මෙවර වෙසක් පුන් පොහොය නම් මට මුළු ජීවිත කාලෙ ම මතක හිටීවි. මේ වෙසක් පෝයට අපේ ගෙදර හැමෝ ම අනුරාධපුරේ යන්නයි ආසා කළේ. ඒක හරීම සුන්දර වන්දනා ගමනක්. ඉතින් අපි කලින් දවසේ ගොහින් නවාතැන් ගත්තා. වෙසක් පෝදා උදේම අපේ ආච්චි රස….. ම රස කිරිබතක් හදලා තිබුනා. කැවුම් කොකිස් හදලා තිබුනා. රස අග්ගලාත් හදලා තිබුනා. මිහිරි කිරිබතින් පුරවා ගත් පාත්‍රයකුත්, කැවිලි පෙවිලි පළතුරුත්, නෙළුම් මලුත් අරගෙන අපි රුවන්මැලි මහාසෑය දෙසට පියමං කළේ හිත පිනායන අමුතු නැවුම් බවකින්.

“මයෙ දරුවනේ…… ආං…. බලන්ට…… හප්පා….. මහාසෑයේ ලස්සන. මහා අලංකාර තේජසකින් බබළනවා….. අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥ ධාතු වැඩසිටින මහා චෛත්‍ය රාජයා නොවැ….. දරුවනේ…. අපි අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමිනුයි සලපතල මළුවට ඇතුලු වෙන්න ඕනා…..” කියලා අපේ ආච්චි තමයි ඉස්සෙල්ලාම මිහිරි හඬින් ‘ඉතිපි සෝ භගවා…. අරහං….’ යනාදී බුදුගුණ ගායනා කරන්ට පටන් ගත්තේ. එතකොට අපි කවුරුත් ඒ සමග ම මිහිරි සරින් බුදුගුණ ගායනා කළා. අපට දැන් මේවායේ අර්ථ තේරුම් ගන්න පුළුවන් නිසා හිත අමුතු සතුටකින් උදම් වුනා.

අපි මුලින් ම කළේ දිගටම බුදුගුණ කියමින් දකුණු අතට මහාසෑය පැදකුණු කිරීමයි. මහාසෑය දෙස බලද්දි මට පෙනුනේ මහාමේරු පර්වතය අහස උසට නැගී සිටිනවා කියලයි. ඒ තේජාන්විත විලාසයට මං නම් හරිම ආසයි. සුදෝ සුදු සෑ මුදුනේ රන් පාටින් කොත දිලිසෙනවා බලන්න මං තවත් ආසයි.

ඉතින් අපි වඩම්මාගෙන ආ පුද පූජාවන් මහාසෑයේ ආසන වල තැන්පත් කළා. පැදුරු එළාගෙන සෑය ළඟින් ම වාඩිවුනා. මහාසෑ පාදමට නළල තියලා වන්දනා කළා. එතකොට ආච්චි මෙහෙම කිව්වා. “පුතේ…. අපේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය අභියස වැඳ වැටෙනවා කියලා හිතාන වැඳගන්ට පුතේ. ඒත් එක්කම ඔයාලගෙ ජීවිතත් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්ට”

ඊට පස්සේ අපි හැමෝම මිහිරට ගාථා කියලා වන්දනා කළා. පිරිත් කිව්වා. ආච්චිට මිහිරි හඬින් පිරිත් සජ්ඣායනා කරන්ට පුළුවනි. ඒ වන්දනාවෙන් පස්සේ අපි ආච්චිටයි සීයටයි සෑ මළුවෙදිම වන්දනා කරන්ට සූදානම් වුනා. එතකොට ආච්චි කලබලේට මෙහෙම කිව්වා.

“නෑ… නෑ… මයෙ දරුවනේ…. මෙතනදි…. මේ මහා සලපතල මළුවේදී වැඳුම් පිදුම් ලැබිය යුත්තේ අපගේ බුදුරජාණන් වහන්සේ විතරමයි. පුතේ….. මේ මහා සලපතල මළුවේ අනූ කෝටියක් මහ රහතන් වහන්සේලා අපගේ භාග්‍යවතුන් වහන්සේට පමණමයි වන්දනා කළේ….. ඉස්සර කාලේ පුතේ…. සංඝයා වහන්සේලාට වැන්දෙත් පහත වැලි මළුවෙදි. මේ මළුව වෙන්වුනේ බුදුරජාණන් වහන්සේට වඳින්න පමණයි…. ඒ නිසා පුතේ…. නවාතැන් පොළට ගියාට පස්සේ අපට වැඳලා පින් කරගන්ට හොඳේ…. ඒක නොවෙයි දරුවනේ…. මං මේ මහාසෑයේ වටිනාකොම ගැන පුංචි කතාවක් කියන්ටද?”

