දැන් දවස් කීපයක ඉඳන් අපේ ආච්චි සෑහෙන්ට සූදානම් වුනා. අද නම් ආච්චිට හරිම සතුටුයි වගේ. ආච්චිට විතරක් නෙවි, අපටත් සතුටුයි. ඇයි අද නොවැ අපේ පන්සලට හීල් දානය පූජා කරන දවස. පාන්දර පටන් ම අම්මයි අප්පච්චියි ආච්චියි හැමෝම කුස්සියේ වැඩ. ඇත්තෙන්ම දානෙ දවසට මුළු ගෙදර ම සුවඳයි. ඉතින් අපේ ආච්චි කැකුලු බත් හදලා ඉඳි ආප්පත් හදලා මාළු ඇඹුල් තියල් හැදුවේ හරී සතුටින්. අපේ අම්මාට නම් ඉතාම රසට කිරි හොදි හදන්ට පුළුවනි. පොල් සම්බෝලෙකුත් හැදුවා. දානය භාජන වලට දාලා සුදු පිරුවට වලින් එතුවා. පළතුරුත් සුදු පිරුවටෙන් එතුවා.

“ඇයි ආච්චි…. මේවා සුදු පිරුවටෙන් ඔතන්නේ?” “පුතේ…. අපි දානෙ පූජා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාටයි. ඉතින් පුතේ, එක නමකට දානෙ ටිකක් පූජා කරගත්තත් කමක් නෑ. හිතන්ට ඕනෑ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරනවා කියලයි. උන්වහන්සේලා පුද පූජාවන්ට සුදුසුයි නොවැ”

හැමෝම ඒ අදහසට එකඟ වුනා. අපිත් ඉතා සතුටින් සුදු වත් හැඳගෙන උදේම පන්සල් ගියා. “අම්මේ…. ආන්න අර පුංචි සාදු කෙනෙක්…. අර බෝ මළුව අමදිනවා” “ඔව් පුතේ…. ඒ අපේ පොඩි ස්වාමීන් වහන්සේලා වත් කරනවා. වත් කරන්ට එපායැ සිල් රකිනකොට”

එතකොට ඒ පොඩි ස්වාමීන් වහන්සේ අපි දිහා බලලා ලස්සනට හිනා වුනා. ඒ හිනාව හරිම අහිංසකයි. පියකරුයි. උන්වහන්සේගේ සිනහව මට තාමත් මතක් වෙනවා. ඉතින් අපි දානෙත් අරගෙන දාන ශාලාවට ගියා. අම්මයි අප්පච්චියි හනිකට බුද්ධ පූජාව පිළියෙල කළා. බුද්ධ පූජාව විහාරයට වඩම්මද්දි මුතුකුඬේ ඇල්ලුවෙත් අප්පච්චිමයි. මට මල් වට්ටියක් ලැබුනා. අපි හැමෝම ඉතිපි සෝ භගවා යන බුදු ගුණ කියමින් විහාරයට ගොඩ වුනා. මුළු විහාරෙම මල් සුවඳයි. විහාරෙ ඇතුලේ ඉන්නකොට හිතෙන්නේ පිපී සුවඳ හමන මල් ගුලාවක ඉන්නවා කියලයි. මං නම් හරිම ආසයි. එදා හීල් දානෙ පූජා කරලා හැමෝම සතුටෙන් ගෙදර ආවා.

“අම්මේ…. පොඩි සාදුලත් එතකොට සිල් රකිනවාද?”

“ඔව් පුතේ…. පොඩි උන්නාන්සේලාගේ සිල් ගැන ආච්චිගෙන් අහන්නකෝ”

