ලිපියෙහි ඉදිරි අකුරු ගළපාලීමට පළමු ව ඔබ ව ලොවෙහි ඇති සංකීර්ණ නාට්‍ය සිය දහස් ගණනක් එක් දිනෙක දී රඟ දැක්වෙන පුදුමාකාර රංග මණ්ඩලයකට කැටිව යාමට අපි කැමැත්තෙමු. එය වූ කලී ‘ජීවන රඟමඬල’ යි. එහි දී හමුවන නා නා ආකාර චරිතයන් අතරේ එක්තරා චරිතයක් ඔබ හා අභිමුඛ කිරීමට ය අපගේ සූදානම. කලකිරුණු, පරාජිත වත වසාගනු පිණිස උද්‍යෝගයෙන්, ජයග්‍රාහී බවට ඇති තෘෂ්ණාවෙන් සායම් තවරා ගත් මෙකී චරිතය අප වෙත රැගෙන ආවේ අපූරු සංවේදනයකි.

ඔහු මුල් මැදිවිය පසුකරගෙන යමින් දිවියේ පශ්චාත් කාල පරිචිඡේදයට ළංව සිටින්නෙක් බව ප්‍රථම දර්ශනයෙන් ම වටහා ගත හැකි ය. වසර ගණනාවක් මුළුල්ලෙහි මේ යුගයේ සුලභ රෝග කිහිපයකින් ම පීඩා විඳින ඔහු ඖෂධ හා ජීවත් වීම යන අංග දෙක එකක් බවට පත්වූ රෝගියෙකි. ජරාවට පත් වීමේ දුක ප්‍රත්‍යක්ෂ ව ම අත්දකිමින් සිටින්නෙකි. ඔහු සමඟ මඳක් නැවතී කථා කරන්නට ඔබ රිසි ද? එසේ නම් එන්න, අසන්න ඔහුගෙන්, සුපුරුදු ආගිය තොරතුරු කී පසු “ඔබ විඳිනුයේ පුදුමාකාර පීඩාවක්නේ… මේ තරම් බේත් හේත්, ශල්‍යකර්ම එක එක ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ඔබට දීර්ඝ කාලයක් පුරා ලබාගන්න සිදුවෙලා, බොහෝ දිනයන් රෝහල්වල ගත කරන්න සිදුවෙලා, අනේ මේ සංසාරේ හැටි, ආයෙත් මේ වගේ පීඩාවක්, වේදනාවක් නො විඳින තැනකට මට ළං වෙන්න පුළුවන් නම් කියලා ඔබට හැම වෙලාවේ ම හිතෙනවා ඇති නේ ද?” කියා.

ලැබෙන පිළිතුර පිළිබඳ ව අනුමානව සිතන ඔබ නිසැකව ම ඔහුව සනසා සැහැල්ලු කොට, ධර්මය කෙරෙහි සිත පහදවාලන්නට උත්සාහයක් දැරිය යුතු යැයි තීරණය කරනු ඇත. ඉදින් ඔබ සිතන්නේ ඔහුගේ පිළිතුර කුමක් වේවි ද? තැන්පත් සහ අවබෝධාත්මක හඬකින්,

“ඔව්, ඔබ කියූ දෙස නිවැරදියි. ජීවිතයේ යථාර්ථය ගැන පෙරටත් වඩා මම සොයනවා, හැකි හැම වේලාවේ ම හිත සන්සුන් කරගෙන, නිවුනු සිතක් තනාගන්න මං උත්සාහ කරනවා….” යැයි පවසාවි ද? නැත, කිසිසේත් නැත. ලැබෙන පිළිතුර මෙසේ ය.

