“බෝධිගුත්තාදීහි පරිපාලිතා” යනු බොධිගුත්තාදීන් විසින් මහබො සුත ප්‍රෙමයෙන් පරිපාලිත යැ යූ සෙ යී. කිසෙ යැ යත්?

මෙරට මහබො පිහිටි හවුරුදු සියක් ඉකුත් කල්හි ලක්දිව ‘මහලෙ විදුරිඳුනාවො’ නම් කෙනෙක් වූහු. ඔහු මහබො වැඳ දා වඳනට තුඹරුප් යන්නාහු උයන්වලැ සිවුරු පෙරෙවි ස්ත්‍රීපුරුෂ කෙනෙකුන් මෙවුන් දම් සෙවුනා දැක ‘අප කුලදෙවියන්ගෙ වරදක් දුටුම්හ; ඔවුන් කෙරෙ කළ අප්‍රසාදයෙන් අපායභාග්වම්හ; හෙ අප ඇස් ඇත්තෙන් කෙරුණෙයැ’ යි ඇස් පුරා වැලි එවගෙන මිරිකා දෙඇස් නසා පීහ.

පරිජනයො අවුදු වැලප වැහැස ගෙට ගෙන ගියහ. ඔවුන් ගෙ ගෘහයෙහි අධිෂ්ඨිත රාක්ෂසයෙක් ඔවුන් දුඃඛ වෙදනායෙන් අභිභූත සෙ දැක “ඔවුන් කළ කම් උන්ට යැ, තොප මෙ දුක් වැදගත් සෙ කුමට යැ?” යි කී ය. “එ තට කීවාලු කවරහ?” යි කීහ. ‘මම මැ දත්මි’ යි කීය. එතැන සිට තමන්ගෙ ගෙයි වසන රාක්ෂසයා බව් දැන ‘යා මෙහි නො වසා’ යි දැහැවියහ. හෙ ‘මෙ මහාපුරුෂයා ගෙ ගුණ තුන් ලෙව්හි පහළ කළ මැනැවැ’ යි පැන අඹමළුවෙහි සිට තුන්යලක් කාලෝද්ඝෝෂණය කෙළෙ. එසඳ සියලු ලක්දිව් තෙලෙහි නයින් හා දෙවියො අවුදු රැස් වූහු. එ සමාගමයෙහි රාක්ෂස නාවන් කළ දෑ කී ය. එකල්හි මහකෙළ නාරජ තම අළ කඩුපුල්මලක් ‘මෙ උනට දෙව’යි දින.

හෙ එ ගෙන ගොස් “මා කී සෙ නොයෙදෙයි; මට දඬුවමට මෙ මල ගන්නෙය” යි නාවනට දින. නාවො දිවමහනෙල්මලැ පියගඳින් සොම්නස් වැ “අප ඇස් ඇති කලක් වුව අප පුතණුවන් පළඳවා බලබලා හිඳිනාම්හ” යි කීහ. ඔවුන් එසෙ කී විගස අඳුරුයෙහි සතර රියන් තැනැ වගුල සිදුහතු හවුලා ගන්නට නිසි දිවඇස් උපන. ඔහු එම වේලෙ ගොස් කඩුපුල් මල ගෙන මහබොකඳ පැළැඳැවූහ. මල් නො මලා නො පරවැ හවුරුදු තුන් සියක් මහබොයට පුද ගෙනැ සිටියෙ යැ. එක්බිති එ වංශයෙහි උපන් කෙනෙක් මී මෙදෙන් උදම් වැ මලැ අත්ලූහ. එකෙණෙහි මලින් වැහෙන කුසුම්දල බැස පොළොතල සැදි!”

(ධර්මප්‍රදීපිකාව – ගුරුළුගෝමී මහපඬිතුමා)

සරලව තේරුම් ගැනීම:-
‘බෝධිගුත්තාදීහි පරිපාලිතා’ යනුවෙන් අදහස් කරන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ භාරව සිටි බෝධි ආරක්ෂක කුලයන් විසින් බෝධීන් වහන්සේ ව රැකබලාගෙන සිටියේ පුත්‍ර ප්‍රේමයෙන්ය යන කරුණයි.
ඒ කෙසේ ද යත්?