“ආච්චියේ…. මොනාද ආච්චියේ පොඩි සාදුලාගේ සිල්?” “මයෙ පුතේ… දැන් අපි රකින්නේ පන්සිල් නොවැ. පුංචි උන්නාන්සේලා එහෙම නෙවි. සිල් පද දහයක් රකිනවා. සිල් පද දහයක් රක්ෂා කොරනවා කියන්නේ මහානුභාවසම්පන්න වැඩක්” “එතකොට ආච්චියේ…. ලොකු සාදුලා රකින්නේ මොන සිල්ද?” “පුතේ, අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වයස විස්සෙදි උපසම්පදා වෙනවා. හප්පා…. ඒවාට තමයි සිල් කියන්නේ. හරිම බරපතලයි. කෝටියක් සංවර සිල් කියලයි කියන්නේ. මහා බලසම්පන්නලු. පොඩි නමලා රකින සීලෙට කියන්නේ සාමණේර සිල් කියලයි”

“ඉතින් ආච්චියේ… ලොකු සාදුලා සාමණේර සිල් ගන්නෙ නැද්ද?”

“ඒක මෙහෙමයි පුතේ…. මං ඔයාට ඔය ගැන ලස්සන කථාවක් කියන්නම්. හොඳට අහගෙන ඉන්ට ඕනෑ.

ඕන්න ඉස්සර…. ලංකාවේ යාපනේ පළාතේ නාග මහා විහාරය කියලා විශාල පන්සලක් තිබුනා. මේ පන්සලේ තිස්ස කියලා පොඩි නමක් හිටියා. මේ පොඩි උන්නාන්සේ සංඝයාට උපස්ථාන කරන්ට හරිම ආසයි. වත් පිළිවෙත් කරන්ටත් හරිම ආසයි. ඒ නිසා ම විසි වයසෙදි උපසම්පදා වුනෙත් නෑ. දිගටම සාමණේරව හිටියා.

ඉතින් මේ තිස්ස සාමණේරයෝ තමයි දන්හල භාරව සිටියේ. දන්හලේ ගබඩාවත් භාර වුනේ උන්නාන්සේටමයි. මිනිසුන් පූජා කරන පිරිකර වැඩක් ගන්ට බැරිව පරණ වෙලා යනවාට උන්නාන්සේ කැමති වුනේ නෑ. එතකොට කැපකරුවන් ලවා ඒ බඩුබාහිරාදිය වියදම් කෙරෙව්වා. සංඝයා උදෙසා ලස්සනට දාන ශාලාව හැදුවා. බේත්හේත් පූජා කළා. ඇඳපුටු පූජා කළා. සිව්පසයෙන් උපස්ථාන කළා. නිතරම තිස්ස සාමණේරයෝ සිතුවේ සංඝයාට උපස්ථාන කරන්නේ කොහොමද කියන කාරණය. ඒ ගැනමයි සතුටු වුනේ. ඔය විදිහට පින් කරලා පුතේ උන්නාන්සේ වයසට ගොහින් අපවත් වුනා. ඒ නාග මහා විහාරය අසබඩ පර්වතයේ අතුපතර විහිදී ගිය මහා නුග රුකක් තිබුනා. ආන්න ඒ නුග රුකේ බලසම්පන්න රුක් දෙවියෙක් වෙලා උපන්නා.

ඉතින් මයෙ පුතේ…. ඒ තිස්ස සාමණේරයෝ දෙවියෙක් වුනාට පස්සෙත් ප්‍රසිද්ධ වුනේ තිස්ස දිව්‍ය පුත්‍රයා කියලයි. හප්පා…. මයෙ පුතේ, වෘක්ෂ දේවතාවෙක් වුනාට ඒ දෙවියා මහා බලසම්පන්නයි. ලස්සනම ලස්සන දිව්‍ය අප්සරාවියක් පාදපරිචාරිකාව වෙලා හිටියා” “ආච්චියේ…. කවුද ආච්චියේ පාදපරිචාරිකාව කියන්නේ?” “මයෙ පුතේ…. ඒ කිව්වේ දෙව්පුතුගේ බිරින්දෑ. ඒ වගේම උපස්ථානෙට මහා දිව්‍ය පිරිසකුත් හිටියා. ඉතින් මෙයාලා ඉතා සතුටින් ප්‍රීතියෙන් කල් ගෙව්වා.