“පිස්සුද ඔයාට? එහෙම කලකිරෙන්නේ කොහොම ද? තව කොච්චර වැඩ රාජකාරි තියෙනව ද කරන්න? දරුවන්ගේ වැඩ එහෙම ම යි. මේ ළඟ දී ලීස් කරලා පොඩි වාහනෙකුත් ගත්තා. දන්නෙ නැද්ද ඉතිං, දුවගේ බරබරේ දිගට ම වාහනයක් ගන්න ම ඕන කියලා. ගෙදර උඩ තට්ටුවේ වැඩ යන්තම් පටන් ගත්තා විතරයි. ඕවා ඉවර කර ගන්න කලින් මැරෙයි කියලා තමයි බය. මේ අසනීප නම් ඉතිං ඔය හැමෝට ම තියෙන්නෙ. බෙහෙත් ගන්නවනේ දිගට ම. මතක් කරන්න එපා මට නම් ඔය කලකිරෙන කථා. ඕවා හොඳයි ප්‍රශ්නවලින් පැනල යන අයට, ඕනෑවට වඩා බණ වුණත් ඕන නැහැ කියලා කියන්නේ බොරුවට නෙවෙයිනේ…”

කලබල නො වන්න, ඔබ අප වාගේ ම නිහඬ වන්න. පරම සත්‍යයන් වුව කථා කිරීමට නුසුදුසු වේලාවේ දී, නුසුදුසු පුද්ගලයා සමඟ ප්‍රකාශ කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය හුදු ගැටීමක් පමණි. එම නිසා “අහෝ අවිද්‍යාවක මහත…!” යන සිතුවිල්ල වචනයෙන් පිට නො කිරීමට ප්‍රවේශම් වී, නිරෝගී භාවය ලැබීම පිණිස ඔහුට සෙත් පතා, ඒ නුසුදුසු ආශ්‍රයෙන් ඉවත් වන්න, ඔහුගේ මෝහ මූලික අදහස්වලින් බෙහෙත් පණිවිඩය පමණක් සිතෙහි රඳවාගන්නට උත්සුක වන්න. ඒ ඔස්සේ නිහඬ ව ගැඹුරින් සිතන්න.

ඇත්තෙන් ම, සකල මනුෂ්‍ය ප්‍රජාව වටා මේ එතී ඇති සැබෑ සත්‍යය වසා දමා මුළා කොට සිතුවිලි පටලවා දමා ඇති අඳුරු පටලය කුමක් ද? ස්වල්ප දෙනෙක් බිඳ දමන්නා වූ ද අති බහුතරය වෙලී සිරවන්නා වූ ද මේ මායා ම ය දැල කුමක් ද? වැසී ඇති සත්‍යය නො දකින මිනිසා විඳවනා බව නො දැන විඳින දුක් ප්‍රමාණය කළ නො හැකි ය. මේ තාක් කාලයකට යැයි සීමා දැක්විය නො හැකි ය. එහෙත් විස්මයකි! ඒ දුක්ඛිත භාවය බහුතරයක් පුහුදුන් සිත්වලට මහා සැපයක් ලෙසින් ම පෙනී යන්නේ ය. කිසිදා ලැබිය නො හැකි දුර ඈත පෙනෙන මිරිඟු දිය හඹා දිගින් දිගට ම දිව යන පිපාසිත මුව රංචුවක් සේ, එක් එක් ක්ෂණයක් පාසා බිඳී – යළි ඇති වී, උපදින – නිරුද්ධ වන සිතුවිලි දාමයන් ඔස්සේ ‘සැපය’ නම් මිරිඟුව ලබා ගැනීමට අනවරත ව දිව යන්නේ ය. එහෙත් අවසානයේ දී අතට පත් වන සැපයක් තිබේ ද?

