පදෙමින් මැරෙමින් යන සසර ගමනක යාමට මේ ලෝකයේ උපදින සත්වයාට සිදු වේ. එහෙත් මේ සංසාර ගමන කෙළවර කොට, උතුම් වූ අමා නිවන අවබෝධ කර ගැනීමට හැකි පුණ්‍යවන්තයන් මේ ලෝකයේ පහළ වේ. ඒ පුණ්‍යවන්තයන් තමන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් නෑ හිත මිතුරන් අත්හරී. තමාට හිමි වතු පිටි, ගේ දොර, ඉඩකඩම් ඇතුළු සියලු වස්තූන් ද අත්හරී. මේ සියල්ල අත්හැර මේ බුද්ධ ශාසනයේ බඹසර හැසිරෙන්නේ ඒ උතුම් අරමුණ මුදුන් පත් කර ගැනීමට ය. ඒ උතුමන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිවන් මගේ මැනවින් හික්මෙයි. තම සිතේ ඇති රාග, ද්වේෂ, මෝහාදී තිමිර පටල සුණු විසුණු කරමින් තම සිත කැළඹී තිබූ දිය නිශ්චල වන්නා සේ මැනවින් දමනය කර ගනී. ඉන් පසුව ඒ උතුමන් වහන්සේලා වීතරාගී ව, වීතදෝෂී ව වැඩ වසන්නේ අමා නිවන් සුවය අත් විඳිමිනි. ඒ උතුමන් වහන්සේලා හඳුන්වන්නේ ‘රහතන් වහන්සේලා’ යන නමිනි.

ඇත්තෙන්ම ‘රහතන් වහන්සේ’ යන නම ඇසීම පවා අපේ සිතට මහත් සැනසුමකි. සිතට මහත් සුන්දරත්වයක් ගෙන දෙන්නකි. උන්වහන්සේලා උපදින්නේ මේ මහා පොළොවේ සිටින මිනිසුන් අතර ම ය. මිනිසුන් අතර ම හැදී වැඩී තමන්ගේ ගුණධර්ම දියුණු කරගෙන නිවන් සුවය අත් විඳිමින් වැඩ වාසය කරයි. ඒ රහතන් වහන්සේලා වනාහී ආශ්චර්යවත් උතුමන් පිරිසකි.

රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම හරි ම සුන්දර ය. නිදහස් සිතකින් වැඩ වාසය කරයි. කා සමඟවත් ඇලීමක් ගැටීමක් නැතිව ම පෝදා පුන් සඳ මෙන් වැඩ වාසය කරයි. ඉතාමත් සැහැල්ලු, සරල ජීවිතයක් ගත කරමින් මේ මහා පොළොව මත ඇවිද යන්නේ රහතන් වහන්සේලා ම පමණි.

“උය්‍යුන්ජන්ති සතීමන්තෝ – ත නීකේතේ රමන්ති තේ
හංසෝව පල්ලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ”

“ඒ උතුම් රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන ම යි වැඩ සිටින්නේ. නැවත නැවතත්, සමථ – විදර්ශනාවේ ම යි යෙදෙන්නේ. සිව්පසයට සිත ඇලෙන්නේ නෑ. ඒ නිසා ම රහතන් වහන්සේලා, විල අතහැර යන හංසයන් සේ හැම බැඳීමක් ම අත්හැරලා වඩින්නේ සියල්ලට ම ඇති බැඳීම් රහිත ව යි.”

(ධම්ම පදය – 91 ගාථාව)

අප ජීවත් වන සමාජය තුළ “මම සුවෙන් සිටිමි, අපි නම් දැන් ඉතා සුවපත් වූ ජීවිත ඇත්තෙමු” යි කියන අය කොතෙකුත් නම් සිටිද්ද? එහෙත් එය ඇත්තක් ද? නිවැරදි ම ලෙස කියතොත් කාමයන්ගෙන් වෙන් ව, මගේ ය, මම වෙමි යන අස්මිමානය දුරු කර, තණ්හාව ක්ෂය කර කවුරුන් හෝ මේ ලෝ තලය මත සිටිද්ද, ඒ සියලු දෙනා ඉතාමත් සුවපත් ජීවිතයක් ගත කරයි. එසේ නම් කාමය අතහැර, අස්මිමානය අත්හැර, තණ්හාව ක්ෂය කොට සිටින්නේ රහතන් වහන්සේලා ම පමණි.

“සුඛිනෝ වත අරහන්තෝ – තණ්හා තේසං න විජ්ජති
අස්මිමානෝ සමුච්ඡින්නෝ – මෝහජාලං පදාලිතං”

“ඒකාන්තයෙන් ම රහතන් වහන්සේලා සුවසේ වැඩ සිටී, උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’ යන අස්මිමානය සහමුලින් ම සිඳ දමා මෝහය නමැති දැල පලා දමලයි ඉන්නේ.”