මේ රටෙහි ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ පිහිටුවා අවුරුදු සීයක් ඉක්ම ගිය කාලයක ‘මහලෙ විදුරිඳුනාවො’ (ලේකම් අමාත්‍ය වජිරේන්ද්‍ර නායක) නමින් කෙනෙක් සිටියා. දවසක් මොහු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට ධාතූන් වහන්සේලා වන්දනා කිරීම පිණිස ථූපාරාමය දෙසට පිටත් වුනා. එසේ යද්දී සිවුරු පොරොවාගත් පුරුෂයෙකුත් සිවුරු පොරොවාගත් ස්ත්‍රියකුත් මහමෙව්නා උයනෙහි මෛථූන සේවනය කරමින් සිටින ආකාරය මොහුට දකින්නට ලැබුනා. එය දුටු කල ‘අහෝ අපගේ කුලදේවතාවුන් වහන්සේලාගේ වැරැද්දක් දැක්කා නොවැ; මොවුන් කෙරෙහි සිත අපැහැදීම නිසා අපටත් අපාගත වෙන්ට වෙනවා; මෙවැනි දෙයක් දකින්ට ලැබුනේ මගේ මේ දෑස තිබුන නිසා නොවැ’ කියා වැලි රැගෙන දෑසට ගසාගෙන මිරිකා දෑස් අන්ධ කරගත්තා.

එතකොට එතුමාගේ උපස්ථායකයන් පැමිණ ඒ කළ දෙය ගැන මහත් සේ හඬා වැලපී එතුමා ව නිවසට රැගෙන ගියා. එතුමාගේ නිවසෙහි අධිගෘහිත රාක්ෂසයෙක් එතුමා මහත් දුකකින් පීඩිතව සිටින බව දැක්කා. දැකලා ‘එවුන් කළ කර්මය එවුන්ට පලදේවි. ඒ ගැන ඔබවහන්සේ මෙපමණ දුක් ගත්තේ කුමකටද?’ කියා ඇසුවා. එවිට එතුමා ‘තොපට ඒ කාරණාව කිව්වේ කවුරුද?’ කියා විමසුවා. ‘මම් ම ඒ බව දැනගත්තා’ යි රකුසා පිළිතුරු දුන්නා. කාටවත් නොකී ඒ කරුණ රකුසාත් දැනගත් බව දැන ‘තොප මෙතනින් යනු. මෙහි වාසය නොකළ යුත්තේයැ’ යි කෝපයෙන් පැවසුවා.

එවිට රකුසා ‘මේ මහා පුරුෂයාගේ ගුණ තුන් ලොවට ම ප්‍රකට කරන්නට ඕනෑ’ යයි සිතා අහසට පැන නැග අම්බස්ථලයෙහි සිට තුන් වතාවක් මහ හඬින් කාලඝෝෂා කළා. එතකොට ලක්දිව සිටි සියලු නාගයින් ද සියලු යක්ෂයින් ද එතැනට රැස්වුනා. ඒ රැස්වූ පිරිසට රාක්ෂසයා මහලෙ විදුරිඳුනාවන් කළ දෙය කියා සිටියා. එවේලෙහි මහකෙළ නාගරාජයා තමන් ගෙන ආ කඩුපුල් මලක් ‘මෙය එතුමාට දෙන්නැ’ යි රකුසාට දුන්නා.

රකුසු තෙමේ එය ගෙන ගොස් ‘මා කී කරුණ සුදුසු නෑ. එයට මට දඬුවම් වශයෙන් මේ මල ගත මැනවැ’ යි මහලෙ විදුරිඳුනාවන්ට මල දුන්නා. එතකොට එතුමා ඒ දිව්‍ය කඩුපුල් මලෙන් හැමූ මිහිරි සුවඳින් සතුටුව ‘අනේ අපගේ ඇස් තිබුනා නම් අප පුතණුවන් වහන්සේට (බෝධීන් වහන්සේට) පළඳවා බල බලා හිඳින්ට තිබුනා නොවැ’ කියා කියවුනා. ඒ සමග ම අන්ධකාරයෙහි සතර රියනක් තැන වැටුනු තල ඇටය පවා අහුලාගන්නට හැකි පරිදි එතුමාට දිවැස් පහළ වුනා. ඒ මොහොතේ ම එතුමා කඩුපුල් මල රැගෙන ගිහින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැළැන්දුවා. ඒ කඩුපුල් මල නොමැරී නොපරවී අවුරුදු තුන් සීයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පිණිස තිබුනා. දවසක් ඒ වංශයේ ම උපන් කෙනෙක් සුරා බී මත්ව උඬගු සිතින් පැමිණ ඒ මල අතින් ඇල්ලුවා. එකෙණෙහි ම ඒ මලේ පෙති ගැලවී පොළොව මත වැටුනා.