highlights of the week
Home » NEW ARTICLES » දිවි ඇති තෙක් කේළාම් කීමෙන් වළකිමු

දිවි ඇති තෙක් කේළාම් කීමෙන් වළකිමු

මා අදරැති පින්වත් දරුවනේ, මින් පෙරත් ඔබ ඇමතූ මා සක්දෙව් රජාණෝයි. මා පෙර මනුලොව මඝ මානවක ලෙසින් සිටිය දී ව්‍රතපද හතක් සමාදන් ව සක්දෙව් වත් පුරා සක්දෙව් රජව උපන් බැව් මේ වනවිටත් ඔබ දන්නවා. අපගේ සම්බුදුරජාණෝ නිර්මල දහම අවබෝධ කරගෙන ඒ පාරිශුද්ධ ධර්මය දේශනා කරද්දී භික්ෂු භික්ෂූණීන් ද ගෘහස්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද සැදැහැයෙන් යුතුව නිවන් මග වඩන්නට උත්සුකවත් වූවා. අපමණ සැදැහැයෙන් යුතු මම ද දහම්හි පිළිසරණ ලැබුවා. සසර කතරින් එතෙරවෙනු පිණිස ලැබිය යුතු පළමු පියවර මම ද ලැබුවා.

මාගේ දරුවෙනි, පෙර මඝ මානවක ලෙසින් සිටි කල්හි දී මා කළ පින් දැනුදු මා හට සිහියට නැගෙනවා. එමෙන් ම මම ගුණදහම් පුරද්දී ව්‍රතපද හත සමාදන් වෙද්දී කේළමින් වැළකී සිටීම ව්‍රතපදයක් ලෙසින් ම සමාදන් වූවා. කේළමින් වළකිනවා යන්න සම්බුද්ධත්වය ලද සම්බුදුරජාණෝ මේ ලෙසින් විස්තර කර දුන් අයුරු අද ද මා මතකයට නැගෙයි.

“පින්වත් මහණෙනි, කේළාම් කීමෙන් වැළකී සිටිනවා යැයි කියනු ලබන්නේ මෙතැනින් අහලා මේ අය බිඳවන්න අතන කියන්නේ නැහැ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්න මෙතැන කියන්නේ නැහැ. මේ අයුරින් බිඳුණු අය සමඟි කරවනවා. සමඟි වූවන්ට අනුබල දෙනවා. සමඟි වූවන් හා වාසයට කැමතියි. සමඟි වූවන් හා එක්ව වාසය කරනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා.”

මේ විදිහට ඔබත් කේළමින් වළකින ව්‍රත පදය සමාදන් වෙලා දිවි තිබෙන තුරාවට කේළමින් වළකින්න ඕනි. කේළම කියලා කියන්නේ පින්වත් දරුවනි විශාල ආරවුල් හදන මූල බීජයක්. කේළමට පුළුවනි සමඟයෙන් සිටින අය බිඳවන්න. පවුල් ප්‍රශ්න හැදෙන මූලික කාරණයක් කේළම. දෙමව්පියන් දරුවන් අතර විශාල ආරවුල් හදන්නත් කේළමට පුළුවන්. ගුරුවරයන් ශිෂ්‍යයන් අතර ආරවුල් හදන්නත් පුළුවන්. සමාජයේ ඕනෑම තැනක ආරවුල් හදන්න මේ කේළමට පුළුවන්. කේළම් කියන්න පුරුදු වුණොත් ඔහු මේ සමාජයට විශාල හානියක් කරනවා. සමාජයේ පවතින, රට රටවල් අතර පවතින අර්බුද, ප්‍රශ්න අරගෙන බැලුවොත් ඒ හැමතැනක ම මූලාරම්භයේ මේ කේළම බලපාලා තිබෙනවා.

පින්වත් දරුවනේ, අපගේ සම්බුදුරජාණන් වන්සේ මේ සියලු අර්බුද සන්සිඳුවීම පිණිස සසර පුරා ආරවුල් අර්බුද හටගත් අයුරු අවබෝධ කරගෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට කේළමින් වළකින ලෙසට ධර්මය දේශනා කළ සේක්මයි.

අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ද අහිංසක මිනිසකු අංගුලිමාලයෙකු කළ අයුරු මා මතකයට නැගෙයි. අහිංසක කුඩා කල පටන් ඉගෙනීමට ඉතා රුචි කළ නිසාදෝ දක්ෂ අයුරින් අධ්‍යාපනය හැදෑරුවා. ඒ ගැන උරණ වූ ඔහුගේ ම මිතුරන් තම ආචාරීන් හට කේළාම් කියන්නට පටන් ගත්තා. කේළම කෙතරම් දරුණු වූයේ ද යත් මා අදරැති දරුවනි, තමාගේ ම බිරිඳ සමඟ අනියම් සබඳකමක් ඇතැයි පැවසූ අහිංසකගේ මිතුරන් ආචාරීන්ගේ සිත බිඳ දැමූවා.

කීකරු ගුණයෙන් සිටි අහිංසක දරුවා ව මරා දැමීමේ අදිටනින් ආචාරීන්, මිනිසුන් දහසක් මරා ඇඟිලි කපා ගෙන එන ලෙසට පැවරුවා. අහිංසකගේ සිත කෙතරම් පිරිහී ගියා ද යත් අකාරුණික සිත කෙමෙන් කෙමෙන් ඔහුව වැළඳ ගත්තා. මෛත්‍රිය ඔහුගේ සිතින් දුරස්ත වී ගියා. කඩුව අමෝරාගෙන මිනිසුන් පසුපස, ඇතුන් පසුපස, අශ්වයින් පසුපස දුවනා අංගුලිමාලයන් කෲර, කටුක, දරුණු, රෞද්‍ර, බිහිසුණු පුරුෂයෙකු බවට පත් වුණා. කෝසල රාජධානියේ රජකම් කළ කෝසල නිරිඳුන් හට මහා සේනාවක් යොදවා ද නතර කළ නො හැකි වූ අංගුලිමාලයන් දරුණු බවෙහි කෙළවරට ම ඇදෙන්නට වුණා.

අපගේ සම්බුදුරජාණන්ගේ මහා කාරුණික නෙත් සඟළ ලොව කෙරෙහි පතුරා හරිද්දී අංගුලිමාලයන් දුටු සේක් ම යි. අප මහා මුනිඳුන් ඔහු කරා වඩිද්දී ඔහු සැබැවින් ම අතිශයින් දරුණු ව සිටියා. අංගුලිමාලයන්ගේ මව් තොමෝ දරු සෙනෙහසින් ඔහු සොයා පැමිණෙද්දී දරුණු කෲර සිත් ඇති අංගුලිමාලයන් ගුරු පූජාව වෙනුවෙන් මෑණියන් ඝාතනය කිරීමේ ආනන්තරිය පාපකර්මයට සූදානම් ව සිටියා. මහා කාරුණිකයාණන් නිසාවෙන් එදා අංගුලිමාලයන් පාපකර්මයෙන් පමණක් නොව සසර කතරෙන් ද සදහට ම නිදහස් වී ගියා.

සැබවින්ම පින්වත් දරුවෙනි, සම්බුදුරජුන්ගේ ධර්මය තුළින් කෝටි සංඛ්‍යාත පිරිසක් පිළිසරණ ලැබුවා ම යි. ඇස්පනා පිට ම කේළමෙහි දරුණු බැව් පෙනි පෙනී ම බොහෝ පිරිසක් වචනය වරද්දා ගැනීම සංවේගය උපදවා ගතයුතු කරුණක්. පෙනෙන විනාශයන් සේ ම නො පෙනෙන විනාශයන් ද ඉතා මහත්.

