මේ, වෙනසකට කාලය යි..!

ලෝකය වෙනස් කළ යුතු යැයි සිතන කවරෙකු හෝ විසින් වෙනස් කළ යුතු වන්නේ එක දෙයකි. එනම්; මිනිසුන්ගේ සිතුවිලි දහරාවන් ය. ලෝකයේ අප අත්දකින යහපත් හෝ අයහපත් ප්‍රවණතාවයන් තුළ පවතින්නේ මිනිස් චිත්ත ස්වභාවය යි. සිත පෙරටු ය. සිත ශ්‍රේෂ්ඨ ය. හට ගන්නේ ද සිතින් ම ය. එවන් වූ සිත දූෂිත වූ කල්හි ක්‍රියාව ද වචනය ද දූෂිත ය. සිත ප්‍රසන්න වූ කල්හි ක්‍රියාව ද වචනය ද ප්‍රසන්න ය. අප ජීවත් වන සමාජ රාමූන් කවරක වුව පවතින්නේ මෙය ම මිස අනෙකක් නො වේ. ඒ නිසා ලෝකය වෙනස් කිරීම ඇරඹිය යුතුව තිබෙන්නේ අපගේ සිත් තුළිනි.

ලෝකය යහපත් ලෙස වෙනස් කිරීම ගැන ඔබට කියන්නට කථාවක් අපට තිබේ. මේ කථාව ඔබ ඇසිය යුතු ය. මතක තබා ගත යුතු ය. එසේ ම ක්‍රියාවෙන් එය කළ යුතු ය. එසේ නොවුණහොත් ලෝකයට සියලු යහපත උදා කළ මිනිස් සනුහරයක අවසන් පුරුක බවට ඔබ, අප පත්වනු ඇත. මේ වනාහී, ලෝකය වෙනස් කිරීම උදෙසා වන කතිකාවතක් නො වේ. අපගේ මේ ව්‍යායාමය වසර දහස් ගණනකට පෙර අති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් විසින් සිතක උපදින සියලු බලයන් උපදවා ගැනීමෙන් ම ලෝකයේ සිදු කළා වූ අද්විතීය පෙරළියක සාධනීය ප්‍රතිඵලය හෙට දවස තුළ ද සුරක්ෂිත කිරීම වෙනුවෙනි.

ලොව අන් කිසිදු ජාතියකට දෙවැනි නො වූ ඉතිහාසයක ලිඛිත සාධක ද භෞතික සාක්ෂි ද ඒ ඉතිහාසගත පුවත සත්‍යයකි යැයි තහවුරු කරන ජීවන සම්ප්‍රදායක ශේෂයන් ද සහිත රටක ඉපදෙන්නට අපි භාග්‍යවන්ත වීමු. අහස උසට එසැවුණු සුවිසල් චෛත්‍යයන්, නොසෙල්වී ඉහළ නැගුණු යෝධ සෙල් පිළිම, ශිලා ස්තම්භ, සියවස් ගණනක් පා පහස ලැබුව ද කැටයම් නො වියැකී දැනුදු විශිෂ්ට කලා කෘතියකි ය යන පිළිගැනීම ලබන සඳකඩ පහණ්, යෝධ වාරි කර්මාන්ත අපට තහවුරු කරන්නේ මතු ප්‍රයෝජන පිණිස එපුවත් ලියා තැබූවන් අභූතයෙන් කරුණු දක්වා නැති බවයි.

බොහෝ රටවල ද බොහෝ ජාතීන්ගේ ද සිදු වූයේ නටබුන් වූ අතීතයක් වටා යම් අතීත පුවතක් නිර්මාණය වීම ය. එහෙත් අප සිටින්නේ එහි අනෙක්පස ය. අපේ අතීතය ඒ කාලයන්ට සමරූපව ම වාගේ ලියැවිණි. අද අපි ඒ අතීත පුවතේ නටබුන් දකින්නෙමු. මේ අවස්ථා දෙකේ වෙනස අපට නොයෙක් කෝණවලින් දැකිය හැකි ය. තර්කානුකූල ව මෙහි ගොඩනැගෙන සරල ම අදහස නම් සිදු වූ හෝ නො වූ දේවල් අරබයා අන් බොහෝ රටවල් අතීත පුවතක් නිර්මාණය කරන බවත්, එයට ප්‍රතිවිරුද්ධව සිදු වූ දෙය ලියා තැබූ අතීත පුවතක උරුමකරුවන් වූ අප කාලයේ පහර කෑමෙන් වැසී ගිය ඒ අතීතයේ උරුමය ගවේෂණය කරන බවත් ය.

