මීට අවුරුදු අසූවකට පෙර “නමෝ බුද්ධාය” යන මැයෙන් රචිත මෙම ලිපිය ‘සිංහල බෞද්ධයා’ 1935 වසරේ වෙසක් මංගල කලාපයට හේමපාල මුනිදාස විසින් ලියන ලද්දකි. පොළොන්නරු යුගයේ බුදු ගුණ ගැයූ විද්‍යාචක්‍රවර්තීන්ගේ භාෂා රීතිය සිහිපත් කරවන මේ නිබන්ධය රසභාව පූර්ණ සම්බුද්ධ ගුණ වැනුමක් වෙයි. ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ කතුවරයා වූයේ හේමපාල මුනිදාස මහතා ය.

‘සම මෙතින් යෙදී සියල් ලෝසතුන් ධර්ම ක්ෂීරයෙන් ගෝපනය කළ අමා මෑණියෙනි, සමස්ත සත්වකාය ධර්මාමෘතයෙන් පෝෂණය කළ බුදු පියාණනි, සසර ගිම් නිවා ලෝක සත්වයාට ශාන්ති සුඛය දැනවීම සඳහා ලොව’ඹර පහළවුණු පුන්සඳාණනි, ජගදාකාශයෙහි පැවැති මෝහාන්ධකාරය විද්වංශනය පිණිස උදාවුණු දිවාකරයාණනි, ඔබ පිළිබඳ තෙමඟුල් සිදුවුණු අද මාගේ හෘදය මණ්ඩලය ඔබ වහන්සේට දෙව්රමක් වේවා! මාගේ චිත්තසන්තානය ‘බුත්සරණක්’ වේවා! මාගේ සිරස සමනළ ගිරක් වේවා! මාගේ යුගත මල් සුමුඟක් වේවා! මාගේ සිරුර පාපිස්නක් වේවා! මාගේ මුඛය පංචශිඛයෙක් වේවා! සර්වනිර්දෝෂ වූ – සර්වතෝභද්‍ර වූ – සර්වලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්ස, මිනිස් ලොවට සාහිත්‍යය දුන් සරස්වතීත්, සංගීතය දුන් මෝහනීත්, ප්‍රතිමා ශිල්පය හා ගෘහනිර්මාණ ශිල්පය දුන් විශ්වකර්මයාත්, සදාචාරය දුන් මහබඹාත්, ජනාවාසය දුන් ඉසුරාත් ඔබගේ බුද්ධකායයෙන් නික්මුණු සවණක් ගන බුදු රැස් දහරේ කිසියම් අංශුමාත්‍රයකින් නිපණැයි සිතම්හ. වැඩි පද කුමට කියම් ද? පෙරදිග සාහිත්‍යයේ ජනිතත්වයත්, ජගත් සාහිත්‍යයේ පෝෂිතත්වයත් වූයේ ඔබ බස නිසා ය. පූර්වදිග සංගීතයේ උත්පත්තිය වූයේ ඔබට සේනාසන සැලසීම නිසා ය. ලෝක සදාචාරෝත්පත්තිය සිදුවූයේ ඔබ බිණූ බස නිසා ය. වන මිගුවන්ගෙන් හා වනචාරීන්ගෙන් ගැවැසුණු වනගත රාෂ්ට්‍රයන් ශිෂ්ට ජනපද බවට පත්වූයේ ඔබ දෙසූ පිළිවෙත් පැතිරීම නිසා ය.

ධර්මශාස්ත්‍ර දිවාකරයා උදාගිරි පව්වෙන් යන්තම් නික්මෙමින් සිටි අරුණෝදය සමයේ පහළ වී සමස්ත ලෝක ධාතුවත්, සත්ව ජීවිතයත් පරෝපකාරයකින් තොරව විජානනය කළ ස්වාමිදරුවාණන් වහන්ස, ඔබගේ දිව්‍යමය එඩිතර ගුණයත් නිරවශේෂ නිර්භය භාවයත් පළවන්නේ රුචිරෝම, ඛරරෝමාදී සැහැසින් දැමීමෙන් නො වේ. උග්‍ර කුලවාදයෙන් හා ඉස්සර නිම්මාණවාදාදී දෙසැට මිසදිටු ජාලයෙන් බැඳී සිටි මානයෙන් මුග්ධ වූ, ඥානයෙන් අන්‍ධ වූ, බලයෙන් උග්‍ර වූ බමුණන්ට කළ අවඥාවෙන් ය. වන වැදී, ආත්මවධ සංඛ්‍යාත අත්තකිලමථානු යෝගයෙහි යෙදීමෙන් ම මෝක්ෂ ප්‍රතිලාභය කටයුතු යයි අනාදිමත් කාලයක පටන් බමුණන් තුළ මුල් බැස පැවති මිථ්‍යා විශ්වාසයට ඔබ ගැසූ පහර වූ කලී ලෝක ඉතිහාසයේ සඳහන් අති ප්‍රෞඪ වීර ක්‍රියාව ය. ගෝමාංසාංශුවක් පවා වැළඳූ පුද්ගලයා සැඩොල් රැහැට දැමීම පරම ප්‍රතිපත්තිය කොට විසූ බමුණන් හමුවේ මාංස භෝජනය අනුදැන වැදෑරීමෙනුත්, ඔවුන්ගේ කුලවාදයට අවඥා කිරීමෙනුත් ඔබ කළේ ලෝක ඉතිහාසයේ සඳහන් අති උග්‍ර ධීර ක්‍රියාව ය.