දිනක් සම්බුදුරජාණෝ භික්ෂූන් අමතා කළ දෙසුමක් මා මතකයෙහි පවතිනවා. අපගේ මහා මොග්ගල්ලානයන් වහන්සේත්, ලක්ඛණ රහතන් වහන්සේත් ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අප මහා මොග්ගල්ලානයන් වහන්සේ සිනහ පහළ කරන්නට වුණා. මේ බැව් දත් ලක්ඛණ මුනිඳුන් කවර කරුණක් අරබයා සිනහ පහළකරද්දැයි විමසද්දී සම්බුදුරජුන් අභිමුව දී අසන්නැයි පවසා සිටියා. සම්බුදුරජුන් අභිමුව දී ලක්ඛණ මුනිඳුන් විමසද්දී මහා මොග්ගල්ලාන මුනිඳුන් වදාළේ පර්වතයෙන් පහළට වඩිද්දී ඌරෙකු වගේ මුහුණක් සහ කටක් ඇති ප්‍රේතයෙක් දුටු බවයි. වලිගයක් වැනි දිවක් ඇති මොහුගේ කටින් පණුවෝ වැගිරෙමින් සිටියා.

පින්වත් දරුවනි, අපගේ සම්බුදුරජාණෝ වදාළේ මේ ප්‍රේතයා සම්බුදුරජාණන් දුටු බවත් මොහු ගැන පැවසුවහොත් අන් අය විශ්වාස නො කරාවි කියන අනුකම්පාවෙන් ද නො කියා සිටි බවයි.

මේ ප්‍රේතයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පැවිදිව කේළාම් කීමේ පාපකර්මය නිසා මෙසේ දුක් විඳින බව සම්බුදුරජාණෝ වදාළා. පින්වත් දරුවනි, කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ගමක තෙරුන් වහන්සේලා දෙනමක් ඉතා සමඟි ව වාසය කළා. එකනමක් වස් හැටක්. අනෙක් නමට වස් පනස් නමය යි. වසරකින් බාල තෙර නම පොඩිනමක් වගේ වසරකින් වැඩිහිටි තෙරුන්ට උපස්ථාන කළා. සෑම වතක් ම කළා. ඉතා ම සතුටින් වාසය කළා. සුවසේ භාවනා කරමින් සිටියා.

ඔය අතරේ ඔය තෙරවරුන් දෙදෙනා වසන තැනට ධර්මකථික භික්ෂුවක් පැමිණියා. අර තෙරුන් දෙනමට හරි සතුටුයි. ඉතා සතුටින් යුතුව ඇරයුම් කළා.

“පින්වත් සත්පුරුෂයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ ධර්මය දන්නවා….. අපටත් ධර්මය කියනු මැන….”

එතකොට ඒ ධර්මකථික තෙරනම ලස්සනට බණ කිව්වා. අර තෙරුන් දෙනම ‘අනේ අපට ධර්මකථික භික්ෂුවක් ලැබුණා නොවැ’ කියලා ඉතා සතුටට පත්වුණා. පසුවදා ගමට පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ ගම්වැසියන්ටත් බණ කියන්නට කිව්වා. මිනිස්සු බණ අසා හොඳට ම පැහැදුණා. මේ විදිහට ම ගම පුරා ම ඒ භික්ෂුවටත් පිඬුසිඟා යන්නට ලැබුණා. දායක පිරිසක් හඳුනාගන්නට ලැබුණා.

දවසක් ධර්මකථික භික්ෂුවට මෙහෙම හිතුණා.

‘මේ දෙනම හරිම මොළොක්. මේ දෙන්නව මේ විහාරයෙන් යවාගන්ට ඕනි’ කියලා හවස් වරුවේ වැඩිහිටි තෙරුන් ළඟට උපස්ථානයට ගියා. ගිහිල්ලා අනෙක් තෙරුන් වහන්සේ ගැන කේළාම් කියන්න පටන් ගත්තා. අනෙක් තෙරුන් වහන්සේ ගැන තිබුණ පැහැදීම නැතිකරලා දැම්මා.

අනෙක් තෙරුන් වහන්සේ ළඟටත් ගිහිල්ලා වැඩිහිටි තෙරුන් වහන්සේ ගැන කේළාම් කියන්න පටන් ගත්තා. තෙරුන් වහන්සේලා දෙනම අතර කේළම් කීම නිසා ආරවුලක් හටගත්තා. ආවාසයෙන් බැහැර වෙලා යන්න ගියා.