දැනට දක්නට ලැබෙන සාධක මත පදනම් ව අතීතයට ගැළපී යන පුවතක් නිර්මාණයේ දී සාවද්‍ය අර්ථ නිරූපණයන් සිදු වීමේ ඉඩකඩ බොහෝ ය. නමුත්, අතීත පුවත මත පදනම් ව වත්මන් සාධක සොයා යාමේ දී එවන් වැරදීම් සිදු විය හැකි නො වේ. එසේ වුව ද අපේ ඉතිහාසය විසින් මේ රටේ සිංහල බෞද්ධ උරුමය බිඳ හෙළිය නො හැකි නිරවුල් බවකින් යුතු ව තහවුරු කොට තිබියදීත් මේ රටේ ඉතිහාසය වැරදි අර්ථ නිරූපණයන් තුළට කොටු කර ගැනීමට ඇතැම් පිරිස් දරන උත්සාහයන්හි කෙළවරක් නැත. තිබූ අතීතය නො තිබූ අතීතයක් දක්වා විකෘති කරන්නට මේ දරන උත්සාහයන් කවරක වුව අවසාන ගොදුර වන්නේ මේ රටේ සිංහල බෞද්ධ පදනම බව අප සැක නො කළ යුත්තේ ඒ නිසා ය.

සිංහල බෞද්ධයන් කිසි කලෙක අන්‍ය ආගම්, අන්‍ය ජාතීන් හෙළා දුටුවේ නැත. හෙළා නොදුටුවා පමණක් නො වේ; ඔවුන් බලහත්කාරයෙන් තම චින්තනය වැළඳ ගන්න යැයි කිසිවෙකුට බල කළේ ද නැත. සාංසාරික පුණ්‍ය ශක්තියකින් තමන් සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ය යන්න දැන සිටි ඔවුන් තිසරණයේ පිහිටීමට පින් මඳ වූවන්ට ගැරහුවේ ද නැත. එය නිවටකම නො වේ. ඔවුන්ගේ ජීවන සම්ප්‍රදායට පදනම් වූ දහම අනුන් හෙළා දකින, විවේචනය කරන, ගරහන හෝ පිටුදකින දහමක් නො වී ය. කිසිවෙකුට බලහත්කාරකම් කරන දහමක් ද නො වී ය. ඕනෑම කෙනෙකු සමඟ සුහද ව කටයුතු කිරීමේ සාමූහිකත්වයේ ද සන්හිඳියාවේ ද ගුණධර්මයන් සිංහලයන්ට උරුම වූයේ ඒ දහමෙනි. සියලු තැන්හි සම සිතින්, සම මෙතින් පැවතීමේ හැකියාව යනු දියුණු පෞරුෂයක ලක්ෂණ මිස බෙලහීනකමක ලක්ෂණ නො වේ. අද වන විට අන්‍ය ආගමිකයන් හා නිරාගමිකයන් වරදවා තේරුම් ගෙන සිටින්නේ ද අවාසනාවන්ත ලෙස බහුතර සිංහල බෞද්ධයන් හට ආගන්තුක බවට පත් වෙමින් පවතින්නේ ද ඒ සුවිශිෂ්ට ජීවන සම්ප්‍රදාය යි.

