highlights of the week
Home » අක්මුල් සොයා » දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්… එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා…. මේ රහස ලොවට ඉස්මතු කළේ බුදු සමිඳාණන් ම යි. ගාථා වශයෙන් එන නවාංග ශාස්තෘ සාසනයේ කැටිවී තිබෙන්නේ මේ සුන්දරත්වයේ අසිරිය යි…. ඒ වාගේ ම භාග්‍යවතුන් වහන්සේ මේ සොඳුරු පද ගැළපීම් ප්‍රතික්ෂේප කළේ නෑ. මතකයි වරක් පංචසිඛට ඔහුගේ සිත් ගත් සූරියවච්චසා ගැන බේලුවපණ්ඩු නම් වීනාව වයමින් ගී කියන්නට අවසර දී වදාළා. ඒ වාගේ ම දක්ෂ වීනා වාදකයෙක් වූ සෝණ තෙරුන්ගේ ඒ සංගීත දැනුමින් ම නිවන් මග අවදි කළා. වංගීස මහරහතන් වහන්සේගේ අපූරු පද ගැළපුම්වලට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දී වදාළා.

“චන්දෝ යථා විගත වලාහකේ නභේ
විරෝචති වීතමලෝව භානුමා
ඒවම්පි අංගීරස ත්වං මහාමුනි
අතිරෝචති යස්සා සබ්බ ලෝකං”

මේ ලස්සන පද රචනාවලින් පසුකාලීන ව පවා විශාල සමාජ මෙහෙවරක් සිදු වුණා. මිනිස් චිත්ත සන්තානයන් තුළට යහගුණදම් ඇතුල් කරපු අපූරු භාවිතයක් වුණා මේ ගීතය… ඒ යුගයේ ගීත රචකයන් මෙන් ම ගායක ගායිකාවන් තුළත් තිබුණේ පුදුම සංයමයක්… වචන භාවිත කළේ හරි ම පරිස්සමින්…. ගීත ගායනා කරන ගායක ගායිකාවන් තම ඉරියව් පවා වෙනස් කළේ සංයමයකින්. මොකද මේ ගීත ජාතියක් අහනවා… ජාතියක් බලනවා… එදා ඒ ගීත රචකයන්, ගායක ගායිකාවන් රාජ්‍ය සම්මානවලට පමණක් නොව ලෝකයේ අග්‍රගණ්‍ය සම්මානවලට පවා පාත්‍ර වීමේ රහස ඒකයි.

ඒත් අවාසනාවට නූතන යුගයේ බොහෝ දෙනෙක් සංකර බටහිර රැල්ල ම සරණ ගියා… අපේකම, අපේ හැදියාව අමතක වුණා… අපටත් නො තේරෙන – සුද්දන්ටත් නො තේරෙන අමුතු ම වචන ගැළපිල්ලක් දඩිබිඩි සංගීතයට මුසු වුණා…. බටහිර සීත කාලෙට අඳින ජර්සි කම්බා තොප්පි දාගෙන දාඩිය ගලන අපේ රටේ වේදිකාවල උඩපැන්නා… අනේ ඒත් සුපර්ස්ටාර් කෙනෙක් තෝරන හැම වාරෙක ම ඒ අයට කියන්න ඉතිරි වුණේ අර පැරණි ගීත ටික විතරයි. ඉතින් මම හිතනවා මේ රටේ තරුණ දරුවන්ට මේ ගැන ආයෙමත් අලුතින් හිතන්න කාලය ඇවිල්ලා… ඇපල්…. පීච්…. වගේ පලතුරු රසවත් තමයි…. ඒත් ඒවායේ ඇට මෙහේ හිටෙව්වාට කවදාවත් පැළ වෙලා ඵල දරන්නේ නෑ.

ඒ වගේ තමයි අපේ රටත්… මේක චිරාත් කාලයක් සිංහලයන්, බෞද්ධයන් ඉපදුණ මැරෙන පණනල ගැහුන රටක්…. විදේශික නිර්මාණ කොච්චර කොපි කරගෙන ඇවිත් නැටුවත් ඒවා මෙහේ මුල් අල්ලන්නෙ නම් නෑ…

මට මතක් වෙනවා මගේ කුඩා කාලය.

“බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාශේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානි…”

මම උදෑසන පාසැල් යන්න සූදානම් වෙනවා…. ගුවන්විදුලියෙන් ගුවනට මුසු වන ඒ ගී පද මගේ සවන්පත් අතරින් රිංගාවිත් හදවතේ කොණක බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පිළිබඳවත්, මාගේ දේශය පිළිබඳවත් මහත් බැතිබර වූ දේශානුරාගයේ නොමැකෙන සටහනක් තබනවා..

දුක් කරදර අඩුපාඩු ජීවිතවල තියෙනවා. ඒත් ඒ අඩුපාඩුවලට මැසිවිලි නො නගා ලද දෙයින් සතුටුවෙලා ඉගෙනගන්න එකයි උතුම් කියලා අපිට හිතට දැනුණා.