ධර්මකථික හිමිනම පමණක් ගමට වඩිද්දී මිනිස්සු ඇසුවේ අනෙක් තෙරුන් වහන්සේලා කොහෙද කියලා. ධර්මකථික භික්ෂුව ඒ තෙරුන් වහන්සේලාගේ ආරවුලක් නිසා බැහැර වූ බව පවසා මිනිසුන්ගේ ද සිත් බිඳෙව්වා.

කේළාම් කීම නිසා ධර්මකථික භික්ෂුව විශාල පවක් කර ගත්තා. අවුරුදු විසිදහසක් ආයුෂ ඇති ඒ යුගයේ කිසි ගුණධර්මයක් දියුණුකර ගන්න බැරිව ඒ භික්ෂුව එයින් චුතවෙලා අවීචි මහානිරයේ ඉපදුණා. එක් බුද්ධාන්තරයක් පුරා ම නිරයෙහි දුක්වින්දා. දැන් බිහිසුණු ප්‍රේතයෙක් ව දුක් විඳිමින් ඉන්නවා.

මේ සිදුවීම අරබයා එදා සම්බුදුරජාණෝ මේ ගාථාවත් වදාළා.

වාචානුරක්ඛී මනසා සුසංවුතෝ – කායේන ච අකුසලං න කයිරා
ඒතේ තයෝ කම්මපථේ විසෝධයේ – අපරාධයේ මග්ගං ඉසිප්පවේදිතං

වචනය හොඳින් රැකගෙන – සිතින් සංවරව මැනවින්
කයෙන් අකුසල් නො කරමින් – මෙතුන් කරුණින් වෙමින් පිරිසිදු
වැඩිය යුතුමයි නිවන්මග – මහා ඉසිවර මුනි දෙසූ මග

මා අදරැති පින්වත් දරුවනේ, කේළාම් කීමේ විපාකය කෙතරම් බරපතළදැයි කියතොත් මේ දක්වාත් ඔහු මහා දුක් ගිනිජාලවක් විඳිමින් සිටිනවා. පුංචි පුංචි ළාමක දේට ආශාකිරීමෙන් ඒ මත පිහිටා අකුසල් රැස්කර කර ගනු ලැබූ හානිය. මේ නිසා පින්වත් දරුවනේ ඔබ අදිටන් කර ගන්න ඕන දිවි තිබෙනතුරාවට කේළමින් වළකිනවා කියා. අප සම්බුදුරජාණෝ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් අපාය සංවත්තනික සූත්‍රයේ දේශනා කොට වදාළේ යමෙක් බහුල වශයෙන් කේළාම් කීමෙහි යෙදෙනවා නම් එය නිරයේ උපදින්නට, ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ උපදින්නට හේතුවක් වන බවයි. එම පාප කර්මයේ විපාක වශයෙන් මිනිස් ලොව ඉපදුණ කල තම හිත මිත්‍රාදීන් තමා සමඟ භේද භින්න වී යයි.

සම්බුදුරජුන්ගේ ධර්මය නො තිබෙන යුගයක මා මෙය ආරක්ෂා කළේ මාගේ පිරිස ද මේ තුළ සමාදන් කරවමිනුයි. එහි වටිනාකම අදත් මා හට සත්‍යක් ම යි. එනිසා ඔබට ගෞතම බුදුසමිඳුන්ගේ ධර්මයත් මුසුකර ගනිමින් නිවන දක්වා ම ධර්මය දියුණුකර ගන්න වාසනාව ලැබේවා!

තිදසපුරයේ සිට ඔබ අමතන මා සක්දෙව් රජාණෝ ය…

Leave a Reply

Your email address will not be published.

x

Check Also

සාදු සාදු අපිත් වඳිමු ඒ සම්බුදු සිරිපා!

ස්වකීය වාසභවනයේ වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මත සම්බුදුරජුන්ගේ සිරිපා සටහන් පිහිටුවා වදාරන්නට කියා සුමන සමන් දෙවිඳුන් ආරාධනා කළේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පවතින තාක් කල් දෙව් මිනිසුන්ට වන්දනාමාන කොට පින් රැස්කර ගන්නට ඉඩ ලබා දීමේ අරමුණින්.