මනුෂ්‍ය ජීවිතය වූ කලී උපතේ පටන් මරණය දක්වා ම බොහෝ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී ගිය දෙයකි. මව්කුසෙහි පිළිසිඳ ගත් දා පටන් ම ඝනැති අන්ධකාරයේ, පිළිකුල් සහගත, දුගඳින් යුක්ත මව්කුසෙහි දස මසක් පුරා වකුටු ව හේ දුක් විඳින්නේ ය. හඬා වැලපෙමින් මෙලොව එළිය දකින්නේ ය. ඉන් පසුව මතුපිටින් සියල්ලන්ට ම සුරතල් වස්තුවක් බවට පත් වී වුව ද බොහෝ කල් යන තුරු උඩුබැල්ලෙන් වැතිර කිසිත් කියා ගත නොහී අති දුර්වල ප්‍රාණියෙක් ලෙසින් අන් උපකාරය මත යැපී ජීවත් වන්නට සිදු වන්නේ ය. බාහිර සමාජය සමඟ ගනුදෙනු කරන්නට ඇරඹි දා පටන් බොහෝ දේ ලබා ගන්නට, රැස් කරන්නට එක් එක් ආකාරයේ දුක්ඛිත ව්‍යායාමයන් බොහෝ වාරවල දී දරන්නට සිදු වන්නේ ය. නිති ශෝකය ලබන්නේ ය, කඳුළු වගුරුවමින් විටෙක හඬන්නේ ය, අප්‍රියයන් හා මුසු වන්නට වීමෙන් සිත් තැවීම් සිදු වන්නේ ය, ආශා දෙය තමාට නො ලැබීමෙන් ආවේගයන් පහළ ව පෙළෙන්නේ ය, ද්වේෂයෙන්, විටෙක ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නේ ය. සුළු දෙයක් වුව ලබාගන්නට අපමණ වෙහෙස දරා ඒ අතටත් මේ අතටත් දිවයන්නට සිදු වෙන්නේ ය, විටෙක අපහාස ලබන්නේ ය. අන් පිරිස ඉදිරියේ අවමානයට පත් වීමේ අවදානමට ලක් වන්නේ ය. අක්‍රෝශ පරිභවයන්ට බඳුන් වූ ගොදුරක් වන්නේ ය. එක් එක් කාලයේ දී සුව කළ හැකි, නො හැකි විවිධ රෝගපීඩාවන්ට නො සිතූ විරූ ලෙස මුහුණ පා කායික – මානසික වේදනාවන්ට අපමණ ව මුහුණ දෙන්නේ ය. රැස්කර ගත් වස්තූන් එක මොහොතින් අතුරුදන් ව යන මහා ව්‍යසනවලින් විඩාපත් වන හෙතෙම සමහර විටෙක දුක, බිය, වේදනාව දරා ගත නොහී සිහි විකල් බවට පැමිණෙන්නේ ය.

නමුදු මෙකී සියලු ම දුක් පහර පිට පහර එල්ල කළ ද තණ්හාවෙන් විලංගු දැමූ, සිහියකින් තොරව ජීවත් වන මිනිසුන් ඒ කිසිවකින් යථාර්ථය කුමක්දැයි ග්‍රහණය කර ගන්නේ නැත. අසාර දෙය ම සාරය සේ දක්නා මිනිසුන් දුකෙහි පිහිටා ඇති ලෝකයක සාමාජිකයන් ලෙස ඉපිද, ඒ ලෝකයෙහි සැප සොයා යමින් වල්මත් වන්නට රිස්සෝ ය. ධර්මයෙන් දේශිත සත්‍යයට පිටුපා, සංසාරයේ අප්‍රමාණ වාරයක් මුහුණු දුන් දුක්බර ගැටලුවලට ම යළි යළිත් මුහුණ දීම යනු ජීවිතයට එන අභියෝග ජයගැනීමක් යැයි සිතාගෙන තෘෂ්ණාවෙන් තැනූ මනෝ ලෝකවල ජීවත් වන මිනිසත් වග නිතිපතා ලෝභය, ද්වේෂය, මෝහය නමැති විෂ බඳුන් පානය කරන්නෝ ය. අවසානයේ දී නො වැළැක්විය හැකි ලෙස එම විෂවලින් ම දුකට පත්ව, වේදනාවෙන් පරිපීඩිත ව මිය යන්නෝ ය.