“අනේ හොඳයි…. අපෙ අම්මා…. ඒ කතාව මේ දරුවොත් මහාසෑ මළුවෙදිම අහන එක තමයි හොඳ” කියලා අපේ තාත්තා ආච්චිව තවත් උනන්දු කළා. ආච්චි කතා කළේ මහාසෑය දිසාවට වැඳගෙනමයි. ආච්චි හිනා වෙද්දි මහාසෑයට පූජා කරපු මලක් වගේ ලස්සනයි.

“එහෙනම් දරුවනේ…. ඕං අහගන්ට. ඉස්සර කාලේ භාතිය කියලා අපේ මහ රජ්ජුරු කෙනෙක් හිටියා…. ඒ කාලේ රජ දරුවන්නේ උදාර ගතිගුණ මතක් වෙද්දි අපේ හිතටත් මහා සැපයක් දැනෙනවා දරුවනේ. ඉතින් මේ භාතිය රජ්ජුරුවොත් හරීම ශ්‍රද්ධා සම්පන්නයි. මහසෑයට පණ වගේ ආදරෙයි. හැමදෑම රාජ මාලිගාවේ රාජකාරි පටන් ගත්තේ මහසෑයට වන්දනා කරලා, මහසෑයට වත් කරලා පුද පූජා පැවැත්තුවාට පස්සෙයි. ඔය අපේ භාතිය රජ්ජුරුවෝ තමයි පුතේ මේ මහාසෑය වැහෙන්නම සුවඳ මැටි තවරලා සමන් මල් කඤ්චුකයකින් වහලා සමන් මල් ගුලාවකින් බුදුරජාණන් වහන්සේව පිදුවේ.

ඒ වගේම දරුවනේ…. භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා.

ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා” මෙහෙම කියලා අපේ ආච්චි දෑස පියාගත්තා. දොහොත් නගා වැඳගෙන මිහිරට මේ ගාථාව කිව්වා.

දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝ තපති – ඣායී තපති බ්‍රාහ්මණෝ
අථ සබ්බමහෝරත්තිං – බුද්ධෝ තපති තේජසා

ඊට පස්සේ ආච්චි බණ කතාව කියාගෙන ගියා. “ඉතින් දරුවනේ…. දිවා තපති ආදිච්චෝ ‘දවල් කලට බබළන්නේ හිරු මඬලයි’ කියලා ධර්ම කීර්ති පණ්ඩිතයෝ සූරිය පිරිත විස්තර කරලා බැස යමින් සිටින අලංකාර හිරු මඬලට වන්දනා කළා.

රත්තිං ආභාති චන්දිමා ‘රෑ කල බබළන්නේ සඳ මඬලයි’ කියලා චන්ද පිරිත විස්තර කරලා බැබලි බැබලී උදාවන රන්වන් සඳ මඬලට වන්දනා කළා. සන්නද්ධෝ ඛත්තියෝ තපති ‘සර්වාභරණයෙන් සැරසී සිටින අපගේ රජ්ජුරුවන් වහන්සේත් බබළත්මයි’ කියලා භාතිය රජ්ජුරුවන්ට වන්දනා කළා. ඣායී තපති බ්‍රාහ්මණෝ ‍‍‍‘අපගේ ආර්යයන් වහන්සේලා සමථ විදර්ශනා භාවනාවන් වඩද්දි ලස්සනට බබලනවා නොවැ’ කියලා එහි වැඩහුන් සංඝයා වහන්සේට වන්දනා කළා. අථ සබ්බමහෝරත්තිං බුද්ධෝ තපති තේජසා ‘ඒ කවුරුන් බැබළුනත් දිවා රාත්‍රී දෙකේ සෑම කල්හි ම අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බල තේජසින් බබළන සේකැ’යි කියලා මේන්න මේ රන්මැලි මහාසෑ රජාණන් වහන්සේට වන්දනා කළා.