ලිඛිත, එමෙන් ම ජීවමාන සාක්ෂි ඇති ඉතිහාසයක් වෙනස් කිරීමේ ඉඩ විවෘත වන්නේ දෙයාකාරයකිනි. එක් ආකාරයක් නම්, ඒ ඉතිහාසයේ වත්මන් උරුමකරුවන් ඉතිහාසය නොදැන සිටීම යි. දෙවැනි ආකාරය වන්නේ දන්නවුන් ද සිදු කෙරෙන විකෘතීන් අබිමුව නිහඬ ව සිටීම යි. එසේ නම් අද රට හමුවේ පවතින, යම් කලෙක නිජබිම් සංකල්පය හෝ ශුද්ධ වූ භූමි සංකල්පය මත පිහිටා අධර්මයන් තුළින් භය, වෛරය, තැතිගැනීම ඉපදවීමේ ප්‍රබල අවදානමක් ඇති කරන්නට ඉඩ තිබෙන අභූතයක් ඉතිහාසගත වීමේ අනතුර දකින කල්හි අප කළ යුත්තේ කුමක් ද? ඇස් කන් පියාගෙන සිටීම ද? ඇස් කන් නැතියවුන් ලෙස සිටීම ද? ඒ කවර ආකාරයකින් අප සිටියත් සසරේ බොහෝ කල් පුරන ලද පුණ්‍ය ශක්තියෙන් තුන්ලොවට ම අග්‍ර බවට පත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවැත්ම අවසන් කළ පිරිස බවට අප පත් වේ. මන්ද සිංහල රට යනු ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය යි. සිංහල රට යනු ගෞතම බුද්ධ ශාසනයේ චිරපැවැත්මයි. ඉදින් අප ඒ අතිශය විරල වූ සම්බුද්ධ ශාසනයේ කල්‍යාණ වැට සිඳින්නවුන් බවට පත් විය යුතු ද? නැත. කිසිසේත් ම නැත.

අප දහම උගත යුත්තේ නිවන වෙනුවෙනි. නිවන ඒකායන ඉලක්කය කර ගනිමිනි. අප ඉතිහාසය උගත යුත්තේ අනාගතය වෙනුවෙනි. ඒ සුගතයාණන් වහන්සේ වදහළ නිවන් මග තවත් පුණ්‍යවන්තයන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම ඉලක්ක කර ගනිමිනි. අප අනුගමනය කරන දහම අපට ආත්මාර්ථය ඉලක්කයක් කර ගන්නට කියා දෙන්නේ නැත. ඒ උත්තරීතර දහම ද ඒ මත පදනම් ව ගොඩනැගුණ ඉතිහාසය ද අප උගත යුතු ය; අපේ දරුවන්ට ද ඉගැන්විය යුතු ය.

අද වන විට අපේ දරු පරපුර තුළ මුණගැසෙන්නේ ළමාවිය ද ළමාකම් ද අහිමි වූ අනාථයන් පිරිසකි. විද්‍යුත් උපකරණ හා මෙවලම් තුළ ලෝකය අත්විඳින ඔවුන් තුන්වේලට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් දුරකථන කෑමට ගන්නා තරමට යාන්ත්‍රික වී ඇත. දුරකථනයට කථා කරන තරම් ඔවුන් අම්මා තාත්තාටවත් කථා කරන්නේ නැත. ඔවුන්ගේ ලෝකයේ මනඃකල්පිත වීරයන් මිස සැබෑ වීරයන් නැත. ඒ පරපුර හඳුනන්නේ කාටූන් චරිත ය, ජනප්‍රිය කලාවේ ටෙලිනාට්‍ය චරිත ය. ඉදින් ඔවුන් ජාතික වීරයන් ලෙස බෙන්ටෙන්ලා, ස්පයිඩර් මෑන්ලා නම් කිරීම ගැන අප පුදුම විය යුතු නැත. කාමුකත්වය, පළිගැනීම, එකට එක කිරීම ආදි දුර්ගුණයන් හුස්ම ඉහළ පහළ හෙළීම තරම් ම ජීවිතයට බද්ධ වූ බාල ගණයේ ඉන්දියානු සිනමා චරිත අපේ දරුවන්ගේ ලෝකයේ සිහින තරු බවට පත් වීම ගැන ද අප පුදුම විය යුතු නැත. ඉදින් අනාගතයේ යළි යළිත් පෙම්වතාට, පෙම්වතියට තිළිණයක් ගැනීම පිණිස මුදල් නො දෙන්නේ ය කියා, ස්වකීය ප්‍රේමයට අකුල් හෙළන්නේ ය කියා අම්මා, තාත්තා මරා දමන දරුවන් ගැන අසන්නට සිදුවන විට අප කළ යුත්තේ “අනේ අපොයි” කියා කම්මුලට අත තබා ගැනීම නො ව “හොඳ වැඬේ උඹලට” කියා කම්මුලට ගසා ගැනීම ය. මන්ද, දෙමව්පියන්ට නො සලකන, දෙමව්පියන්ගේ වචනය මායිම් නො කරන දරුවන්ගේ විප්‍රකාර ටෙලි සිත්තමක් ව, සිනමාපටයක් ව දිගහැරෙන විට අපේ දරුවන් තුරුලු කරගෙන ඒවා දෙස ඇස් කන් නො පියා බලා සිටියේ අප මිස අන් අය නො වන නිසා ය. බෝසත් චරිත, බෝසත් ගුණ දැරූ උතුම් මිනිසුන්ගේ චරිත ගැන දරුවන්ට කියා නො දුන්නේ අප මිස අන් අය නො වන නිසා ය.