මෙවර අප සියල්ලන් ම අති දුර්ලභ බුද්ධෝත්පාද කාල වකවානුවක දී, දුර්ලභ අංග සම්පුර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ බව සැබෑ ය. එහෙත්, උත්තම සෝවාන් ඵලයට පත්නොවන තාක් සතර අපායෙහි දොරටු විවෘත ව ඇති හෙයින් අප සියල්ලෝ ම සිටිනුයේ අනාරක්‍ෂිත පසුබිමක ය. භෞතික ඉහළ සැපයක් පරිභෝජනය කරමින් ජීවත් වූ මනුෂ්‍යයෙක්, ඊ ළඟ මොහොතේ දී තිරිසන් කුසක පිළිසිඳගෙන අතොරක් නැති පීඩාවෙන් බොහෝ දුක් විඳින තිරිසන් බවට පත්විය හැකි ය. දැවෙන හුල්වලින් අනිමින් ලෝ දිය පොවන කර්කශ, බියකරු නරකයන්හි නිරි සතෙක් විය හැකි ය. මිනිස් ලෝකයේ දී ඇල්ලීමටවත් පිළිකුල් කළ සෙම්, සොටු, මළ මුත්‍ර ආදිය රස ආහාර වශයෙන් සලකන ප්‍රේත ලෝකයෙහි සාමාජිකයෙක් විය හැකි ය. සෝවාන් ඵල නො ලබා මිය යන කවර ආකාරයේ ධනවතෙකුට, උගතෙකුට, ප්‍රභූවරයෙකුට හෝ වේවා දිළින්දෙකුට, නූගතෙකුට හෝ වේවා මෙකී භයංකර අවදානම් සහගත දායාදය නිතැතින් ම උරුම ය. ඒ හැරුණු කොට මනුෂ්‍ය ලෝකයෙහි ජීවත් වන කෙටි කාලයේ ද බොහෝ අනතුරු පීඩා මුව අයා මිනිසුන් දෙස බලා සිටී. එසේ නො වී බැලූ බැල්මට ම පෙනෙන සේ සියල්ල ම යහපත් නම්, සියල්ල ම සුන්දර නම් ලෝකයේ කොතැනකවත් විලාප හඬක් නො ඇසිය යුතු ය. ආරෝග්‍යශාලා සියල්ල ම හිස් විය යුතු ය. උම්මත්තකාගාර සියල්ල ම රෝගීන් නොමැති හෙයින් වසා දැමිය යුතු ය. ශාප කිරීම්, බැණ වැද ගැනීම් කුමන මුවකින්වත් පිට නො විය යුතු ය. එහෙත් ඒ කිසිවක් අවම වශයෙන් එක ම එක දිනකට හෝ එලෙසින් පවතී ද? දුක්ඛිත බව ම සිය ස්වභාවය කර ගත් ලෝකය කිසිදාක සර්ව යහ සැපය ම පිරිනමන, කාරුණික ස්වභාවයකට පත් වන්නේ නැත.

සකල මනුෂ්‍ය සමාජය ම නිවැරදි දිශාවට හැරවීම කිසිදාක කිසිදු බලවතෙකුට කළ නො හැක්කකි. එය සැබෑ ය. මිනිස් සිත් එතරම් ම විෂමය, විවිධ ය. එහෙත් ඒ දිව යන අනවරත ගමන ඇත්තෙන්ම ඛේදනීය ය, පිළිකුල් සහගත ය, බොහෝ උපද්‍රව සහිත ය, අවිනිශ්චිත ය. එසේ නම් අප එම සැඩ පහරෙන් මිදී උඩුගං බලා පිහිනීමට අප්‍රමාණ ව වෙර වීරිය වැඩිය යුතු වේ. සම්‍යක් ව්‍යායාමය පිණිස ඍජු බව හා යෝනිසෝ මනසිකාරය දියුණු කර ගත යුතු වේ.

“තසිණාය පුරක්ඛතා පජා – පරිසප්පන්ති සසෝ’ව බාධිතෝ
සංයෝජන සංගසත්තා – දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය”

තෘෂ්ණාවෙන් වෙළන ලද සත්වයෝ මළ පුඩුවක බැඳුණු සාවෙකු මෙන් බියෙන් තැති ගනිති. දස සංයෝජනයෙන් හා රාගාදී සංගවලින් බැඳුණු ඒ සත්වයන් බොහෝ කාලයක් නැවත නැවත දුකට ම පැමිණෙති.

මේ බුද්ධ භාෂිතය අප නිතර සිහි කළ යුතු ය. සාටෝපයෙන් වැසී ගත් නිස්සාර මාර්ගය හැර දමා, ලෝක ස්වභාවයෙහි දුක්ඛිත බවත්, මනුෂ්‍ය ජීවිතයේ ඇති යථාර්ථවාදී සත්‍යයත් පිරිසිඳ දැකීමට අප හට ද වාසනාව ලැබේවා…..!

සටහන – උත්පලී විජේසිංහ