දවසක් පුතේ, භික්ෂූන් වහන්සේලා හැට නමක් පහළ ගමට පිණ්ඩපාතේ වැඩියා. අනේ අපොයි එදා උන්නාන්සේලාට දානෙ පොඞ්ඩක් ලැබුනේ නෑ. සෝදාගත්තු පාත්තරේ පිටින් ම ආපසු වඩිනවා මේ තිස්ස දෙවියන්ට දකින්ට ලැබුනා. එතකොට තම බිරිඳ වූ දෙව්දුවට කථා කළා. “දේවි…. අර…. අර බලන්ට…. අර සඟරුවන ශාන්තව වඩින තපෝ ලීලාව. කිසි කලබලයක් නෑ. නමුත් දන්නවද? උන්වහන්සේලාගේ පාත්තර වල මොකුත් නෑ. අද දානෙට මොකවත් ලැබිලා නෑ. දේවි…. මං පැවිදි වෙලා ඉන්දෙද්දි විහාරයට පූජා කළ පිරිකර වියදම් කරලා ප්‍රණීත දන්පැන් දුන්නා. දානෙ වේලක් කවරදාකවත් වැරැද්දුවේ නෑ. ඉතින් දේවි, අපට මේ දිව්‍ය සම්පත් ලැබුනේ අපි උපයාපු දෙයක් දීලා නෙමෙයි. අනුන්ගේ දේවල් වියදම් කොට දානෙ දීමෙනුයි. ඉතින් දේවි…. දැන් අපිටම කියලා දිව්‍ය සම්පත් තියෙනවා නොවැ. මේ සඟරුවන භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාකාමී ශ්‍රාවකයෝ. කෙලෙස් සතුරන් නසන යුධභටයෝ. ඉවසීමෙහි මෛත්‍රියෙහි සෙන්පතිවරු…. බලන්ට උන්වහන්සේලා ශාන්තව වඩින අයුරු. නමුත් අපි උපකාර නොකළොත් බඩසා දුකින් මිරිකෙමින් දුකසේ පිළිවෙත් පුරාවි….. නෑ…. අපි වෙස් වළාගෙන ගිහින් දානෙ දෙමු”

ඉතින් පුතේ, ඒ දෙන්නා මිනිසුන්ගේ වෙස් ගත්තා. හනික භික්ෂූන් වහන්සේලා ළඟට ගියා. උන්වහන්සේලාට වන්දනා කොළා. “අනේ…. ස්වාමීනී, ඔබවහන්සේලාට දානෙ ලැබිලා නෑ වගේ. හපොයි හපොයි…. අනේ වඩින්න ස්වාමීනී මේ කන්ද පැත්තට…. ආන්න අර නුග රුක පැත්තට…. අපට දානෙ දෙන්ට පුළුවනි” එතකොට පුතේ, එතන සිටිය මහ තෙරුන්නාන්සේ මෙහෙම කිව්වා. “පින්වත…. ඔය කඳුවැටියේ මහ නුගේ තියෙන පැත්ත ගැන නේද කියන්නේ….? ඒ පැත්තේ මිනිස්සුන්ගේ වාසයක් නෑ නොවැ…. අපි දන්නා තරමින් ඒ පැත්තේ ගෙවල් නෑ” “අනේ නෑ ස්වාමීනී…. අපි එතන ඉන්නේ. ඔහොම ඩිංගිත්තක් ඒ පැත්තට වඩින්ටකෝ”