“වේල දෙවේලේ කුසගිනි නො බලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ ශිල්ප උගත් දා…..
නුඹ සක්විති වෙනවා…..”

ඔන්න අපි ගෙයින් එළියට බහිනවා…. තවත් ගීතයක් ඇසෙනවා…

“නොමග නො යන් පුතේ…. නුඹට රටක් ඇතේ
රටේ දියුණ සැදුම නුඹට භාරයි මගෙ පුතේ…..”

ඒ එක්ක ම පුංචි හිතට දැනෙනවා අපිට ලොකු වගකීමක් තියෙනවා නේ ද? මේ උපන් රට වෙනුවෙන්… ඒ වගකීම තමයි මේ අදත් ඉටුකරන්නේ…
ගෙදරින් පිටත්වෙලා පාරට එනවා… පොත් ටිකත් අරගෙන නියර දිගේ එනකොට ඈතින් ඇහෙනවා….

“සරුපස දිලේ පූදින ගොයමක් සේ ම – මසුරන් දෙරණ ආකාසේ තරු සේ ම….”

ඈතින් පෙනෙනවා ගොවි රජවරුන් අභිමානයෙන් උදලු අතට ගන්නවා…

“සොඳුර මට සමුදෙන්න… සමුදෙන්න… ඇත ගමේ සරුපස පෙරලන්නට
මා යනවා අද උදෑසනේ…….”

ස්වාමි දියණියන් ගෞරවයෙන් බලනවා ඒ උතුම් වෘත්තිය දිහා. අවතක්සේරු කළේ නෑ අද වගේ.

“රත්තරනින් රන් මාල නො බැන්දට…. රත්තරනින් රන් තෝඩු නො බැන්දට
නුඹේ දෑත මට රැකවරණයි…. රත්තරන් දෑත මට රැකවරණයි…”

පාසැල ඇරිලා නිවසට එන්න හදන වෙලාවට ඔන්න යාළුවෙක් කතා කරනවා පූංචි නීතිවිරෝධි දේකට…..
ඒ මොහොතේ ම ගුවන්විදුලියෙන් ඇහෙනවා…

“මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා… නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්න එපා…”

ඉක්මනින් හිත වෙනස්වෙනවා…. ආපහු ගෙදර යනවා
මග දී දකිනවා තරුණ යුවළක්….

“දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්
මලකින් මලකට ඇදෙමින් නොඉඳුල් – නිගා දෙවයි පෙම් ලොවට ම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම් -අන් මල් මත නො තබා උණු කඳුළැල්…”

ප්‍රේමය ආදරය කියන්නේ වටිනා ගෞරවනීය දෙයක් නේ ද කියන පණිවිඩය නිරායාසයෙන් හිත ඇතුළට යනවා…
මේ දෙන්නා විවාහ වෙලා ආදරයෙන් ඉන්නවා…

“සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය දැනී
ඔබෙ හද තුළ මට සිසිලස සැනසුම ඇතිය නිතී
මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
පණ නල ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී”

ආදරය කියන්නේ වටිනා දෙයක්. මිනිස්කම කියන්නේ උතුම් ගුණයක්. මේ මිනිස් ධර්මයන් මොන තරම් වටිනවා ද? මේ කාරණය අපේ හිත් ඇතුළට කිඳාබැස්සා මේ ගීතවලින්.

“කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ….”

“රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබළේ…
එය රැකීම අප උරුමේ වේ….”

මම දැන් රැකියාවකට යනවා. මේ රට වෙනුවෙන් මට ඉටු කළ යුතු මෙහෙවරක් තිබෙන බව හිතට දැනෙනවා. මහ ජනතාව රවටා වැටුප් ලබන්නේ කොහොම ද?

“අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගත වේ නම්
අපත් එතැන ම යි රටත් එතැන ම යි….”

“අමරස අම බොජුන් ගිජු කුසයට වළඳා
මහජනයාට වැදි බණ දෙසමින් සැමදා
සැප විඳි එකා නිරයට නො යති ද මතු දා….”

මට දැන් පුංචි පුතෙක් ඉන්නවා. ඒ පුතා දෝතට අරගෙන මම නළවනවා…

“ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ”

පුංචි දුව ඉපදුණ දවසේ මම හරියට සතුටු වුණා. ආසිරි පැතුවා.

“සිරිමහ බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ දසමර සේනා දිනූ බෙලෙන්
ජයපැන් කරඬුව දෝත දරා… නිදන්න දූ කුමරී
බක්කුල මහ තෙරිඳූ බෙලෙන් නිදුක් නිරෝගී වේවා
සූවිසි මුනිඳුන් පින් මහිමෙන් නිරතුරු ආයු වැඬේවා
අසූ සාර දහසක් දම් තෙද කඳ සෙවණ දෙවා සුරකීවා”

දුව දැන් ලොකුයි. ඒ දුවට මම හුඟක් ආදරෙයි. දුව පතිකුලයට යන දවසේ මම හිතුවේ මෙහෙමයි.