ඒ සා වෛශාරද්‍ය ය, ඒ සා වෛචිත්‍ර ය, ඔබ චරිතය ඒ සා සුවිශිෂ්ට ය, ඒ සා සුදාන්ත ය, ඒ සා සුමධුර ය, හිමියනි, ඔබ ගුණ වණන වියත්තු ආලවක, අංගුලිමාල, රුචිරෝම, ඛරරෝම ආදි සැහැසින් දැමූ හැටි වයති. ඔබ බල වණන වියත්හු කූටදත්ත, පොක්ඛරසාද, සච්චක ආදි සිව් වේදයෙහි කෙළ පැමිණි මහා බහුශ්‍රැත වාදභට්ටයන් බැමූ හැටි ගයති. ඔබ තෙද වණන වියත්තු ඔබ පිටදුන් රුකත්, ඔබ පා තැබූ ගලත්, ඔබ වැළඳූ පයත්, ඔබ දැවූ අළුත්, ඔබෙන් සෙසු වූ ඇටත් අතුල්‍ය වූ අසදෘශ පූජිත වස්තූන් වූ හැටි බෙණෙති. ඔබ නැණ වණන වියත්තු නිගණ්ඨනාථ පුත්‍ර, අජිත කේශකම්බල, සංජෙය්‍ය බේලට්ඨි පුත්‍ර, පූරණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, කකුධ කාත්‍යායන ආදි දර්ශනවාදීන් නැමූ හැටි කියති.

වැළි එකෙක් ඇත. ස්වාමීනි, මේ මහා දර්ශනවාදීන් නැමීම නම් ඔබ නැණ සපුවට විෂය වන මහාශ්චර්යයෙකි. ඔබ නුවණින් විස්මිත වුණු පුරාතන ගත්කරුවන් විසින් නිවටුනැයි පැවසුණු නමුදු මොවුහු ද මහා දර්ශනවාදියෝ ය. කුශාග්‍ර බුද්ධිමත් පඬිවරයෝ ය. විප්ලවමතධාරී ශාස්තෘවරයෝ ය. මගේ හිමිපාණන්ගේ අසදෘශ වූ, අතුල්‍ය වූ, අසාධාරණ වූ, අප්‍රතිහත වූ, අසමසම වූ ප්‍රඥා චක්ඛුවට අසුවුණු ජීවිතයේ අබිරහස මොවුනට දුරවබෝධ වූ නමුදු මොවුහු ද මහා ප්‍රඥා සමෘද්ධියකින් සජ්ජිත ව විසූ සාධුවරයෝ ය. ඔවුන් දැමූ හැටි වැණීම නම් මාහිමියන් වහන්සේට ගෞරවයෙකි. එහෙත් ස්වාමීනි, අංගුලිමාල, ආලවකාදීන් දැමීම ඔබ වහන්සේගේ ගුණයට කෙබඳු වැණීමක් ද? ඔවුහු මාහිමි සක්විත්තන් හමුවේ අසරණ ගැත්තෝ ය. ඔබ මුවින් නික්මුණු බසත්, කයින් නික්මුණු ඇටත්, සැයින් නික්මුණු අළුත් නිබ්බානයෙන් සියවස් ගණනක ඇවෑමෙනුදු සැහැසි පුද්ගලයන් නොව භිරුක – භීෂණ ජාතීන් නැමූහ. රාෂ්ට්‍රයන් සෑදූහ. ද්වීපයන් මැවූහ.