ඉදින් අපේ දරුවන්ගේ ඔළුගෙඩි පිරී යන්නේ හොලිවුඞ්, බොලිවුඞ් අත්දැකීම්වලිනි. ඒවා ද යහපත ඉස්මතු කරවන ඒවා වූවා නම් කමක් නැත. එහෙත් එය එසේ නො වේ. පෙරදිග ශිෂ්ටාචාරයන් සියවස් ගණනකට එපිට දී ගංගා නිම්නයන් ඇසුරු කරමින් ගොඩනැගූ, පසුකාලීන ව විශිෂ්ට චින්තන සම්ප්‍රදායන්ගේ උපතට පෙරමං තැනූ සභ්‍යත්වය, සදාචාරය එහි නැත. වීරත්වය, අප්‍රතිහත ධෛර්යය, ගුණයෙන් පිරිපුන් ව නැගී සිටීම ගැන උගත යුතු පාඩම් එහි නැත. හරසුන්, ග්‍රාම්‍ය දේ ග්‍රහණය කර ගනිමින්, ජීරණය කර ගනිමින් උස් මහත් වන මේ දරු පරපුර මතු වැඩිහිටි වන විට අපේ සිංහල බෞද්ධ පදනම හා එය තහවුරු කරන කිසිසේත් බිඳ හෙළිය නො හැකි සාධක කිසිවක් නො දැන සිටීම වළක්වන්නට නුපුළුවන. එපමණක් නොව, එවන් පරපුරක් පැවතියා ම වූ ඉතිහාසයක උරුමයෙන් ඈත් කොට කල්පිත ව ගොඩ නැගූ ප්‍රබන්ධාත්මක පුවතක හිමිකරුවන් වගට පත් කරලන්නට අවි බලයක් වුවමනා වන්නේ ද නැත. ඒ තරමට ම මානසික නිවහල් බව, ස්වාධීන චින්තන හැකියාව අපි අපේ දරුවන්ට අහිමි කරමින් සිටින්නෙමු.

මිනිස් සන්තානයක සියලු යහගුණයන් උපදවාලන්නට ඒකාන්තයෙන් ම උපකාරක වන ශ්‍රේෂ්ඨ චරිතාපදානයන්ගෙන් හිස් නො වූ ශාසනික ඉතිහාසය අපේ දරුවන්ගේ පූර්වාදර්ශය බවට අප පත් කරලන්නේ කවදා ද? ඒ දහම මූලබීජය කර ගනිමින් බිහි වූ සමාජයීය, දේශපාලනික ප්‍රවාහය තුළ චිරප්‍රකට වූ ගුණවත් සත්පුරුෂයන් අපේ දරුවන්ගේ සමීපතමයන් බවට අප පත් කරලන්නේ කවදා ද?

