“අමනුස්ස” යන වචනය මනුෂ්‍ය නොවන ප්‍රාණීන් හැඳින්වීමට පොදුවේ භාවිත කරනවා. නමුත් අමනුෂ්‍ය බලපෑම්වලට ලක්වෙනවා කියද්දී ප්‍රේත, භූත, යක්ෂ ආදි අසුර කොටස් තමයි ඉන් අදහස් වන්නේ. එමෙන් ම ආටානාටිය සූත්‍රයේ දී එසේ මිනිසුන්ට බලපෑම් කරන නාග, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, යක්ෂ කියා සත්ව කොට්ඨාස හතරක් ගැන සඳහන් වෙනවා. යම් කෙනෙක් අමුනෂ්‍ය ග්‍රහණයකට ලක්වූ විට ධාර්මික ක්‍රමවේදයක් අනුගමනය කර ඉන් මිදීමට හැකියාව ඇති සේ ම, ධාර්මික ජීවිතයක් ගොඩනගා ගැනීම තුළ අමනුෂ්‍ය බලපෑම්වලින් බොහෝදුරට ආරක්ෂා වීමටත් පුළුවන්. ඒ සඳහා පහත කරුණු අනුගමනය කිරීම බොහෝ ම උපකාරයි.

■ අනුරාධපුර ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, ස්වර්ණමාලී මහා සෑයත් වන්දනා කර, මල් පහන් පුදා, ඔබේ ජීවිතය සෑ රදුන්ට පූජා කරන්න.

■ සෑ මළුවේ දී සිල් අධිෂ්ඨාන කරගෙන තෙරුවන් වන්දනා කොට, රතන සූත්‍රයත්, ආටානාටිය සූත්‍රයත්, කරණීය මෙත්ත සූත්‍රයත්, ඛන්ධ පිරිතත් සජ්ඣායනා කොට දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න.

■ අධිෂ්ඨාන කර ගත් සිල්පද මනා කොට ආරක්ෂා කරමින් පෝය දිනවල දී අටසිල් සමාදන් ව පැය 24ක් පුරාවට ආරක්ෂා කරන්න.

■ දිනපතා නිවසේ දී තෙරුවන් වන්දනා කොට, පිරිත් කියන්න.

■ බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් නිතර පුරුදු කරන්න.

■ දන්පැන් පූජා කිරීම, ගිලානෝපස්ථානය වැනි පින් හැකි සෑම විට ම රැස් කරමින් එම පින් දෙවියන්ට ද අනුමෝදන් කරන්න.

■ දහම් පොත්පත් කියවමින්, ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ඒ ධර්මය ජීවිතයට ගළපාගන්න. ඒකාන්තයෙන් ම සහනය සැලසේවි.