“දුවේ නුඹ මගෙ ප්‍රාණය යි
සැබෑ වුණ සුබ සිහිනය යි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානය යි

මං මලක් ලෙස නුඹ නො හැදුවේ
පෙති හැලී පරවෙන නිසා ම යි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නො දෙයි
කළ හොඳ ම විතරක් ඉතිරි වෙයි”

දවසක් මම ගෙදර එන විට බිරිඳ ගමනක් ගිහින්. කුස්සියට ආවා කන්න දෙයක් හදාගන්න.

“කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ළිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්”

බිරිඳ තරහා වෙලා ගියාවද්ද? කමක් නෑ. එහෙම ගියත් මට එයා වරදකාරියෙක් කරන්න ඕනෙ නෑ…

“මගෙන් වෙන් වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොව ම වැට ළඟ හිඳී විමසිල්ලෙන් …..
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්…..”

සියලු දේ වෙනස් වෙනවා. සියලු දේ අනිත්‍යයි….

“සදාකාලික නො වූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්….
සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්….”

“මතකය නම් වූ මළපොත පෙරලා මියගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් පොදි මිට මොලවා ගත් දෑතෙහි දසගිලි දිගහැරලනු මැන
එහි මොනව ද ඇත්තේ කිසිත් නැත හිස් බවෙකි ය ඇත්තේ….”

ඇත්තටම මේ ලෝකයේ සැප දුක පෙරලි පෙරලි යනවා. සැප විතරක් පවතින ලෝකයක් නෑ.

“සකිය සගව්වට රෝදය කැරකෙනවා… සසඳ සසඳ අපි මහපාරේ යනවා”

ජීවිතයේ යථාර්ථය අත්දකින්නට ලැබෙනකොට සැනසීම, සුවය ගැන ඉමක් පෙනෙනවා…

“සුව දේ…. මට සීතල සුළඟ පවා…. හිමි බුදු වුණ බුද්ධගයාවේ”

පින් දහම් කරන්න ම හිත නැමෙනවා.

“ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නො වේ බඹුටත් මරු ළඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති”

බුදු ගුණ කොතරම් ද කියලා හිතට දැනෙනවා.

“සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරුකා මදි ගුණ ගයන්නට…..”

වයසට ගිය මම පන්සල පැත්තට යන්න හිතාගෙන පාරට බහිනකොට….

“ඉස්සර මං ගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙ එනවා….
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවා වී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා…”

මට පෙනෙනවා ඇත යන තරුණියක් දෙස අලුත් පරපුරේ තරුණයෙක් බලන විදිය…

“පැණි කොමඩු ගෙඩිය…. කැකිරි පළුව…”

ඇය කැමති නෑ වගේ.

“රුචිරාණනි අහන්න… එකපාර මා මරන්න…”

මගේ හිතට හරි නෑ…. ඈතින් වයසක, හුරුපුරුදු මුහුණක් පේනවා…

“පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නො වැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ…”

සියල්ල වෙනස් වෙලා. සියල්ල උඩු යටිකුරු වෙලා. සමාජයක් ම කනපිට හැරිලා… පංචකාමය ම සොයන, පංචකාමය ම කිරුළු දරන යුගයක් ඇවිල්ලා… ගුණ දහම් වල් වැදිලා, ඒවාට තැනක් නැතිවෙලා…. දිලිසෙන ටයිල් මත… ලස්සන කර්ට්න්වලින් වටවෙලා, අඟල් 48 රූපවාහිනී තිරය වටේ වටවෙලා රස නහර පිනවමින් දරුපැටවුන් එක ම සාජ්ජයක්… අනේ කන්න දෙයක් නැති වයසක තාත්තා කුසගින්නේ ම නිදාගන්නවා.
මේ හිත්වල නැති මෙළෙකක් කලුගල්වල තිබුණා නොවැ ඉස්සර…

“මේ තරම් සියුමැලි ද කලුගල් හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා…”

අනේ ඒ පොළවට ගොම මැටි ගාපු, ඉලුක් හෙවිල්ලපු පුංචි පැල් කොටයක තිබුණ සාමය සතුට සංහිඳියාව අද ලෝකයට අහිමි වෙලා… තාප්පවලින් වට වුණ මහ මැදුරු ඇතුළේ හැම දේම තියෙනවා…. ඒත් හොයාගන්නට නෑ අද සාමය සතුට සංහිඳියාව…. දරුවනේ… අපට කොහේ හෝ වැරදිලා… අක්මුල් සොයා යන්නේ ඒ වරද නිවැරදි කරන්නට උදව් වෙන්නයි….

“නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මට ද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ මහා කරුණාවෙන්….”

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

One comment

  1. GANGA ATAPATTU

    HADAWATA DENUNU KATAWAK. MANMA LIYAPU MAGEMA KATAWA WAGE. NAMOBUDDAYA.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”