ස්වාදය ඇති කරවන දෙයට ඇලී යාම සාංසාරික සිතේ ස්වභාවය යි. අල්ප වූ ආස්වාදය වුව ද මහත් සතුටින් පිළිගන්නා චිත්ත ස්වභාවයක් උරුමය වූ කල්හි එලෙස ආස්වාදය ඇති කරවන දෙය තුළ ම නිසැකව ම පවත්නා ආදීනවය පෙනෙන්නේ නැත. මිහිරි වූ, ප්‍රිය වූ, සැප සහිත වූ දෙය ජීවිතයේ වටිනා ම දේවල් ලෙස අප සලකන්නේ ඒ නිසා ය.

අපට සතුට ඇති කරවන කොතරම් දේවල් මේ ජීවිත කාලය තුළ මුණගැසුනේ ද? මාපිය, දූදරු, ඥාති හිතමිත්‍රාදීන්, සමාජයීය ගරු නම්බු නාම, කීර්ති ප්‍රශංසා, දේපළ වස්තුව කෙනෙකුගේ සිත පිනවන ස්වභාවයේ ලැබීම් වන අවස්ථා ඉමහත් ය. තම ජීවිතය දෙස ආපසු හැරී බලන කල්හි බොහෝ දෙනෙකු උදම් අනන්නේ ද එසේ තමන් පිරිවරා ගත් වස්තු සම්භාරය පිළිබඳව යි. එයින් සැපය ද සොම්නස ද සකස් වන විට ඒ දේවල මිහිරි, ප්‍රිය, සැපදායක ස්වභාවය ම ප්‍රකට වීම අරුමයක් ද නො වේ. එහෙත් ඒ සියල්ල අයත් වන්නේ අමිහිරි, අප්‍රිය, දුක්ඛදායක ස්වභාවයන්ට ම වීම වෙනස් කළ නො හැකි සත්‍යයකි.

මේ දුක් සමුදායට අයත් වන්නේ බාහිර කාම වස්තු පමණක් නො වේ. අපගේ ශරීර ද ඒ ස්වභාවයට ම නිසැකව ම අයත් වන්නකි. ප්‍රමාදී පුද්ගලයා එය ද මිහිරි වූ ප්‍රිය වූ සැපයට අයත් වූ ආස්වාදනීය අරමුණක් ලෙස දකී. ඒ දේවල් ප්‍රියජනක ලෙස පිළිගැනීමේ අනතුරක් ඇති බව තේරුම් ගැනීමට නම් දියුණු කළ, වඩන ලද සිහිනුවණක් අවශ්‍ය ය.

“ජීවිතය කියන්නෙ මිහිරි ආස්වාදයක් තියෙන කටුක දෙයක්. ප්‍රිය බැඳීමක් ඇති දුක් දෙයක්. මේක අවබෝධ නො වෙච්ච කෙනා කරන්නෙ මී පැණි තැවැරුණ දැලි පිහියක් ලෙව කනවා වගේ දෙයක්.”

(පාරාසරිය තෙරුන්ගේ ගාථා)

අප මෙතෙක් කල් සිදු කළේ එලෙස මී පැණි තැවරුන දැලිපිහියක් ලෙව කෑම නො වේ ද? මනා සුවඳින් යුතු වූ, මනා රසයෙන් යුතු වූ, මනා පැහැයෙන් යුතු වූ නමුත් විෂ මිශ්‍ර වූ බීමක් ඒ මතුපිට ප්‍රියමනාප ස්වරූපයට ඇති කැමැත්තෙන් පානය කර අනතුරට පත් වන්නා සේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් නොදැකීම තුළ සකස් වන්නේ ම බියජනක අනතුරකි. ලෝකය පිහිටා තිබෙන්නේ දුක මත ය. එහෙත් ඒ දුක ආස්වාදය ඇති කරවන සුලු සැප නම් වූ වෙස්මුහුණින් වැසී ගොසිනි.

“අසාතං සාතරූපේන – පියරූපේන අප්පියං
දුක්ඛං සුඛස්සරූපේන – පමත්තමතිවත්තති”

“අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්‍රමාදී පුද්ගලයා ව යට කරගෙන යනවා.”

(සුප්පාවාසා සූත්‍රය – ඛු. නි. 01)

මේ සත්‍යය අවබෝධ කර ගැනීම කෙනෙකුට පහසු නො වන්නේ කාමයන්ගේ ආස්වාදය තුළ ඇලී ගැලී ප්‍රමාදී වීමත් ආදීනවය දැක අප්‍රමාදී වීම සසරේ අතිශයින් නුහුරු නුපුරුදු චර්යාවන් වීමත් නිසා ය. නිසැක වශයෙන් ම වෙනස් වී නැසී යන අනිත්‍ය ස්වභාවයට අයත් වූ, දුකට අයත් වූ, තමාට කොතරම් වුවමනා වුව ද ස්වකීය කැමැත්ත පරිදි පවත්වා ගත නො හැකි වූ දේවල් පරිවාර සම්පත්තීන් ලෙස පිළිගැනීමෙන් සිදුවන්නේ උපන්නා ම වූ ද නූපන්නා වූ ද මතු උපදින්නා වූ ද දුක පිළිගැනීම යි. ඒ දුක වසා තබන, නොයෙක් ස්වරූප ඇති ආස්වාදනීය වෙස්මුහුණු ගලවන්නට නම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට ම විවර වන දහම් ඇස උපදවා ගත යුත්තේ ම ය.

– මහාමේඝ –