කම්පියුටරය සහ නවීන තාක්ෂණික උපාංග ජීවිතයේ අනිවාර්ය අංග බවට පත් කර ගත් අපේ දරුවන්ට අම්මා, තාත්තා ව්‍යාධීන්ට ගොදුරු වනවා පෙනෙන්නේ නැත. ජරාවට පත් වීම විසින් ඔවුන් පිරිවරා ගන්නා අයුරු පෙනෙන්නේ නැත. දෑස් අයා තමන් බලා සිටින ලෝකය තුළ මායාවන් යථාර්ථයන් සේ දකින ඔවුන් දිරාපත් ගැලක් සේ යාන්තමින් වාරු ගෙන තුන්වේල උයා පිහා දෙන අම්මා හෝ ඒ වියහියදම් උපයන තාත්තා හෝ සැබෑ කොට දකින්නේ නැත. දෙමව්පියන් ලෙඩ ඇඳට වැටුණ විට දරුවන්ට එය කරදරයකි. දෙමව්පියන්ගේ අසනීප තත්ත්වයක් නිසා වේලක් මඟ හැරණහොත් ඒ දරුවන්ට ඇති ගැටලුව මඟ හැරුණු කෑම වේල මිස දෙමව්පියන්ගේ අසනීපය නො වේ. සත් දිනක් මව් කර තබාගෙන සයුරේ පිහිනා ගිය මහා වීරියවන්තයා අපේ දරුවන්ට ආදර්ශය කරවූයේ නම් මෙය සිදු විය හැකි ද? රාජ සභාවේ කෘත්‍යයන් පිණිස යාමට පෙර සිය ගිලන් මව සියතින් ම නහවා, වස්ත්‍ර පොරවා, සියතින් ම කවා පොවා සතපවා, තුන්වරක් ඒ සයනය වටා ප්‍රදක්ෂිණා කළ දෙවන අග්බෝ රජු අපේ දරුවන්ගේ වීරයෙක් වූයේ නම් අපට මේ අභාග්‍ය සම්පන්න සමාජ තත්ත්වය උදා විය හැකි ද?

සැබැවින් ම අපට වැරදුනේ කොතැන ද? අපට වැරදුන ඒ තැන ගැන අපූරු සටහනක් මුණගැසුනේ පූජ්‍ය පණ්ඩිත මිස්සක කමලසිරි හිමියන් විසින් රචිත ‘මිහිඳු ගිරෙන් හිම ගිරට’ ගවේෂණාත්මක කෘතිය තුළ දී ය.

‘බෝධිසත්වයන් වහන්සේ කුසගින්න නිසාවෙන් සිය පැටවුන් ගොදුරු කර ගන්නට සැරසුනු කොටි දෙනකගේ මුවට පැන්න කථාව ළමා මනසක භීතියක් ඇති කළ හැකි පුවතකි. ඒත් ඒ කථාව අසා සිටිද්දී මගේ හිතට දැනුණේ පුදුමාකාර වීර්යයකි. එය එසේ වූයේ එම කථාන්දර මට කියා දුන් වැඩිහිටියන්ගේ මානසික ස්වභාවය එය ම වූ නිසාවෙනි. වසර දහස් ගණනක් අපේ සමාජයේ සිතුම් පැතුම් සකස් කරනු ලැබුවේ ජාතක සාහිත්‍යයයි. ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගුවේ එම සාහිත්‍යයයි. ඔවුන් තුළ වීර්යය හා පරිත්‍යාගය මනා ව පිහිටා තිබිණි. එවන් ගුණයන්ගෙන් යුත් ඔවුන් ජාතක කථා කියා දුන්නේ ද බෝසත් මනස හඳුනාගෙන ය. ඔවුන් තුළ වූ පෞරුෂය මා වෙත ආවේ ඒ කථාන්දර හරහා ය. ඉංග්‍රීසි සාහිත්‍ය උගත් මහතුන් කියා දුන් ඇලඩින්ගේ පුදුම පහන අපේ ජීවිතවලට ඉතිරි කළ දේට වඩා යමක් බොහෝ දේ නො දත්, ඒත් අවශ්‍ය දේ දත් අපේ වැඩිහිටියන්ගේ කථාන්දරවලින් අපේ ජීවිතවලට ලැබිණි.