(පඨම අරහන්ත සූත්‍රය – ස. නි. 03)

කාමයන් පසුපස හඹා යමින්, අකුසල් ම සිදු කර ගන්නා වූ සමාජයක් අපට දක්නට ලැබේ. ඒ සමාජය තුළ කාමයට ඇති තණ්හාව ගෙවා දමා, කාමයන්ගෙන් වෙන් ව රහතන් වහන්සේලා වැඩ සිටී. ඉතා නිදහස් සිතින් සැරිසරන රහතන් වහන්සේලා මහා හස්තිරාජයන් මෙන් තම ජීවිතය ගත කරයි.

“දස හංගේහි සම්පන්නා – තීසු සික්ඛා සුසික්ඛිතා
අනුවිචරන්ති මහා වීරා – පහීන භය භේරවා”

“ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විතයි. උන්වහන්සේලා මහා හස්තිරාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ.”

(පඨම අරහන්ත සූත්‍රය – ස. නි. 03)

ඇස, කන, නාසය, දිව, කය හා මනස යනු සත්වයන්ට උපතින් ම ලැබෙන දායාදයකි. මේ ආයතනයන් සය ඉතා අකීකරු ය. දමනයට ඉතාමත් අපහසු ය. එහෙත්, මේ ඇස, කන, නාසය, දිව, කය හා මනස යන ඉන්ද්‍රියන් සය මැනවින් දමනය කර ගත්තා නම්, සංවර කර ගත්තා නම් ඒ රහතන් වහන්සේ පමණි.

“අශ්වයන් දමනයට දක්ෂ රියදුරෙක් ඉතාමත් මැනවින් හීලෑ කරන අශ්වයන් මෙන්, යම් කෙනෙක් තමාගේ ඉන්ද්‍රියන් හීලෑ කර ගත්තා නම්, මාන්නය නැති කරපු, කෙලෙස් නැති කරපු, අකම්පිත සිත් ඇති රහතුන්ට දෙවියන් පවා ඉතාමත් කැමතියි.”

(ධම්මපදය – 94 ගාථාව)

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ සීල, සමාධි, ප්‍රඥා වඩා සතර සතිපට්ඨානයේ සිත පිහිටුවා ගනිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තේ උතුම් රහතන් වහන්සේ ය.
ඉද්ධිවිධ ඤාණ, දිබ්බ සෝත ඤාණ (දිව්‍ය ශබ්ද ඇසීමේ හැකියාව), පරචිත්ත විජානන ඤාණ (ඕනෑම කෙනෙකු සිතන දේ දැන ගැනීමේ හැකියාව), පුබ්බේ නිවාසානුස්සති ඤාණය (ඕනෑම කෙනෙකුගේ සාංසාරික ජීවිතය ආපස්සට බැලීමේ හැකියාව), චුතූපපාත ඤාණය (සත්වයන් කර්මානුරූප ව චුතවන ආකාරය ද කර්මානුරූප ව උපදින ආකාරය ද දැකීමේ හැකියාව), ආසවක්ඛය ඤාණය (කාම ආස්‍රව, භව ආස්‍රව, අවිජ්ජා ආස්‍රව යන සියලු ආස්‍රව සම්පූර්ණයෙන් ම නිරුද්ධ වූ බව දැකීමේ හැකියාව) ආදි වූ අභිඥා ලබා ගෙන වුව ද රහතන් වහන්සේලා මේ ලෝතලය මත වැඩ සිටියේ ඉතාමත් නිහතමානීව ය. මෙවන් හැකියාවන්ගෙන් සමන්විත වූ ඒ රහතන් වහන්සේලාගේ දසුන් කෙතරම් නම් චමත්කාරජනක වන්නට ඇද්ද?

ඒ නිසා ම උන්වහන්සේලා වැඩ සිටි තැන් පවා ඉතාමත් සුන්දර තැන් විය. ගමේ වේවා, නගරයේ වේවා, වනයේ වේවා, ඒ කොතනත් ඉතා සුන්දර විය.

“ගාමේ වා යදි වාරඤ්ඤේ – නින්නේ වා යදි වා ථලේ
යත්ථාරහන්තෝ විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං”

“ගමේ වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒ බිම ඇත්තෙන් ම සුන්දරයි.”

(ධම්මපදය – 98 ගාථාව)

මේ සිත් පිත් නොමැති ගස් ගල් මහා පර්වත ඇති මහා වනාන්තර පවා සුන්දර ස්ථාන බවට පත් වන්නේ රහතන් වහන්සේලා නිසා ම ය. ඒ ස්ථාන සුන්දරවත් කරන මහරහතන් වහන්සේලාගේ ගුණයන් කෙතරම් ඇද්ද? එය අපට කිසිදා මැනිය නො හැකි ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ උපසීව සූත්‍රයේ දී මෙසේ වදාළ සේක.

“පින්වත් උපසීව, නිවන අවබෝධ කළ රහතන් වහන්සේ මනින්න නම් මිම්මක් නොමැත. යමෙකුට මැනිය හැකි නම් මිනුම් දණ්ඩක් වේ ද ඒ මිනුම් දණ්ඩ රහතන් වහන්සේට නොමැත. සියලු කෙලෙසුන් නැසූ විට සියලු වාදයන් ද අහෝසි වී යයි.”