භික්ෂූන් වහන්සේලා එතනට වඩිද්දි ඒ නුග රුක් සෙවනේ මහ විස්මිත අලංකාර මණ්ඩපයක් තිබුනා. දිලිසෙන වස්ත්‍ර වලින් සරසලා තිබුනා. කිසිදා නොදුටු සුවඳ මල් වලින් තැනින් තැන ලස්සන කරලා තිබුනා. ඉතා සුව පහසු යහන් පනවලා තිබුනා. ඒ විතරක් නෙමෙයි පුතේ, ඒ වෙලාවේ රිටිගල වනාන්තරේ හිටිය මහාසුමන කියන දිව්‍ය පුත්‍රයාත් පිරිවර සේනාව සමග රාජායතන චෛත්‍යයත් වන්දනා කරගෙන තිස්ස දිව්‍ය පුත්‍රයාවත් බලන්ට යාපනේට එන ගමන්. ඒ දෙවියොත් දානෙට සම්බන්ධ වුනා. අර දෙන්නා මිනිස් වෙස් නැතුව දිව්‍ය වෙස් ගත්තා. මිහිරි සුවඳ විහිදෙන ප්‍රණීත වූ දිව්‍ය ආහාරපානයන්ගෙන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළා. දන් වළඳා අවසානයේ මහ තෙරුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් දිව්‍ය පුත්‍රයෙනි, තොපගේ දිව්‍ය විමාන හැබෑවට ම දැකුම්කලුයි නොවැ. සත්රුවනින් ම අලංකාර කරලා. දිව්‍ය නාටිකාංගනාවන් නොයෙක් වාද්‍යවෘන්දයන් මැද තාලයට රැඟුම් දක්වනවා. සිනිඳු යහනාවල සිටින තොපට උපස්ථාන කරන්ට බොහෝ දෙව් පිරිස් ඉන්නවා…. හැබෑවට ම දිව්‍ය පුත්‍රය, මෙතරම් දෙව්සැප ලබන්ට පෙර ආත්මේ තොප කළ මහා බලසම්පන්න පින කුමක්ද?” “අනේ ස්වාමීනී…. මාත් ඔය නාග විහාරයේ ම පැවිදි වෙලා හිටියේ. ඒ කාලේ මට කිව්වේ තිස්ස සාමණේරයෝ කියලයි. මං ඉතාම ආදරයෙන් සඟ රුවනට උපස්ථාන කළා. සැදැහැවතුන් පූජා කළ පිරිකර නිරපරාදේ නාස්ති වෙනවාට මං කැමති වුනේ නෑ. ඉතින් මං ඒවා වැනසෙන්ට නොදී ඒ මුදලින් ඉතා අලංකාරව දාන ශාලාව සකස් කළා. උණුපැන් සිසිල් පැන් පිළියෙල කළා. වියන් බැන්දා. හීලට පැණිකැවුම්, කැඳ, අවුලුපත් පිළියෙල කෙරෙව්වා. දහවල ප්‍රණීත ආහාරපානයන් පිළියෙල කෙරෙව්වා. ඉතා ශ්‍රද්ධාවෙන් දන්පැන් පිදුවා. උන්වහන්සේලා ඉතා සුවසේ වත් පිළිවෙත් කළා. බණ දහම් ඉගෙන ගත්තා. ගුණදහම් පිරුවා. ස්වාමීනී, මට ඒ ගැන සිතනකොට දැනුත් හරීම සතුටුයි. ඉතින් ස්වාමීනී, මං මේ දිව්‍ය සැප ලැබුවේ අනුන්ගේ පිරිකර වියදම් කොට දානය පූජා කිරීම නිසයි”

“දිව්‍ය පුත්‍රය, තොපගේ මේ අසිරිමත් දෙව්සිරිසැප අනාගතයේ කොතෙක් කල් විඳීවිද?” “අනේ ස්වාමීනී…. මං දානය පූජා කළේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසාමයි. සංඝයාට පිදූ දානයේ විපාක අනන්තයි නොවැ. මේ ආකහේ කෙළවරක් පෙනෙන්නේ නෑ වගේ. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක් නම් උන්නාන්සේට පමණක් මේ පින් වල අවසානය වදාරන්ට පුළුවන් වේවි”

ඉතින් පුතේ…. ඕන්න ඔහොමයි තිස්ස දිව්‍ය පුත්‍රයා මහ තෙරුන්නාන්සේට උත්තර දුන්නේ. ඒ නිසා දානයක් දෙනවා කියන්නේ නිකාම් කන්ට බොන්ට දීමක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ගුණ මෙනෙහි කරමින් පින් කෙත හඳුනාගෙන සතුටු සිතින් දන්දීමයි. ඉතින් පුතේ, ඔයාලත් කුඩා අවදියේ ඉඳලා අපි කරන පින් හොඳින් බලාගෙන ඉගෙන ගන්ට.

(සද්ධර්මාලංකාරය ඇසුරෙනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