පෙරුම් පුරනා මද්‍රිදේවිය හිමාල අඩවියේ රසබර ඵලාපල නෙළා සිය දරුවන් පෝෂණය කළා සේ ම හිමවත් අසපුවල පිබිදුන ආධ්‍යාත්මික ශක්තිය ඉතිහාසය තුළ අපේ සමාජය පෝෂණය කළ වග පැහැදිලි ය. අද යළිත් අප සමාජය ආධ්‍යාත්මික මන්දපෝෂණයකින් පෙළේ.’

මේ කථාව කිසිසේත් ම හිතලුවක් නො වේ. අපේ වැඩිහිටියා තුළින් මඟහැරුනු භූමිකාවක් මෙහි තිබේ. ඒ මඟහැරීම තුළ ශක්තිමත් වී සිටින්නේ ධර්මයට එරෙහි බලවේගයන් ය. අති ධාවනකාරී ජීවන අරගලයක් වෙත දරුවන් තල්ලු කර ඔවුන් ද සමඟින් හැල්මේ දිව යන වැඩිහිටි පිරිසට සසරේ අති දුර්ලභ ව ලද මනුෂ්‍ය ජීවිතයක පරමෝත්තම ශාස්තෘත්වය අපට හිමි වීමේ ඇති මහානීය බව සිහිපත් වන්නේ නැත.

මේ පිළිබඳ ව විවරණය කරමින් මහාමේඝ කර්තෘ මණ්ඩලයේ දයාපාල ජයනෙත්ති මහතා පසුගිය වප් පොහොය කලාපයේ ලිපියක තැබූ සටහනින් කොටසක් යළිත් මෙහි උපුටා දක්වන්නේ මේ පරිහානිය අප ඇති සැටියෙන් ම අවබෝධ කර ගත යුතු නිසා ය.

‘පැරණි ගැමි සංස්කෘතියෙහි ප්‍රබල බලවේගයක් වූ මානව සමාජ ඒකමිතිය සහිත පරිසරයක් අද ලක්දිව කොතැනකවත් දක්නට නොමැති තරමට සමාජය විපරීත වී ඇත. අද ළමයින්ට දිරි දෙන්නේ බ්‍රොයිලර් කුකුළන් මෙන් ඉක්මනින් හැදී වැඩෙන්නට ය. අද ළමා කාලය මහා පීඩාකාරී අවධියකි. හැකි තරම් ඉක්මනින් ලොකු මහත් වී ඉගෙන ගෙන පලා යා යුතු ළමා වියක් අද දරුවන්ට උරුම වී තිබේ. අනෙක් පසින්, ජීවිතයේ සරු අත්දැකීම්වලින් පෝෂිත වැඩිහිටි පරපුර, නූතන අධිවේගී විද්‍යුත් සන්නිවේදන සමාජ ක්‍රමය හමුවේ නිෂ්ප්‍රභා වී යන ආකාරය අපි අත්දකිමින් සිටිමු.’

ඉදින් අපගේ දරු පරපුර ඉතා ඉක්මනින් තරගකාරීත්වයට අවතීර්ණ වෙමින් ළමා වියෙන් පමණක් නො ව ඉතිහාසයේ යහ පැවැත්මෙන් ද එහි අනාගත හිමිකමෙන් ද පලා යමින් සිටී. තමන් ලද අද්විතීය උරුමය මරා වළලා දමමින් වැඩිහිටි පරපුර ද අක්‍රීය වෙමින් සිටී. මේ දෙයාකාරයේ ම පිරිහීම් වළක්වාලිය යුතු වගකිව යුත්තන් වන්නේ අප ය.