(උපසීව සූත්‍රය, සං. නි.)

එවන් මැනිය නො හැකි ගුණයන් දරා වැඩ සිටි, අප්‍රමාණ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තිමත් සිතින් වැඩ සිටි ඒ රහතන් වහන්සේලාගේ ගුණ සිහිකොට වන්දනා කිරීම පවා දෙලොව සැප සලසා දෙයි. මහා සැනසීමක් ලබා දෙයි. එවන් වූ ගුණ කඳක් දරා වැඩ සිටි මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

“සුඛිනෝ වත අරහංතෝ – තණ්හා තේසං න විජ්ජති
අස්මිමානෝ සමුච්ඡින්නෝ – මෝහජාලං පදාලිතං”

ඒකාන්තයෙන් ම රහතන් වහන්සේලා තමයි සුවසේ ඉන්නේ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’ යන අස්මිමානය මුලින් ම සිඳලයි ඉන්නේ. මෝහය නැමැති දැල පලා දමලයි ඉන්නේ.

“අනේජං තේ අනුප්පත්තා – චිත්තං තේසං අනාවිලං
ලෝකේ අනුපලිත්තාතේ – බ්‍රහ්ම භූතා අනාසවා”

උන්වහන්සේලා තෘෂ්ණා රහිත වූ අරහත්වයට පත් වෙලයි ඉන්නේ. උන්වහන්සේලාගේ සිත කැළඹන්නේ නෑ. උන්වහන්සේලා ලෝකය සමග තැවරෙන්නේ නෑ. ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්වෙලයි ඉන්නේ.

“පඤ්චක්චන්ධේ පරිඤ්ඤාය – සත්ත සද්ධම්ම ගෝචරා
පාසංසියා සප්පුරිසා – පුත්තා බුද්ධස්ස ඕරසා”

පංච උපාදානස්කන්ධයන් පිළිබඳ අවබෝධ කරලයි ඉන්නේ, හිරි ඔත්තප්ප ආදි ධර්මයන් හතක් මුල්කරගෙනයි ඉන්නේ. උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි. සත්පුරුෂයි, බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් පුතණුවන් වහන්සේලායි.

“සත්ත රතන සම්පන්නා – තීසු සික්ඛාසු සික්ඛිතා
අනුවිචරන්ති මහාවීරා – පහීන භය භේරවා”

බොජ්ඣංග ධර්ම නම් වූ රත්න හතෙනුත් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මිලයි ඉන්නේ. භය භේරවයන් ප්‍රහාණය වෙලයි ඉන්නේ. ඒ වීරවරයන් නිදහස් සිතින් සැරිසරා වඩිනවා.

“දස හංගේහි සම්පන්නා – මහා නාගා සමාහිතා
ඒතේ ඛෝ සෙට්ඨා ලෝකස්මිං – තණ්හා තේසන්න විජ්ජති”

ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විතයි. උන්වහන්සේලා මහා හස්තිරාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාව නෑ.

“අසේඛ ඤාණං උප්පන්නං – අන්තිමෝයං සමුස්සයෝ
යෝ සාරෝ බ්‍රහ්ම චරියස්ස – තස්මිං අපරපච්චයා”

අසේඛ හෙවත් අර්හත් ඤාණය උපදවාගෙනයි ඉන්නේ. අන්තිම සිරුර තමයි මේ දරන්නේ. මේ බඹසර වාසයෙහි යම් අරටුවක් ඇද්ද ඒ අරහත්වය ලබාගෙන අන්‍ය උපකාරය රහිතව වාසය කරනවා.

“විධාසු න විකම්පන්ති – විප්පමුත්තා පුනබ්භවා
දන්ත භූමිං අනුප්පත්තා – තේ ලෝකේ විජිතාවිනෝ”

සෙය්‍යමානය ආදි මානයන්ට කම්පනය වන්නේ නෑ. පුනර්භවයෙන් මනා කොට නිදහස් වෙලයි ඉන්නේ. උන්වහන්සේලා තමයි ලෝකයේ මරසෙනඟ පරදවලා ජය අරගෙන ඉන්නේ.

“උද්ධං තිරියං අපාචීනං – නන්දිතේසං න විජ්ජති
නදන්ති තේ සීහ නාදං – බුදධාලෝකේ අනුත්තරා ති”

උඩ අතට බැලුවත් හරස් අතට බැලුවත් යටට බැලුවත් ඒ කිසි තැනක තණ්හාවක් උන්වහන්සේලා තුළ නෑ. උන්වහන්සේලා සීහ නාද පතුරන්නේ ලෝකයෙහි බුදුවරුන් වහන්සේලා උත්තරීතරයි කියලයි.

(පඨම අරහන්ත සූත්‍රය, සං. නි. 03)

අපමණ ගුණයෙන් යුතු ව වැඩ වෙසෙමින් ගෞතම සම්බුදු සසුන ශෝභමාන කළ සියලු රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

සටහන – සංජීව ධර්මදාස