ඔබ ධරමානව වැජඹෙමින් කූටදත්ත, පොක්ඛරසාද, සච්චකාදීන් නැමීම ඔබ නැණයට කුමන වැණීමක් ද? ඔවුහු මාහිමි දිවාකරයන් හමුවේ කඳෝකිමියෝ ය. සමස්ත ලෝකය ම කල එළි වී අනන්ත විද්‍යාන්තර පහළ වී අහස පොළොව ගැටලන සා බුද්ධිප්‍රබෝධයකින් යුක්ත නූතන සමයේ වෙසෙන කුශාග්‍ර බුද්ධිමත් මහා චින්තකයෝ පවා, ලොව අඳුරු ව පැවැති ඈත අතීතයේ විසූ ඔබ වහන්සේ ඉතිහාසාරම්භයේ පටන් අද වන තෙක් මිහිකත කුස දිනූ පැණවතුන්ගේ අනුපමෙය්‍ය, අප්‍රතිපුද්ගල, අග්‍රසරයා යයි කියන්නාහ. වැළි කවර කථා ද? ඔබ පා තැබූ ගලත්, වැළඳූ පයත්, දැවූ අළුත්, සෙසු වූ ඇටත් අසදෘශ පූජනීය වස්තූන් වීම පුදුමයක් වන්නේ කෙසේ ද? ඔබ ජනිත දේශයට මුළු ලොව සිරස නමන්නේ ය. ඔබ සමය රැඳී රටට මුළු ලොව යුගත් නගන්නේ ය. ඔබ බස හඳුනන දාසයා ස්වාමියා විසින් සේවිත ය. ඔබ බස ඇසූ දීනයා මහේශාක්‍යයා විසින් භාවිත ය. ඔබ වත පීරූ හීනයා ශ්‍රේෂ්ඨයා විසින් පූජිත ය. එමතු ද? ඔබ බස රැඳුණු කරදාසියත්, ඔබ රුව අනුව හැඩ ගැසුණු මැටි ගොඩත්, ඔබ රුව නෙළුණු කළු ගලත්, ඔබ නම අනුව යෙදුණු අකුරු පෙළත්, ඔබ හැඳි වතේ පැහැය රැඳුණු රෙදිකඩත් පූජ්‍ය වස්තූහු ය. ඉඳින් ස්වාමීනී, ඔබ වහන්සේගේ පාදස්පර්‍ශයෙන් පරිශුද්ධවූ ගලත්, බුද්ධත්වයට පත්වීම සඳහා පිටදුන් රුකත්, වැළඳූ පාත්‍රයත්, භස්මාවශිෂ්ට වූ කයත් අසදෘශ පූජ්‍ය වස්තූන් වීම විස්මයක් ද?

සර්ව සාධු ශාන්ත ධර්මයන් කැටි කොට, මෛත්‍රියෙන් කලතා, සමාධියෙන් අනා, කරුණාවෙන් හැඩගස්වා, මුදිතාවෙන් ඔප්නංවා, ආශ්චර්යයෙන් අලෙව්දී, ප්‍රඥාවෙහි වඩා හිඳුවන ලද සමන්ත භද්‍රයාණනි, මිසරයේ ස්ථූප, මොසලස් සුසානාගාරය, චීනයේ ප්‍රාකාරය, බැබිලෝනියේ එල්ලෙන උයන ආදිය ඥානයෙන් ළපටි වූ නරයෝ ලොව මහ පුදුමයයි පවසති. එහෙත් බ්‍රහ්ම දේවාදී පරෝපකාරයෙන් ම ආත්ම විමුක්තිය සාධා ගත යුතු යැයි අනාදිමත් කලක පටන් විශ්වාස කළ පරාත්මලම්බනීය වූ -පරදාස වූ – පුරාතන ලෝකයා හමුවේ දෙව් බඹුන් අවඥාවට භාජන කරවමින් ඔවුන් බස් මිථ්‍යා මතිමාත්‍ර බව පළකරවමින් ඔබ දෙසූ ස්වයං සිද්ධ නිබ්බාන ධම්මය ඊශ්වර නිර්මාණවාදාදී දෙසැට මිථ්‍යා දෘෂ්ටිගතුවන්ට අවබෝධ කැරැවීමෙන් ඔබ පළ කළ මහා ප්‍රාතිහාර්යය හා සැසඳෙන කල මේ පුදුම, හිමාලය හමුවේ තිරුවානා ගල්කැට බවට පත්වන්නාහ.

“බුද්ධං යාව නිබ්බානං සරණං ගච්ඡාමි”

පිටපත් කොට එවන ලද්දේ දයාපාල ජයනෙත්ති විසිනි.