බලහත්කාරකමින් යටපත් කළ නො හැකි අපූර්ව ගුණශෝභාවන් පණ ගසන, මුල් අදින ස්වභාවයක් හෙළදිවට අතීතයේ පටන් ම හිමි විය. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ දී සදහම් සන්දේශය රැගෙන වැඩම කළ කල්හි ඒ සද්ධර්මය මේ බිමේ කිසිදු පැකිලීමකින් තොර ව මුල්බැස ගත්තේ එහෙයිනි. එහෙත් සේන ගුත්තික, එළාර, කාලිංග මාඝ, පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදි ආක්‍රමණිකයන්ට අවි බලයෙනුදු එය කළ නො හැකි විය. හේතුව, ඔවුන් සතු වූයේ අධර්මය වීම යි, අවිනය වීම යි. එහෙත් මේ රටේ මිනිසුනට ආවේණික වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ ද ප්‍රඥා ගෝචර වූ ද දෙය අනුගමනයට යොමු වීම යි. බලපෑමෙන් ඔවුන් මත පටවන්නට උත්සාහ කළ කිසිවක් ඔවුනගේ ශ්‍රද්ධාවට ගැළපී ගියේ නැත, ප්‍රඥාවට ගැළපී ගියේ ද නැත. අද සිදුව ඇත්තේ බාහිර බලවේගයකට යටපත් කළ නො හැකි ශ්‍රද්ධාවක් ද ප්‍රඥාවක් ද අප තුළ උපදවාගෙන නොතිබීමේ ආදීනවයන් ඉස්මතු වීම ය.

තව වසර විස්සක් තිහක් ගත වන විටත් ජීවත් ව සිටියහොත් අප සියල්ලෝ විශ්‍රාම යන වයසේ පසුවන්නෝ ය. අද යාන්තමින් බහ තෝරන, කෙළි දෙලෙන් සිටින අපේ දරුවන් එකල්හී සමාජ යාන්ත්‍රණයේ නියමුවෝ ය. අපට යමක් කරන්නට ලොකු කලක් නො ලැබුණ ද අපේ දරුවනට යමක් කරන්නට ප්‍රමාණවත් කාලයක් තිබේ. ඒ නිසා, අප ඒ දරුවනගේ හිස් මොළ කොදෙව් මනසිකාරයෙන් ද යන්ත්‍රෝපකරණ හරහා ඔවුන් හඳුනා ගත් විශ්වීය මනසිකාරයෙන් ද නිදහස් කොට අපට අතීතයේ පටන් උරුම වූ නිදහස් නිවහල් චින්තන සම්ප්‍රදායේ හැඩතලවලින් සැරසිය යුතුව තිබේ. ඒ වෙනුවෙන් අප ධර්මය ද ඉතිහාසය ද හැදෑරිය යුතු ව තිබේ.

මේ හැදෑරීම නිසා අපට අපගේ දරුවන් බහුශ්‍රැතයන් බවට පත් කිරීමේ වපසරිය පුළුල් කරලන්නට හැකි ය. එමතුදු නො වේ; මේ ඉගැනීම අපගේ සසර සුවපත් භාවය පිණිස ද කල්‍යාණ දහම් වැට නො සිඳි සත්පුරුෂයන් වීම පිණිස ද ඒකාන්ත උපකාරයක් ම වන්නේ ය. මන්ද, මේ ධර්මය වනාහී අනුගමනය කරන කල්හි ඒකාන්ත ප්‍රතිඵල ගෙනෙන සන්දිට්ඨික ධර්මයක් ම වන නිසා ය.

යුග යුග ගණනින් සද්භාවය, සද්ධර්මය තුළ ම පිහිටා සිංහලය විසින් සුරක්ෂිත කළ ඒ සද්ධර්ම නිධානයත්, එයින් පණ නැගූ හෙළ බොදුනුවන්ගේ ඉතිහාසයත් අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්ෂිත කරලීම පිණිස සම්බුදු සසුනේ පැවැත්ම රුචි වූ, සත්වගගේ යහපත රුචි වූ සද්ජනයෝ සැදැහැයෙන් රොද බැඳ ගනිත්වා!

සටහන – උදුලා පද්මාවතී