දරුවනේ, භාතිය රජ්ජුරුවෝ ප්‍රීතියෙන් ඉපිල ගියා. බණ මඩුව ගිගුම් දෙන්න තරම් සද්ද නගලා තුන් යලක් සාදුකාර දුන්නා. එතකොට භික්ෂූන් වහන්සේලාත් බණ මඩුවේ අතුරු සිදුරු නැතුව පිරී සිටි සැදැහැවත් ජනී ජනයාත් එක්පැහැර මිහිරි හඬින් තුන් යලක් සාදුකාර පැවැත්තුවා. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“ධර්ම කීර්ති පණ්ඩිතයෙනි, තොපගේ බණ ටික නම් ඉතා උචිතයි. අවස්ථාවට ගැලපෙනවා. අති මනහරයි. මංගල ගාථා රත්නයකින් බණ කිව්වා නොවැ” කියලා හුනස්නෙන් නැගිට්ටා. “පණ්ඩිතයෙනි, තොපගේ දෑත දිගුකල මැනව” කිව්වා. එතකොට ධර්ම කීර්ති පණ්ඩිතයෝ ධර්මාසනයේ සිටිද්දි ම දෑත් දිගුකළා. භාතිය රජ්ජුරුවෝ රන් කහවණු දහසකින් බැඳි පියල්ලක් පණ්ඩිතයන්ගේ අතේ තිබ්බා. හැමෝම සාදුකාර පැවැත්තුවා. එදා ඉඳලා පුතේ ඔය ගාථා රත්නයට කිව්වේ සර්ව මංගල ගාථාව කියලා.

ඉතින් දරුවනේ, ඒ කාලේ අපේ රජදරුවෝ…. අපේ සංඝයා වහන්සේලා…. අපේ මහ පඬිවරු හැමෝම මේ රුවන්මැලි මහාසෑ රජුන්ට අත්‍යුදාර ලෙස ගරු බුහුමන් දැක්කුවේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දන මානන කරන ලෙසිනුයි.

ඉතින් මයෙ දරුවනේ….. අද නොවැ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ උපන්දිනේ. අද වගේ දවසක නොවැ උන්නාන්සේ සපරිවාර මාර සේනා පරද්දවලා තුන්ලෝ ජයගත්තේ. සම්බුද්ධ රාජ්‍යය දිනාගත්තේ…. අද වගේ දවසක නොවැ උන්නාන්සේ පරම සුන්දර අමා මහ නිවන්පුර වැඩියේ. ඉතින් දරුවනේ…. මීටත් වඩා මහෝත්සව දවසක් දෙවියන් සහිත මිනිස්සුන්ට තවත් තියෙයිද? අද තමයි තෙරුවන් සරණ ගිය අපගේ හැබෑම අවුරුද්ද. බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා අවුරුදු දෙදාස් හයසීයකුත් වුනා නොවැ….. අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවන් වහන්සේත් අද වගේ වෙසක් පොහෝ දවසක නොවැ රුවන්මැලි මහාසෑයේ ධාතු නිධානෝත්සවය කළේ. අපේ කාවන්තිස්ස මහ රජ්ජුරුවෝත් අද වගේ වෙසක් පොහෝ දවසකයි සේරුවිල මංගල මහාසෑය බඳින්ට මුල්ගල තැබුවේ. ඉතින් දරුවනි, එවන් උදාර පොහෝ දවසක් නොවැ අද. මේ කතාව කියාන යද්දි මට තවත් ලස්සන ගාථාවක් මතක් වුනා. ඒ ගාථාවෙනුත් බුදුරජාණන් වහන්සේට වඳින…. වා….. කියන අදහසින් අපි ලස්සනට කියමු.

“පදුමං යථා කෝකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ලමවීතගන්ධං
අංගීරසං පස්සවිරෝචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’ති”

උදයෙ පිපී සුවඳ හමන රතු පියුමක් වැන්නේ
සරත් කලට අහසෙ දිලෙන හිරු මඬලක් වැන්නේ
සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ
අන්න බලන් අංගීරස සමිඳුය වැඩ ඉන්නේ

සාදු… සාදු… කියලා අපි හැමෝම වන්දනා කළා. ඇත්තෙන්ම මට හරීම සතුටුයි. අපේ ආච්චිගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම නිසා අපි හැමෝටමත් මේ උතුම් අවස්ථාව ලැබුනා. අනේ අපේ හෙළ රජදරුවන් රජ කරන කාලේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක් මොනතරම් උත්සව ශ්‍රීයෙන් බැබලී යන්ට ඇද්ද…. අපේ හැබෑම අවුරුද්ද අද නොවැ….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)