු මේ මිනිස් බව පරම දුර්ලභයි. එය තොර කර ගන්නවා යනු මහා අපරාධයක් පමණක් නොව භයානක ගණයේ අකුසල කර්මයක් වන බව අමතක කරන්න එපා. ඒ නිසා ලැබුණු භවයෙන් උපරිම ප්‍රයෝජනය වූ සම්බුදු සසුනේ පිහිට ලබා ගන්න ඔබටත් මටත් වාසනාව උදාවේවා!

සටහන – කෞශල්‍ය අයි. රණසිංහ
මානව සම්පත් නිළධාරි – හෙළ ක්ලෝදින් ආයතනය